2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

හරක් හොරයි තාත්තගේ අපචාරයි මොහොතකින් එළියට...

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 502

ඒ සෙනසුරාදාත් පත්තිනි දේවාලය අබියස බිමේ මිනිසුන් දෙසීයකට ආසන්න පිරිසක් එක්ව සිටියහ. ඒ හැම මුහුණකම තිබුණේ කුමක් හෝ විඩාබර සේයාවකි. දෙවියන් වෙත පුදදෙන පූජා සත්කාරවලින් ඉනික්බිති මධ්‍යහ්න දොළහට ආසන්න වේලාවකදී හිඹුටානේ සාදු තම මෙහෙවර ආරම්භ කළහ.

නොවැළැක්විය හැකි හේතුවක් මත ඉකුත් සතියේ අපට හිඹුටානේ සාදුගේ විස්මිත දේව වරමේ බලවර ගැන ඔබට කියන්නට නොහැකි විය. ඒ සතියේ ද හිඹුටානේ සාදු ගැන විමසමින් අපට නොනවත්වාම දුරකතන ඇමතුම් පැමිණියේය. ඉකුත් සතියට පෙර සතියේ හිඹුටානේ සාදු හමුවට යා යුතු ආකාරය, යන මාර්ගය, යාමට පෙර අනුගමනය කළ යුතු වත්පිළිවෙත් ආදී සියල්ල අප ඔබට කී හෙයින් ඒ ගැන යළි යළිඳු අපි ඔබට නොකියමු.

එහෙත් පත්තිනි මෑණියන්ගේ බලවර ලැබ ලුසිහාමි මාතාව නම් තම මී මිත්තණියගේ වරම් ගෙන සොරකම්, මනුෂ්‍ය ඝාතන, කොඩිවින, ලෙඩ දුක්, නඩු හබ, ඉඩම් ප්‍රශ්න, මේ ආදී කී නොකී මනුෂ්‍ය ජීවිතයට බලපාන කුමන හෝ ප්‍රශ්නයක් ගැන යමෙක් යමක් දැනගන්නට පැමිණි විට ඒ පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් කරමින් සොරකම්, මනුෂ්‍ය ඝාතන, කොඩිවින, ඉඩම් ප්‍රශ්න ආදිය ගැන තොරතුරු හෙළිදරව් කරද්දී අදාළ පුද්ගලයන්ගේ නම් ගම්, දුරකතන අංක පවා සඳහන් කරන, සොරකම් කළ දේ හා සොරාගත් භාණ්ඩ ඇති තැන, විකුණා ඇත්නම් විකුණා ඇති තැන, මේ ආදී තොරතුරු ද සියල්ල පවසන හිඹුටානේ සාදුගේ විස්මිත අදහාගත නොහැකි වරම ගැන ඉකුත් ජනවාරි මාසය පුරා ප්‍රකාශයට පත් කළ දේශය පුවත්පත් නැවත කියවුවහොත් ඔබට නිවැරදිම අවබෝධයක් ලබන්නට හැකිය.

ඒ සියලු විස්තර අපි ඔබට පුරා සති හතරක් කීවෙමු. දෑසින් දැක ප්‍රත්‍යක්ෂ කරගත් තොරතුරු ඉතා විශ්වසනීය ලෙස ඔබට එලෙස කී වගද අපි සපථ කරමු. දේශය 2018 ජනවාරි මස 07, 14, 21, 28 යන පුවත්පත්වල මෙන්ම www.deshaya.lk යන දේශය වෙබ් අඩවිය ඔස්සේ ද හිඹුටානේ සාදු ගැන පළවූ තොරතුරැ ඔබට යළි කියවිය හැකිය. හිඹුටානේ සාදුගේ විස්මිත හැකියාවන්, හිඹුටානේ සාදු සතු වරම, එය ලද ආකාරය මෙන්ම හිඹුටානේ සාදු හමුවට එන ජාත්‍යන්තර තලයට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රිකට් ක්‍රීඩකයන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, නළු නිළියන් ගැන මෙන්ම ඔවුන්ට කී නොවරදින අනාවැකි ගැනද, මළවුන් ගෙන්වීම් පිළිබඳව ද, එමෙන්ම මනුෂ්‍ය ඝාතන හා හොරකම් පිළිබඳව ද හිඹුටානේ සාදු නිවැරදිවම කරන හෙළිදරව් නිසා හිඹුටානේ සාදු හමුවට එන ආරක්ෂක අංශ නිලධාරීන් ගැන ද අපි ඔබට මින්පෙර විස්තර කීවෙමු.

ඉකුත් ජනවාරි මාසය මුළුල්ලේ හිඹුටානේ සාදු ගැන විස්තර කියවූ හිඹුටානේ සාදු ගැන අප ලියූ දෑ ඔස්සේම දැනහඳුනාගත් පාඨකයන්ට උන්වහන්සේ නුහුරු නුපුරුදු චරිතයක් නොවන වගද අපි දනිමු.

ෆෝන් එකක් නැතිවෙලා ඒ ගැන දැනගන්න ආව එකී වරෙන්...

යෂ්ටියක් අතින් ගෙන දේවාල ද්වාරය අබියසට පැමිණි හිඹුටානේ සාදු ඈත මෑත බලා අඬගැසුවේය. පර්ස් එකත් එක්කම ෆෝන් එකක් නැතිවෙලා. ඒ ගැන අහන්න ආවේ. අන්න ඒකිට මම කතා කළේ..

යුවතියක් හිඹුටානේ සාදු වෙත ගියේ දෙවන වර ඒ අඬගැසීමත් සමඟය.

ජංගම දුරකතනයත් අත්බෑගයත් නැතිවුණේ කවදාද කොහේදීද? මේ සියලු ප්‍රශ්නවලට ඇයට හිඹුටානේ සාදුගෙන් උත්තර ලැබුණි.

කුරැණෑගලටත් එහා දුර ගමක නමක් සඳහන් කරමින් ඊළඟ වර හිඹුටාන සාදු කතා කළේ තවත් හොරකමක් ගැන දැනගන්නට පැමිණ සිටි පිරිසකටය.

උඹලා ආවේ උඹලගේ හරකා නැතිවුණා. හරකට මොකද වුණේ කියලා දැනගන්න නේද?

එහෙමයි සාදු...

උඹලගේ ගෙවල් අහල පහල ඉන්නවා නේද...... (නමක් සඳහන් කරමින්) කියලා මිනිහෙක්. මෙන්න මේ හැඩරුව තියන (හැඩරුව සඳහන් කරමින්)

එහෙමයි සාදු...
අන්න ඌ තමා උඹලගේ හරකා හොරකම් කළේ... හරකා තාම මරලා නෑ.. ඌ දැන් ඉන්නේ........ (මුස්ලිම් ජාතිකයකුගේ නමක් සඳහන් කරමින්) උගේ මස් කඩේට හැකි ඉක්මනින් පලයන්... උඹලට පුළුවන් හරකව මරන්ට ඉස්සර බේරාගන්න...

ඇහෙන් බලාසිටියා සේ හිඹුටානේ සාදු කියූ තොරතුරු අසා උන් ඔවුන් පුදුමයෙන් මෙන් පැවසුවේ මෙවැන්නකි.

සාදු.. හරකා හොරකම් කළා කියලා කියපු මිනිහා අපේ ගෙවල් ළඟම ඉන්න මිනිහෙක්. මිනිහා හොරා තමා. සාදු.. ඒ හොරාගේ නම ගම ඔක්කොම විස්තර හරියටම කීවා. ඔය........ කඩේ මස් කඩයක්.

පැමිණ සිටියවුන් දෑස් දල්වා මුව අයා බලාසිටින්නේ ඊළඟ ඇමතුම කාටද යන අවධානයෙනි.

උඹලා අවේ උඹලගෙ ගෙදර මෙහෙම පලහිලව්වක් (අදාළ කාරණය සඳහන් කරමින්) වුණා. ඒ ගැන දැනගන්න. උඹලගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නේ මෙහෙම ව්‍යාපාරයක් (ව්‍යාපාරයේ නම සඳහන් කරමින්) කරන අය. අන්න උන් තමා උඹලට මෙහෙම කළේ... 

හිඹුටානේ සාදු පවසන දෑ සත්‍ය බව ඒත්තුගන්වන්නේ ඒ අදාළ කාරණය අසන්නට එන පුද්ගලයන්මය.

අප ඊළඟට ලියන්නට යන සිද්ධිය ඇසූදුටු මොහොතේත් සිතට එක්වරම පිවිසියේ පිළිකුළකි. හිඹුටානේ සාදු මේ විස්තර පවසන විට මුලින් ඔවුන් කළේ එය සැබෑවක් නොවන බව පවසමින් හිඹුටානේ සාදු පවසන දෙය ප්‍රතික්ෂේප කිරීමය. එහෙත් අවසානයේ දී හිඹුටානේ සාදු පවසන දෙය සැබෑවක් යැයි පිළිගන්නට ඔවුන්ට සිදුවිය.

ඒ සිද්ධිය මෙසේය.

තමන්ගේ නිවෙසේ ප්‍රශ්නයක් පිළිබඳව විමසන්නට ඒ පැමිණ සිටියේ මවක් පියෙක් හා දියණියකි. එහෙත් ඔවුන් විමසන්නට පැමිණි කාරණය පිළිබඳව කරැණු පවසන්නට පෙර හිඹුටානේ සාදු පැවසුවේ කිසිවෙකුත් ඒ මොහොතේ පවසන්නට අපේක්ෂා නොකළ දෙයකි.

උඹගේ මිනිහා මේ දරුවගේ තාත්තා දරුවට අතවර කරනවා. දරුවා අපයෝජනයට ලක් කරලා මිනිහගේ තිරිසන් ආසාවන් ඉටුකරගන්නවා...

නෑ.. සාදු... ඒක බොරැවක්. මම දරැවගේ අම්මා විදිහට දන්නවා එහෙම දෙයක් සිදුවෙන්නෙ නෑ කියලා.

උඹ කොහොමද නෑ කියන්නේ. දැන් කාලයක් තිස්සේ උඹගේ දුවව එයාගෙම තාත්තා විනාශ කරනවා. දුව කට වහගෙන ඉන්නේ බයට.

නෑ සාදු ඒකනම් වෙන්න විදිහක් නෑ. අපි හොඳට ජීවත්වෙන පවුලක්.

හරි උඹ කට වහගනින්... එන්න කියපන් උඹගෙ දුවට මෙතෙන්ට.

ඒ මොහොතේ ඒ දියණිය හිඹුටානේ සාදු අසලට පැමිණියාය.

අහවල් දවසේ ඉඳන් (අදාළ කාලවකවානුව සඳහන් කරමින්) උඹගේ තාත්තා උඹට බලහත්කාරකම් කරනවා නේද? උඹගේ අම්මාට හොරෙන් මේ මේ තැන්වලදී මේ මේ විදිහේ අපචාර උඹට කරනවා නේද? උඹ කට වහගෙන ඉන්නේ උඹගේ තාත්තගේ තර්ජනවලට බයෙන් නේද?

හිඹුටානේ සාදු පියවරෙන් පියවර විස්තර සඳහන් කරමින් පවසද්දී ඒ දියණිය බියෙන් ගල්ගැසී හිඹුටානේ සාදු දෙස බලාසිටියාය.

උඹ ඇත්ත කියපන්. දෙවියන් ඉස්සරහ බොරැ කියන්න එපා. උඹට උඹේ තාත්තා මේ අපරාධ කරනවද? නැද්ද?

හිඹුටානේ සාදු විස්තර දින වකවානු හා ස්ථාන ඇතුවම කියන විට තවදුරටත් එය බොරුවක් යැයි පවසමින් සත්‍ය සඟවාගන්නට ඒ දියණියට නොහැකි වූවාය.

ඔව් සාදු... සාදු කියපු හැමදේම ඇත්ත... මගේ තාත්තා සාදු කියපු කාලයේ ඉඳන්ම මට මේ විදිහට කරදර කරනවා. මගේ අම්මා මේ වෙනකම් ඒ කිසිදෙයක් දැනගෙන හිටියේ නෑ. පවුල කැඩෙයි කියන බයටයි තාත්තා මට කරන තර්ජනවලට බයටයි මම මේ ඔක්කොම හංගගෙන හිටියේ. 

ඒ අපරාධකාර තිරිසන් තාත්තාටද හිඹුටානේ සාදුගෙන් ගැලවිල්ලක් ලැබුණේම නැත. ඒ තාත්තා කැඳවාලූ හිඹුටානේ සාදු ඔහු ඒ කළ අපරාධවලට දෙවියන්ගෙන් ඔහුට කිසිදා සමාවක් නොලැබෙන බව පවසමින් ඔහු කළ අපරාධ ඔහුට තමන් එය නොකළේයැයි කියන්නට බැරි ලෙස තහවුරු කරමින්ම කියා සිටියේය.  

මම මේ කළ කී දෑ ඇත්තටම මම දන්නෙත් ඒ අය නැවත මා වෙත පැමිණි, මා ආරූඪයෙන් තොරව සිටින වෙලාවට මට කියනවා. ඔවුන්ට කළ යුතු පිළියම් ගැන පොල් ගසන්න, යන්ත්‍ර දාන්න, පූජාවක් කරන්න, කොඩිවින කපන්න, මේ ආදී කරන්න කියපු දේවල් සියලු විස්තර කියනවා. මා සතු වරම, ඒ වරමින් මා කළ කී දෑ සියල්ල මම මීට පෙර දේශය පුවත්පතට කී නිසා මේ මොහොතේ ඒ කිසිවක් මා නැවත නැවත කියන්නේ නෑ.

කොහොමත් ඔබ මා සොයාගෙන ආ නිසා සහ වංචාකාරයන්ට, ජ්‍යොතිෂ්‍ය විකුණමින් ලක්ෂ ගණන් අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් මුදල් ගසාකන බොරුකාරයන්ට රැවටෙන මිනිස්සු වෙනුවෙන් අපි කතා කරමු කියලා ඔබ යෝජනා කළ නිසාවෙන් මිසක් මා ප්‍රසිද්ධිය පසුපස යන්නේ නෑ...

හිඹුටානේ සාදු ඒ පැවසූ දෙයද සත්‍යයක්මය. බොහෝ මාධ්‍ය හිඹුටානේ සාදුට කතා කරද්දී හිඹුටානේ සාදු නිහඬ පිළිවෙතක්ම රකින්නේද එහෙයිනි. හිඹුටානේ සාදු  ගැන අප දේශය පුවත්පතේ මින්පෙර සඳහන් කළ විස්තර ඔබ මෙතෙක් නොකියවුවේ නම් www.deshaya.lk වෙබ් අඩවිය ඔස්සේ ද 2018 ජනවාරි මස ප්‍රකාශයට පත් කළ දේශය පුවත්පත් ඔස්සේ ද ඒ විස්තර කියවිය හැකි බව අපි ඔබට නැවත වරක් සිහිගන්වන අතරතුර හිඹුටානේ සාදුගේ විස්මිත වික්‍රම සමඟ එන ඉරිදාත් හමුවන බවටද පොරොන්දු වෙන්නෙමු. 

 සංජීවිකා සමරතුංග

සේයාරූ - චන්න කස්සප කෝරලේආරච්චි

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30