2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

තීන්දුව අද!

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

♦වැඩ තහනම්කළ  බ්‍රිෙග්ඩියර්ට ජනපතිගෙන් ඇමතුමක්  
♦රජයේ ඉදිරි ගමන ගැන ජනපති නිදහස් දිනයේ දී දුන් ඉඟිය  
♦ආරවුල් ගෝරි අඩු ඡන්දයක්  
♦මිග් ගනුදෙනුව ගැන ගෝඨාභය උත්තර දෙයි  
♦සම්පන්දන්ගේ 85 වැනි ඡන්ම දිනයට දේශපාලන නායකයන්ගෙන් සුබ පැතුම්  
♦චෝදනා කරගන්නේ නැතිව බැඳුම්කර විවාදය කරන්නැයි කතානායකගෙන් ඉල්ලීමක්

 

70 වැනි ජාතික නිදහස් සමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 4දා සිදුවිය. මෙම උළෙලේ විශේෂ ආරාධිතයා ලෙස එක්වූයේ මහා බ්‍රිතාන්‍යයේ මහ රැජන නියෝජනය කළ එඩ්වඩ් කුමරා සහ එම ආර්යාවය. නිදහස් උත්සවය ගාලුමුවදොර පිටියේ පැවැත්වුණේ වසර 70ක නිදහසේ ජයග්‍රහණ සනිටුහන් කරමිනි. එහෙත් උළෙල සංවිධානයේදී ඊට ඇතුළත් කර තිබූ ලැප්ටොප් නැටුම - හා දුරේක්ෂ රැගත් පාසල් දරුවන්ගේ නැටුමට දෙමාපිය ගුරු සංගම් මෙන්ම දේශපාලන අංශවලින්ද එල්ල වූයේ විවේචන රාශියකි. රටේ ඇතැම් දුෂ්කර පාසල්වල දරුවන්ට ලැප්ටොප් හෝ දුරේක්ෂ වැනි තාක්ෂණික උපකරණ දැකබලාගන්නටවත් අවස්ථාවක් නැති පසුබිමක මෙවැනි උපකරණ නිදහස් දින නැටුමකට උපයෝගී කරගත යුතු නැති බවට ගුරු සංගම්වලින් චෝදනා නැගුණි. දේශපාලන වේදිකාවේදී මේ ගැන අප්‍රසාදය පළකළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. නිදහස් දා මෙවැනි නැටුම් කිසිසේත්ම තමන් අනුමත නොකරන බව මහින්ද කීය. කෙසේ හෝ නිදහස් උළෙලේ පෙළපාළියට ලැප්ටොප් නැටුම ඇතුළත් කරන ලෙස උපදෙස්දී තිබුණේ රජයේ ප්‍රබල ඇමැතිවරයකු බව කියැවේ. පාසල් දරුවන් තාක්ෂණය වැළැඳ ගන්නා ආකාරය ගැන ලෝකය දැනුම්වත් කිරීමට මෙම රුඟුම් උපයෝගී වනබව අදාළ අමාත්‍යවරයාගේ අදහස වී තිබිණි. කොසේ හෝ බොහෝ අංශවලින් එල්ලවූ විරෝධය නිසා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබුණේ ලැප්ටොප් නැටුම ඉවත් කරගන්නා ලෙසයි. ඒ අඩුව පිරවීමට ලෝකගෝල අතින් ගත් දරුවන්ගේ රැඟුමක් ඉදිරිපත් කරන ලෙස වූ යෝජනාව ද රජය ප්‍රතික්ෂේප කළේය.

මෙවර නිදහස් දිනය සඳහා ප්‍රධාන විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය, ඒකාබද්ධ විපක්ෂය - ජනතා විමුක්ති පෙරමුණ ආදි පක්ෂ ගණනාවක නායකයන් සහභාගී වූයේ නැත. බොහෝ දේශපාලන නායකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කොළඹින් බැහැරව සිටීමත් රජයේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක විරෝධය පෙන්වීමටත් මේ අය නිදහස් උළෙල වර්ජනය කළ බව දැනගන්නට ඇත. එහෙත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිනිය ප්‍රමුඛ ආරාධිතයෝ රැසක්ම නිදහස් දින වේදිකාවේ දක්නට ලැබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ නිදහස් දින කතාව උපයෝගී කරගත්තේ ද පසුගිය දිනවල දේශපාලන වේදිකාවලදී ඔහු විසින් ප්‍රකාශ කරන ලද කතා තේමාව ඉදිරියට ගෙනයාමටයි. දූෂණයට වංචාවට හා හොරකමට එරෙහිව පුළුල් ජාතික ව්‍යාපාරයක් රට තුළ ඇතිකිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය. නිදහස සමඟ සතුටින් ජීවත්ව සිටීමට නම් රටේ ආර්ථික සෞභාග්‍යය තිබිය යුතු යැයි කී ජනාධිපතිවරයා රටේ සංවර්ධන ප්‍රමුඛතා තීන්දු කිරීමේදී පෞද්ගලික අභිලාෂයන්ට වඩා ජාතික ප්‍රමුඛතා මුල්තැන තබාගෙන ක්‍රියාකළ යුතුයැයි කීය. දේශපාලන න්‍යායපත්‍ර සංවර්ධනයට ගාවාගතහොත් එයින් රටට දැයට යහපතක් සිදුනොවන බවද ජනාධිපතිවරයා කීය. අවශ්‍යනම් රටේ මුදල් රෙගුලාසි පවා සංශෝධනය කරමින් දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයිද ඔහු ප්‍රකාශ කළේය.

70 වැනි නිදහස් දිනය එලෙස ගෙවීගියේ උත්කර්ෂවත් අන්දමටයි. එහෙත් රටේ සැමගේ අවධානය වඩාත් යොමුව තිබුණේ ඊයේ (සෙනසුරාදා) පවත්වන්නට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙනි. ගතවූ මාස දෙක තුළ රැස්වීම් විශාල ගණනාවකට එක්වුණු ජනාධිපතිවරයා රැස්වීම් 30කට පමණ සහභාගී වූ අතර එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රධාන රැස්වීම් 35කට පමණ එක්විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උතුරේ සිට දකුණට ප්‍රධාන ජනහමු 38ක් අමතා තිබිණි. මෙවර පළාත් පාලන මැතිවරණයේ දක්නට ලැබුණ ප්‍රධානම ලක්ෂණය වූයේ වෙන කිසිමදාක පළාත් පාලන ඡන්දයකට නොදක්වන උනන්දුවකින් ප්‍රධාන පක්ෂ ඡන්ද සටනට අවතීර්ණ වීමය. වසර 2 ½ ක් පමණ කල්ගොස් තිබූ පළාත් පාලන ඡන්දය මනාප ක්‍රමයෙන් තොරව කලකට පසු පැවැත්වෙන ඡන්දයක් නිසා ඡන්දයේ ආරවුල් අඩුවී තිබිණි. මනාප ක්‍රමය රටේ දේශපාලන සංස්කෘතිය විනාශ කරන නිසා එය වෙනස් කළ යුතු බවට මුලසිටම හඬ නැගුවේද නිහඬව දේශපාලන ක්‍රියාදාමයක් දියත් කිරීමට මුල්වූයේ ද කතානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ පිරිසක් විසිනි. කතානායකවරයාගේ එම ප්‍රයන්තය පලදරා ඇති බව මෙවර පළාත් පාලන ඡන්දයේදී මනාව තහවුරු වී තිබූ බව දේශපාලන පක්ෂ නායකයන් ගණනාවක්ම කරු ජයසූරිය මහතාට දන්වා තිබූ බව කියැවේ.

ඊයේ පැවති පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිකුත් කර හමාරවන්නේ අද දවසේදීය. ඊළඟට සටන ඇතිවන්නේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට බහුතර බලයක් තනි පක්ෂයකට නොමැති පළාත් ආයතනවල බලය පිහිටුවන්නේ කා සමඟ එක්වීද යන ප්‍රශ්නය මතයි. ඒ අතර ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද කියා තිබුණේ මෙම තීරණාත්මක ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව පෙරැළි ගණනාවක් සිදුවිය හැකි වගය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම ප්‍රසිද්ධියේ කීවේ පළාත් පාලන මැතිවරණයෙන් පසු තමන් ආණ්ඩුවේ ප්‍රධාන වෙනස්කම් ගණනාවකට හේතු වන තීන්දු ගන්නා බවයි. ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම තීන්දු ඇතැම් විට අමාත්‍යංශ විෂයෙන් පවරා ගැනීම්, කැබිනට් මණ්ඩලයේ වෙනස්කම්, ආර්ථිකය මෙහෙයැවීමේ වගකීම ජනාධිපතිවරයා සටනට ගැනීම වැනි කාර්යයන් වියහැකි බවය. රජයේ ප්‍රධාන පෙළේ කැබිනට් අමාත්‍යවරයකු කියා සිටියේ ඡන්දය හමාරවූ වහාම ප්‍රබල කැබිනට් මණ්ඩල වෙනසක් සිදුවීමට ඉඩඇතැයි කියාය. ඒ අතර ඡන්ද ප්‍රතිඵලයේ ස්වභාවය අනුව පක්ෂ මාරු වැලක්ම ඉදිරි සති කිහිපය තුළ සිදුවන බව ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් එම පක්ෂ මාරු පාර්ලිමේන්තු බල සංයුතියේ වෙනසකට හේතුවේද නැතිද කියා කීමට තවමත් කල්වැඩිය. 

මැතිවරණයේදී ඒ ඒ පක්ෂ ලබන ඡන්ද ප්‍රතිශතය 2020 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන පූර්ව නිමිත්තක් වන නිසා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම කෙරේ ප්‍රධාන පක්ෂ මහත් වෙහෙසක් දැරීය. වෙනදා ඡන්ද සටනකදී දක්නට ලැබුණු එ.ජා.ප., ශ්‍රී.ල.නි.ප., ජ.වි.පෙ යන ප්‍රධාන දේශපාලන බලවේග අතරට පැමිණි හිටපු ජනාධිපතිවරයාගේ අනුග්‍රහය ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලකට පසු මෙරට තුන්වැනි දේශපාලන බලවේගය ලෙස ඡන්ද වේදිකාවේ තහවුරු වීම පසුගිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ දක්නට ලැබුණ මූලික ලක්ෂණයකි.

මෙවර අමාත්‍ය මණ්ඩල හමුව නොපැවැත්විණි. ඊට හේතුව ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය හා අඟහරුවාදාට මැතිසබයේ යොදාගෙන තිබූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ විවාදයයි. එම විවාදය දින තුනක් පවත්වන්නට ඒ ගැන සාකච්ඡා කරන්නට සඳුදා මැතිසබා කාර්යාලයේදී රැස්වුණ දේශපාලන පක්ෂ නායකයෝ තීන්දු කළහ. ගිය අඟහරුවාදාට පසු ලබන 21, 22 දෙදින ද මහබැංකු බැඳුම්කරය හා බරපතළ වංචා දූෂණ කොමිසමේ වාර්තා ගැන විවාදය පැවැත්වෙයි. මේ ගැන තීන්දු ගන්නට පැවති රැස්වීමට කතානායක කරු ජයසූරිය, එ.ජා.ප.යේ අජිත් පී. පෙරේරා, රවි කරුණානායක මන්ත්‍රීවරු ද ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතාද ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා ද එක්ව සිටියහ. මෙහිදී අනුර ඇතුළු පක්ෂ නායකයන් කොමිෂන් සභා වර්තාවල ඇමුණුම් අඩු බවට හෙළිකළ චෝදනාවට පිළිතුරු දුන් කතානායකවරයා කීවේ ඇමුණුම්වල අඩුවක් තිබේ නම් ඒවා පරිගණක තැටි මඟින් මන්ත්‍රීන්ට ලබා දෙන බවය. අනතුරුව කතානායකවරයා පක්ෂ නායකයන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කළේය. “අපි මේ විවාද හෑල්ලු නොකර හොඳ විදියට අරන් යන්න ඕනෑ. දෙපැත්තෙම අය එකිනෙකාට හොරා හොරා කියා ගෙන වාදවිවාදවලට නොගිහින් සාධාරණ විදියට විවාදය ගෙනියමු.” යයි කරු කී විට අනුර දිසානායක මන්ත්‍රීවරයා කීවේ “කතානායකතුමා අපිට ක්‍රියාකරන්නට වෙන්නේ එතන ඒ වෙලාවට ඇතිවන තත්ත්වය අනුවයි. අනවශ්‍ය දේ ඇති නොවුණොත් ප්‍රශ්නයක් නැහැ. අපි බලමු මොකද වෙන්නෙ කියලා...”අනුර වැඩිදුරටත් කීය.

අඟහරුවාදා මැතිසබය බැඳුම්කර විවාදය සඳහා රැස්වුණද එතරම් මන්ත්‍රීන්ගේ සහභාගීත්වයත් දක්නට නොලැබිණි. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවා පැමිණියේ විවාදයේ සිය කතාව කර කොළඹින් බැහැරව තිබූ ඡන්ද රැස්වීම් ගණනාවකට ගුවනින් යාමට හෙලිකොප්ටර යානය සූදානම් කෙරෙන අතරය. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන කථිකයන් අතරට මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට අපේක්ෂා කළද ඔහුට එදින උදෑසන කන්තලේ ඡන්ද රැස්වීමත් හමාරකොට මහනුවර ප්‍රධාන රැස්වීමට පැමිණීමට සිදුව තිබූ බැවින් රාජපක්ෂ මහතා මෙම විවාදයේ ඊළඟ දිනයේ කතා කිරීමට අපේක්ෂාකරන බව දන්වා විශේෂ ගුවන්යානයකින් ත්‍රිකුණාමලය බලා පිටත්විය. මේ හැර විපක්ෂයේ ප්‍රධාන කථිකයන් වූ දිනේෂ් ගුණවර්ධන - විමල් වීරවංශ - උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ටත් මහනුවර ප්‍රධාන ඡන්ද රැස්වීමට යායුතුව තිබිණි. ඔවුන් උදෑසන කතාවන් හමාර කරන විටම සංවිධායකයන් විසින් මේ අය මහනුවරට කැඳවාගැනීම සඳහා විශේෂ හෙලිකොප්ටර යානයක් සූදානම් කර තිබූ බව වාර්තා විය. කෙසේ හෝ බැඳුම්කර විවාදයේ දී විපක්ෂයේ දැඩි විවේචනවලට රජය මුහුණදුන් අතර ආණ්ඩුවෙන් ද යම් යම් විවේචන ඔවුනට එල්ල වුවත් වෙනදා මෙන් මැතිසබය තුළ ආරවුල් හටගත්තේ නැත. හැමෝගේම උනන්දුව තිබුණේ ඡන්දය ගැන නිසා බොහෝ මැති ඇමැතින් සැරසුණේ හැකි ඉක්මනින් කතාව නිමකොට ඡන්ද රැස්වීම්වලට යාමටයි.

විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ 85 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ ගිය සඳුදාය. මැතිසබයේ සිටින ජ්‍යෙෂ්ඨ හා ගරැකටයුතු දේශපාලනඥයකු ලෙස පක්ෂ විපක්ෂ කාගේත් සැලැකුම් ලබන සම්පන්දන් මහතා උපන් දිනය දා සිටියේ සිය ගම් ප්‍රදේශය වන ත්‍රිකුණාමලයේය. සුපුරුදු ලෙස ඕනෑම කෙනකුගේ ජන්ම දිනයට හිමිදිරි පාන්දරම ඒ තැනැත්තාට සුබ පතන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උදෑසනින්ම සම්පන්දන් මහතා අමතා සුබ පතන්නට වාර ගණනක්ම ඔහු ඇමතූ නමුත් දුරකතනයට සම්බන්ධ කරගත නොහැකි විය. අනතුරුව කතානායක කරු ජයසූරිය මහතා ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඔහුට සුබ පතමින් අල්ලාප සල්ලාපයේ යෙදී තිබිණි. සිය උපන් දිනයට සුබ පතන්නට කතා කළ අගමැතිවරයාටත් කතානායකවරයාටත් විපක්ෂ නායක දන්වා සිටියේ උතුරු නැගෙනහිර ජනතාවට බලපාන ප්‍රශ්න හැකිතාක් විසදා දීමට සහාය වන හැටියටයි.

මේ සතියේ වාර්තා වූ ඉතාමත් කනගාටුදායක හා ශෝකජනකම පුවත වූයේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන්ගේ අපවත් වීමයි. පසුගිය සතියේ සිකුරාදා විහාරස්ථානයේ හස්තිරාජයාට ආහාර දෙන්නට ගිය අවස්ථාවේ සිදු වූ හදිසි අනතුරකින් පසුව උන්වහන්සේ කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබූහ. ඒ මොහොතේම ඒ බව දැනගත් කතානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මන්ත්‍රීන් වන ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන යන මහත්වරු වහාම මේ ගැන සොයා බලමින් අවශ්‍ය හදිසි ප්‍රතිකාර සඳහා උපරිම සහාය ලබාදුන්හ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු ද උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් අමතමින් රජයෙන් අවශ්‍ය සහාය ලබාදීමට යුහුසුළු වූහ. එහෙත් රජයේ රෝහලක හා පෞද්ගලික රෝහලක දී බරපතළ සැත්කම් ගණනාවකට ලක්වූ බෙල්ලන්විල අනුනායක හිමියෝ ගිය සෙනසුරාදා පෙරවරුවේ අපවත් වූහ.

උන්වහන්සේගේ අභාවයෙන් ශෝකයට පත් ප්‍රදේශවාසී ජනතාව ජාති ආගම් කුල ආදී කිසිදු භේදයකින් තොරව දස දහස් ගණනින් පැමිණ නාහිමියන්ට ගෞරවය පුද කළහ. ත්‍රෛනිකායික නායක හිමිවරුන්, මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරුතුමන්, ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති මහින්ද සහ මැති ඇමැතින් රැසක්ම පැමිණ නාහිමියන්ට ගෞරවය පුද කළෝය. උන්වහන්සේගේ ආදාහන කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව උන්වහන්සේ කුලපති පදවිය දැරූ ශ්‍රී ජයවර්ධනපුර සරසවි ක්‍රීඩාංගණයේ දී බ්‍රහස්පතින්දා සිදුකැරිණි.

පසුගියදා ගුරුවරියක දණගැස්වීමේ චෝදනාවට ලක්ව අධිකරණයෙන් ඇප ලබා සිටින ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව හෙළිදරව් වූ වීඩියෝවකින් ප්‍රධාන ඇමැතිවරයා නැවතත් අර්බුදයකට මුහුණ දී සිටී. ඒ මීට ටික දිනකට පෙර වෘත්තිය ප්‍රශ්නයක් මත පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණු හිමිනමකට පහරදීමට තැත් කළ බවට එල්ලවන චෝදනාවක් හේතුවෙනි. ඊට අදාළ යැයි කියන වීඩියෝවක් ද දැන් සමාජ ජාලා මාධ්‍යවල හුවමාරු වෙමින් තිබේ. එහෙත් මේ සිද්ධිය ගැන ඌව ප්‍රධාන අමාත්‍යවරයා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත. අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරන ඌව රැකියා විරහිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති හිමියන් මාධ්‍යයට කියා තිබුණේ තමන්වහන්සේ මේ සිද්ධිය ගැන අද හෙටම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවය.

70 වැනි නිදහස් උළෙලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය මහ රැජනගේ විශේෂ නියෝජිත එඩ්වඩ් කුමරු පසුගියදා අරලියගහ මැඳුරේ දී ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක් විය. ඒ සිය පියා නමින් ස්ථාපිත කර තිබෙන එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප්‍රදාන උළෙලේදීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහභාගිත්වයෙන් අරලියගහ මැඳුරේ පැවැත්වුණු මෙම ත‍්‍යාග ප්‍රදාන උළෙල ඇමතූ එඩ්වඩ් කුමරු ශ්‍රී ලාංකික තරුණ සමාජයෙන් ඉල්ලා සිටියේ තමන්ගේ තරුණ ජවය ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාවට යොදවන ලෙසයි. එසේම විවිධ ආබාධ නිසා පීඩාවට පත් විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන්ටත් තරුණ සමාජය කාරුණිකව උදව් කළ යුතුයි. එඩ්වඩ් කුමරු අවධාරණය කළේය. මෙම සම්මාන උළෙලේ දී තරුණ තරුණියන් විශාල පිරිසක් රජ කුමරු අතින් සිය සම්මාන ලබාගත්හ.

පසුගියදා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අර්ජුන ඇලෝෂියස් සහ කසුන් පලිසේන රිමාන්ඩ් භාරයේ රඳවනු ලැබ සිටිති. ලබන 16 දා දක්වා ඔවුන් බන්ධනාගාරගත කර තිබේ. බන්ධනාගාරයේ දී විශේෂ වාට්ටුවක රඳවා සිටින ඇලෝෂියස් හා පලිසේනට විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබේ. ඔවුනට විශේෂ පහසුකමක් සපයා නැති බවත් නිදාගන්නට පැදුරක්, මෙට්ටයක් පමණක් සපයා දුන් බවත් බන්ධනාගාර බලධරයෝ මාධ්‍යයට කීහ. එදිනම ඩුබායි ගුවන් තොටුපොළේ දී තවත් විශේෂිත පුද්ගලයකු පිළිබඳ පුවතක් වාර්තාවිය. ඒ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ගැනයි. ඔහු ප්‍රශ්නයට මුහුණදුන්නේ  පසුගිය රජය කාලයේ සිදුවූවා යැයි කියන මිග් යානා ගනුදෙනුවක් නිසාය. ඩුබායි රජය මගින් රඳවාගත් උදයංග ශ්‍රී ලංකාවට ගෙන ඒමට මුල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන් පිරිසක් පසුගිය සතියේ ඩුබායි බලා පිටත්ව ගියහ. එහෙත් උදයංග වීරතුංග ඒ වනවිට සිය ෆේස් බුක් ගිණුම මගින් ප්‍රකාශ කර තිබුණේ ඩුබායි බලධරයන්ගෙන් තමන් නිදහස ලත් බවය. තමන්ට එරෙහි වරෙන්තුවක් නැති වගද ඔහු සඳහන් කර තිබිණි. 

උදයංග ෙග් සිද්ධියත් සමඟ මෙම මිග් යානා ගනුදෙනුව ගැන නම සඳහන් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකා එක්සත් ජනපදයේ සිට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දැන් වහාම කළ යුත්තේ උදයංග වීරතුංග මහතා විසින් මිග් ගනුදෙනුව සම්බන්ධව නිවැරදි තොරතුරු සාක්ෂියන් මගින් ලබාදීම බවයි. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත රටට හෙළිදරව් වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කීය.

එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාර අමාත්‍ය උපදේශක පදවිය දරන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් කිරීමට විදේශ අමාත්‍යාංශය ගිය සතියේ තීන්දු කළේය. ඊට හේතු වූයේ පසුගිය නිදහස් දිනයේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට කොටි හිතවාදීන් පැවැත්වූ උද්ඝෝෂණයකදී ඔවුනට හස්ත මුද්‍රාවෙන් තර්ජනය කළ බවට එල්ල වූ චෝදනාවකි. මේ ගැන බ්‍රිතාන්‍ය මාධ්‍ය ද දැඩි අවධානයක් දැක්වූ අතර කොටි හිතවාදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු ද විවිධ සංවිධාන ද මෙය මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළේය. ඒ ගැන චෝදනා නැගෙද්දී විදේශ අමාත්‍යාංශය කළේ වහාම මෙම නිලධරයාගේ වැඩ තහනම් කිරීමයි.

එය මෙරට දේශපාලනය කැළඹූ සිද්ධියක් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම තවත් දේශපාලනඥයෝ ගණනාවක් ද ඊට විරෝධය පළ කළේ මෙය පරීක්ෂණයකින් තොරව කළ වැඩ තහනමක් බව කියමිනි. යුද හමුදාපතිවරයා ද කීවේ මාධ්‍යයක පින්තූරයක් පළ වූ පමණනින් වැඩ තහනම් කිරීම නුසුදුසු බවයි.

මේ ගැන ජනාධිපතිවරයාට තොරතුරු වාර්තා වීමත් සමඟ ඔහු කළේ වහාම බ්‍රිගේඩියර් ප්‍රියංකට දුරකතන ඇමතුමක් ගෙන කරුණු විමසීමයි. අනතුරුව විදේශ අමාත්‍යවරයා වන තිලක් මාරපන මහතාට කතා කොට මෙය තමන් අනුමත නොකරන තීන්දුවක් බව කියා වහාම බ්‍රිගේඩියර්වරයා නැවත සේවයේ පිහිටුවන ලෙස නියෝග කළේය. ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්නට ද මේ ගැන දොස් කී ජනාධිපතිවරයා වහාම බ්‍රිගේඩියර් ප්‍රනාන්දු නැවත සේවයේ පිහිටුවන ලෙස දැන්වීය. ඒ අනුව වැඩ තහනමට ලක් වූ බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම පැය ගණනක් තුළ ඉවත් වූ අතර ඔහු නැවත සේවයේ පිහිටුවනු ලැබීය.

 


► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර