2017 ජනවාරි 08 වන ඉරිදා

සාමයට ළැදි අලුත් මහලේකම්

 2017 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 10:37 185

එක්සත් ජාතීන්ගේ මහ පුටුවට පෘතුගාලයේ හිටපු අගමැතිවරයකු සහ අන්තර්ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස නමක් දිනාගත් අන්තෝනියෝ ගුටරේස් පත්විය.  ලෝකයේ බොහෝ දෙනා සිතා සිටි අන්දමට මෙවර මහලේකම් තනතුරට කාන්තාවක් හෝ නැගෙනහිර යුරෝපීය රටක රාජ්‍ය තාන්ත්‍රිකයකු පත්වනු වෙනුවට ගුටරේස් එම තනතුරට පත්වීම දැන් බොහෝ කතාබහට ලක්ව ඇති කාරණයක් බවට පත්ව තිබේ. ගුටරේස් අලුත් පන්නයේ අදහස් දරන නිදහස් මතධාරී, පීඩිතයන්ගේ වේදනාව දන්නා කියන පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියක් දිනා සිටියි. ඔහුගේ පත්වීමත් සමඟ තමන්ගේ දෙවැනියා ලෙස කාන්තාවක තෝරා ගැනීමට කටයුතු කිරීමෙන් තමන් සම්ප්‍රදායික බැම්මෙන් මිදී නිදහස්ව සහ පුළුල්ව සිතන කෙනෙකු බව ඔහු පෙන්වා දී තිබේ.

අන්තෝනියෝ ගුටරේස්ගේ පත්වීම හොඳින්ම විග්‍රහ කර ඇත්තේ යුරෝපා කවුන්සලයේ එක්සත් ජාතීන්ගේ විදෙස් කටයුතු පිළිබඳ විශේෂඥයකු වන රිචර්ඩ් ගෝවන් ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හොඳින් පණගසා එන්නට එහි පස්ස පැත්තට ලැබිය යුතුව තිබූ නියම පා පහර ගුටරේස් වෙතින් ලැබෙනු ඇති බවටය.

 කානේෂන් විප්ලවයේ පංගුකාරයෙක් 

ලිස්බන් නගරයේ 1949 දී උපන් ගුටරේස් භෞතික විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව මූලිකව අධ්‍යයනය කළ අතර 1965 දී සමත්වූයේ එවර රටේ හොඳම සිසුවාට හිමි ලයිසියම් සම්මානයද දිනා ගනිමිනි. 1971 දී ඉහළ උපාධිය දිනා ඔහු සහකාර මහාචාර්යවරයකු ලෙස කටයුතු ඇරැඹුවේය. ඔහුගේ දේශපාලන සබඳතාවන් ඇරැඹෙන්නේ 1974 දීය.

සමාජවාදී පක්ෂයට බැඳීමත් සමඟය. පක්ෂයට සම්බන්ධ වූ ටික කලකින්ම සිය අධ්‍යාපනික වැඩ කටයුතු අතහැර දමන ඔහු දේශපාලනය වෙත මුළුමනින්ම කැපවන්නට කටයුතු කළේය. 

1974 අප්‍රේල් 25 පෘතුගාලයේ සිදුවූ කානේෂන් විප්ලවයේ පංගුකාරයකු බවට පත්වූ ගුටරේස් ඒ සටනේ සමාජවාදී පක්ෂයේ ඉහළ තනතුරු රුසක්ම දැරුවේය. යුරෝපා සංගමය සමඟ පෘතුගාලය එක් කිරීමට අවශ්‍ය සම්මුතීන් සැකසීමටද මූලිකත්වය ගත් ඔහු පෘතුගාල සරණාගත කවුන්සලයේ ආරම්භක සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.
හතරවැනි වරටත් බලයට එන්නට තැත් දැරූ කවානෝ සිල්වා පරාජය කරමින් පෘතුගාල අගමැති ධුරයට පත්වන්නට 1995 දී සමත්වූ ඔහු 2002 දක්වා එහි රැඳෙමින් රට තුළ වෙනස්කම් රැසක් සිදුකළේය. යුරෝපා සංගමයට පෑහෙන ලෙස රටේ අයවැය ගළපා ගන්නටත්, දරිද්‍රතාව පහළ දමන්නටත් අධ්‍යාපනයට වැඩි බරක් යොදවන්නටත් කටයුතු කළ ඔහු යුරෝපා සංගමයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අගමැතිවරුන් හත්දෙනා අතරට එක්වූයේය.

ගුටරේස් තමන්ගේ රටේ තමන්ට පෙර සිටි සියලු අගමැතිවරුන්ට වඩා වෙනස් තැනැත්තෙකු වූයේ විවිධ මත දරන අය සමඟ සාකච්ඡාවෙන් සම්මුතියෙන් කටයුතු කරන්නට පෙළැඹුණු හෙයිනි. ඔහුගේ මුල් පාලන කාලය තුළ අයවැය පරතරය අවම කිරීමටත්, පොදු සහන සේවා සමාජ සුබසාධන කටයුතු ඉහළ නැංවීමටත් ක්‍රියාකළ අතර පෘතුගාලයේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇතිකිරීමටද හැකියාව දැරුවේය. ඔහුගේ රජය ඇරුඹූ පෞද්ගලිකකරණ වැඩ පිළිවෙළද ඉතා ජනප්‍රිය විය. 1996-99 දක්වා පමණක් රාජ්‍ය ආයතන 29ක් පෞද්ගලිකකරණයට ලක්විණි.

 සිව් භාෂා ප්‍රවීණයෙක් 

නවීන ආකාරයට හිතන නිදහස් මතධාරියකු සහ අන් මත ඉවසන සුළු පුද්ගලයකු ලෙස ප්‍රකට ගුටරේස්ගේ පත්වීම සමඟ ඔහු යටතේ ඉදිරි දස වසරක කාලය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අපූරු වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි ලෝකය තුළ බලාපොරොත්තු මතුව තිබේ. පසුගිය ඉරිදා සිය තනතුර භාරගත් අවස්ථාවේ ඔහු සැමගෙන් ඉල්ලා තිබුණේ එකමුතුව එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් එක්සත් ජාතීන්ගේ අරමුණු ජයගැනීමට කටයුතු කරමු කියාය. ලෝකයේ දැනට ඇති ප්‍රධානම ගැටලු ලෙස තැන තැන හටගෙන ඇති යුදමය ගැටුම් සහ දිනෙන් දින ඉහළ යන සරණාගත ප්‍රශ්නය තමන් හඳුනාගන ඇති බව ගුටාරේස් කියා තිබුණි. ඔහු සිය පාලන කාලය තුළ එකී ගැටලුවලට සාධාරණ විසඳුම් සමඟ ලෝක සාමය ළඟා කරදීමට කටයුතු කිරීමට සූදානම්ව සිටී.

පෘතුගීසි, ස්පාඤ්ඤා, ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවන්හි චතුර බවක් දැක්වූ ඔහු 2002 අගමැති ධුරයෙන් සමුගත් පසු අන්තර්ජාතික රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්වූයේය. ඒ අනුව 2005 දී එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් ධුරයට පත්විය. ඔහුගේ ධුර කාලය තුළදී ජිනීවාහි UNHCR ප්‍රධාන කාර්යාලයේද වෙනස්කම් රැසක් ඇතිවිය. කාර්යාලය  අයිතිකරගෙන මෙන් සිටි බොහෝ දෙනාට ගෙදර යන්නට සිදුවිය. ඒ වෙනුවට ලෝකයේ විවිධ ආපදාවන්ට මුහුණ දී තිබෙන ප්‍රදේශවල සේවයට අලුතෙන් ක්‍රියාකාරී පිරිස යොදාගන්නට යෙදිණි. ඔහුගේ කාලය තුළදී ලෝකයේ අමෙරිකාව ප්‍රමුඛ ධනවත් රටවල ආධාර වැඩි වැඩියෙන් ගැටුම්කාරී සහ අවදානම් තත්ත්වවලට මුහුණ දුන් රටවලට ලබාදීමට කටයුතු කළේය. අනාථයන් ගැන තමන්ගේ අදහස් ඔහු පසුගිය වසරේ Time සඟරාවට මෙසේ කියා තිබුණි.

තමන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා මිනිසුන් රටකින් රටකට පලායාම අපට නවත්වන්නට බැහැ. අප කොයිතරම් දුරට මානුෂික ලෙස ඔවුන් පිළිගන්නවාද යන කාරණයයි මෙහිදී වඩාත් වැදගත්. සරණාගත කොමිසමේ වැඩකටයුතු තමන්ට මහලේකම් පුටුව සඳහා හොඳ පන්නරයක් වූ බව ඔහු කියා තිබුණි. ලෝකයේ දිනෙන් දිනම ගැටුම්කාරී තත්ත්ව ඉහළ යන බවත් ඒවාට විසඳුම් සෙවීම එන්න එන්නම අසීරැ වන බවත් ඔහු පෙන්වා දී තිබේ. මේ නිසා සැවොම එකතු වී ලෝක සාමය උදාකර ගැනීමට පොදු ජවයකින් කටයුතු කළ යුතු බව නව මහලේකම්වරයා පෙන්වා දී තිබේ. ගුටරේස් සිය රටේ ඇතිකළ ලිබරල් නිදහස සහ එහි ප්‍රතිලාභ එලෙසින්ම ලෝකය වෙත ළඟාකර දීමට කෙතරම් දුරකට සමත්වේද යන්න ඉදිරියේදී ඉවසීමෙන් යුතුව බලා සිටියයුතු තත්ත්වයකි.

♦ සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00