2017 ජනවාරි 07 වන සෙනසුරාදා

උදම්මිට සමරේ ඝාතකෙයා් මාට්ටු

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 319

 

පාතාලයේ කිරුළු දැරූවෝ බොහෝ වෙති. එසේ කිරුළු දරා පරලොව ගියෝද බොහෝ වෙති. ඒ නිසා පාතාලයට නිශ්චිත නායකයෝ නැත. පාතාලයට නිශ්චිත සාමාජිකයෝද නැත. පාතාලයේ ආවෝ ගියෝ මිස හිටියෝ නැත. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ එසේ පාතාලයේ රජකර සිය පාතාල මිතුරා අතින්ම ඝාතනය වූ ජනක සමරදිවාකර නොහොත් උදම්මිට සමරේ ගැනය.

සමරේ යනු වේයන්ගොඩ උදම්මිට ගමේ උපන් අයෙකි. හොඳ පවුල් පසුබිමකට උරුමකම් කිව්වත් සමරේ හරි හැටි අධ්‍යාපනයක් ලැබුවේ නැත. මේ නිසාම නොයෙකුත් වැඩ කරමින් සිටි සමරේ 2001  වසරේදී දේශපාලනඥයකුගේ සහයෙන් ලංගම රියදුරකු ලෙස සේවයට යන්නේ එතෙක් රස්තියාදු ගහමින් සිටි ජීවිතයට සමුදෙමිනි. එසේ ගිය සමරේ වැඩිකලක් සේවය කළේ නැත. නිට්ටඹුව නගරයේ බස් රථ කාලසටහන් නිසා නිතර ඇති වූ ගැටුම් හේතුවෙන් සමරේ බස් ධාවනයෙන් ඉවත්වුණේ නිට්ටඹුව නගරයේ නමගිය චණ්ඩියකු ලෙසිනි.

රැකියාවෙන් ඉවත්වූ සමරේ ඊට පසුව කුඹුරු කොටමින් කාලය ගෙවූ අතර මේ අතර එක් දිනක් හරකකු නිසා එම ප්‍රදේශයේම අයකු වන බෝලවත්තේ සමන් සමඟ ගැටුමක් ඇති කරගත්තේය. මේ නිසා සමන් සමරෙට පහරදුන් අතර ඒ ලජ්ජාව හිත දරාගෙන සිටි සමරේ දිනක් සිය ගෝලයාත් රැගෙන සමන් සොයාගෙන ගියේය. ඒ පිස්තෝලයක්ද පිහියක්ද රැගෙනය. සමන් දුටු සැණින් ගෝලයා පිහිය ගෙන සමන්ට අනින්නට උත්සහ ගත් අතර සමන් පිහිය උදුරා ගෙන සමරේ ඉදිරිපිට ගෝලයාට ඇන ඝාතනය කළේය. මේ දුටු සැණින් සමරේ පැන දිව්වේය.

මෙම සිද්ධිය හේතුවෙන් සමන් සහ සමරේ යන දෙදෙනාම බන්ධනාගාර ගතවූහ. එසේ බන්ධනාගාරයේ සිටින විට සමරේට පාතාලයේ තවත් කෙරුමකු හමුවිය. ඔහු එවකට පාතාල නායකයකු වූ නේවි රුවන්ය. නේවි රුවන් සමඟ මිතුරු වූ සමරේට අලුත් යෝජනාවක් රුවන්ගෙන් ආවේය. එනම් ඔහුට අයත් ගිනි අවි සැඟවීම සඳහා සමරේගෙන් සහාය ඉල්ලාය. පාතාලයේ කෙරුමකු වීමට හීන දකිමින් සිටි සමරේ දෙවතාවක් නොසිතා එම අභියෝගය බාරගත්තේය. ඒ අනුව රුවන්ගේ සියලු ගිනි අවි සමරේට අයත් වතු පිටිවල පස් අස්සේ යටවිය.

කෙසේ වෙතත් මේ අතරතුර නේවි රුවන් මිරිහානේ පාතාල මර්නද ඒකකයට කොටුවූයේ ඒ වනවිටත් කොල්ලකෑම් සහ ඝාතන රැසකට අවශ්‍යව සිටි පාතාල නායකයකු ලෙසය. එසේ අත්අඩංගුවට ගත් රුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන අතරතුර රුවන් හෙළිදරව් කළේ තමන්ට අයත් ආයුධ උදම්මිට සමරේ සන්තකයේ ඇති බව කියාය. එම තොරතුරත් සමඟ පාතාල නායකයකුගේ ගිනි අවි සඳහා ආරක්ෂාව ලබාදීමේ චෝදනාව මත සමරේ අත්අඩංගුවට පත්විය. සමරේ අත්අඩංගුවට ගත්තත් රුවන්ගේ ගිනි අවි ලැබුණේ එකක් දෙකක් පමණි. අනෙක් සියලු ගිනි අවි පාතාලයේ භාෂාවෙන් ගල්විය.

කෙසේ වෙතත් මේ කාලයේ රුවන් පොලීසිය අතින් මියයන අතර රුවන්ගේ ආයුධ ළඟ තබාගැනීමේ චෝදනා මත සමරේ බන්ධනාගාර ගතවිය. ඒ මැගසින් බන්ධනාගාරය තුළය.

මැගසින් බන්ධනාගාරය වෙත එන සමරේට මෙවර තවත් අලුත් කණ්ඩායමක් මිතුරු විය. ඒ 2010 වසරේ සිදුවූ කෝටි 07 මංකොල්ලයේ කණ්ඩායමය. සිගරට් වෑන් රථයක් කොල්ලකාගෙන ගොස් මෙම කෝටි හතේ කොල්ලය සිදුකර තිබූ අතර මේ සඳහා වේයන්ගොඩ චාමර, ගණේමුල්ලේ සංජීව, අමුණුගොඩ සංජීව, චානක, නිමන්ත යන කොටුවී සිටියහ. මෙහිදී සමරේ සමඟ මිතුරු වූයේ චාමරය. ඒ ගමේකම නිසාය.
කෙසේ වෙතත් මේ අතරතුර 2010 ජූනි 1 වැනිදා නිට්ටඹුව නගරයේ වෙළෙඳ සංගමයේ සභාපති සුරංග පීරිස් ඝාතනය වන්නේ නාඳුනන තුවක්කුකරුවෙකු අතිනි. ඒ එවකට සිටි එක්තරා අන්ත අසරණ දේශපාලනඥයකු සමඟ ඇති කරගත් ගැටුමක් නිසාය. එහෙත් දේශපාලන බලය නිසා ඒ ඝාතනය ගැන පොලීසිය හෙව්වේ නැත.

මේ අතරතුර සමරේත් කෝටි හතේ පිරිසත් එළියට එන්නේ ඇප ලැබීමත් සමඟය. එසේ එළියට පැමිණි විගස චාමරලා සංජීවලා ඇතුළු පිරිස දෙමටගොඩ චමින්දට වෙඩි තබන්ට ගොස් වැඩේ වරද්දා ගත්හ. 2012 වසරේදී මෙය සිදුවන අතර චාමර ඇතුළු පිරිස චමින්ද ඝාතනය කරන්නට පැමිණියත් වැඩේ ගැස්සී ගොස් චමින්ද පාර්ශයෙන් එල්ලවූ ප්‍රහාර නිසා චාමරගේ මිතුරකු වන සුජීවට පරලොව යන්නට විය. එම සිද්ධියෙන් පසුව ටී 56 ගිනි අවි දෙකක් සමඟ අතුරුදන්වන චාමර හොයාන්නටවත් හැකි වුණේ නැත.

කෙසේ වෙතත් මේ අතරතුර තවත් කොන්ත්‍රාත් ඝාතනයක් හලාවතදී සිදුවිය. ඒ කොතල හිඹුටු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමක්ය. මේ සඳහා කොටුවුණේ එවකට පළාත් සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසකි. එහිදී අදාළ ටී56 ගිනි අවියද සොයා ගැනීමට පොලීසියට හැකිවිය.

එම ඝාතනයන් සිදුවන අතර තුර නිට්ටඹුව වෙළෙඳ සංඟමයේ සභාපති ඝාතනයේ පරීක්ෂණ රහස් පොලීසිය ආරම්භ කළේය. ඒ 2013 වසරේදීය. එහිදී ගිනි අවි ලබාදීමට පළමුව කොටුවුණේ සමරේය. ඒ අනුව සමරේ අල්ලන්නට රහස් පොලීසිය නි‍ෙවසට ගියේය. ඒ බව දැනගත් සමරේ පැනගොස් සැඟවුණේ ප්‍රදේශයේ දේශපාලකයාගේ ගෙදරය. ඒ අනුව සමරේ බේරාගැනීමට පළමු දුරකථන ඇමතුම දේශපාලකයාගෙන් ලැබුණේ එවකට ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාටය. ඔහු සමරේ බේරාගැනීමට උත්සාහ කළත් වැඩේ හරි ගියේ නැත. අවසානයේ සමරේ රහස් පොලීසියට කොටුවිය. එපමණක් නොව ප්‍රාදේශීය දේශපාලකයෙක්ද එයට හසුවිය.

සමරේ අත්අඩංගුවට ගත්තත් ඝාතනයට යොදාගත් ගිනි අවිය හසු වුණේ නැත. සමරේ කී පරිදි අදාළ ගිනි අවිය සුරංග ඝාතනයෙන් පසුව නැවත ලැබුණේ නැතිබව සඳහන් විය. ඒ ඔහු සුරංග ඝාතනය වන විට බන්ධනාගරයේ සිටි නිසාය. කෙසේ වෙතත් අවසානයේ හෙළි වුණේ එම ටී56 ගිනි අවිය හලාවත කොතල හිඹුටු ව්‍යාපාරිකයා ඝාතනයටද යොදාගෙන ඇති බවය. එකම අවියෙන් ඝාතන දෙක සිදුකර ඇති බව හෙළිවිය.

ඒ අනුව සුරංග ඝාතනයට සමරේ බන්ධනාගාර ගතවිය. එසේ බන්ධනාගාර හතවු සමරේ බැලීමට තම අතිජාත මිත්‍රයා වූ චාමර නිතර බන්ධනාගාරයට එන්න යන්නට විය. කෙසේ වෙතත් සමරේට 2015 වසරේදී ඇප ලැබුණි. එසේ පැමිණි සමරේට රස්සාවක් තිබුණේද නැත. කිසිම දවසක කුඩු, ගංජා, කසිප්පු නොබිව් සමරේ එවැනි ව්‍යාපාරවලට එක්වීමටද කැමැත්තක් දැක්වුයේ නැත. ඒ නිසාම ව්‍යාපාරයක් කිරීමට සමරේ දිනක් චාමරට යෝජනා කළේය.

ඒ වරකාපොළ ප්‍රදේශයේ පිහිටි අක්කර සියයක් තිබෙන ඇටනා රඹුටන් වත්ත බදුගෙන ව්‍යපාර ක්ෂේත්‍රයට අත ගැසීමය. එයට චාමර කැමතිවිය. ඒ අනුව චාමර තම බිරියගේ බැංකු පොතින් ලක්ෂ හතහමාරක් ගෙන අදාළ ව්‍යාපාරයට යෙදෙව්වේය. ඒ සඳහා නිට්ටඹුව බත් කඩේක අයෙක්ද, තවත් කාර් සේල් හිමිකරුවෙක්ද මුදල් දැමූහ. කිහිප දෙනකු මුදල් යෙදූවත් හිමිකම තිබුණේ සමරේගේ නමටය. ඒ පිළිබඳව අනෙක් පිරිසට ගැටලුවක් තිබුණේ නැත.

මේ අතරතුර සමරේ අලුත් මෝටර් රථයක් මිලදී ගත්තේය. එය මිලදී ගෙන භාරදුන්නේ චාමරටය. ඒ චාමරට රඹුටන් වත්තට නිතර දෙවෙලේ යන්න එන්න පහසුවීම සඳහාය. මේ නිසා චාමර නිතර වරකාපොළ ආවා ගියේය. මේ අතරතුර රඹුටන් වත්තේ පළමු මුරය කැඩුණි. ආදායම කෝටි එකහමාරක් විය. එම මුදල සමරේ විසින් පිරිස අතර බෙදුවත් චාමරට මුදල් දුන්නේ නැත. ඒ පිළිබඳව චාමර විමසුවත් සමරේ කීවේ පසු කලෙක ලබාදෙන බවය. එසේ කියූ පසු චාමර නැවත විමසුවේ නැත.

මේ අතරතුර සමරේ තවත් මෝටර් රථයක් ගත්තේය. ඒ කෙනකු විසින් උකස් කළ නිසාය. එසේ ලබාගත් මෝටර් රථය චාමරට ලබාදුන් අතර චාමර පැදවූ මෝටර් රථය සමරේ ගත්තේය. එම උකසට ගත් මෝටර් රථය වැඩි කලක් යන්නට පෙර හිමිකරු සොයාගෙන ආවේ උකස බේරා රැගෙන යන්නටය. එහෙත් සමරේ එයට විරැද්ධ විය. සමරේ ඒ සෑම විටම කීවේ මෝටර් රථය වෙනත් අයකු විසින් රුගෙන ගොස් ඇති බවකි. මේ නිසා හිමිකරු නිතර සමරේ සොයාගෙන ආවේය.

දිනක් ඒ හිමිකරු සමරේගේ නිවෙසේ සිටින විට චාමර කොහේදෝ සිට මෝටර් රථයෙන් සමරේගේ නිවසට ආවේය. මෙය සමරේත් මෝටර් රථයේ හිමිකරුත් දැක්කේය. හිමිකරු දුටු සැණින් චාමර මෝටර් රථය නැවත හරවා පැන ගියේය. එහෙත් ඒවන විටත් දකින්නට ඕන දේ දැක හමාරවී තිබුණේය. මේ නිසා හිමිකරු සමරේට බැණ වැදී පොලීසි යන බව කීවේය. මේ නිසා කෝපයට පත් සමරේ දුරකථනයෙන් චාමර අමතා තිත්ත වචනයෙන් ආමන්ත්‍රණය කළේය. මඳක් වේලා ඉවසා සිටි චාමරද සමරේට, සමරේගේ භාෂාවෙන්ම පිළිතුරු දුන්නේය. එසේ පිළිතුරු දී මෝටර් රථය සමරේගේ හිතවත් ගරාජයකට දමා යන්නට ගියේය.

කාලය ක්‍රම ක්‍රමයෙන් ගතවීමත් සමඟ චාමරගේ බිරිය චාමරට බලකරමින් කියා සිටියේ හැකි ඉක්මනින් සමරේට දුන් මුදල් ඉල්ලා දෙන ලෙස කියාය. එහෙත් චාමර නැවත සමරේට කතා කරන්නට ගියේ නැත.

චාමර මඟ හැරියත් දිනක් චාමරගේ බිරිය නිවෙසට ගොස් සමරේගේ සහෝදරියන්ගෙන් මුදල් ඉල්ලුවාය. එහෙත් සමරේගේ සහෝදරියෝ බැණ වදිමින් නැවත මුදල් නොදෙන බවත් පුළුවන්නම් ලබාගන්නා ලෙසත් කියා ඇය නිවසින් එළියට දැමූහ. මේ සිද්ධිය චාමරගේ බිරිය චාමරට කීවාය. මේ නිසා තව තවත් සමරේ සමඟ චාමරගේ තිබූ වෛරය ඉහළ ගියේය. අවසානයේ චාමර තීරණයක් ගත්තේය. ඒ සමරේට මරණ සහතිකය ලබාදීමටය.

ඒ අනුව චාමර පළමු ඇමතුම තම අතිජාත මිත්‍ර ගණේමුල්ලේ සංජීවට ගත්තේය. සංජීව එවිට සිටියේ බන්ධනාගාරයේය. ඒ දෙමටගොඩ චමින්ද අධිකරණයේ සිට බන්ධනාගාරයට යමින් සිටින අතර තුර බන්ධනාගාර බස්‍ රථය දෙමටගොඩ ප්‍රදේශයේදී හරස් කොට එයට වෙඩි තැබීමේ සිද්ධියට චෝදානකරුවකු වෙමිනි.

කෙසේ වෙතත් චාමර විසින් ඉල්ලීම් තුනක් සංජීවට යොමු කළේය. එකක් සමරේ ඝාතනයට ආයුධ දෙකකි. අනෙක ඒ සඳහා යාමට මෝටර් රථයකි. ඊළඟ එක වූයේ ඒ සඳහා අවශ්‍ය වෙඩික්කරුවෙකි. ඒ තුනම සංජීව ලබාදීමට පොරොන්දු විය. ඒ අනුව සංජීව වෙඩික්කරු ලබාදුන්නේය. එම වෙඩික්කරු සංජීවගේ නි‍ෙවසට පැමිණියේ ඝාතනයට සතියකට පෙරය. මීළඟ ගිනි අවි දෙක ගම්පහ උඩුගම්පල ප්‍රදේශයට සංජීවගේ ගෝලයකු විසින් ගෙනත් දුන්නේය. එකක් ටී56 කි. අනෙක 38 වර්ගයේ රිවෝල්වරයකි. අවසාන පොරොන්දුව වූ මෝටර් රථය කඳාන ප්‍රදේශයෙන් ලැබුණේය.

ඒ අනුව ඝාතනයට දිනය යොදාගත්තේ 24 වැනිදාය. එයට හේතු වුයේ සමරේගේ මහප්පාගේ මළගෙදර තිබූ නිසාය. එදින දානයට අවශ්‍ය අඩුම කුඩුම සොයාගෙන සමරේ වේයන්ගොඩ ආර්ථිකයට යන බව චාමර දැන සිටියේය. මේ නිසා වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළදී ඝාතනය කිරීමට තීන්දු විය.

ඒ අනුව එදින රාත්‍රීයේදී චාමර ඔත්තු බැලීමට යතුරු පැදියක නැගී වේයන්ගොඩ ආර්ථිකය තුළ සිටියේය. මෝටර් රථය තුළ වෙඩික්කරැත් චාමරගේ මල්ලිත් සිටියහ. ඔවුන් සන්තකයේ ටී 56 ය. චාමර ළඟ රිවෝල්වරයය.

සමරේ පිරිසක් සමඟ ඇවිත් එළවළු ගෙන මෝටර් රථයට ගොඩවුණේ යාම සඳහාය. සමරේ රියදුරු අසුනේ විය. චාමර මෙය දැක සහෝදරයාට ඇමතුමක් ලබාදී පැවසුවේ සමරේ රියදුරු අසුනේ සිටින නිසා ආර්ථිකයෙන් එළියට දමන සැණින් වෙඩි තබන ලෙසය. එසේ කියා චාමර සමරේගේ මෝටර් රථය පිටුපසින් ආවේය. මෝටර් රථය ආර්ථිකයෙන් එළියට දැම්මත් වෙඩි තැබුවේ නැත. ඒ වෙනුවට මෝටර් රථය පසු පස පිරිස ගියහ. එසේ ගොස් මෝටර් රථය දුම්රිය හරස් පාර ඔස්සේ ඉදිරියට යන විට චාමරලාගේ මෝටර් රථය ඉදිරියට ගෙන සමරේට එකදිගට වෙඩි වරුසාවක් එල්ල කළහ. ඒත් සමඟ චාමරද ඉදිරියට පැමිණ වෙඩි තැබුවේය.

ක්ෂණයකින් චාමර විදුලිවේගයෙන් නි‍ෙවසට ආවේය. වෙඩික්කරු සහ මෝටර් රථය පොළොන්නරුව බලා පිටත් විය. ඊට පෙර චාමර ගිනි අවි දෙකම අතට ගත්තේය. එසේ ගත්තේ නැවත භාරදිය යුතු නිසාය.

චාමර නි‍ෙවසට පැමිණි සිටින විට රාත්‍රීයේම සිදූවු දෙය සැලවිය. සැලවුවා පමණක් නොව චාමර සමරේගේ මළගෙදරද ගියේය. ඒ සැකය වෙනත් තැනකට හැරවීමේ අරමුණෙනි. එහෙත් අවසානයේ පොලීසියට ලද තොරතුරක් මත චාමරගේ සහෝදරයා කොටුවිය. එපමණක් නොව ඔහුගේ වැමෑරීම් මත පසුව චාමරද කොටුවිය. එහෙත් වෙඩික්කරු ආගිය අතක් නැත. එපමණක් නොව ගිනි අවිවලටද සිදුවූ දෙයක් නැත. දැන් පොලීසිය හොයන්නේ වෙඩික්කරු සමඟ ගිනි අවිය.

කෙසේ වෙතත් අවසානයේ පාතාලයේ කිරුළු පළඳින්නට ගිය සමරේට සිදුවූයේ තමන්ගේම මිත්‍රයාට කියා මරණ සහතිකය ලියා ගැනීමටය. එය පුදුමයක් නොව ඒ පාතාලයේ එක් නියමයකි.

මෙම සිද්ධියේ පරීක්ෂණ සහ අත්අඩංගුවට ගැනීම් බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ අධීක්ෂණය මත බස්නාහිර උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි සමුද්‍රජීව මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ජයන්ත දහනායක මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. පියසිරිට ලද තොරතුරු මත 48856 ශාන්තලාල්, 15383 සුජීව, 70133 චමින්ද, 48949 නන්දන, 36968 විජේසිංහ, පොලිස් රියදුරු 1457 ජානක යන අය විසින් සිදුකර ඇත.

රෙහාන් රාසික්
සේයාරූ I කැලුම් චම්පික

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00