2017 ජනවාරි 07 වන සෙනසුරාදා

මිනිස් සිරුරේ සැඟව තිබූ තවත් අවයවයක් සොයාගනියි

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 606

ඔබේ සිරුර සෑදී ඇති අවයව ගොන්නට තවත් අවයවයක් අලුතෙන් එක්ව තිබේ. ඒ අනුව හම, හෘදය, මොළය, පෙනහළු, අක්මාව ආදී ලෙස මිනිස් සිරුර සෑදි ඇති අවයව 78 දැන් 79ක් බවට පත්ව ඇත. අලුතෙන් එක් වී ඇති මේ අවයවය හැඳින්වෙන්නේ මධ්‍යාන්ත්‍රිකය හෙවත් Mesentery ලෙසිනි. නමුත් මේ අවයවය මිනිසා බිහිවූ දා සිටම සිරුර තුළ තිබූ එකකි.

පසුගිය නොවැම්බර් මස The Lancet නැමැති විද්‍යාත්මක සඟරාවට අයර්ලන්ත ජාතික වෛද්‍ය මහාචාර්ය කැල්වින් කොෆේ සහ ආචාර්ය ඩී. පීටර් ඕලීරි විසින් මධ්‍යාන්ත්‍රකය නව අවයවයක් ලෙස වර්ගීකරණය කරමින් ඉදිරිපත් කළ පරික්ෂණ වාර්තාවකට අනුව මේ හඳුන්වාදීම කර ඇත. මේ අනුව ලෝකයේ ඇති ප්‍රමුඛ පෙලේ Gray’s Anatomy වැනි වෛද්‍ය විද්‍යා පොත් ඒවායේ නව සංස්කරණ නිකුත් කිරීමද අරඹා හමාරය.

මධ්‍යාන්ත්‍රිකය Mesentery නොමැතිනම් මිනිසාගේ බඩවැල් ආමාශය තුළ එක තැනක නොපිහිටා ඒමේ අත විසිර යන්නට තිබුණි. ඒ කියන්නේ එය බඩවැල් ගොනු කරගත් මල්ලකි. එමගින් බඩවැල් අමාශයට ගැටගසා තැබීමද සිදුවෙයි. මිනිසකු ලෙස පරිනාමය තුළ කෙලින් ඇවිදයාමේ හැකියාව ලබාදෙන්නට ඒ නිසාම මධ්‍යාන්ත්‍රිකය ඉටුකර ඇත්තේ සුළුපටු මෙහෙවරක් නොවේ. මෙතෙක් කලක් එය හැඳින්වූයේ සාමාන්‍ය සම්බන්ධක පටලයක් ලෙසිනි. එහෙත් දැන් තත්ත්වය වෙනස් වී තිබේ. දැන් එය මිනිස් සිරුරේ 79 වැනි අවයවය ලෙස වෙන්කර හඳුනාගෙන තිබේ.

මධ්‍යාන්ත්‍රිකය මෙසේ අලුතින් නම් කිරීම පිළිබඳව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ උදර හා අන්ත්‍ර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බවන්ත ගමගේ දේශයට මෙසේ අදහස් දැක්වූයේය.

මධ්‍යාන්ත්‍රිකය අවුරුදු සිය ගණනක් තිස්සේ වෛද්‍ය විද්‍යාව තුළ හඳුනාගෙන තිබූ බඩවැල්වලට ආධාරකයක් ලෙස ක්‍රියාකරණ පටකයක්. එමගින් හොඳ රුධිර වහනයක් අන්ත්‍රවලට ලබාදීම සිදුකරනවා. ඒ වගේම යම්කිසි ආසාදන තත්ත්වවලදී ඒවා වෙනත් තැන්වලට පැතිරයාම වැළැක්වීමටත් එය ක්‍රියාකරනවා. නමුත් දැන් මේ විද්‍යාඥයන් පෙන්වා දී තිබෙන්නේ එය වෙතට අවයවයක් ලෙස සැලකිය හැකි බවයි. එයටම අනන්‍ය වූ ලක්ෂණ ඇති බවයි. ඔවුන් කර ඇත්තේ එය අලුත් අවයවයක් ලෙස වර්ගීකරණයට ලක්කිරීමයි.

  

මධ්‍යාන්ත්‍රිකය සහ එය ශරීරය තුළ පිහිටීම සහ විහිද ඇති ආකාරය ගැන මුලින්ම සවිස්තරාත්මක විස්තර සටහන් කර ඇත්තේ ලියනාර්ඩෝ ඩාවින්චි විසිනි. එතැන් සිට මේ ගැන වෛද්‍යවරු දැන සිටියේ වෙන් වෙන් කොටස් කිහිපයක් සහිත ආධාරක පටලයක් හැටියටය. නමුත් 2012 වසරේදී මහාචාර්ය කොෆේ ඇතුළු පිරිස එය පිළිබඳ සවිස්තරාත්මක සියුම් පරික්ෂාවක් කළ අතර එමගින් මධ්‍යාන්ත්‍රිකය අඛණ්ඩව විහිදි ගිය තනි ව්‍යුහයක් බව සනාථ කළේය. ඊළඟ වසර හතරක කාලය තුළ ඔවුහු තමන්ගේ උපකල්පනය සනාථ කිරීම සඳහා අවශ්‍ය දත්ත සහ සාධක රැස්කළ අතර පසුගිය නොවැම්බරයේ ඉදිරිපත් කළ       පර් යේෂණ පත්‍රිකාව මගින් එය වෙනම අවයවයක් ලෙස නිලවශයෙන් කරුණු හෙළිදරව් කරන්නට කටයුතු කළේය.

මහාචාර්ය කොෆේ පෙන්වා දෙන්නේ මධ්‍යාන්ත්‍රිකය වෙනම අවයවයක් ලෙස හඳුන්වාදීමත් සමඟම මෙය ගැන අවධානය වැඩිවීමත් එමගින් එහි සැබෑ ක්‍රියාකාරිත්වය ගැන සිදුකරන අධ්‍යයනයන් ඉහළ යාමත් සිදුවන බවය. එමගින් ආමාශගත සහ ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ගැන පුළුල් දැනුමක් ලබාගැනීමටත් වඩාත් යහපත් ප්‍රතිකාර ක්‍රම සොයාගැනීමටත් අවස්ථාව උදාවන බව ඔහු පෙන්වා දී තිබේ.

දැන් අපි මෙහි ව්‍යුහ විද්‍යාත්මක වෙනස වටහාගෙන තියෙනවා. ඊළඟට අවශ්‍ය මෙහි සාමාන්‍ය සැබෑ ක්‍රියාකාරිත්වය වටහා ගැනීමයි. එමගින් අපිට එහි ක්‍රියාකාරිත්වයේ සිදුවන අසාමාන්‍යතා හඳුනාගන්නටත් පුළුවන්. ඒ කියන්නේ ලෙඩ රෝගයක් වැළදී ඇතිදැයි සොයාගත හැකියි. මේ සියලු කරැණු එකට ගොනු කරගත්විට වෛද්‍ය විද්‍යාවට තවත් දැනුම් සම්භාරයක් එකතු කළ හැකියි. ඒ කියන්නේ මධ්‍යාන්ත්‍රිකය පිළිබඳ විද්‍යාව කියන අලුත්ම අධ්‍යයන අංශය.

ඉතින් මහාචාර්ය කැල්වින් කොෆේ ඇතුළු පිරිසගේ නව හෙළිදරව්ව මගින් නැවතත් සනාථ කර ඇත්තේ අපි අපි ගැන තවමත් දන්නේ බොහෝම ටිකක් බව නොවේද?

සුගත් පී. කුලතුංගආරච්චි