2018 ජනවාරි 13 වන සෙනසුරාදා

යහපාලන ආණ්ඩුවට වසර තුනයි

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

පොදු ජනතාවගේ අතිවිශාල බලාපොරොත්තු යහපාලන ආණ්ඩුව බලයට පත්කළ බව සඳහන් කිරීම සුදුසුය. සිවිල් සංවිධාන විසින් ඇති කරන ලද මත සහ ඒවා සමාජ මාධ්‍ය මගින් අවුලවන හෙයින් පාලන ක‍්‍රමය වෙනස් කළයුතු යැයි ජනතාව කල්පනා කළේය. පරිවර්තනයක් අරභයා පසුබිමක් නිර්මාණය වූ අතර එය භාරධුර කර්තව්‍යයක් විය. වසර තුනකට කළින් එළඹි ජනවාරි අටවැනිදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයෙක් වශයෙන් ජනාධිපති ධුරයට තෝරා පත්කර ගනු ලැබීය. පොදු අපේක්ෂකත්වයට න්‍යාය පත‍්‍රයක් තිබුණි. බල ඒකාධිපතිත්වය හා දූෂණය තුරන් කිරීමය. ඉක්මනින් කළයුතු ආර්ථික හා සමාජ වෙනස්කම් සඳහා පියවර ගැනීමද ඒ අතර විය. 

පොදු ජනාධිපතිවරයාගේ සංකල්පය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය තාවකාලිකව එකතු වූ අතර දින සියයක කඩිනම් වැඩ පිළිවෙළක් ප‍්‍රකාශට පත් කෙරිණි. දින ගණන් අවසන් වී ජනවාරි අටවැනිදා විප්ලවයට වසර තුනක් සම්පූර්ණ වී තිබේ. මෙකී කාලය තුළ  පරිවර්තනයක් කරනු කෙසේ වෙතත් අදටත් ‘බලය යෙදීම’ හා ‘මහා පරිමාණ දූෂණ’ යන වචන බහුලවම පාවිච්චි වන බව සඳහන් කළ යුතුය. යුද්ධය අවසන් කර සැනසිල්ල ලැබෙනතෙක් බලා සිටි ජනතාවට දූෂණ අහවර කර සහනය ළඟාවන තෙක් තවත් ඉවසන්නට සිදුවී තිබේ. ධුර කාලය, තුන්වන වතාවටත් බලය ඉල්ලා සිටීම ඇතුළු ජනාධිපති පදවියේ බලතල ගණනාවක් අඩු කරන්නට දහ නමවැනි ව්‍යවස්ථා සංශෝධනය කරන ලද පසුබිම තිබියදී වසර හයක් දක්වා වත්මන් ජනාධිපතිවරයාට ධුරයේ රුඳීඉන්නට හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන තැනට රාජ්‍ය පාලනය අද පත්ව ඇත. ශ‍්‍රී ලාංකිකයන් ගෙවී ගිය වසර තුන තුළ අත්පත් කරගත් ජයග‍්‍රහණ මොනවාදැයි සොයා බැලීම සුදුසුය.

ආර්ථික, සමාජ සහ දේශපාලන පරිවර්තනයක් අරමුණු කරගෙන ආරම්භ කළ දින සියයක වැඩසටහන තාවකාලික ආණ්ඩුවේ බලවත්ම ප‍්‍රයත්නය විය. තාවකාලික ආණ්ඩුව ඇමැති මණ්ඩලය විසි පස් දෙනකුට සීමා කළේය. විධායක ජනාධිපති ක‍්‍රමය, මනාප ක‍්‍රමය අහෝසි කරන අලුත් ව්‍යවස්ථාවක් සහ ස්වාධීන කොමිෂන් සභා පත්කරන යෝජනා දින සියය වැඩ සටහනට ඇතුළත්ව තිබිණ. වැටුප් වැඩිකිරීම, ජීවන වියදම අඩුකිරීම, ගෑස් මිල රුපියල් තුන්සියයකින් පහත හෙළීම, කෘෂි භෝග නිෂ්පානවල සහතික මිල නැංවීම යනාදී යෝජනා විය. ෆ්‍රී වයිෆයි, ක්‍රෙඩිට් කාඩ් සහන, උගස් කරන ලද ණයවල පොලිය කපාහැරීම, ණය තොරතුරු ලේඛනයේ ඇතුළත් අය එයින් ගැලවීම යනාදිය තරුණ පෙළ ආකර්ෂණය කරන ලද ඒවාය. ගොවියන්, ධීවරයන්, ත‍්‍රී විලර්, මේසන්, හා වඩු කාර්මිකයන්ට විශ‍්‍රාම වැටුප් ක‍්‍රම හදන බවද දැක්වීය. තොරතුරු දැනගැනීමේ පනත, සිගරට් පැකැට්ටුවේ අවවාද දැන්වීම් සියයට අසූව, කාන්තා දේශපාලනයේ සියයට විසි පහ, පාසල් වලට දරුවන් ඇතුළත් කිරීමේ ක‍්‍රමය වෙනස් කිරීම සහ රාත‍්‍රී දහය වනතුරු රෝහල්වල බාහිර ප‍්‍රතිකාර ඒකක විවෘත කිරීම ඇතුළු කරුණු සියයක් මෙම සැලැස්මට ඇතුළත් වූ අතර මේවායෙන් කොපමණ ප‍්‍රමාණයක් තම එදිනෙදා ජීවිතය පහසු කරන්නට අද වනවිට බලපා ඇත්දැයි දන්නේ මෙරට ජනතාව පමණකි. 

තාවකාලික ආණ්ඩුව විසුරුවා හැරීමෙන් ඉනික්බිතිව 2015 අගෝස්තු මාසයේදී පවත්වන මහ මැතිවරණයේ ප‍්‍රතිඵලය මත වත්මන් සම්මුති ආණ්ඩුව පිහිටුවා ගත් අතර මහ මැතිවරණයේදී යහපාලන ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යන සහ අපේක්ෂා දීප්තිමත් කරන ඡන්ද පොරොන්දු ජනතාව හමුවේ තැබීය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය තවදුරටත් එකට ආණ්ඩු කරන වසර දෙකක ගිවිසුමක් අත්සන් කරන්නේ මැතිවරණ ප‍්‍රතිඵලයෙන් අනතුරුවය. වසර දෙක තුළ මන්ත්‍රී වරුන් පක්ෂ දෙක අතර මාරු වෙන්නට ඉඩ නොදෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කර සංවර්ධනය නංවන සහ දූෂණ තුරන් කරන කරුණු දහයකින් ගිවිසුම සමන්විත විය. අත්සන් කරන ලද ගිවිසුමේ නිල කාලය අවසන් වී තිබේ. ආණ්ඩුවේ වසර දෙක සහ පොදු ජනාධිපති වසර තුනක කාලයේ පැවැත්ම ගැන ජනතාව තුළ බලාපොරොත්තු තුනී වෙමින් තිබේ. පක්ෂ දෙකක පාලන ක‍්‍රමය සඳහා වූ ගිවිසුම කල් ඉක්ම ගිය හෙයින් මෙම ක‍්‍රමය විසින් බිහිකළ ආණ්ඩුව තවදුරටත් වලංගු දැයි ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රශ්න කරන බවද මෙහි ලා සඳහන් කළ යුතුය.

ඒ අතර ආණ්ඩු ක‍්‍රම සංශෝධන කමිටුවක් නම්කර මහජන අදහස් විමසා බලා සකස්කරන ලද අලුත් ව්‍යවස්ථාව සම්පාදනයට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළේය. ව්‍යවස්ථාවේ සඳහන් කරුණු බලවත් විරෝධයට ලක්ව ඇති අතර එය ඉදිරියට ගැනීම තාවකාලිකව මඟහැරී ඇති බව අනෙක් කරුණකි. පළාත් නීර්ණය සම්බන්ධ ගැටලු හෙයින් වසර දෙකකට ආසන්න කාලයක් පළාත් පාලන ඡන්දය කල් දැමීමට සිදුවීමද ආණ්ඩුව අපහසුතාවයට පත්කළ අවස්ථාවකි. අන්තර් ජාතික වශයෙන් එල්ලවූ මානව හිමිකම් චෝදනා වළකනු සඳහා වූ නිර්දේශ අතර වූ ජාතික සංහිඳියා යාන්ත‍්‍රණය සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කළේය. මෑත කාලය තුළ එහි කෙරෙහි ජනතා විශ්වාසයක් ඇති වී දැයි සොයා බැලිය යුතුය. සමාජ කාරණා සම්බන්ධයෙන් ඉටුකරන්නට සැලසුම් කරන ලද විෂයයන් අතරින් සමහරක් හැරෙන්නට විශාල කාර්යභාරයක් ඉතිරිවී පවතී. ආණ්ඩුව අනුගමනය කරන බව එළිපිටම ප‍්‍රසිද්ධ කරන ලද සුපිරි වාහන භාවිත නොකිරීම, හෙළිකොප්ටර් පාවිච්චිය පාලනය, විදේශ සංචාර අඩු කිරීම, උත්සව සීමා කිරීම, පදවි ප‍්‍රාප්ති වැනි සංවත්සර සීමා කිරීම, නායකයන්ගේ ප‍්‍රතිරූපය නැංවීම සඳහා මහජන මුදල් නාස්ති නොකිරීම යනාදී ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකිය. මේවා සම්බන්ධයෙන් සිදුවී ඇත්තේ කුමක්දැයි ප‍්‍රශ්න කිරීම බලයේ ඉන්නා දේශපාලනඥයන්ගේ හෘදසාක්ෂියටම භාරකළ යුතුය. 

ධනය හා බලය අයුතු ලෙස භාවිත කරමින් දූෂණ හා වංචා අති විශාල ප‍්‍රමාණයක නිරතව රට ණය කන්දක සිරගත කරන බවට පැවැති ආණ්ඩුවට එරෙහිව බරපතළ චෝදනා එල්ල කෙරිණි. ජනාධිපතිවරණයට හා විශේෂයෙන් මහ මැතිවරණයට කලින් ගෙන යන ලද ප‍්‍රචාර අනුව රට නාස්තිකාර ආයෝජන මගින් මහජන මුදල් කිසිම ආදායමක් නැති ව්‍යාපෘති වලට යොදවා තිබේ. ඒවා ගැන සොයන්නට මහා පරිමාණ දූෂණ කොමිසමක් පත්කරන ලද අතර අවසානයේ දී ලැබුණ ප‍්‍රතිඵලය ගැන ජනතාව තුළ බලවත් කනස්සල්ලක් තිබේ. එසේ තිබිය දී වත්මන් ආණ්ඩුව බලයට පත් වූ වහා බැඳුම්කර මිල දී ගැනීමේ දී සිදුවූ බව කියන වංචාවක් අනාවරණය කරගැනීමට පත් කරන ලද ජනාධිපති කොමිසම වාර්තාව අතිශය ආන්දෝලනාත්මක එකක් වී ඇත. කොමිසම සාක්ෂි විභාගය අතරතුර හෙළිදරව් වූ කරුණු පදනම් කරගෙන විදේශ ඇමැති ධුරයෙන් රවි කරුණානායක මහතා ඉල්ලා අස් වූ අතර වත්මන් ආණ්ඩුවේ ඉල්ලා අස්වෙන්නට හේතු වූ දෙවැනි ඇමැතිවරයා සේ ඔහු ඉතිහාසයට එකතු විය. ඇවන්ගාඩ් සිද්ධියේ දී නීතිය සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන මහතා ඉල්ලා අස්වීම පළමු සිද්ධියයි. ආණ්ඩුව තුළ සිටියදී විවේචනය කිරීමේ හේතුවෙන් විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නටද ජනාධිපතිවරයා පියවර ගත් බව මෙහිදී සඳහන් කරන්නට අවශ්‍යය.

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ අර්බුදය ආණ්ඩුව මුහුණ පෑ අදටත් සම්පූර්ණයෙන් විසඳී නැති වත්මන් අරගල අතරින් ප‍්‍රධාන එකකි. විදුලිය බල මණ්ඩලය, බස් රථ, දුම්රිය, වෛද්‍ය, විශ්වවිද්‍යාල, වරාය, ආබාධිතයන් හා රණවිරැවන් පවා එකක් අවසන් වනවිට එකක් වශයෙන් නොකඩවා ආණ්ඩුවට එරෙහිව විරෝධතා සහ වැඩවර්ජන රැල්ලක් නැඟ ආවේය. ගංවතුර, නායයාම් හා නියඟය වැනි ස්වභාවික විපත් මැද මෙකී වර්ජන මෙරට ආර්ථිකය විශාල අර්බුදයකට පත් කළේය. 
තෙල් ආනයනය ප‍්‍රමාදවීම සාමාන්‍ය ජනතාවගේ සිට කර්මාන්ත හා ව්‍යාපාර පවා අසරණ කළ අවස්ථාවකි. කෘෂි අංශයේ පසුබැසීම හෙයින් සහල්, පොල් ආනයනය කරන්නට සිදුවූ අතර වත්මන් ආණ්ඩුව මහත් පරිශ‍්‍රමයක් දරා බලපවත්වාගෙන පැමිණි වසවිස නැති ආහාර නිෂ්පාදන සංකල්පය පසෙක තබා ලෝකයේ  ඕනෑම තැනකින් ආහාර ගෙනැවිත් ජනතාවට සපයන්නට ආණ්ඩුවට සිදුවිය. පොහොර ආනයනයද අර්බුදයකට පත් වූ අවස්ථාවේදී පකිස්තානයට කතාකර ඉක්මනින් පොහොර නැවක් ගෙන්වාගන්නට ජනාධිපතිවරයා ක‍්‍රියා කළේය. තෙල් හිඟවූ විට ඉන්දියානු ජනාධිපතිවරයාට සහ තේ අපනයනයට රුසියාවෙන් බාධා එල්ල වූ අවස්ථාවල කෙළින්ම එරට නායකයන් අමතන්නට ජනාධිපතිවරයාට සිදුවීමද මෑත කාලයේ වාර්තා වූ තත්ත්වයකි. ජනතාව අපහසුතාවයට පත් කරන ලද වැඩ වර්ජන අවස්ථාවල දී ද අවසාන විසඳුම සඳහා පෙනී සිටින්නට වූයේ ජනාධිපතිවරයාට වූ අතර එය බලය බෙදාහැරීම මගින් පාර්ලිමේන්තු විෂය භාර ඇමැතිවරුන් තීරණගත යුතු තත්ත්වයට පටහැනි බව ජනතාව තේරුම් ගත්තේ නැත.  

යහපාලන ආණ්ඩුව කොළඹ වරාය නගර යෝජනාව බලවත් විවේචනයකට ලක්කළ ව්‍යාපෘතියකි. චීන ජනාධිපති ෂී ජින් පින්ග් කොළඹට පැමිණ දෙරට ජනාධිපතිවරුන් නිල වශයෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් දේශපාලන කාරණා මත අත්හිටුවීම ජාත්‍යන්තර අවධානයට ලක්විය. එහි ගිවිසුම නැවත සකස් කරන ලද අතර ගිවිසුම ප‍්‍රමාද වූ කාලය තුළ වූ අලාභය වෙනුවෙන් වරාය නගරයේ ඉඩම්වල අයිතිය වෙනස් කරන වගන්ති ඇතුළත් කරන ලද බව නොරහසකි. එහි නම මූල්‍ය නගරය වශයෙන් වෙනස් කරන ලද අතර කොළඹ සිට එතැනට ළඟාවන උමඟක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කොළඹ මහ රෝහල අසල විශේෂ ඒකකයක් සහ පොළොන්නරුවට වකුගඩු රෝහලක් තැනීම සදහා ආධාර කරන්නට ඉදිරිපත් වූ චීන සමූහාණ්ඩුව කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය නැවත බලගන්වන්නට සමත් වූවා පමණක් නොව හම්බන්තොට වරාය පරිශ‍්‍රයද සිය ආයෝජනවලට නතුකර ගත්තේය. කොළඹ නුවර අධිවේගී මාර්ගයේ කොන්ත‍්‍රාත් සහ රත්නපුර අධිවේගී මාර්ගයේ කොන්ත‍්‍රාත්ද ලබා ගන්නට සමත්ව සිටී. 

ඉන්දියානු රෝ ඔත්තු සේවා උපක‍්‍රමයක් සේ විරෝධයක් නැගුණ නමුත් නොමිලේ පවත්වාගෙන යන ගිලන්රථ සේවාව සාර්ථකව ක‍්‍රියාත්මක කරන්නට වත්මන් ආණ්ඩුවට හැකිවිය. ත‍්‍රිකුණාමලය තාප බලාගාරය, ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි, හම්බන්තොට ගුවන්තොටුපොළ, උතුර නැගෙනහිර නිවාස ඉදිකිරීම ඇතුළු සංවර්ධන යෝජනා ක‍්‍රම හමුවේ වත්මන් ආණ්ඩුව පමණක් නොව ඉන්දියාවද එපමණ සක‍්‍රීය භාවයක නැත. ධුරයට පත් වූ වහා ඉන්දියාවට ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තාප බලාගාරය වෙනුවට ද්‍රව ගෑස් බලාගාරයක් ඉදිකරන සේ ඉල්ලා සිටියේය. එය තවදුරටත්  ප‍්‍රමාද වෙමින් පවතින අතර එය අනාගත විදුලිය බල අර්බුදයක් ඇතිකරන බව නියාමන කොමිසම අනතුරු අඟවා ඇත. 

රාජ්‍ය ව්‍යවසාය වෘත්තිකයන් අතට පත් කර මැනවින් මෙහෙයවන පොරොන්දුවක් දුන් නමුත් රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් වශයෙන් පත්වූයේ දේශපාලන හිතවතුන්ය. කැබිනට් වෙනසක දී දෙපාර්තමේන්තු තමන්ට අවශ්‍ය පරිදි ගලවා ගැනීමේ අරගලයක් තරමට එය ප‍්‍රබල විය. රාජ්‍ය ව්‍යවසාය දුර්වල කළමනකරණය හෙයින් දිගින් දිගටම අලාභ වාර්තා කරන අතර ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය ඒ අතරින් ප‍්‍රධානය. එහි අවසාන ප‍්‍රතිඵලය රාජ්‍ය ව්‍යවසාය වල පාඩු පියවා ගනු සඳහා තව තවත් බදු වැඩි කිරීමයි. මූල්‍ය අරමුදලද සංවර්ධන වේගය අඩු කරන බවට කරන ලද උපදේශය අනුව මිල දී ගැනීම් අධෛර්යවත් වන ප‍්‍රතිපත්ති ආණ්ඩුව මෑත කාලය තුළ අනුගමනය කළේය. එය වෙළඳපොළ කෙරෙහි සෘජුව බලපෑ තත්ත්වයකි. ජනතාව තමන් අත ධනය නැති බව කියන්නට ඉදිරිපත්වූ අතර වෙළෙන්දෝ තමන්ගේ අලෙවිය පහත වැටුණ බවට මැසිවිලි නගමින් සිටිති. උද්ධමනය හා පොලී අනුපාත ඉහළ ගිය තත්ත්වය අවසානයේදී ආර්ථික වර්ධන වේගය සියයට හතරකට ආසන්න මට්ටමක් දක්වා පහත වැටීමෙන් පෙන්නුම් කරයි.

මහා පරිමාණ ආයෝජන වශයෙන් වොක්ස්වැගන් කම්හල හා ටයර් කර්මාන්ත ශාලාවක් ගැන තිබුණ අදහස් ව්‍යාකූල වී තිබේ. ආණ්ඩුව බලයට පත්වූයේ අලුත් රැකියා දස ලක්ෂයක් ගැන සඳහන් කරමින්ය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණය අනුව රට තුළ ලක්ෂ හතරකට වඩා ඇබෑර්තු නැත. පසුගිය වසර තුන තුළ රජයේ රැකියා සම්පාදනය සමඟ සසඳන විට ඉදිරි කාලය ඉතාමත් අභියෝගාත්මකය. විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් සහ උසස් අධ්‍යාපනය හදාරණ ලද විශාල පිරිසක් විරැකියා ගොන්නට එකතු වෙමින් සිටිති.

ආර්ථික, දේශපාලන සහ සමාජ තත්ත්වයන් හමුවේ වත්මන් සම්මුති ආණ්ඩුව පෙන්වූ සාර්ථකත්වය හා අසාර්ථකත්වය ගැන විවිධ මත තිබේ. ප‍්‍රධාන පක්ෂ දෙක එකතු වූ ඉතා වැඩි බහුතර බලයක් සහිතව සිටින පසුබිමක අවශ්‍ය කරන තීරණ වේගයෙන් ගැනීමට හැකියාව ඇත. වසර හැත්තෑවක ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට වෙනසක් කිරීම සඳහා ජනතාවගෙන් බලය ලබාගත් ශක්තිමත්ම ආණ්ඩුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකතුකර පිහිටුවා තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරුන් කරන විදේශ සංචාරවලදී ආර්ථික සහාය හා ආයෝජන ගැන අති  විශාල සහයෝගයක් ප‍්‍රකාශ වෙමින් තිබේ. දුප්පත්කම නැති, අභිවෘද්ධිය සපිරි දූෂණයෙන් තොර සෑමදෙනාටම එකට ජීවත්විය හැකි රටක් නිර්මාණය කරගැනීමේ  හැකියාව තහවුරු වෙමින් තිබේද?

► ගාමිණී සරත් ගොඩකන්ද

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00