2018 ජනවාරි 13 වන සෙනසුරාදා

ලිහෙන පවුල් දේව බලෙන් ගැටගහන බන්ධන

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 448

හිඹුටානේ සාදු කවුරුන්දැයි අප ඔබට හඳුන්වාදුන්නේ ඉකුත් සතියේදීය. පත්තිනි මෑණියන් ළඟ වෙසෙන ලුසිහාමි නම් තම මී මිත්තනියකගේ ආරූඩයෙන් සොරුන්, මිනීමරුවන් ගැන නිශ්චිතවම කරුණු හෙළිදරව් කරමින් ඔවුන් සැඟවී සිටින තැන්, ඔවුන් සොරකම් කළ දෑ කවර හෝ ස්ථානයකට අලෙවි කරන්නට යන්නේනම් ඒ අලෙවි කරන්නට යන ස්ථානය, හොරැන්ගේ මිනීමරුවන්ගේ නම්, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය මේ ආදී විස්තර නිවැරදිවම හෙළිදරව් කරන, ඕනෑම කාරණයක් ගැන දැනගන්නට යන කවරෙකුට හෝ නම ගම පැමිණි වාහන අංකය මේ කවරක් හෝ සමඟින් පැමිණි කාරණය ද නිවැරදිවම සඳහන් කරන, ඔවුන්ගේ ජීවිතවල අනිසි සබඳතා ඇත්නම් අසන්නට ආ කරුණටත් පෙර ඒ ගැනත් සඳහන් කරන, සොරකම්, මනුෂ්‍ය ඝාතන ගැන දැනගන්නට ආරක්ෂක අංශ නිලධාරීන් පවා පැමිණෙන හිඹුටානේ සාදුගේ විශ්ව කර්ම හැකියාවන් පිළිබඳ අප කී දෑවලට වඩා නොකී දෑ බොහෝයයි සිතෙන තරමට හිඹුටානේ සාදු සතු බලය විස්මිතය.

විභාග ජය උදෙසා පූජාවන් පවත්වා ගැනීමට, ලෙඩ දුක් කරදර ගැන විමසා දැනගැනීමට, තමන්ට ඇති රෝග සඳහා ප්‍රතිකාර ගත යුතු වෛද්‍යවරයාගේ නම දැනගැනීමට මේ ආදී දහසක් ප්‍රශ්න සිත්හි තබාගෙන හිඹුටානේ සාදු වෙත පැමිණෙන අය රැගෙන එන තවත් ප්‍රශ්නයකි.

ඒ වෙනත් අනිසි   සබඳතා නිසා පවුල් අවුල් වීගෙන යන ප්‍රශ්නයි. මොන දෙයක් කර හෝ තමන්ගේ පවුල රැකගැනීමේ අභිලාෂයෙන් පැමිණෙනවුන්ගේ ආයාචනා රැගත් ප්‍රශ්නයි.

කිසිම සාධාරණ නොවන හේතුවක් මත මම වාල් බන්ධන, වශී බන්ධන කරන්නේ නෑ. ඒත් කැඩී යන පවුලක් එකතු කරන්න, අනිසි සබඳතා නවත්වා ඒ පවුලේ එකමුතුව ඇති කරන්න ඒ පවුල රැකදෙන්න අවශ්‍ය මොහොතකදී ඒ වශී බන්ධනය - වාල් බන්ධනය කරන හේතුව අතිශය සාධාරණනම්  මම ඒ බන්ධන කරනවා... වශී බන්ධන වාල් බන්ධන කරන හේතු සාධරණදැයි හිඹුටානේ සාදුගෙන් විමසූ කල ඔහු දුන් උත්තරය එයයි.

කොහොමද මේ වාල් බන්ධන - වශී බන්ධන කරන්නේ?

එක් එක් විදිහේ වාල් බන්ධන වශී බන්ධන තියෙනවා. වශී බන්ධනයෙන් පස්සේ අදාළ පුද්ගලයා වශී බන්ධනයට අදාළ පුද්ගලයා කෙරේ වශීකෘත බවට පත්වෙනවා වගේම වාල් බන්ධනයෙන් පස්සේ අදාළ පුද්ගලයා වාල් බන්ධනයට අදාළ පුද්ගලයා කෙරේ වහල් වූ හැඟීමෙන්ම බැඳී යනවා. ශරීරයේ නියපොතු කෙස් ආදී ද්‍රව්‍ය ගෙන අපි හදනවා ගුලියක්. ඒක කනත්තේදී මතුරලා කුකුල් මස් හොද්දකට දාලා අදාළ පුද්ගලයාට කන්න සලස්වනවා. ඒක කෑමෙන් පසු අදාළ පුද්ගලයා කෙරේ ඔහු වහල් භාවයට පත්වෙනවා. තවත් වාල් බන්ධනයක් තියෙනවා බලු කිරි මතුරලා ඒ මතුරපු බලු කිරි, කිරි කෝප්පයකට දාලා අදාළ පුද්ගලයාට බොන්න දෙනවා. ඒ මතුරපු බලු කිරි බිව්වම බල්ලෙක් වගේ වහල් වෙලා ඉන්නවා.
ඇත්තටම තමන්ට  අකමැති කෙනෙක් තමන් යටතට ගන්න වාල් බන්ධන වශී බන්ධන කරනවනම් ඒක ලොකු පවක්. ඒත් වෙනත් ස්ත්‍රියක් නිසා වෙනත් පුරුෂයෙක් නිසා පවුලේ සමගියට එකමුතුවට ආදරයට හානියක් වෙනවනම් බිරියට ස්වාමියා අහිමි වෙන්න යනවනම් ස්වාමි පුරුෂයාට බිරිය අහිමි වෙන්න යනවනම් ඒ වගේ වෙලාවක ඒ පවුල රැකගැනීමේ පිරිසිදු චේතනාවෙන් වශී බන්ධනයක් වාල් බන්ධනයක් හෝ කර පවුලක් රැක දීම සාධාරණයි කියලා මම හිතනවා... මව්පියන්ගේ අනිසි සම්බන්ධතා නිසා දරුවන් අසාධාරණයට අහිමිවීම්වලට ලක්වෙනවානම් එය අයුක්තිසහගතයි. ඒ නිසා තමයි මම ඒ වගේ අවස්ථාවලදී වශී බන්ධන වාල් බන්ධන කරන්නේ.

වශී බන්ධන, වාල් බන්ධන වැඩි හරියක් මතුරන්නේ කනත්තේ. ඒ මැතුරුම මම කරන්නේ තනියෙන්. උදව්වට එක්ක යන අය එළියෙන් තියලා මම තනියම කනත්තට යන්නේ. අමු සොහොනක් උඩ ඉඳගෙන තමා ඒ මැතිරිල්ල කරන්නේ... ගොඩ මස්, දිය මස්, කුකුලෙක්, බිත්තර, රතු බත්, කෙස්, නියපොතු මේ ආදී දේවල් අරගෙන යාම තුනක් ඒවාට මතුරලා හදන ගුලිය තමා වසඟයට ගන්න ඕන පුද්ගලයට කව්වන්නේ... සිත වසඟයට ගන්න දකුණු අතේ සුළඟිල්ලේ ලේ අරන් ඒ ලේ සීනි වලට දාලා මතුරලා දෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල මව්පියන් එනවා තමන්ගේ දරුවන් නොගැලපෙන සම්බන්ධතාවල පැටලිලා ඉන්නවා ඒවගෙන් ගලවලා දෙන්න කියලා ඉල්ලගෙන. මම ඒ වෙලාවට බලනවා ඒ සම්බන්ධය ගැලපෙන එකක් ද සාර්ථක එකක් ද කියලා... නොගැලපෙන අසාර්ථක එකක්නම් මම ඒ සම්බන්ධය කඩා දාන්න වැඩ සිද්ධ කරලා දෙනවා. ලුණුවලට මතුරලා ඒ ලුණු දිමි ගොට්ටකට දාලා විසික් කරනවා. ඒ දිමි ගොට්ට විසිරිලා ගියා වගේ ඒ බැඳීම විසිරිලා යන්න කියලා. ඊට පසු ඒ ලුණු කන්න දෙනවා. ඒ වගේම හබරල කොළේ රෑප දෙක ඇඳලා ගලා යන ගංගාවක දෙපැත්තට විහිදී යන අයුරින් දානවා.

අපි පාරම්පරිකව මේ දේවල් කරන අය නෙවෙයි. මේ හැමදේම මම කරන්නේ පත්තිනි මෑණියන්ගේ වරමින් ලුසිහාමි මගේ ඇඟට බලය අරගෙන ඇතුළු වුණාම. මට මේ දැන් ඇහුවොත් ඒ මන්ත්‍ර මම දන්නේ නෑ. ඒත් අර වරම ඔස්සේ බලය ශරීර ගත වුණාම මම ඒ ඒ දේවල්වලට අදාළ මන්ත්‍ර මතුරනවා. ඔය බලය ඇඟට ඇතුළු වුණු අවස්ථාවල මම පැරැණි මියගිය කට්ටඩීන්ගේ ගෙවල්වලටත් ගිහින් තියෙනවා. ඔවුන් ඉතා බලගතු බන්ධන මන්ත්‍ර කොඩිවින ආදී ගැන ලියවුණු පුරාණ පුස්කොල පොත් ආදිය වලදමා තියෙන තැන්වලින් ගොඩගන්න තමා මම එහෙම ගිහින් තියෙන්නේ. අවශ්‍ය තැන්වලදී අර බලය සහිතව සිටින අවස්ථාවලදී මම ඒ මන්ත්‍ර ආදියෙන් වැඩ අරගෙන තියෙනවා.

මම පෙර සඳහන් කළේ කළ හැකි වශී බන්ධන වාල් බන්ධනවලින් කිහිපයක් පමණයි. තව එවැනි දේවල් රාශියක් තියෙනවා. ඒ දේවල් කළ පසු ප්‍රතිඵල අනිවාර්යයි. එහෙත් ඉතාමත් සාධාරණ මම මුලින් කී හේතු මත මිසක් එවැනි දේ කරන්න කිසිවෙක් උත්සාහ ගත යුතු නෑ කියලයි මම තරයේම කියන්නේ. මොකද එය පවක්. ඒ පවට ඒ අයුරින් දායක වෙන්න මම කිසිසේත්ම කැමති නෑ. 

වශී බන්ධන වාල් බන්ධන ආදී දේ ඔස්සේ එක් එක් දේවල් කන්න දුන්නම පසුකාලීනව පිළිකා වැනි රෝග තත්ත්වයන් ඇති වීමට පවා එය හේතුවක් බව කියනවා. එහි සත්‍යතාවයක් තියෙනවද?

ඔව් එහි ඇත්තක් තියෙනවා. පිළිකා රෝග වගේම විවිධ සංකූලතා ඒ මගින් පසුකාලීනව ඇති වෙන්න පුළුවන් ඒ කවන දෙය ශරීරයෙන් අයින් නොකළොත්. මම කාට හෝ වශී බන්ධනයක් වාල් බන්ධනයක් කළොත් එය ශරීරයට පත්තියන් වී පවුල සමගි වී ගැටුම් නිරාකරණය වූ පසු එය සිරුරින් අයින් කරනවා. ඇඹුල් වර්ග පහක් තියෙනවා. ඒ ඇඹුල් දීලා සෙනෙහෙ කොළ, කළු අරළු, රතු ලූනු, කොහිල අල මේ ආදී දේවල් කිහිපයක් තම්බලා මතුරලා බොන්න දුන්නම  වැසිකිළි සහ වමනය කොළ පාටින් ගිහින් ඒ සියලු විස ශරීරයෙන් අයින් වෙනවා.. ඒ අයින් වූ පසු පිළිකා සහ වෙනත් කිසිඳු සංකුලතාවක් ඇති වෙන්නේ නෑ.

එතකොට පිල්ලි යැවීම අදටත් සිදුවෙන දෙයක්ද ?

පුරාණ කාලෙ එය කළා. මේ කාලයේ නම් පිල්ලි යැවීම සිදුකරන්නේම නැති තරම්. හැබැයි අද කළත් එහි සත්‍යතාව එලෙසමයි. හැබැයි පිල්ලි යැවිල්ල කරද්දී ඇඳුරා ආරක්ෂා වෙලා කැපවෙලා ඒ දේ කරන්න ඕන. නැත්නම් පිල්ලිය යන්නේ ඇඳුරා පිටින්. මොකද පිල්ලි යැවිල්ල කියන්නේ හරිම භයානක දෙයක්. ඒ වගේම මිනිස්සුන්ට විනාශය පමුණුවන දේවල් මම කිසිසේත්ම අනුමත කරන්නෙත් නෑ.

මොකක්ද මේ පිල්ලි යැවිල්ල? කොහොමද පිල්ලි යවන්නේ? හිඹුටානේ සාදුගෙන් අපි විමසුවෙමු.

නාග පිල්ලිය, බළල් පිල්ලිය තමා වැඩිපුර යවන්නේ. ඒ ඇරුණම මුගටි පිල්ලිය වගේ තවත් පිල්ලි කිහිපයක්ම තියෙනවා. සොහොනකට ගිහින් අලුත වළලපු මිනියක් ගොඩගන්නවා. ඊට සුදුසු දවසක තමා ඒ මිනිය ගොඩගැනීම කරන්නේ. අලුත වළලපු මිනියක් ගොඩ දාලා මතුරද්දී මිනිය නැගිටිනවා. නිකම්ම දිව එළියට දානවා. එතකොට දිව කපාගෙන මිනියත් හිසින් වෙන් කරන්න ඕන. ඒ කපාගත් දිව බළල් පිල්ලියකදී නම් බළලාට කන්න දෙනවා. එතකොට ඒ බළලා පිල්ලිය වෙලා ගිහින් අදාළ පුද්ගලයාව මරණවා. නාග පිල්ලියෙදී මැරිච්ච නාගයෙක් අරන් සුද්ද කරලා නාගයට මතුරනවා. මතුරද්දී නාගයට පණ එනවා. ඒ පණ ආපු නාගයා තමා පිල්ලියට යොදා ගන්නේ. මිනිය ගොඩ අරන් මතුරද්දී පිල්ලිය යවන්නේ කා වෙතටද කියන දැනුම් දීමත් එක්ක තමා මේ වැඩේ කරන්නේ. 

මම ඉස්සර කේන්දරත් බැලුවා. කේන්දරයකින් මිනිහෙක් මැරෙන දවස පටන් සියල්ල මම කීවා. මම ජ්‍යොතිෂ්‍ය ඉගෙන ගෙන නෙවෙයි කේන්දර බැලුවේ. ඒ සියල්ල කළේ අර බලය සහිතව ඉද්දී. ඒත් දැන් මගේ ළඟට එන සෙනගත් එක්ක මට කේන්දර බලන්න කාලයක් වෙන් කරගන්න අමාරුයි. ඒ නිසා දැන් මම කේන්දර බැලීම කරන්නේ නෑ. 

කොඩිවින ගැන මිනිස්සු අහන්න ආවම මම කරලා තියෙන කොඩිවිනය මොකක්ද? එය කරලා තියෙන්නේ කොහොමද කියන එක කියලා ඒ කොඩිවිනය කරපු අයගේ නම් ලිපිනය වගේම ඊට උදවු කළ අයගේ නම ගම විස්තර සියල්ල කියනවා. කොඩිවිනයෙන් කොඩිවිනයට එය කපන ආකාරයත් වෙනස් වෙනවා. මලයාලි නීච කොඩිවින කපද්දී හරක් ඔළුවක් කපනවා. ආරූඩයෙන් කොඩිවින කපද්දී ඒ ඒ වෙලාවට මතුරන මන්ත්‍රය මම දන්නේ ඒ වෙලාවට විතරයි. කොඩිවින කපන්න සමහර ගෙවල්වලට ගියාම ඒ නිවෙසේ පරණ මළගිය උන් ඉන්නවනම් මම ඒ මළගිය උන්ගේ නම් කියලා ඒ මළගිය උන් නිවසේ අහවල් අහවල් තැන්වල රැඳී ඉන්න බවත් කියනවා. ඔවුන් ඒ දුක් සහිත භවයන්ගෙන් මුදවන්න කළයුතු දේවල් සියල්ලත් කියනවා.

මේ අතර හිඹුටාන සාදු ළඟට නිතර පිහිට පතා පැමිණෙන අයෙක් අපට හමුවිය.

මම ඉඩමක් අරන් ගෙයක් හදන්න පටන් ගත්තා. ඒත් වැඩේ පටන් ගත්ත දවසේ සිට හැමදාමත් ප්‍රශ්න. මොකක් හෝ දෙයක් නිසා වැඩ කල්යනවා. මේ අතරේ තමා මට හිඹුටානේ සාදු ගැන දැනගන්න ලැබුණේ. මම ගියා. මට මම රැකියාව කරන ආයතනයේත් මගේත් නම කියලා මට අඬගැහුවේ. ඒ මොහොතේ මට පුදුම හිතුණා. කොහොමද මගේ නම සහ රැකියාව කරන ස්ථානය සාදු නිවැරදිව කියන්නේ කියලා. ඊට පසු මගේ ප්‍රශ්නයත් සාදු හරියටම කීවා. සාදු මට සම්පූර්ණ නම් වගයක් කීවා. ඊට පසු කීවා ඔය නම් තියෙන පුද්ගලයන් කවුද කියලා වට පිටාවේ අයගෙනුත් පොඩ්ඩක් විස්තර දැනගන්නකො කියලා. මම විපරම් කරලා බලද්දී සාදු කියපු නම් තියන අය ඒ ඉඩමේ පරණ අයිතිකාරයෝ. මම ඊට පසු අදාළ තැනකට ගිහින් මේ ඉඩමේ මුල් අයිතිකාරයන් කවුද කියන එක පරීක්ෂා කළා. සාදු මට ඒ නම් කියපු පිළිවෙල අනුව තමා හරියටම ඒ ඉඩමේ මුල් අයිතිකාරයාගේ ඉඳන් අන්තිම අයිතිකාරයා දක්වා සියලු නම් සටහන් වී තිබුණේ. සාදු කීවා මේ කවුරුත් මේ ඉඩම අත්හැරලා ගිහින් නෑ. ඔක්කොම බැල්ම දාගෙන ඉන්නේ. මේකේ කවුරුත් අයිතියට එනවට ඒ කවුරුත් කැමති නෑ.. මම උඹට මේ අයිතිකාරයෝ එලවලා දෙන්නම් කියලා සාදු අවශ්‍ය දේවල් කළා. ඉන්පසුව තමා මම බාධාවක් නැතුව ගෙදර හදන වැඩ ටික කරගෙන ගියේ...

විස්මයක්ම මිස මේ මොහොතේ  සිත දැල්වෙන අන් කිසිවක්ම නැත.

ඒ අතරේ අපි හිඹුටානේ සාදුගෙන් මෙසේ විමසුවෙමු.

සාධු ළඟට පිහිට ඉල්ලගෙන එන මේ රටේ ජනප්‍රිය චරිත කවුද? එහෙම අය ඉන්නවද?

පූජ්‍ය පක්ෂයේ අය, රටේ ප්‍රබල දේශපාලන පවුල්වල සාමාජිකයන්, ඔවුන්ගේ දරුවන්, බිරින්දෑරුවන් වගේම දේශපාලනඥයන්, මාධ්‍යවේදීන්, මාධ්‍යවල හිටපු ලොකු චරිත, ක්‍රිකට් ක්‍රීඩකයන්, ජාත්‍යන්තරයට ගිය මළල ක්‍රීඩිකාවන්, නළු නිළියන්, ව්‍යාපාරිකයන් ඇතුළු හුඟ දෙනෙක් එනවා. ඒත් ඒ අයගේ විශ්වාසය සහ ආත්ම ගෞරවය වෙනුවෙන් මට ප්‍රසිද්ධ මාධ්‍යක හෝ අන් කිසිවෙක් අතින් ඒ කාගෙවත් නම් සඳහන් කරන්න බෑ. නමුත් ඒ අය එන්නෙත් සාමාන්‍ය මිනිස්සු එන වෙලාවටමනේ. ඒ අයත් අර අය වගේම මට බල අරන් එන ලුසිහාමි මාතාව දැක කතා කරනකම් ඉන්න ඕන. මට බල අරන් එන ලුසිහාමි මාතාව ඒ කාට වුණත් කිවයුතු දේ කියනවා. ඔවුන් වැරදි අසාධාරණකම් අකටයුතුකම් කරනවානම් මොන ජගතෙකුට වුණත් බලපුළුවන්කරයෙකුට වුණත් කිවයුත්ත කියනවා. සමහරු වැඳගෙන අහගෙන ඉන්නවා. සමහරු බිම බලාගෙන අහක බලාගෙන ඉන්නවා. සමහරු අහගෙන ඉඳලා වාහනයට නගින්නේ මූණ වහගෙන. ඒත් නැවත නැවතත් ඔවුන්ගේ සියලු අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් එනවා.

(හිඹුටානේ සාදුගේ තවත් විස්මිත හැකියාවන් සමඟ එන ඉරිදාත් හමුවෙමු)

► සංජීවිකා සමරතුංග 
සේයාරූ / චන්න කස්සප කෝරලේආරච්චි

 

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00