2018 ජනවාරි 13 වන සෙනසුරාදා

ලේ බැංකුව හිඳිලද? ඇත්ත ම‍ෙන්න

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 453

ලංකාවේ ජනතාව දානමාන ආදියට බොහෝ හිතැති පිරිසකි. ඇස් ඉස් මස් ලේ දන් දෙන්නට තරම් අපේ සංස්කෘතික හා ආගමික පරිසරය පරිත්‍යාගශීලී පෙළඹුමක් සකස් කර තිබේ. නමුත් සෑම වසරකම මුල් මාස 04ක කාලය, එනම් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේ ලංකාව තුළ ලේ දන්දීමේ අඩුවක් දක්නට ලැබෙන බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ (NBTS) අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙන්වා දෙයි පසුගියදා ඔහු අනතුරු ඇඟවූයේ මේ තත්ත්වය දිගටම පැවතියහොත් රටේ ලේ බැංකු තුළ ලේ හිඳී යනු ඇතිබවටය.  මේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත ගැන දේශය පාඨක ඔබ වෙනුවෙන් NBTS අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඇමැතුවෙමු.

සෑම වසරකම මුල් කාලයේ රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන සංඛ්‍යාව අඩු බව දීර්ඝකාලීන නිරීක්ෂණ වලින් තහවුරුව ඇති බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියයි. මෙය දිගටම වාර්තා වූ තත්ත්වයකි. නමුත් මේ ගැන ජනතාව දැනුම්වත් කර ලේ බැංකු තුළ රුධිර හිඟයක් ඇතිවීමේ අවදානම වළක්වා ගැනීමට පියවර ගත් මුල් අවස්ථාව ලෙස පසුගියදා නිකුත් කළ ප්‍රකාශය හැඳින්විය හැකි බව ඔහු කියයි. සාමාන්‍යයෙන් උත්සව කාලවලදී ලේ පරිග්‍යාගය සඳහා නැඹුරු වීම අඩුවීමේ ප්‍රවණතාවක් ඇති බව ඔහු පෙන්වා දේ. එසේම මැතිවරණ කාලසීමාවන්හිදී මැතිවරණයට පෙරත් පසුවත් වන කාල වකවානුවේ ලේ දන්දීම සඳහා ජනතාව යොමුවීමේ අඩුවක් දක්නට තිබෙන බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙන්වා දෙයි. මේ තත්ත්වයන් ගැන සලකා බලා ලේ හිඟයක් ඉදිරියේ දී ඇතිවීම වළක්වා ගැනීම සඳහා කල්යල් බලා සිදුකළ සිය අනතුරු ඇඟවීම හේතුවෙන් මේ වනවිටත් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ඔහු පෙන්වා දෙයි.

ලංකාවේ ලේ දන්දීමේ පෞද්ගලික කඳවුරුවලට අමතරව රජය මගින් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මේ වන විට ලේ රැස්කිරීමේ මධ්‍යස්ථාන 102ක් පවත්වාගෙන යයි. මේවාට අමතරව තවත් මධ්‍යස්ථාන 05ක් අලුතින් ආරම්භ කිරීමට කටයුතු කරගන යනු ලැබේ. ඒ  අනුව දිවයින පුරා රුධිරය රැස්කිරීමේ මධ්‍යස්ථාන 107ක් පවතින්නේය. නිරෝගී ඕනෑම පුද්ගලයකු හට තමන්ට ළඟ මධ්‍යස්ථානයක් කරා යාමෙන් තමන්ගේ ලේ තවත් ජීවිත තුනක් බේරාගැනීම උදෙසා පරිත්‍යාග කළ හැකිය.

ලංකාවේ සාමාන්‍යයෙන් වසරකට 4,50000 ක් පමණ ලේ පරිත්‍යාග කරන බව වාර්තාගතය. මේ අය ලියාපදිංචි කරන අතර ඔවුන්ට කාඩ්පතක්ද නිකුත් කරයි. එහි ඔහුගේ රුධිර වර්ගය, රුධිර RH වර්ගය ආදී වෛද්‍ය විස්තර ඇතුළත්ය. එමෙන්ම, මේ කාඩ්පත මගින් රුධිර පරිත්‍යාගශීලියකුට දිට්ඨ ධම්ම වේදනීය කම්මයටද මුහුණදීමට හැකිය. ඒ රෝගාතුර වීම, අනතුරකට ලක්වීම හෝ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට අවශ්‍ය වූ විටකය. එහිදී මේ කාඩ්පත නිසා ඔවුන්ට ප්‍රමුඛතාවය නිසැකවම හිමිවෙයි. ඔබ ලබාදෙන රුධිරය මගින් ජීවිත තුනක් පමණ බේරාගැනීමේ අවස්ථාවද හිමිවෙයි.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ලේ දන්දීමේ අවස්ථා සංවිධානයට උපකාරී වෙයි. සාමාන්‍යයෙන් 20 දෙනකුට වැඩි පිරිසක් සිටින ස්ථානයකට සිය විශේෂ රථ ලබාදී ලේ නිසි පරිදි රැස්කිරීමට එමගින් සිදුකරයි.

රුධිරය දන්දීම සඳහා කෙ‍නකු කැමති වූ පමණින් එය පරිත්‍යාග කළ නොහැකිය. ඒ සඳහා සැපිරිය යුතු සුදුසුකම් කිහිපයක්ද වෙයි. රුධිරය පරිත්‍යාග කරන්නා වයස 18ත් 60ත් අතර නිරෝගී අයකු විය යුතුය. මෙහි නිරෝගී බව යනුවෙන් අදහස් කරන්නේ බර කිලෝග්‍රෑම් 55ක් පමණ වන බෝනොවන රෝගවලින් පෙළෙන තැනැත්තෙක්ය. දියවැඩියාව, අධිරැධිර පීඩනය, නරක කොලෙස්ටරෝල්, අක්මා වකුගඩු රෝග, හදවත් රෝග, පිළිකා, වැනි බෝනොවන රෝග මෙන්ම බෝවන මාරාන්තික රෝග ගැනද සොයා බැලීමක් සිදුකරනු ලබයි. එහිදී විශේෂයෙන්ම HIV, සිපිලීස්, හෙපටයිටීස් B සහ C, මැලේරියාව වැනි රෝග ගැන විශේෂ අවධානය යොමුකෙරේ. රුධිර හිමෝග්ලෝබින් ප්‍රමාණය සෑහෙන මට්ටමක තිබීමත්, මත්ද්‍රව්‍ය, කුඩු ආදියට ඇබ්බැහි වූවකු නොවීමත්, වැරදි ලිංගික සබඳතා නොපැවැත්වීමත් සුදුසුකම්ය. ගර්භනී අවස්ථාවේදීද රුධිරය ලබා නොගනී. රුධිරය ලබාගන්නට කටයුතු කරන්නේ මේ කියන අනතුරුදායක කාරණාවලින් නිදහස් බව තහවුරු කරගත් පසුවය. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙන්වා දෙන්නේ සුදුසුකම් සපිරී නිරෝගී පුද්ගලයකු හට වසරකට හතර වතාවක් පමණ රුධිරය දන්දීමේ මේ මහා පින්කමට දායක විය හැකි බවය.

ජාතික ලේ බැංකුව හෙවත් රුධිර පාරවිලයන සේවාව 1950 පසුභාගයේ දී ඇරඹුණකි. නමුත් ජාතික ලේ බැංකුවක් ඇති බවත්, ලේ පරිත්‍යාග කළ හැකි බවත් රටම දැනගන්නේ 1956 දීය. ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමන් ඝාතන සිද්ධියත් සමඟය. මුල්වරට ලේ පරිත්‍යාගශීලීන් හට විවෘත ආරාධනයක් කර ඇත්තේ එදාය. එදා සිට අද වනතුරු ලේ බැංකුව හා එහි සේවාව රට පුරා ව්‍යාප්තව තිබේ. මුල් කාලයේ ලේ බැංකුව ලෙස භාවිතාව තිබුණේ ජාතික රෝහලේ ශල්‍යාගාර ඒකකයට යාබද සීල් කළ කාමරයකි. එය දැන් තිබෙන ගොඩනැගිල්ලට ආවේ 1980 දීය. ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන්ට ලබාදෙන රතු කාඩ්පත හඳුන්වා දී ඇත්තේ 1967 දීය. ඒ කාලයේ කැමැත්තෙන් ඉදිරිපත් නොවන අය සඳහා රුපියල් දහයක සන්තෝසමක්ද ලබාදී තිබේ. නමුත් 1979න් පසු මේ කියන මුදල් ලබාදීම නවතා දමන්නට යෙදිනි.

මේ වන විට සෞඛ්‍ය ඇමැතිවරයාගේ මැදිහත් වීම යටතේ ප්‍රාදේශීය රුධිර රැස්කිරීමේ මධ්‍යස්ථානවලට ලේ රැස්කර තබාගැනීම සඳහා අවශ්‍ය අධිශීතකරණ පහසුකම් ලබාදීමට කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව අධ්‍යක්ෂවරයා කියයි. ඒ නිසා රුධිර පරිත්‍යාගවලින් සියයට සියයක පලප්‍රයෝජන ලබාගත හැකිවනු බවට ඔහු විශ්වාස පළ කරයි.

සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ රතු රුධිරානුවලටය. රැධිර පට්ටිකා සහ ප්ලාස්මාවට ඇති ඉල්ලුම සාපේක්ෂව අඩුය. නමුත් රතු රුධිරානු සාමාන්‍ය තත්ත්වය යටතේ රැස්කර තබාගත හැකි උපරිම කාලය දින 35ත් 42ත් අතරය. මේ නිසා පරිත්‍යාග වශයෙන් ලැබෙන රුධිර පරිමාවෙන් සියයට 25ක් පමණ අපතේ යාමක් සිදුවන අතර ලේ පරිත්‍යාග ලබාගැනීම අඛණ්ඩව පවත්වාගන යාමට සිදුව ඇත. නමුත් අධිශීතකරණ ප්‍රාදේශීය මට්ටමින් ලබාදුන් පසු ලේ අවශ්‍යතාව සියයට සියයක්ම අදාළ රෝහල්වලින්ම සපුරාලීමට හැකිවනු ඇති බව අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තහවුරු කරයි. එසේම ඔහු ඉල්ලා සිටින්නේ සාමාන්‍යයෙන් දුර්ලභ ලේ වර්ග ලෙස ගැනෙන O නෙගටිව්, B නෙගටිව් සහ AB නෙගටිව් වැනි ලේ වර්ග ඇති අය සිය ලේ පරිත්‍යාගයට යොමුවන ලෙසටය.

ලේ පරිත්‍යාග කඳවුරු සංවිධානය ගැන මෙන්ම ඔබට ඇති ළඟම ලේ බැංකුව ගැන තොරතුරු www.nbts.health.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. නැතිනම් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ 0112369931-4 යන දුරකතනවලින් සතියේ සේවා දිනවල රාජකාරි වේලාවේ දී දැනගන්නට අවස්ථාව ලබා දී තිබේ.

►සුගත් පී. කුලතුංගආරච්චි