2018 ජනවාරි 13 වන සෙනසුරාදා

අපේ තේවල ආයෙත් කෘමීන්!

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

රුසියාව ලංකාවෙන් තේ ආනයනය කිරීම අත්හිටුවන්නට තීරණය කළේ අපේ තේ ගුදමක කෘමියෙකු සිටි නිසා වන බව එරටින් නිල වශයෙන් කෙරුණු නිවේදනය විය. රැසියානු ඇස්බැස්ටෝස් කතන්දර, ඔත්තුකරුවන්ගේ කතන්දර ඉන්පසුව මතුවුවද තේවල සිටි කෘමියා ඊට හේතුවූ බව රුසියාව අපට කියූ කතන්දරයයි. සිලෝන් ටී වල කෘමීන් ගැන ඇති වූ මේ කතාබහේ උණුසුම පහව යාමටත් මත්තෙන් ගාල්ලේදී පසුගියදා නැවත වතාවක් තේ වල සිට හමුවූ කෘමීන් ගැන අසන්නට ලැබුණි. 

විදේශිකයන් ඉලක්ක කරගනිමින් තේ අලෙවි කෙරුණු වෙළෙඳසැලකින් තේ මිලට ගත් විදේශිකයෙකුට එම තේ බහාලූ ටින් එක තුළ සිටි කෘමීන් කිහිපදෙනෙකු හමුවී තිබේ. අනතුරුව ඒ පිළිබඳ අදාළ විදේශිකයා තම සංචාරක ඒජන්සිය මාර්ගයෙන් ගාල්ල මහජන සෞඛ්‍ය නිලධාරීන්ට කළ දැනුම්දීමකට අනුව අදාළ තේ තොගය අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර තිබුණි. 

කෙසේ වෙතත් මේ වනවිට අනාවරණය වන අන්දමට මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හර්බල් ටී නමින් අලෙවියට සූදානම් කර තිබූ තේ වර්ගයකි. එහි තේවලට අමතරව කොත්තමල්ලි සහ තවත් ඖෂධීය කොටස් කිහිපයක්ම අඩංගු වී ඇත. එහෙත් ගැටලුව වී ඇත්තේ එහි ලේබලයේ එය තේ යනුවෙන් සඳහන් වී තිබීමය. 

ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් කළ විමසීමකදී එහි සභාපති රොහාන් පෙතියාගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ මෙය සිලෝන් ටී යන නාමය යටතේ අලෙවි වූවක් නොවන බවත් එම නිසා ඒ සම්බන්ධ පාලනයක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සතු නොවන බවත් ය. 

මෙවැනි සිදුවීමකදී අවධාරණය කළ යුතු තවත් පැතිකඩක් තිබේ. එනම් මෙරටට එන සංචාරකයන්ට ලංකාවේ සැබෑ අගයෙන් යුත් දෑ ලබාදීමේ වගකීමක් සංචාරක ඒජන්සි ආයතන ද සතුය. නිසි ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන හඳුනාගැනීමටත් වංචාකාරයින්ගෙන් සංචාරකයින් ආරක්ෂා කරගැනීමටත් එවැනි වගකිව යුතු ආයතන කටයුතු නොකරන්නේ නම් ලංකාව ගැනත් ලංකාවේ සංචාරක කර්මාන්තය ගැනත් ලෝකය හමුවේ මැවෙන ප්‍රතිරූපය අවලස්සන එකක් වනු ඇති බවට සැක නැත. 
අනෙක් අතට ග්‍රීන් ටී වුවද, සිනමන් ටී වුවද, හර්බල් ටී වුවද ලංකාවේ ටී විදේශිකයන් හඳුනාගන්නේ සිලෝන් ටී යනුවෙනි. අපේ වෙළෙන්දන් ඕනෑම තේ වර්ගයක් අලෙවි කරන්නේ ද සිලෝන් ටී කියමිනි. එවන් පසුබිමක මෙරට තේ නාමය කෙළෙසන මෙවැනි වෙළෙන්ඳන් මෙන්ම නිෂ්පාදකයන් ද සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීම කිසි ලෙසකින්වත් පමා කළ යුත්තක් නොවන බව අපේ හැඟීම ය. 

ප්‍රමිතිය හරි නැත්නම් තහනම් කරනවා

තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ

තේවලට කෘමීන් විතරක් නෙමෙයි. වැලි සහ වෙනත් ද්‍රව්‍යත් මිශ්‍රවීමේ හැකියාවක් පවතිනවා. නමුත් තේ වෙන්දේසියට ඉදිරිපත් වන තේ සම්බන්ධයෙන් අපි මේ වනවිට විශාල අවධානයකින් යුතුව කටයුතු කරනවා. යම් විදිහකට නිසි ප්‍රමිතියෙන් යුතු තේ ඉදිරිපත් නොකරන තේ කර්මාන්තශාලා තහනම් කරන්නත් අපි ඉදිරියේදී නොපැකිළව ක්‍රියාමාර්ග ගන්න සූදානම්. ගොඩක් දුරට එහෙම කම්හල් කිහිපයක්ම ඉදිරියේදී තහනමට ලක්වේවි. ඒ අතර ලංකාවේ ප්‍රසිද්ධ තේ කර්මාන්තශාලා පවා තියෙන්න පුළුවන්. ගිය අවුරුද්දේ පමණක් ඒ විදිහට නිසි ප්‍රමිතියෙන් තොර කර්මාන්තශාලා 12කින් වෙන්දේසියට තේ ඉදිරිපත් වීම වළක්වන්න අපි කටයුතු කළා. 

 රෙහාන් රාසික්

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00