2018 ජනවාරි 13 වන සෙනසුරාදා

70 වැනි නිදහසට රජ පවුලෙන් අමුත්තෙක්!

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

මෙයට වසර 70කට පෙර 1948 පෙබරවාරි 04 දා ලංකාව අධිරාජ්‍යවාදී යටත් විජිත යුගය නිමා කළේය. ඒ යටත් විජිත සමය සිහිපත් වන්නට මෙන් මෙවර නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙක් සහභාගි වීමට නියමිතය. රජ පවුලේ බඩපිස්සා වන එඩ්වඩ් කුමාරයාය.  අප අද පෙබරවාරි 4 සමරන්නේ ලංකාව නිදහස ලැබූ දිනය හැටියටය. නමුත් 1948 පෙබරවාරි 23 නිකුත් වූ ටයිම් සඟරාව එදා හරියටම සිදුවූයේ කුමක්දැයි යථා අයුරින්ම වාර්තා කර තිබුණි. මෙන්න මේ ආකාරයටය. “වසර 2000 කාලයක් ඉන්දීය සාගරයේ ලංකා දූපතේ කන්ද උඩරට සිංහ කොඩිය ලෙළදුන්නේය. 1815 දී කන්ද උඩරට සිංහයා බිම වට්ටන ලදී. එතැනම වඩාත් ප්‍රසිද්ධ ඒ වංශයේම තවත් සාමාජිකයෙක් හට ඉඩ ලබාදීමටය...., පසුගිය සතියේ බ්‍රිතාන්‍ය සිංහයා ලංකාව හැර ගියේ නැත, ආගන්තුකයකු ලෙසින් එහිම රැඳී සිටියේය.”

එදා ටයිම් සඟරාව නිවැරදිව කියා ඇති පරිදි 1948 පෙබරවාරි 04දා අපට ලැබුණේ අඩ නිදහසකි. නැත්නම් ඩොමිනියන් තත්ත්වයක් හෙවත් ස්වාධීන රාජ්‍ය තත්ත්වයකි. වඩාත් තේරෙන බසින් කිවහොත් බ්‍රිතාන්‍ය ධජයත්, කිරීටයත්, රජතුමාත්, නීතියත් හිස් මුදුනේ තබාගත් රූකඩ රාජ්‍යක්. ඒ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් සැබෑවටම රට මිදුණේ 1972 ජනරජ ව්‍යවස්ථාවට පින් සිදුවන්නටය. ඉන්පසු කාලයක් මැයි 22 ජනරජ දිනය නිදහස් දිනය ලෙස සැමරුණේය. නමුත් 70 දශකයේදී මේ තත්ත්වය පරණ පුරුද්දටම සින්න වී ගියේය. තවමත් සුද්දා සිටියා නම් හොඳ යැයි කියන අය මේ රටේ ඕනෑතරම් දකින්නට හැකිය. සුද්දා අපට අවශ්‍ය දේ තෝරාබේරා දීමට සමත් දෙව්ලොව වැඩවසන දෙවියන් වහන්සේ තරම්ම බලගතු පාලකයකු ලෙස අපේ අය තාමත් පිළිගනිති. නමුත් එඩ්වඩ් කුමාරයාට ලංකාවේ නිදහස් දිනය දා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වන්නට ආරාධනය යැවෙන්නේ ඒ ගැතිබව නිසා නොව බ්‍රිතාන්‍ය හා අප අතර ඇති ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික බැඳීම නිසා බව මතක තබාගත යුතුය.

එංගලන්ත රාජකීයයන් හට අපේ රටේ සුවිශේෂී සංචාරයන් සඳහා මෙයට පෙරද අවස්ථාව සලසා දී තිබුණි. මහරැජන ලෙස දැන් අප කවුරුත් දන්නා, ලෝකයේ වැඩිම කාලයක් ඔටුන්න දරමින් ජීවත් වන්නිය හැටියට වාර්තාවක් තබා ඇති එලිසබෙත් මහරැජන ලංකාවට මුලින්ම ආවේ තමන්ගේ 28 වැනි වියේදීය. 1954 පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සිදුකළ සංචාරය අතරතුරේ දී දෙවැනි එලිසබෙත් රැජන සහ ඇගේ අතගත් එඩින්බර්ග්හි ආදිපාද පිලිප් කුමරු ලංකාවට පැමිණ සංචාරයක යෙදුණහ. මේ ගමනේ රැජන සීගිරි දඹුලු ගිය කතාවත් එදා රැජනගේ රැළිගවුම තද සුළඟින් ඉහළට එසවුණු අයුරුත් එතැන සිටි සර් ජෝන් කොතලාවල අගමැතිවරයා ඒ දුර්ලභ අවස්ථාව ඡායාරූපයට නගන්නට යැයි කියමින් ඡායාරූප මාධ්‍යවේදියකුට මොරදුන් කතාවත් රස කතාවක් සේ මතකයට එක්ව තිබෙන්නකි. එදා අලි 140ක් සහිත මහ පෙරහරකින් ඇය පිළිගන්නට කටයුතු යොදා තිබුණි. මේ වනවිට අපේ නිවසේත් පැත්තකට දමා තිබෙන කාලාන්තරයකට පෙර රටේ බොහොමයක් නිවෙස්වල මැද සාලයේ ප්‍රධාන තැනක් දී එල්ලා තිබූ එලිසබෙත් රැජන සහ පිලිප් කුමරුගේ විශාල ඡායාරෑපය බෙදාහැරුණේද මේ ගමනේ සමරුවක් හැටියටය. ඒ ඡායාරූපයේ තරුණ රැජන හා පිලිප් කුමරුත්, එවකට කුඩා දරුවන් වූ ඈන් කුමරිය සහ චාල්ස් කුමරුගේත් උඩුකය සේයාරූ දක්නට ලැබේ.

ඉන්පසු මෑත කාලයේ රැජන දෙවැනි වතාවට ලංකාවට පැමිණියේ 1981 දීය. එම වසරේ ඔක්තෝබර් මස 21 සිට 28 දක්වා සිදුවූ මේ සංචාරයට ඈ සහභාගි වූයේ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායිකාව හැටියටය. එදා ඒ වනවිට වැඩ අරඹා තිබූ ලංකාවේ විශාලතම ජලවිදුලි ව්‍යාපෘතිය වන වික්ටෝරියා ජලාශයේ ඉදිකිරීම් නැරඹීමටද ඈ අමතක නොකළාය. ඊටත් වසර හතරකට පසු වික්ටෝරියා වේල්ල විවෘතකිරීම සඳහා බ්‍රිතාන්‍යයේ සිටි යකඩ ගැහැනිය මාග්‍රට් තැචර් අගමැතිනිය සහභාගි වූවාය.

1995 දී රජ පවුලේ වැඩි ප්‍රසිද්ධියට පත්නොවූ සාමාජිකාවක වන ඈන් කුමරිය ලංකාවට පැමිණියාය. ඇය එවකට සභාපතිත්වය දැරූ Save the children ව්‍යාපෘතියේ දේශීය මෙහෙයුම් ගැන සොයා බලන්නටය.

ලංකාවේ නිදහස් උළෙලක රාජ්‍ය අමුත්තා වන්නට මුලින්ම වාසනාව ලැබුණේ චාල්ස් කුමරුටය. 1998 පෙබරවාරි 3 සහ 16 අතර කාලසීමාව තුළ ලංකාවේ 50 වැනි නිදහස් සමරුවට සහභාගි වූ චාල්ස් කුමරු රට පුරා සංචාරයක යෙදුණේ කොටි තර්ජන මැද දැඩි ආරක්ෂා වළල්ලකින් වට වී ගත් ගමන්ය. 2005 වසරේදී ද චාල්ස් කුමරු ලංකාවට පැමිණ ගියේය. ඒ සුනාමි ඛේදවාචකයට මුහුණපෑ ලංකාවේ දුක බෙදාහදා ගන්නටය. ඉන්පසු නැවත වතාවක් 2013 වසරේදී චාල්ස් කුමරු ලංකාවට ආවේ මහරැජන නියෝජනය කරමිනි. එම වසරේ නොවැම්බරයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ සමුළුව නමින් කවුරුත් දන්නා (චෝගම්) සමුළුවට එක්වන්නටය. ඉන්පසුව බ්‍රිතාන්‍ය රාජකීයයකු ලංකාවේ ප්‍රධාන පෙළේ ඓතිහාසික උත්සවයකට සහභාගි වන්නට එන අවස්ථාව ලෙස මෙවර සමරන 70 වැනි නිදහස් උළෙල දැක්විය හැකිය. ඒ අවස්ථාවට එන එඩ්වඩ් කුමරු රජ පවුලේ වැඩි කලඑළි නොබසින චරිතයක් ලෙස ප්‍රසිද්ධ නමුදු රාජකීය වගකීම් අකුරටම ඉටුකරන්නකු ලෙස ප්‍රසිද්ධය.

දෙවැනි එලිසබෙත් රැජන හා පිලිප් කුමරුට දරුවන් හතර දෙනෙකි. චාල්ස් කුමරු, ඈන් කුමරිය, ඇන්ඩ_ කුමරු සහ ලබන මස ලංකාවට එන්නට නියමිත බාලම පුත් කුමරා වන එඩ්වඩ් ඇන්ටනි රිචඩ් ලුයිස්ය. 1964 මාර්තු මස උපන් ඔහු දැන් 54 හැවිරිදි වියේ සිටින්නෙකි. රජ පවුලේ සිටින විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ හතර දෙනා අතරින් කලා උපාධියක් ලැබූ තැනැත්තා ඔහුය. එඩ්වඩ් කුමරු වැඩිය කලඑළි බසින තැනැත්තකු නොවූවද රජ පවුලේ සාම්ප්‍රදායික රාජකාරි සහ වගකීම් අකුරටම ඉටුකරන්නකු හැටියට ප්‍රසිද්ධය. උපත ලබන කාලයේ ඔහු රජ ඔටුන්නට හිමිකම් කියන තුන්වැනියා ලෙස සිටියද දැන් ඔහු ඒ පෝලිමේ 9 වැනියා වන අතර අලුත් රාජකීය දරුවෙක් උපන්නොත් ඔහු දහවැනි තැනට පත්වෙන්නට නියමිතය. නමුත් දැනට එසෙක්ස් හි වංශාධිපති පදවිය දරන එඩ්වඩ් කුමරු කල් නොයවාම එඩින්බරෝ ආදිපාද ධුරයට පත්වීමට නියමිතය. ඒ පසුගිය වසර මුලදී පිලිප් කුමරු සිය පදවිය අත්හරින්නට තීන්දු කිරීමත් සමඟිනි. මේ නිසාම සිය පියාගේ හෙවත් පිලිප් කුමරුගේ ආදිපාද ධුරයේ රාජකාරි සහ වගකීම් බොහෝමයක් පැටවී ඇත්තේ එඩ්වඩ්ගේ කර මතය.

එඩ්වඩ් කුමරු හා ඔහු අතගත් වෙසෙක්ස්හි වංශාධිපතිනිය සොෆි රිස්ජෝන්ස්, රජ පවුලේ රැජනට හා පිලිප් කුමරුට ඉතාම සමීප යුවලයි. රැජනගේ රාජකාරි වලින් බොහෝමයක් ආවරණය කරන්නේ මේ දෙපලයි. එඩ්වඩ් කුමරු ලොව පුරා ප්‍රධාන පෙළේ සුබසාධන සංවිධාන 79ක ප්‍රධානත්වය දරන්නෙකි. බොහෝමයක් තරුණ අභිවෘද්ධිය ඉලක්ක කරගත් ඒවාය. කාර්යබහුල තැනැත්තකු වන ඔහු 2014 වසරේදී පමණක් රාජකාරි 496ක් ඉටුකර තිබුණි. දැන් ඔහුට සිය පියා මූලිකත්වය දුන් සංවිධාන 709ක පමණ රාජකාරි සහ වගකීම් ගැනද සොයාබැලීමට සිදුව ඇත. ජේම්ස් සහ විස්කවුන්ට් යන දූ දරු දෙදෙනකුගේ පියෙක් වන එඩ්වඩ් කුමරු පවුලට ලැදි හොඳ ආදර්ශවත් තාත්තා කෙනෙකි. මේ සියල්ල අතර ඔහු සම්බන්ධයෙන් ඇති කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඔහු රජ පවුලේ දික්කසාද නොවූ එකම තැනැත්තා වීමය. නිහඬ, කාර්යශූර, විශ්වාසවන්තයකු ලෙස රැජනගේ හිත තදින්ම දිනාගන ඇති එඩ්වඩ් කුමරු හා සොෆි කුමරිය දෙදෙනාම කලින් මාධ්‍යවේදීන් වීම මේ දෙදෙනා සම්බන්ධ තවත් අපූරුවකි.

♦ සුගත් පී කුලතුංගආරච්චි