2018 ජනවාරි 13 වන සෙනසුරාදා

තමිල්නාඩුව හොල්ලන රැජිනිකාන්ත්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

තමිල්නාඩුව තුළ දේශපාලන විප්ලවයක් ඇතිකිරීමට ජනකාන්ත නළු රැජනිකාන්ත් ඉදිරිපත්ව තිබේ. අන්තර්ජාලය ඔස්සේ ගෙන යන නූතන යුගයේ මැතිවරණ සටනකට හොඳම උදාහරණය ලෙස රැජනිකාන්ත්ගේ සම්ප්‍රාප්තිය හඳුන්වා දිය හැකිය. DMK සහ AIADMK පක්ෂ අතර බලය දෝලනය වන තමිල්නාඩුවට අලුත් පක්ෂයක් හඳුන්වා දීම රැජනිකාන්ත්ගේ අරමුණ වී තිබේ. ඔහුගේ පක්ෂය ද අමුතු එකකි. එය රැජනිකාන්ත් රසිකයන්ගේ එකමුතුවකි. තමිල්නාඩුවට උරුම නළු නිළියන් ජන නායකත්වයට පත්කිරීමේ සංස්කෘතිය තුළ රැජනිකාන්ත් හට උදා වී ඇත්තේ ජය ඒකාන්ත වූ ගමන් මාර්ගයකි. තමිල්නාඩු දේශපාලනය දෝලනය වූ පක්ෂ අතරින් ජයලලිතා ජයරාම්ගේ AIADMK අත රැඳි තමිල්නාඩු පාලනය ඇගේ මරණයත් සමඟ ලොකු කම්පනයකට පත්විය. දැන් එහි ඇත්තේ පාවෙන දේශපාලනයකි. දූෂණ, වංචා, අපරාධ බඳු අවකෙළි එළිපිටම පවතින තමිල්නාඩුවේ යහපාලනයක් ඇති කිරීම රැජනිකාන්ත්ගේ උත්සාහයයි. තමන් එන්නේ මුදල් සොයන්නට නොව දමිළ ජනතාවට කාන්තාවන් ළඟ දණගසා සිය අවශ්‍යතා ඉටුකරගැනීමට සිදුව ඇති තත්ත්වය නැතිකර සාධාරණ සමානාත්මතා සමාජයක් තිළිණ කිරීමට බව රැජනිකාන්ත් කියා තිබේ. 

රට පුරා ඇති තමන්ගේ රසික සමාජ එක්කර ගනිමින් සහ ෆේස්බුක් සහ ට්විටර් ඔස්සේ සිටින රසික පිරිස සම්බන්ධ කරගනිමින් තමන්ගේ නව පක්ෂය පිහිටුවීමට රැජනිකාන්ත් ක්‍රියා කළේ පසුගිය ඉරිදාය. බදාදා වන විට ඔහු තමන්ගේම වෙබ් අඩවියක් ද මොබයිල් App එකක් ද හඳුන්වා දී තිබුණි. පසුගිය බ්‍රහස්පතින්දා චෙන්නායි වෙත ගිය 67 හැවිරිදි රැජනිකාන්ත් DMK නායක 93 හැවිරිදි කරුණානිධි හමුව සිය දේශපාලන ගමනට මංගල විවරණ ලබාගත්තේය. රටේ සිටින වයෝවෘද්ධතම දේශපාලනඥයා වන කරුණානිධි තමන්ගේ වන්දනාවට ලක් වූ තැනැත්තකු බවත් සිය දේශපාලන ගමන ආරම්භ කළ බව ඔහුට දන්වා ආශිර්වාදය ලබාගැනීම සිය ගමනේ අරමුණ වූ බවත් රැජනිකාන්ත් කියා තිබුණි.
රැජනි කාන්ත් හා කරුණානිධි අතර සම්බන්ධය 1996 තරම් ඈත කාලයක් දක්වා දිවැයන්නකි. තමිල්නාඩුව තුළ මෙන්ම සමස්ත ඉන්දියාව තුළ ද සිනමා වීරයකු වූ රැජනිකාන්ත් හට සුවිශාල රසික ප්‍රජාවකගේ ඇල්ම බැල්ම ලැබේ. 1996 දී රැජනිකාන්ත් ජයලලිතාට ඡන්දය නොදෙන ලෙස ප්‍රසිද්ධියේම සිය රසික පිරිස වෙතින් ඉල්ලා ලොකු පෙරැළියක් කළේය. ප්‍රතිඵලය වූයේ ජයලලිතා ගෙදර යවා කරුණානිධිගේ DMK ප්‍රමුඛ කොංග්‍රස් සන්ධානය බලයට පැමිණීමයි. කෙසේවුවද තමන්ට එදා සිදුවූයේ අත්වැරැද්දක් බව රැජනිකාන්ත් කියා තිබුණි. රැජනිකාන්ත් 1980 දී DMK පක්ෂයේ 75 වැනි සමරු රැලිය වූ (මුරාසෝලි) හි වේදිකාවේ විශේෂ අමුත්තකු ලෙස සහභාගි වූයේය. තමන් හා කරුණානිධි මෙන්ම ඔහුගේ පුත්‍රයා අතර ඇති සබඳතාව හේතුකොට එදා සමරුවට පැමිණි බව රැජනිකාන්ත් කියා තිබුණි.

DMK සහ AIADMK පක්ෂ දෙක අතර බලය දෝලනය වන ප්‍රාන්තයක් ලෙස ඉතිහාසගතව ඇති තමිල්නාඩුවේ ආසන 234ටම නව පක්ෂයක් යටතේ සටන් වදින බව රැජනිකාන්ත් ප්‍රකාශ කර තිබේ. අගමැති මෝදිගේ BJP ය මෙන්ම ඉන්දීය කොංග්‍රසය ද තමිල්නාඩුව තම අණසක යටතට ගන්නට නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් තිබෙන අතරතුරය.

“තමිල්නාඩුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටුවට වැටිලා. අනෙක් ප්‍රාන්තවල අය තමිල්නාඩුවට හිනාවෙනවා. මේ වගේ වෙලාවක මේ තීන්දුව ගත්තේ නැත්නම් මම වරදක් කළා කියලා මටම හිතේවි. ඒ හින්දයි මම ඉදිරිපත් වෙන්නේ. මේක කාලය විසින් බලකිරීම නිසා ගනු ලබන තීන්දුවක්.” රැජනි කාන්ත් තමන්ගේ දේශපාලන තීන්දුව ගැන ලෝකයට කියා තිබුණේ එලෙසිනි. තමිල්නාඩුවේ ජනතාව කවදත් සිය චිත්‍රපට වීරයන්ට දෙවියන්ට මෙන් සලකති. එම්.ජී. රාමචන්ද්‍ර මියයනතුරුම ඔවුන්ගේ දෙවියා බවට පත්ව සිටියේය. අන්තිමේදී වැඩි ප්‍රසිද්ධියක් නැති නිළියක වූ ඔහුගේ බිරිය බලයට පැමිණියාය. ඉන්පසු වැඩිම කාලයක් ප්‍රාන්තයේ බලය අල්ලාගන සිටියේ ජනතාව (අම්මා) යන සුරතල් නාමයෙන් හැඳින්වූ ජයලලිතා ජයරාම්ය. ජයලලිතාගේ මරණයෙන් පසු රැජනකාන්ත්ගේ නම කියැවුණද මහ ඇමැති පුටුවට තිබූ බලපොරය නිමාවූයේ ජයලලිතාගේ අන්තේවාසිකාව වූ ශෂිකලාගේ ආගමනයත් සමඟිනි. නමුත් ඇය ද දූෂණ වංචා චෝදනා යටතේ සිරගත වූවාය. දැන් ප්‍රාන්තය ලූලා නැති වළක් බඳු ‍හේබාගිය පාලනයකට නතුව තිබේ. අගමැති මෝදි බොරදියේ මාළු බාන්නට සැරැසී සිටින්නේ මේ අතරය. නොනවතින ජනකාන්ත රැල්ලක් සමඟ ප්‍රාන්තය ගිලගන්නට සුනාමියක් මෙන් රැජනිකාන්ත් කඩාපනින්නේ මෙවන් මොහොතකය. 

ෂිවාජි රාඕ ගයෙක්වාද් නමින් කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ උපත ලද රැජනිකාන්ත්ගේ දැන් වයස 67 කි. කුඩා කාලයේ ඉගෙනීමට ලැදි ක්‍රිකට්, ෆුට්බෝල් සහ බාස්කට් බෝල් පිස්සෙකු ලෙස සිටි ෂිවාජි රාඕ; රාමක්‍රිෂ්ණ මිෂන් විද්‍යාලයට බැඳී වේදය ඇතුළු අධ්‍යාත්මිකත්වයට නැඹුරු වූ අධ්‍යාපනයකට යොමුවිය. ඒ කාලයේම මීසමේ නාට්‍යවලට එක් වූ ඔහු තමන් තුළ වූ රංග ශිල්පියා හඳුනාගන්නට සමත් විය. වේදිකාවත් අධ්‍යාපනයත් අතරින් වේදිකාවට වැඩි ඇල්මක් දැක්වූ ෂිවාජි හට පාසලෙන් අස්වූ පසු පුංචි පහේ රැකියා කිහිපයකම අත්දැකීම් ලබන්නට සිදුවිය. වරෙක කුලීකරුවෙකු ලෙස බඩුමුට්ටු කරගසමින් ද කාලයක් වඩුවැඩ කරමින් ද කල්ගෙවූ ඔහු අන්තිමේ නතර වූයේ බැංගලෝර් ගමනාගමන සේවයේ කොන්දොස්තරවරයකු හැටියටය. මේ අතරේ ඔහු වේදිකාවේ ඉහළම තලයට ගමන් කළේය. මහා භාරතයේ දුර් ­­­යෝධය ලෙස කරන රඟපෑමට සම්මානනීය පිළිගැනීමක් හිමිවන අතර මිත්‍රයකු වූ බාලචන්ද්‍රන්ගේ උදව්වෙන් සිය ප්‍රථම චිත්‍රපටයට දායකවන්නට ඔහුට ලැබේ. 1975 තිරගත වූ (අපූර්ව රාගාග්නි) චිත්‍රපටයේ ඔහු සුළු චරිතයක් රඟපෑවද සම්මාන ගණනාවකට පාත්‍ර වූ මේ මගින් ඔහුට ඉහළ ජන ප්‍රසාදයක් හිමිවෙයි. ඒ ගමන නවතින්නේ ආසියාවේ ජැකී චෑන්ට පමණක් දෙවැනි ඉහළම ආදායම ලබන ජනකාන්ත යුගයේ ප්‍රබලතම නළුවා බවට පත්වීමෙනි. ඔහු දේශපාලනයට තල්ලු කරන්නේ ද මේ ජනකාන්ත භාවයයි. 95 දී ඔහු ඉන්දීය කොංග්‍රසයේ ආධාරකරැවකු ලෙස එක්වීමත් සමඟ එම පක්ෂයට පහසු ජයක් ලැබෙන බවට විචාර පළවන්නේ රැජනි කාන්ත්ගේ රසික ඡන්ද තොගය කොංග්‍රස් ඡන්ද මල්ලට දමා ගණන් ගැනීමත් සමඟිනි. නමුත් 1996 දී ඔහු කොංග්‍රසයට පිටුපාන්නේ එය AIADMK සමඟ එක්වීමත් සමඟිනි. ඔහුගේ රසික ඡන්ද තොගයේ බලපෑම මුල්වරට තහවුරු වන්නේ ඒ ඡන්දයේ දී රැජනිකාන්ත්ගේ ආධාර ලැබූ කරුණානිධිගේ DMK පක්ෂය ජය ලැබීමත් සමඟිනි. 2008 දී කොයිම්බතුර්හි රැජනිකාන්ත් රසික පිරිසක් ඔහු දේශපාලනයට ගෙන ඒම සඳහා අලුත්ම පක්ෂයක් තමන්ම අටවාගත්හ. පක්ෂයට ධජයක් සහ ලකුණක් පවා නිර්මාණය කරමින් ඇරඹුණු මේ DDMMK නම් වූ අලුත් පක්ෂය දියාරුවී ගියේ රැජනිකාන්ත් තමන් දේශපාලනයට නොඑන බව කියා මඟහැරීමත් සමඟිනි.

“මාව කාටවත් දේශපාලනයට ගේන්නත් බෑ. මම එන්න හිතුවොත් කාටවත් ඒක වළක්වන්නත් බෑ.” රැජනිකාන්ත් එදා කියා තිබුණේ එසේය. අද ඔහු කියන්නේ ද තමන් 2021 දී තමිල්නාඩු දේශපාලන බලය ඇල්ලීමෙන් වළක්වන්නට කිසිදු ජගතෙක් නැති බවමය.

♦ සුගත්