2018 ජනවාරි 13 වන සෙනසුරාදා

මැතිසබයේ ගාල කඩා ගැනීම

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

රටේ නීති හදන තැන පසුගියදා ඇතිවුණු මහා ගාලගෝට්ටිය කෙනෙකුට අනුව තවත් සාමාන්‍ය සිදුවීමක් වන්නට පුළුවන. පාර්ලිමේන්තු විවාද අතරමැද සෙංකෝලය උස්සාගෙන දිවීම, ව්‍යවස්ථාව ගිනි තැබීම, මිනී පෙට්ටි සභා ගැබ තුළට ඔසවාගෙන ඒම, ගුටි ඇන ගැනීම, පරුෂ වචනයෙන් කෑකෝ ගැසීම මෑතකාලීන පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අතිශය සාමාන්‍ය සිදුවීම් බවට පත්විය. දේශපාලනඥයන්ට මේ පාර්ලිමේන්තු විගඩම සාමාන්‍ය දෙයක් වුවද රටේ වගකිව යුතු පුරවැසියන්ට එය එසේ යැයි සිතා බකන්නිලා සිටීමේ හැකියාවක් නැත. මේ පිළිබඳ විචක්ෂණ සංවාදයක් අවැසි වන්නේ එබැවිනි.

අපට අරියාදු කරලා හොරකම් යටගහන්න බෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ 

පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච සිද්ධියට හේතුව තමයි කථානායකතුමා දාගත්ත අවුල. ඊයෙ සභාව රැස්වුණේම බැඳුම්කර වාර්තාව ගැන විවාදයට ගන්නයි. ඒත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර අගමැතිතුමා විශේෂ ප්‍රකාශ කරන්න ලෑස්ති වුණ එකට අපි විරෝධය පළකළා. හැබැයි කථානායකතුමා කිසිම ගාණක් නැතිව ඒකට ඉඩ දීලා බලන් හිටියා. ඊයේ ඇතිවුණු සිද්ධිය ගැන අපි බොහොම කණගාටු වෙනවා. අනික මම මරික්කාර් මන්ත්‍රීතුමාට පහර දුන්නෙ නෑ. අපි විරෝධතා කොළ ප්‍රදර්ශනය කරමින් ඉන්දැද්දි එයාලා තමයි ඇවිත් ඒවා උදුරගෙන යන්න හැදුවෙ. ඊටපස්සෙ මම සීට් එකේ වාඩිවෙලා ඉද්දි මරික්කාර් මන්ත්‍රීතුමා මගේ පිටට ගහලා ගියා. අපි කවුරුත් පෞද්ගලික කෝන්තර පිරිමහන්න පාර්ලිමේන්තු එන්නෙ නෑනෙ. ඊට ඇති වෙච්ච සිද්ධිය ගැන ඇත්තටම කණගාටුයි. තරුණ මන්ත්‍රීවරුන්ව උසිගන්වපු එක තමයි ඊයෙ සිද්ධියට හේතුව. අපිට අරියාදු කරලා හොරකම් යටගහන්නයි  ආණ්ඩුව උත්සාහ  කරන්නෙ. 

මට ගැහැව්වා මමත් ගැහැව්වා

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා මාව අල්ලන් ඉන්දැද්දි ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමා මට ගැහුවා. මමත් දුන්නා එතුමාට. මම ගැහුවා. ඉතින් ගුටිකාලා බලන් ඉන්න සිරිතක් නෑනෙ කොහෙවක්වත්. පහුගිය අවුරුදු දෙකේම මේ අය පාර්මේන්තුව කඩාකප්පල් කරන්න කරපු වැඩේම තමයි මේ කළේ. අර කරුණු හෙළිවෙයි කියලා බයට ඒ අය පුවරු අරගෙන අගමැතිතුමාගේ ප්‍රකාශය යන වෙලාවෙ අගමැතිතුමාට ප්‍රකාශය කරන්න ඉඩ දුන්නෙ නෑ. පාර්ලිමේන්තුව පටන්ගත්ත මුල් අවස්ථාවෙ ඉඳලා ඒ අය පුටුවලින් නැගිටලා සභාව මැද්දට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කඩාකප්පල් කරන වැඩක් තමයි ඒ ගියේ. ඔවුන් තමයි ඉස්සෙල්ලාම පහරදීම් පටන්ගත්තෙ. 

මැතිසබේ පාලනයක් නෑ

නීතීඥ දර්ශනී ලහඳුපුර මොරවක

රටක ප්‍රධාන ආයතන තුනක් තිබෙනවා. ඒ තමයි විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව තමයි අපේ රටේ ව්‍යවස්ථා සම්පාදනය කරන ස්ථානය. අපිට පහුගිය කාලය පුරාවටම පාර්ලිමේන්තුවෙන් දකින්න ලැබුණේ වැරදි හැසිරීම් රටාවක්. 

පහුගියදා මෙතැනදී උද්ගත වුණු ප්‍රශ්නය තමයි බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තිබියදී අගමැතිවරයා ප්‍රකාශයක් කරන්න කටයුතු කිරීම. අනිත් අයගේ වැරැදි ඉස්මතු කරමින් මේ විදිහට එතුමා කටයුතු කිරීම එතුමා දිහා බලාගෙන ඉන්න අනාගත දේශපාලන නායකයන්ටත් වැරුදි පූර්වාදර්ශයක්. අනික් අතට කථානායක තනතුරේ ලොකු හෑල්ලුවීමකුත් මේ සිද්ධිය එක්ක අපිට දකින්න ලැබුණා. තමන්ගේ මයික්‍රෆෝනයේ හඬ නැතිවුණාම කවුරැන් හෝ එළියට දානවා කියලා අගමැතිවරයා ප්‍රසිද්ධියේම කියනවා. ලෝකෙ කිසිම තැනක එහෙම කතාකරලා නැතුව ඇති. මැතිසබය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනා තුළ තිබෙන විශ්වාසය සෑහෙන දුරට පළුදු වෙලා ගිහින් කියන කාරණය පහුගිය කාලේ දිගින් දිගටම පෙනුණා. අද කථානායක තනතුර නිවේදක තනතුරකට සීමාවෙලා. 

මේ ඇත්තටම පාර්ලිමේන්තුවට උගත් වගේම බුද්ධිමත් මහජන නියෝජිතයන් පත්විය යුතු කාලයක්. ඒ නිසා දේශපාලනය කියන්නේ මඩ ගොහොරැවක් කියමින් තවදුරටත් කල්මරන්නෙ නැතිව උගත් වෘත්තීයවේදීන් ඉදිරියට පැමිණිය යුතුයි. කෝලම් මඩුවක් වෙලා තියෙන පාර්ලිමේන්තුවට නිසි ගෞරවය ලබාදෙන්න පුළුවන් එතකොටයි. 

මෙහෙම ගියොත් ජනතාවට දේශපාලනය එපා වෙනවා

නීති ශිෂ්‍ය ශකිලා හර්ෂණී පෙරේරා - කිරිබත්ගොඩ

පාර්ලිමේන්තුව කියන්නේ රටේ උත්තරීතර ආයතනයයි. ඒ උත්තරීතර බව අඩුම තරමින් සංකේතාත්මකව හෝ පවත්වාගෙන යෑමේ වගකීමක් පාර්ලිමේන්තුවට තියෙනවා. ඒ කියන්නේ අපි උසාවියකට ඇතුළු වෙන්නේ යම්කිසි පිළිවෙළකටයි. ෂර්ට් උඩින් දාගෙන, ටැටූ පේන්න අපි උසාවියකට යන්නෙ නෑ. උසාවිය ගැන ගෞරව හැඟීමක් ඇතිවෙන්නෙත් ඒ අනුවයි. පාර්ලිමේන්තුව තුළත් ඒ ගෞරවපූර්ව බව තිබිය යුතුයි. 

අනිත් අතට අපේ පාර්ලිමේන්තුව ඇතුළෙ සිද්ධ වෙන දේවල් අපි විතරක් නෙමෙයි මුළු ලෝකෙම දකිනවා. ඒ නිසා ජාත්‍යන්තරය තුළත් අපේ පාර්ලිමේන්තුව, අපේ දේශපාලනය හෑල්ලුවට ලක්වෙනවා. මේ හැමදෙයක්ම නිසා අන්තිමට සිද්ධ වෙන්නේ අපේ මිනිස්සු දේශපාලනයෙන්, ඡන්ද පොළෙන් ඈත් වෙන එකයි. මිනිස්සුන්ට දේශපාලකයන්වත්, දේශපාලනයත් සියල්ල එපාවේවි. අද පාරට බැහැලා මිනිස්සු පස් දෙනෙක්ගෙන් ඇහුවොත් හතරදෙනෙක්ම කියන්නේ කාට ඡන්දෙ දුන්නත් වැඩක් නෑ කියලයි. පුරවැසියන් විදිහට පාර්ලිමේන්තුව තුළ ඔය වගේ හැසිරීමක් අපිට කිසිම විදිහකින් අනුමත කරන්න බැහැ. මොකද පාර්ලිමේන්තුව කියන්නේ පාතාලෙවත් මුඩුක්කුවක්වත් නෙමෙයිනෙ? අනිත් අතට යහපාලනය කියන ටැග් ලයින් එක ඉදිරිපත් කරන ආණ්ඩුවකින් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් බෑ. අගමැතිවරයාගේ හැසිරීමත් ගැටලුකාරීයි.

දෙකේ පන්තියේ හැසිරීමක්

කේ.ඒ. ලීලානන්ද මහතා - හොරණ

එදා සිද්ධ වෙච්ච දේ ගැන නම් කතාකරන්නත් ලජ්ජයි. ඇත්තටම විකාරයක් වගේ තමයි පාර්ලිමේන්තුව පෙනුණෙ. හරියට අර දෙකේ පන්තියේ ළමයින්ගේ නාට්ටියක් වගේ. වගකිවයුත්තෝ පාර්ලිමේන්තුව ඇතුළෙ පෙළපාලි යන්න වගේනේ කෑගැහුවෙ. පාර්ලිමේන්තුවා කියන්නෙ රටේ නීති හදන තැන. ඉතින් නීති හදන අය මෙහෙම හැසිරෙනවා නම් නීති කඩනවා නම් කොහොමද රටක් විදිහට අපි ඉස්සරහට යන්නෙ. පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසය නම් මේ වෙද්දි එහෙම් පිටින්ම බිඳවැටිලා ඉවරයි. 

පාර්ලිමේන්තු වියදම්

  • පාර්ලිමේන්තුවේ දෛනික වියදම රුපියල් ලක්ෂ 40ක් පමණ වේ. 
  • ඒ මන්ත්‍රීවරු 225 දෙනෙකුට අදාළ පහසුකම් සැලසීමට ය. 
  • එහිදී මන්ත්‍රීවරු 225 දෙනාටම රුපියල් 2,500/- ක පැමිණීමේ දීමනාවක් හිමිවේ. 
  • පැමිණීමේ දීමනා වශයෙන් පමණක් මන්ත්‍රීවරු වෙනුවෙන් පාර්ලිමේන්තුව දිනකට වැය කරන මුදල රුපියල් පන් ලක්ෂයකට වැඩිය. 
  • දෛනික පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව රුපියල් විසි දහස දක්වා වැඩි කිරීමට ද පසුගිය කාලයේදී රජයේ අවධානය යොමුවී තිබුණි. 
  • දැනට පාර්ලිමේන්තුව සඳහා වැයවෙන වාර්ෂික සමස්ත වියදම රුපියල් ලක්ෂ 24,000ක් පමණ වේ. 

 රජිත ජාගොඩ ආරච්චි

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00