2018 ජනවාරි 13 වන සෙනසුරාදා

රන් හොරකමට මාට්ටු වූ වික්ටර් අලුත ගෙනා මනමාලි

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1181

ආචාර්ය වික්‍ටර් රත්නායක යනු රටක් සැනසූ රටක් පිනවූ රටක් ආදරය කළ ගායකයෙකි. මේ නිසා වික්ටර් රත්නායකට රටේ ජනතාවගෙන් ඇත්තේ නොසිඳෙන ගෞරවයකි.

එහෙත් හදිසියේම වික්ටර් රත්නායක සම්බන්ධයෙන් ඇසුණු පුවතකින් පසුගිය කාලයේ රටම කැළඹී ගියේය. ඒ ඔහු සිදුකරගත් කසාදයක් නිසාය. මේ කසාදයට පළමු ප්‍රහාරය එල්ලවූයේ ඔහුගේම දරුවන්ගේ පැත්තෙනි. වික්ටර් රත්නායකයන්ගේ බාල පුතු ලෙලුම් එළිපිට සිය පියාගේ බිරියට බැණ වැදුණේ ඇය පියාව රවටාගෙන ඇති බව කියාය. එසේම ඇය වංචාකාරියක් බවත් ඔහු එළිපිට කීවේය. මෙයට ප්‍රතිඋත්තර දෙමින් වික්ටර් රත්නායක කීවේ මෙය තමාගේ තෝරාගැනීම බවත්, ඇයට ආදරය කරන බවත් තමන්ට තේ එකක් හදාදීමට හෝ කිසිවකු නැති බවත්ය. මේ කතාබහ පත්තර පිටු ගණනින් පිරවුණු අතර පසුගිය කාලයේ රටේ ලොකුම සිද්ධියක් වූයේ එයය. කෙසේ වෙතත් මේ පවුල් ප්‍රශ්නය ජනමාධ්‍ය යොදාගනිමින් පාර්ශව දෙකම හොඳ හැටි මඩ නාගත් බව ප්‍රථමයෙන්ම කිව යුතුය. අපට කාටත් වඩා වික්ටර් රත්නායකයන් වටිනා නිසා ඔහුගේ සහෘදයෝ එය සතපහකට ගණන් නොගත්හ.

එහෙත් හිටි හැටියේම නැවතත් වික්ටර් රත්නායකගේ අලුත් බිරිය ගැන අමුතුම කතාවක් කරළියට ආවේය. ඒ රාජ්‍ය බැංකුවකින් රත්තරන් සොරා ගැනීමේ සිද්ධියක් ගැනය. ඒ ගැන සැකපිට ඇය තංගල්ල විශේෂ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගත් අතර පසුව ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනිදා තෙක් බන්ධනාගාර ගත කරනු ලැබුවාය. මේ සිද්ධිය නිසා බොහෝ දෙනකු කනගාටු වූයේ වික්ටර් රත්නායක ගැනය. සිදුවූ දේ ගැන ඔහුගේම රසිකයෝ ඔහු විවේචනය කරන තැනට පත්වූහ.

හෂිනි අමේන්ද්‍රා නම් ඇය මීට වසර හතරකට පහකට පෙර රැකියාව කළේ තංගල්ල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකය. එම බැංකුවේ උකස් භාණ්ඩ අංශයේ නිලධාරිනියක ලෙස ඇය වැඩ කළාය. මේ අතරතුර 2014 වර්ෂයේදී මැද පෙරදිග රැකියාවක් සඳහා පිටව ගිය කාන්තාවක් බැංකුව වෙත එන්නේ ඇය විදෙස් ගත වනවිට උකස් කළ කණකර බේරා ගැනීමටය.

රුපියල් 680000ක් වටිනා එම රත්තරන් බේරා ගැනීම සඳහා ඇය රිසිට් පත ඉදිරිපත් කොට බලා සිටියාය. එහෙත් බැංකුවෙන් ලද ප්‍රතිචාරය වූයේ එවැනි රත්තරන් තොගයක් එම ස්ථානයේ නොමැති බවය. මේ නිසා බැංකුවම කැළඹුණු අතර පසුව කාන්තාව සනසා හරවා යැවීමට බැංකුවේ අය උපක්‍රමශීලී වූයේ සිද්ධිය ගැන විමර්ශනය කිරීමේ අරමුණෙනි. ඇය නැවත හැරී ගිය අතර එතැනින් දින කිහිපයකට පසුව ඇය විදෙස් ගත විය. මේ අතරතුර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළේය. එහිදී තහවුරු වුණේ රුපියල් හයලක්ෂ අසූදහසක රත්තරන් තොගය පමණක් නොව තවත් රුපියල් හයලක්ෂයක රත්තරන් අතුරුදන් වී ඇති බවය. එපමණක් නොව රත්තරන් ආභරණ වෙනුවට ඉමිටේෂන් ආභරණ බැංකුවේ තැන්පත් කර ඇති බවටද කරුණු හෙළිදරව් විය. මේ නිසා බැංකුවම කැළඹුණු අතර සැකය එල්ලවුණු කෙනකු සිටියේ නැත. 

මෙවැනි සිද්ධියකදී කළමනාකරු විසින් මෙය වහාම පොලීසියට සහ බැංකු මූලස්ථානයට දැන්විය යුතු වුවත් පුදුමය නම් ඔහු ද මේ සිද්ධිය පොලීසියට නොදන්වා සද්ද නොකර සිටීමයි. කෙසේ වෙතත් මෙම සිද්ධිය වී වසර දෙකක් ගෙවී ගියත් බැංකුවෙන් කළ දෙයක් නැත. අවසානයේ 2016 වසරේදී විදෙස් ගත කාන්තාව නැවත බැංකුවට ආවාය. ඒ මුදල් ගෙවා රත්රන් භාණ්ඩ රැගෙන යාමටය. එහෙත් ඒ වනවිටත් රත්තරන්වලට සිදුවූ දෙයක් තිබුණේ නැත. එවර ඇය පැමිණි පසුව බැංකුවට දෝෂාරෝපණය කරන්නේ බැංකුව ඇයට වංචාවක් සිදුකරන බව කියාය. මේ නිසා ඇගේ පැමිණිල්ල බැංකුව විසින් භාරගනු ලැබුවේ ඇගේ බලපෑම මතය.

මේ සිද්ධියෙන් පසුව මේ ගැන විමර්ශනය කිරීම එම බැංකුවේ විගණන අංශයට පැවරුණි. ඔවුන් පැමිණ විමර්ශනය කිරීමේදී හෙළිවූයේ රුපියල් දොළොස් ලක්ෂ අසූදහසක රත්තරන් භාණ්ඩ අතුරැදන් වී ඇති බවය. එසේම ඒ සඳහා ව්‍යාජ භාණ්ඩ ඇතුළු කර ඇති බවත් තහවුරු විය. පසුව මෙයට සැකකාරිය බවට හෂිනි පත්විය. ඒ ඇය යටතේ සේප්පු තිබීම නිසාය. අවසානයේ ඇය රැකියාවෙන් ඉවත් වුණාය. කෙසේ වෙතත් ඇය ඉවත් වීමෙන් පසුව අතුරුදන් වූ රත්තරන්වල වටිනාකමින් ලක්ෂ හයක මුදලක් ගිණුමට තැන්පත් කර ඇත. මේ නිසා බැංකුව නැවතත් මුණිවත රැක තිබේ. එහෙත් විදෙස්ගත කාන්තාව නැවත පැමිණ රත්තරන් භාණ්ඩ ඉල්ලූ අවස්ථාවේ එය ලබාදීමට නොහැකි නිසා ඇය පොලීසියට යාමට තීරණය කර ඇත. මේ සමඟ බැංකුවේ කළමනාකරුද පැමිණිල්ලක් දමන්නේ සිදුවූ වංචාව ගැන දන්වමිනි.

2016 වසරේදී මේ පැමිණිල්ල ලැබීමත් සමඟ තංගල්ල පොලීසිය ඇය කැඳවා ප්‍රකාශ දෙකක් සටහන් කරගෙන ඇත. එහෙත් ඇයව අත්අඩංගුවට ගෙන නැත. විශේෂය නම් සීසීටීවී කැමරා තුළ ඇය රත්තරන් භාණ්ඩ සොරා ගන්නා සාක්ෂි සටහන් වී තිබුණත් ඇයව අත් අඩංගුවට නොගැනීමය. කෙසේ වෙතත් මෙම පරීක්ෂණය යටගිය අතර එතැන් පටන් 2017 වසරේ අවසානය තෙක් එයට සිදුවූ දෙයක් නැත. 

මෙය යළි උඩ එන්නේ තංගල්ල කොට්ඨාශයට පැමිණෙන අලුත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් කොට්ඨාශයේ පැමිණිලි විමර්ශන පරීක්ෂා කිරීමේදීය. එහිදී පරීක්ෂණ නොකළ පැමිණිලි අතරේ මෙම පැමිණිල්ලද තිබුණි. ඒ වනවිටත් ඇති තරම් සාක්ෂි තිබීම නිසා ඇයව ගෙන්වා ප්‍රශ්න කර අත්අඩංගුවට ගැනීම සිදුවිය. ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමන් එවැනි වංචාවක් නොකළ බවය. එහෙත් පොලීසිය පවසන්නේ ඇය වංචාව සිදුකරන ආකාරය පිළිබඳව සීසීටීවී කැමරා තුළ සටහන් වී ඇති බවය. කෙසේ වෙතත් පොලීසිය වසර දෙකක් පරික්ෂණ මඟ හැරීමත්, කළමනාකරු වසර දෙකක් මේ සිද්ධිය සඟවා සිටීමත් යන කාරණා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එසේම මේ සිද්ධියට අදාළ බැංකුවේ මුලස්ථානයෙන් විමසා සිටියදී එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු පවසා සිටියේ සිද්ධියට අදාළ සියලු මුදල් මේ වනවිට ගෙවා ඇති බවය. එසේම අදාළ නඩුව සම්බන්ධයෙන් සිදුකළ යුත්තේ කුමක්ද යන්න බැංකුවේ පරිපාලන මණ්ඩලය රැස්ව තීරණය කරනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

♦ ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00