2018 ජනවාරි 13 වන සෙනසුරාදා

අපි කවුද? කරන්න හදන්නෙ මොනවද?

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

ලබන පෙබරවාරි මස 10 වැනිදා පැවැත්වීමට නියමිත පුංචි ඡන්දය මගින් පළාත් පාලන ආයතන 341 ක් සඳහා නියෝජිතයන් 8359 ක් තෝරාගැනීමට නියමිතය. එම පුංචි ඡන්ද සටනට අවතීර්ණ වී සිටින මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් කිහිපදෙනකුගේ අදහස් දැක්වීමකි, මේ.

ප්‍රදේශයේ ජනතාවගේ පොදු අවශ්‍යතා සඳහා අලුත් වැඩසටහනක්

මහරගම නගර සභා අපේක්ෂක - ධනුෂ්ක රාමනායක එක්සත් ජාතික පක්ෂය

“මහරගම නගර සභාවේ ජීවත් වන දෙලක්ෂ හත්දහසක් වන ජනතාවට අත්‍යවශ්‍ය සහ නගර සභාවක් වශයෙන් ඉටුකළ යුතු සේවාවන් කිහිපයක් මම හඳුනාගෙන තියෙනවා. ඒ සියල්ල අන්තර්ගත කරලා (මාවත) තියලා ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් සහ මෙහෙයුමක් මම සමාජගත කරලා තියෙනවා. ඒක මේ වන විට මාව ඡන්ද දායකයන් විසින් තෝරාගන්නා වත්තේගෙදර කොට්ඨාසය තුළ මම ගෙයින් ගෙට ගොස් ඉදිරිපත් කරලා තියෙනවා. මේ වන විට මම ගෙවල් 1270කට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබාදීලා තියෙනවා. ඒක තුළ පොදුවේ මිනිස්සුන්ට, ප්‍රදේශයට සහ පොදුවේ මහරගමට අත්‍යවශ්‍ය වන පරිපාලනය පැත්ත, සනීපාරක්ෂාව, ඒ වගේම කැළිකසළ ගැටලුව, මංමාවත් හදන්න ඕන වැඩසටහන මම ඉදිරිපත් කරලා තියෙනවා. මහරගම රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන 33 ක් තියෙනවා. ඒවා වඩාත් කාර්යක්ෂම කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රදේශයේ තිබෙන සියලුම ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කරනවා.”

පෝර ටිකවත් දෙන්න බැරි වූ ආණ්ඩුවට පාඩමක් උගන්වනවා
තිහගොඩ ප්‍රාදේශීය සභා අපේක්ෂක - සරත් කලුගමගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව)

“අපේක්ෂකයන් විදියටත් වඩා මහින්ද රාජපක්ෂ මහත්තයා දිනවන්න ජනමත විචාරණයක් විදියට තමයි මේක අපි පාවිච්චි කරන්නේ. 2015 වසරේ මේ රටේ මිනිස්සුන්ට බලාපොරොත්තු රැසක් දීලා බලයට ආවත් ඒ අයට මේ වනතුරු ජනතාවට ඒ දුන් පොරොන්දු ඉෂ්ඨ කරගන්න බැරිවෙලා තියෙනවා. අපේ මේ නිහගොඩ ප්‍රදේශය කියන්නේ ගොවි ගම්මාන. අපේ ගම්මානවල ඉන්න ජනතාවට පෝර ලබාදෙන්නවත් තවමත් මේ ආණ්ඩුවට නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම පහුගිය ආණ්ඩුව කාලයේ කරපු සංවර්ධන වැඩසටහන් බොහෝමයක් අතරමඟ නැවතිලා තියෙනවා. ඒ සියලු සංවර්ධන වැඩසටහන් නැවතත් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

ගමට එළිය ගමට පාර අපේ සටන් පාඨයයි
සකීෆ් සාම් තන්වීරි - හේවාහැට ප්‍රාදේශීය සභා අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණ (දෙල්තොට සංවිධායක)

“හේවාහැට ප්‍රාදේශීය සභාව වෙනුවෙන් කරන්න අපි ලොකු වැඩපිළිවෙළක් හදාගෙන තියෙනවා. මම නියෝජනය කරන්නේ දෙල්තොට කොට්ඨාසය. අපේ කොට්ඨාසයේ වැඩසටහන් තිහක් ලැයිස්තුගත කරලා තියෙනවා. ඒ වගේම අපේ කොට්ඨාසයේ ජීවත් වන වතු ජනතාවගේ අධ්‍යාපන කටයුතු ඉහළ නංවන එක තමයි ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඒ සඳහා පුස්තකාල පහක් ස්ථාපිත කරන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ ප්‍රදේශය තුළ රැකියා අර්බුදයක් පවතිනවා. ඒ සඳහා විසඳුම් ලබාදෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව පොදුවේ සභාවක් විදියට අපි “ගමට එළිය, ගමට පාර” යන වැඩසටහන් තුළින් මේ ප්‍රදේශය සංවර්ධනය කරා ගෙන යන්න  බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පානීය ජලය පිළිබඳ යම් යම් ප්‍රශ්න තියෙනවා. ඒ සඳහාත් විසඳුමක් ලබාදෙන්න ඕන. ජනතාවට බොරු පොරොන්දු දීලා බලය ගන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. මිනිසුන්ට අහිමි කරලා තියෙන සෑමදෙයක්ම අපි බලයට පත්වුණාම ලබාදෙනවා කියන පොරොන්දුව තමයි ජනතාවට අපි කියන්නේ.”

වකුගඩු රෝගීන්ගේ පිළිසරණට කැප වෙනවා
විල්ගමුව ප්‍රාදේශීය සභා අපේක්ෂක - ජයන්ත වීරසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

“මම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විදිහට අපේ පාලන කාලය තුළ කරගෙන ඇවිත් අතරමග නැවතුණු සංවර්ධන වැඩසටහන් සියල්ලම නැවත ආරම්භ කරනවා. ඒ වගේම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවනවා. 2011 වසරේදී මාතලේ දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රාදේශීය සභාව විදිහට අපේ ප්‍රාදේශීය සභාව තේරුණා. ඒ තරමටම අපි අපේ ප්‍රදේශය වෙනුවෙන් සභාව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වැඩ කරලා තියනවා. ඒ වගේම මගේ කොට්ඨාසය තුළ වකුගඩු රෝගීන් 2670ක් ඉන්නවා. ඒ සියලු දෙනා වෙනුවෙන් ස්ථිර වැඩසටහනක් හදලා ඒ අයට පිළිසරණක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රජයෙන් සභාවට හම්බවෙන සෑම සතයක්ම ජනතාවගේ සුභ සාධනය සඳහා තමයි යොදවන්න බලාපොරොත්තු වෙන්නේ.”

යහපාලන රජයට ඇති විරෝධය කාටත් පෙනේවි

අත්තනගල්ල ප්‍රාදේශීය සභා අපේක්ෂක - නුවන් දර්ශන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව)

“පෙබරවාරි 10 පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට බොහෝ දෙනා කියන්නේ පුංචි ඡන්දය කියලයි. නමුත් මේ පුංචි තැනින් තමයි ජනතාවට කතා කරන්නේ. ජනතාවගේ දුක සැප හඳුනාගන්නේ. පහුගිය වසර දෙක තුනම මේ පුංචි තැන වහලා දාලා තිබුණේ. ඒකෙන් වුණේ ගමේ පොදු අවශ්‍යතා සියල්ල කඩාවැටුණු එක විතරයි. ස්වාභාවික ආපදාවක දී හෝ යම් යම් අවශ්‍යතාවලදී අසරණ ජනතාව වෙනුවන් පෙනීසිටින්න, කතා කරන්න කෙනෙක් නැතිවුණා. වසර තුනක වටිනා කාලයක් රටට අහිමි කරලා. ගමේ රටේ දියුණුව ආපස්සට ඇදලා දාලා. මේ යහපාලන ආණ්ඩුව ජනතාවට දුන්න දුක් ගින්දර මේ පළාත් පාලන ඡන්දයෙන් පස්සේ නිමාකරන්න රටේ ජනතාව පොදුජන පෙරමුණ වටා ඒකරාශි වෙමින් ඉන්නවා. නෙළුම් පොහොට්ටුවට ලැබෙන්න තියෙන ජයග්‍රහණයෙන් පස්සේ යහපාලන ආණ්ඩුවට එරෙහිව තියෙන ජනතා විරෝධය මේ මැතිවරණයෙන් පස්සේ දැනගන්න පුළුවන්.”

ගසාකෑම් නැතුව ගමට වැඩක් කරනවා
කඩුවෙල මහ නගර සභා අපේක්ෂිකා සේපාලිකා ගමගේ ජනසෙත පෙරමුණ

කඩුවෙල මහ නගර සභාව වෙනුවෙන් අපි විශාල සේවයක් ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා. අපේ බල ප්‍රදේශයට අයත් ගම්මාන රාශියක් තියනවා. තවමත් නිසි ආකාරව සංවර්ධනය නොවුණු ඒ සංවර්ධනය නොවුණ ගම්මාන සංවර්ධනය කරමින් ජනතාවගේ ඒ බලාපොරොත්තු ඉටුකරන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි මගේ මැතිවරණ ව්‍යාපාර තුළ මම කිසිම නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙන්නේ නැහැ. මේ පළාතේ පාලන ඡන්දයෙන් තමයි ගමේ ජනතාවට වැඩක් කෙරෙන්නේ. ඒ වගේම බොහෝ දෙනා හිතන්නේ මේ ගමේ ඡන්දයේදී ඉදිරිපත් වෙනවා කියන්නේ බොහෝ දෙනාගේ සිතිවිල්ල තමයි මේ ගමේ නියෝජිතයන් සියලු දෙයින් ගසා කනවා කියන එක. අන්න ඒ සිතුවිල්ල ජනතාවගෙන් ඉවත් කරන්න ඕන. මේ හම්බෙන සෑම ප්‍රතිපාදනයක්ම ගමේ සංවර්ධනයට යොදවලා නගර සභාව බල ප්‍රදේශය තුළ සංවර්ධනයක් ඇති කරන්න තමයි බලාපොරොත්තුව.

ගමට යන පාරවල් හදන්න සැලසුම් තිබෙනවා
ජානක හතුරුසිංහ - ගලගෙදර ප්‍රාදේශීය සභා අපේක්ෂක එක්සත් ජාතික පක්ෂය

1991 ඉඳන් මම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන නියෝජිතයෙක්. ගම සංවර්ධනය කරමින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම තමයි මගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. ඒ වගේම ප්‍රදේශයේ සංවර්ධනය විය යුතු ගම්මාන රාශියක් තියනවා. ඒ ගම්මාන සියල්ල සංවර්ධනය කරා ගෙනයන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනතාවගේ විශේෂ ඉල්ලීම වෙන්නේ ගම්මානවලට යන පාරවල් සම්බන්ධයෙන් වන ගැටලු ඒ සියල්ල නවීකරණය කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැනක් දෙන්න බලාපොරොත්තු වෙනවා වගේම ප්‍රදේශයේ තිබෙන ආගමික ස්ථානවල සංවර්ධන කටයුතු සම්බන්ධව විශේෂ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවක් තියනවා. මම හිතනවා ජනතාවගේ මේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් වෙයි කියලා මේ මැතිවරණය ජය ගැනීම මගින්.

බොරු පොරොන්දු නෑ!: හම්බවෙන ඔක්කොම දෙන්නේ ගමට
මාතර මහ නගර සභා අපේක්ෂිකා - ශමීනා ෂහීඩ් ජනතා විමුක්ති පෙරමුණ

“දැනට තියන පාලනයෙන් ජනතාවට සෙතක් සැලසිලා නැහැ කියලා අපිට දැනෙනවා. ගම්මානවල සංවර්ධන කටයුතු බොහෝමයක් තියනවා අතරමඟ නැවතුණු. ඒ සියලු සංවර්ධන කටයුතු නැවත නගා සිටුවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රදේශයෙන් දිළිඳුකම තුරන් කරලා ජනතාවට සහන සලසන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෞඛ්‍යය කටයුතු, අධ්‍යාපන කටයුතු යන සියල්ල දියුණු කරනවා. ඒ වගේම බොරු පොරොන්දු නැහැ. ජනතාවට අත්‍යවශ්‍යව තිබෙන සියලුම දේ ඉටුකරන්නත් අපි උත්සාහ කරනවා. රජයෙන් මන්ත්‍රීවරුන්ට ලැබෙන සියලුම ප්‍රතිපාදන ගමට දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.”

දිළිඳුකම පිටුදකින්න වැඩසටහන් රැසක්
අජිත් වීරසූරිය - අඹන්ගඟ කෝරළය ප්‍රාදේශීය සභා අපේක්ෂක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

මේ අඹන්ගඟ කෝරළයේ ග්‍රාමසේවා වසම් තියනවා විස්සක් ඡන්දදායකයන් දහතුන් දහස් දෙසිය හතළිස් දෙකක ඡන්දදායකයන් සංඛ්‍යාවක් මේ ග්‍රාමසේවා වසම් තුළ ජීවත් වෙනවා. ඒ සියල්ලන්ගේම යටිතල පහසුකම්, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජනතාවගේ සුභ සිද්ධිය සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වනවා.

ඒ වැඩසටහන් තුළ ප්‍රදේශය පුරා මාර්ග, ජලය, වැනි ව්‍යාපෘතිවලට විශෞෂ ස්ථානයක් දෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන ප්‍රදේශයේ ජනතාවගේ දිළිඳුකම තුරන් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රුකියා විරහිත තරුණ තරුණියන් වෙනුචවෙන් වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා.

හසිත් අංජන

 

 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00