2018 ජනවාරි 13 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

1. ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 3ක් වෙනවා. මේ අවුරුදු තුනට ආණ්ඩුව වැඩක් කළාද නැද්ද?

2. බැඳුම්කර ගනුදෙනුව ගැන කරපු හෙළිදරව්වෙන් පස්සේ පාර්ලිමේන්තුව තුළත් ගුටිබැට හුවමාරු වුණා. මේ දෙකෙන් පස්සේ ඉදිරි ක්‍රියාමාර්ග කොහොම වෙයිද?

3. “මැතිවරණ කොමිසමට අභියෝග කරන්න කිසිම ජගතෙකුට බැහැ. ඉන්නවා නම් හැප්පිලා බලමු.” කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියපු ප්‍රකාශය ගැන මොකද කියන්නේ?

4. ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරුම චෝදනා කරනවා මේ ආණ්ඩුවට හරියට පෝර ටිකවත් දෙන්න බැරි වුණා කියලා. ඇයි එහෙම වෙන්නේ?

කලින් රටේ ඔක්කොම දේවල් තීරණය කළේ එක පවුලක්

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු

1. මම හිතනවා වැඩක් කළාද නැද්ද කියලා බලන කෝණය අනුව තමයි වැඩක් කළාද නැද්ද කියලා පේන්නේ. ඇහේ මතුපිටින් බලන එකයි හදවතින් බලන එකයි තමයි ඒ කෝණ. රටේ ජනතාව ඒ දෙක බලන ආකාරය අනුව තමයි මේ ආණ්ඩුව වැඩක් කරලා තියනවාද නැද්ද කියලා පේන්නේ.

2. ලංකාවේ ආණ්ඩුවක් යම්කිසි චෝදනාවක් ආපුවම ඒ සම්බන්ධ පරීක්ෂණයක් කරලා ඒ පරීක්ෂණවලට සහාය දෙන්න රටේ අගමැතිවරයා මෙන්ම රජයේ ප්‍රබලයන් කොමිසමට ගිහින් ඉදිරිපත් වෙලා සාක්ෂි ලබාදුන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට. ඉතින් මේ වගේ වෙනසක් තමයි අපි බලාපොරොත්තු වුණේ. ඒ වගේම ජනාධිපතිවරයා, අග්‍රමාත්‍යවරයා කියලා තියනවා මේකෙන් වුණු පාඩුව අය කරගන්නවා කියලා. ඒක තමයි වෙනස.

3. ඉස්සර ඡන්දය තීරණය කළේ එක පවුලක සාමාජිකයන්. මැතිවරණ කොමසාරිස්වරයාට ඉහළින් ගිහිල්ලා මේ අය මේවා කළා. අද මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාත් දේශපාලනඥයාත් අභිබවා ගිහින් කෙළින් වැඩ කරනවා. ඒ නිදහස හා බලතල මේ ස්වාධීන කොමිෂන් සභාවලට ලැබුණේ මේ වත්මන් රජය යටතේ.

4. පෝර ගෙන්වීමේදී අඩුපාඩුවක් වුණානම් ඒ වරද කොතනද කියලා බලධාරින් සොයා බැලිය යුතුයි. ඒ වගේම මම විශ්වාස කරනවා පොහොර ගෙන්වීමෙදී ඒ කළමනාකරණය දුර්වල වුණානම් ආණ්ඩුව ඒ පිළිබඳ වගකීම ගතයුතුයි. අපි අපෙන් යම් අඩුපාඩුවක් වුණානම් ඒක පිළිගන්නවා. ඒක තමයි මේ යහපාලනයේ තිබෙන වෙනස.

 

බැඳුම්කරයේ කෙරුම්කාරයෝ ගැන දැන් රටම දන්නවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක

1. වැඩක් කළා. මේ ආණ්ඩුව මෙරට සහ මෙරට ජනතාව විශාලම අනතුරකින් බේරගත්තා. ඒ වගේම පසුගිය ආණ්ඩුව ගත්ත ණය ගෙවාගෙන ආවා. ඉතිහාසයේ කවරදාවත් නැති විදිහට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට මුදල් වෙන්කළා. ඒවගේ තවත් විශාල වැඩ කොටසක් ආණ්ඩුව මඟින් ඉටු කරලා තියනවා.

2. බැඳුම්කර සිද්ධියේ වගකිව යුත්තෝ කවුද කියලා දැන් රටම දන්නවා. හැබැයි ඔය බැඳුම්කර සිද්ධිය සුළු පරිමාණ මට්ටමෙන් පසුගිය අපේ ආණ්ඩුව කාලයෙත් සිද්ධ වුණා. ඒවත් එළියට එයි. මේ අයට විරුද්ධව අධිකරණ කටයුතු ප්‍රමාදයකින් තොරව සිද්ධ වෙයි. හුඟාක් දෙනෙකුට විශාල වශයෙන් ඒ වන්දි ගෙවන්න වෙයි.

3. ඔව් ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. මැතිවරණ කොමිසමට අභියෝග කරන්න කිසිම කෙනෙකුට බැහැ. මේ වෙලාවේ අස්කිරීමේ බලය, පත්කිරීමේ බලය, වැඩ තහනම් කිරීමේ බලය, දඬුවම් කිරීමේ බලය මේ සියල්ල තියෙන්නේ මැතිවරණ කොමිසමට. එතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත.

4. පෝර නියමිත වෙලාවට දෙන්න බැරි වුණු එකේ ප්‍රශ්නයට මුල නියමිත වෙලාවට මුදල් අනුමත නොකිරීම. ඇත්තටම ඒක වරදක්.

 

ආණ්ඩුව මේ තරම් කල් ආපු එකයි පුදුමේ

 

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, ඒකාබද්ධ විපක්ෂය

1. අපි හැමවෙලේම කියලා තියනවා මොනවාද වුණේ මොනවාද වුණේ නැත්තේ කියලා. අපි පුන පුනා මේ ගැන කියනවට වඩා ජනතාව තීන්දු කරයි මේ පෙබරවාරි දහවනදා ආණ්ඩුව වැඩක් කළාද නැද්ද කියලා.

2. පැහැදිලිව මෙතෙන පේන දේ තමයි එදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බේරගන්න පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඩිව්. ගුණසේකර මැතිතුමාගේ සවිස්තර වාර්තාව ඉදිරිපත් කරනකොටම. ඒ වගේම මේ පසුගියදා ප්‍රකාශයට පත්කළා කෑලි කෑලි කිහිපයක් බැඳුම්කර කොමිසමේ වාර්තාවේ. පිටු 1500ක් තියන එක විනාඩි ගණනකින් ප්‍රකාශ කරලා ඉවර කළා. ඉතින් අපේ වගකීම තමයි ඒක. එදත් කළා අදත් කරනවා මේක ජනතා අධිකරණයට ඉදිරිපත් කරන එක.

3. මේ කොමිසම එක්ක හැප්පෙනවා කියනඑක මට තේරැම් බේරුම් කරගන්න අමාරුයි. මේ හැප්පීමක් කියන එකෙන් එතුමා බලාපොරොත්තු වුණේ මොකද කියන එක තේරුම් ගන්න අමාරුයි. එතුමාගේ මේ ප්‍රකාශය ඇත්තටම ප්‍රශ්නසහගතයි.

4. මේ රට කෘෂිකාර්මික රටක්. මේ කෘෂිකාර්මික රටේ මූලික අවශ්‍යතාවයන් සපයා ගන්න බැරි ආණ්ඩුවක් මේ තරම් කල් පාලනය ගෙනයන එක ගැන පුදුම විය යුතුයි.

වැඩ කළා තමයි හැබැයි ඔක්කොම වැරදි වැඩ

ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ

1. වැඩක් කළා. නමුත් වැරදි වැඩක්. 1956 ශ්‍රී.ල.නි.ප.යයි, ලංකා සමසමාජ පක්ෂයි වමයි එක්ව ආණ්ඩු පිහිටුවලා විටින් විට ආපු ගමන කරපු සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන්ම කණපිට හරවන වැඩක් තමයි දැන් ආරම්භ කරලා තියෙන්නේ. මේ අවුරුදු 3 තුළ ජාත්‍යන්තරයේ බලපෑම් හමුවේ මේ ආණ්ඩුව අසරණ වෙලා ඉන්නවා. ඒ වගේම අපේ දේශීය ආර්ථිකය, විදේශීකයන්ව සූරාකන වැඩපිළිවළක් ක්‍රියාත්මක වෙනවා.

2. බැඳුම්කරය ගැන වාර්තාවක් තියනවානම් ඇයි ඒ වාර්තාව හෙළිකළේ නැත්තේ පාර්ලිමේන්තු විවාදයට පෙර. ඒ තුළින් එය පදනම් කරගෙන අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමිව ගියා. මන්ත්‍රීවරුන්ට මේකට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදිය යුතුයි.

3. එතුමා නොයෙකුත් දේවල් කියනවා. ඒවා බැලුවහම මතුවෙන ප්‍රශ්නය තමයි ඇයි එතුමා මෙහෙම ප්‍රකාශ කරන්නේ කියන එක. මේක ජනතාවගේ පරමාධිපත්‍යය දක්වන අවස්ථාවක්. ජනතාවගේ උවමනාව තමයි මෙතන මුල්විය යුත්තේ.

4. අපේ පසුගිය ආණ්ඩුවේ පොහොර සහන මිලට ඉක්මනට ලබාදීමේ වැඩපිළිවෙළ මේ ආණ්ඩුව දැන් නැතිකරලා තියෙන්නේ. මේකෙන් අපේ කෘෂිකර්මාන්තය අභාවයට යනවා. මේ අය කරන්නේ අපේ කෘෂිකර්මාන්තය නැත්තටම නැති කරන වැඩක්.

අවුරුදු තුනටම කළේ රට රවට්ටපු එක

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

1. වැඩක් කළා. පළමුවෙනි වැඩේ ලෙස බැඳුම්කර වංචාව කළා. ඊට පස්සේ හම්බන්තොට වරාය විකුණුවා. බඩු මිල වැඩි කළා. ගොවීන්ට පෝර දුන්නේ නෑ. පරණ විදිහටම හොරකම් කළා. රැකියා පෝලිම්වල තිබ්බා. රස්සා දුන්නේ නැහැ. ආයෝජකයන් ගෙන්ව ගන්නවා කියලා මිනිස්සු රැවැට්ටුවා. ඒ ඔක්කොම කළා.

2. ජනාධිපති කොමිසම යෝජනා මාලාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ නිර්දේශ ඒ ගැන ආණ්ඩුවේ ස්ථාවරය කියන්න ඕන. කෝප් කමිටු වාර්තාවේ කියලා තියන දේවලුත් ජනාධිපති කොමිසමේ කියන දේවලුත් ආණ්ඩුව ඉෂ්ට කරන්නේ කොහොමද කියලා වැඩපිළිවෙළක් ගේන්න ඕන. මේ අයගෙන් මේ රටට, ජනතාවට, ආර්ථිකයට වෙච්ච පාඩුව අය කරන්න ඕන. ඒ වගේම මේකට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන්න ඕන.

3. මට ඒ ගැන මුකුත් කියන්න බෑ මොකද කොමිසම යටතේ මැතිවරණයක් පවත්වන පළවෙනි අවස්ථාව තමයි මේක. එතකොට මීට කලින් මැතිවරණ කොමසාරිස්තුමා හැටියට එතුමා කටයුතු කරද්දී සිදුවුණු යම් යම් අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවා නිවැරදි කරලා සාධාරණ මැතිවරණයක් පැවැත් වීමේ වගකීම කොමිසම සතු වගකීමක්.

4. ඒගොල්ලන් හොරකම් කරන ඒවා ගැන චෝදනා කරන්නේ නැහැනේ. හොරකම් ආරක්ෂා කරන්නයි, හොරු ආරක්ෂා කරන්නයි. ඔක්කොම එක පැත්තකට වෙලා ඉන්නවා ලකුණු දාගන්න. ඡන්ද දාගන්න ඡන්දදායකයන් රවට්ටන්න ආණ්ඩුව ඇතුළේ බොරු වීරයෝ වෙන ටිකකුත් ඉන්නවා.

මේ ආණ්ඩුව වැඩක් කළේ නෑ කියලා කාටවත් කියන්න බෑ

සමස්ත ලංකා ජනතා කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් නවවි

1. විශාල වැඩ කොටසක් මේ රජය මඟින් ඉටු කරලා තියනවා වසර තුනක කාලය තුළ. අධ්‍යාපනය, සෞඛ්‍යය පෙර තිබූ රජයන්වලට වඩා දියුණු කරලා තියනවා. ඒ නිසා කාටවත් චෝදනා කරන්න බැහැ. මේ රජයට වැඩකරලා නැහැ කියලා.

2. පසුගියදා බැඳුම්කරය ගැන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් ද කළා. ඒ වගේම එතුමා එහිදී කිව්වා මේ පාඩුවූ මුදල නැවත අය කරන්න කටයුතු කරනවා කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේකට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලැබෙයි කියලා.

3. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහෙම කෙළින් ඉන්න එක ගැන අපි සතුටු වෙනවා. පසුගිය කාලයේ මැතිවරණ කොමිසමටවත් බලයක් තිබුණේ නැහැ. මේ විදිහට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කටයුතු කරනකොට නීති විරෝධී මැතිවරණ කටයුතුවලට ඉබේම තිත තැබෙනවා.

4. මේ ආණ්ඩුව තියෙන්නේ තනි පක්ෂයක් යටතේ නෙවෙයි. මේක සම්මුතිවාදී ආණ්ඩුවක්. ඉතින් මැතිඇමැතිවරැන් අතර විවිධ මත තියනවා. නමුත් අන්තිමට කොහොම හරි එකඟත්වයකට පැමිණිලා මේ ප්‍රශ්න විසඳගන්නවා.

 

සංස්කරණය : 
හසිත් අංජන -
සේයාරූ / අන්තර්ජාලයෙනි

 

 

 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00