2018 ජනවාරි 13 වන සෙනසුරාදා

තෙල් බෙහෙත් ජාවාරමට ආ ජල්තර ඉන්දියානුවෝ

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 188

“නෝනා... මැඩම්.. ගන්න මේවා හොඳම හොඳ ඉසිවර රහස්. ඔළුවේ ගාන නියම වට්ටෝරුව තමා... හිමාලයේ කැලේ හිහින් හොයපු ඖෂධ දාලා තමා මේ තෙල් හිඳලා තියෙනවා... ගාලා බලන්න ගුණයි සුවඳයි ගාණ සාධාරණයි...”
වචන පටලවමින් මේ කියන විස්තරය බොහෝ කාන්තාවන්ට ප්‍රමාණවත්ය. ඉන් ඔවුන්ට මතක ඇත්තේ ඉසිවර රහස්, හිමාලයේ ඖෂධ සහ ඔළුවේ ගාන තෙල් පමණය. ඊට ආසාවෙන් මුදල් වියදම් කරන කතුන් නොවටිනා මිලකට තෙල් බෝතල් මිලට ගනිති. ඒ මඟ යන තරුණ හා මැදි වියේ පිරිමි ද අඩු නැත. මේ දුර්ලභ බව කී තෙල් බෙහෙත් වෙළඳාමේ නිරතව සිටියේ කාන්තාවන් පිරිසකි.

“මාත්තයා... නෝනා... කට ඉස්සර කර ගන්නවා නෙවේ... නරි හම්, නරි ලොම්, අලි කෙඳි, කොටි දත්, මේවා ඔරිජිනල් තමා... සුරයට දාලා එල්ලන්න. කොට්ටේ යටින් තියන්න. මුද්දට වළල්ලට දාන්න. මේක පරණ ගුප්ත විද්‍යාව තමා..”

මෙසේ කියමින් ඉන්දියාවේ පැරැණි ගුප්ත විද්‍යා සංකේත අලෙවි කරමින් සිටියේ සාමිවරයකුගේ ස්වරූපයෙන් සැරසී සිටි පුද්ගලයෙකි. ගොත ගසමින් සිය අදහස ඉදිරිපත් කළ ද එය යාන්තමින් හෝ වටහා ගන්නා මිනිසුන් ඔහු වටා රැස් කන්නේ ගුප්ත විද්‍යාවේ පිහිට ලබන්නටය.

“මාළ තීනවා... වළලු තීනවා... අර මූද මැද අඩුවෙන් තීන සිප්පි තමා තීනවා... දුර්ලභයි හැම තැනම නෑ.. අපි ගාව තීනවා... ඉස්සරම ගත්තාම හොඳයි. බඩු ටිකයි තමා ගෙනාවා... කරුඹු තීනවා... පෙන්ඩන්ට් තීනවා...”
මෙසේ හඬ නගමින් අරුමෝසම් මාල වළලු හා විවිධ පළඳනා විකුණන පුද්ගලයෝ කීප දෙනෙක් වූහ. මෙවැනි වෙළෙන්දෝ තනි තනි වශයෙන් හා කණ්ඩායම් ලෙසින් වවුනියාව, යාපනය ප්‍රදේශවල සැරිසරති.

මෙවැනි තත්ත්වයක් තුළ සංචාරක වීසා මත මෙරටට පැමිණි දකුණු ඉන්දියානු ජාතිකයන් 28 දෙනකු වීසා නීති උල්ලංඝනය කරමින් රැඳී සිට කූඨ ව්‍යාපාර හා ජාවාරම්වල නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ බුද්ධි හා විමර්ශන අංශය සමත්ව තිබුණේ පසුගිය සතියේය. මේ පිරිස සංචාරක වීසා යටතේ ලංකාවට පැමිණ උතුරු ප්‍රදේශයේ ස්ථාන කීපයක ගැවසෙමින් විවිධ වෙළඳාම් හා ශාස්ත්‍ර කීමේ නිරතව සිටියදී අත්අඩංගුවට පත්ව තිබුණි. මොවුන් සියලු දෙනා දකුණු ඉන්දියාවේ සිට පැමිණ සිටි අතර මාසයකට හෝ දෙකකට නිකුත් කරන ලද සංචාරක වීසා මත රැඳී සිට ඇත. මේ අයුරෙන් සංචාරක වීසා යටතේ පැමිණ වෙළඳාමේ නිරත වීම ආගමන විගමන පනත යටතේ සපුරා තහනම් බව එම දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ බුද්ධි හා විමර්ශන අංශයේ ප්‍රධානී ඩබ්ලිව්. පී. ඒ. අමිත් පෙරේරා මහතා පවසයි.

“නිරීක්ෂණ බුද්ධි හා විමර්ශන අංශය විදිහට අපි ලැබෙන තොරතුරුවලට පමණක් සීමා වෙලා මෙහෙයුම් කරන්නේ නෑ. අපි එළියට ගිහින් සංචාරකයන් ගැන හොයනවා. කොහෙන්ද ආවේ.. කොහෙද යන්නේ..? මොනවද කරන්නේ..? වගේ විස්තර. ඒ විදිහට අපි විශේෂ කටයුත්තකට වවුනියාව ප්‍රදේශයට ගියා. ත්‍රීරෝද රථ රියදුරන්, ග්‍රාමසේවක, තැපැල් කාර්යාලය වගේ ස්ථානවලින් හා පුද්ගලයන්ගෙන් අපි තොරතුරු ගන්නවා. විදේශිකයන් ගැවසෙනවානම් නැවතිලා ඉන්නවානම් ඔවුන් අපට තොරතුරු දෙනවා. හැබැයි අපේ අත්දැකීම අනුව සමහරු තොරතුරු හංඟනවානම් ඒකත් තේරෙනවා. අන්න එහෙම මෙහෙයුමකදී තමයි වවුනියාව සහ යාපනය ප්‍රදේශවලදී ඉන්දියාන් ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගත්තේ” අමිත් පෙරේරා මහතා කීය.

මේ පිරිසෙන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව තිබුණේ වවුනියාව ප්‍රදේශයෙනි. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ කරුණු අනුව යාපනයට ගිය නිලධාරීන් එහි ප්‍රදේශ කීපයක සිට වෙළඳාම හා ජාවාරම් කරමින් සිටි පුද්ගලයෝ 26 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ අතර පුදුමයට කරුණක් වන්නේ සංචාරක වීසා රැගෙන ලංකාවට පැමිණි ඇතැම් දකුණු ඉන්දීය කාන්තාවන් හා පිරිමි සාස්තර කියන හා ගුරුකම් කරන බව පෙන්වමින් ජනතාව මුලාවේ දැමීමට සමත් වීමය. එමගින් මෙරට මිනිසුන් සතු ධනය හා දේපළ සූරා ගැනීමට ඔවුහු කූඨ උත්සාහයක නිරතව සිටිති.

“සාස්තර කියනවා නෝනා... දැක්කා වාගේ ඇත්ත කියනවා මාතියා... මූණ බැලුවම ගෙදර ප්‍රශ්න පේනවා... උළුඅස්ස තියන තැන වැරදියි වහලේ පරාලයක් වෙනස් කරන්න ඕනෑ තමා... අංග ලක්ෂණ බලලා සාස්තර කියනවා...”
මේ අයුරෙන් ප්‍රශ්නවලින් මිරිකී සිටින මිනිසුන්ගේ හිත්වලට නොසිතන අදහස් ඇතුළු කරමින් ඔවුහු ජනතාව මුලාවේ දමති. ඊට රැවටෙන උදවිය මහත් ගරුසරුව මේ ප්‍රෝඩාකරුවන් සිය නිවෙස්වලට කැඳවා යති. ඉන් එහාට කළයුත්ත පිළිබඳව මේ හොර සාත්තරකරුට මනා දැනුමක් ඇත. ඔහුගේ මුසාබසට රැවටෙන උදවිය කණකර උකස්කර රුපියල් දහස් ගණනින් ඔහුට පූජා කරති. මුදල ඩැහැ ගන්නා ජාවාරම්කරු පළා ගියද නිවැසියන්ට සෙතක් නැත. උදා වී ඇත්තේ බොරුවට කනකර උකස් කිරීමෙන් ණයකරුවෙක් වීම පමණය.

“මේ වගේ අය ගැන තොරතුරු ලැබිලා අපි ගියා. ඒ අය කුලියට කාමර අරන් නැවතිලා ඉන්නේ. කාමරය ඇතුළේ බුදු පිළිමය සීවලී හාමුදුරුවන්ගේ රූප සහ දේව රූප තිබුණා. ඒවා මුද්‍රිත පිංතූර පමණයි. පහන් පත්තු කරලා, පොල් ගෙඩි, පොල් තෙල්, කපුරු, සුවඳ කූරු දේවාලය වගේ. දැක්ක කෙනෙක් විශ්වාස කරනවා. නමුත් මේක ජාවාරමක්.”
මෙසේ පැවසූ අමිත් පෙරේරා මහතා යාපනය ප්‍රදේශයේ ස්ථාන කීපයක වැටලීම්වලට සහභාගී වූ තිබුණි. එහිදී ලද අත්දැකීම අනුව මොවුන් සඳහා නවාතැන් පහසුකම් හා ආහාර පාන ලබා දී ගාණක් උපයන මෙරට පුද්ගලයන් සිටින බවද දෙරට අතර පිරිස මෙහෙයවමින් ගාණක් උපයාගන්නා පිරිස අතර විවිධ නම්වලින් සිල්ලර වෙළඳසල් හා ව්‍යාපාර අරඹා නීති විරෝධීව සිටින ඉන්දියානු ජාතිකයන් හමුව ඇති බවද කියයි.

“එක වතාවක් හමුවුණු කෙනෙක් තෙල් බෙහෙත් විකුණනවා. ඉන්දියාවේ ඖෂධ අඩංගු තෙලක් කියනවා. එයාගේ නවාතැන පරික්ෂා කළා. එතන ෆාම් ඔයිල් කෑන්, ඩයි වර්ග, සුවඳ වර්ග සහ බෝතල් රාශියක් තිබුණා.ඔවුන් කරන්නේ මේවා කළවම් කරලා හිසේ ගාන ඖෂධීය තෙල් විදිහට විකිණීම” බව අමිත් පෙරේරා මහතා පැවසීය.

මේ ආකාරයට භාෂාවේ පහසුව නිසා දමිල ජාතිකයන් වෙසෙන ප්‍රදේශවල මෙකී ජාවාරම්කරුවෝ බහුලව ගැවසෙති. එසේම ඔවුන්ගේ ආගමික උත්සව හා සැණකෙළි පැවැත්වෙන සමය තුළ එම ප්‍රදේශවලට පැමිණෙන බවද හඳුනාගෙන ඇත. මෙවැනි පිරිස් තුළ පුද්ගලයින් 953ක් ඉකුත් වසරේ අත්අඩංගුවට ගත් බවද ඉන් 380 දෙනකු මෙරටින් පිටුවහල් කර ඇති අතර ඉන් 212 දෙනකු ඉන්දියානු ජාතිකයන් බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම වැටලීම සඳහා නිරීක්ෂණ බුද්ධි හා විමර්ශන අංශයේ ප්‍රධාන ආගමන විගමන නිලධාරී අමිත් පෙරේරා සමඟ ආගමන විගමන නිලධාරීන් වන කේ. එම්. බණ්ඩාර, පී. සුභාකරන්, එල්. ටී. වී. සුමනසේන යන නිලධාරීහු දායක වූහ.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00