2018 ජනවාරි 06 වන සෙනසුරාදා

රාජකීය පණ්ඩිත වරු බිහිකරන ප්‍රාචීන උපාධි

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1835

තවද මහ පඬිවරු
සුබැසි තරගෙන් විසිතුරු
ගුණ අඩුවෙතී ගරු
කුලී නොගනිති සිතින් පිවිතුරු

කාව්‍යශේඛරය ලියමින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ එලෙස පණ්ඩිතයන්ගේ ගුණ වර්ණනා කරති. මහ පණ්ඩිතයන් තමන් කරන සේවා පිවිතුරු සිතින් කරමින් කුලී නොගන්නා බවයි ඉන් කියැවෙන්නේ. එවන් වූ දැනුමින් මෙන්ම ගුණයෙන්ද පිරි පණ්ඩිත පරපුරක් බිහිකිරීම උදෙසා පැවැත්වෙන පණ්ඩිත උපාධිය ලබන්නේ ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් පවත්වන ප්‍රාචීන අවසාන විභාගය සමත් වූවෝ වෙති.

බොහෝ විට ප්‍රාචීන විභාගයට ලියන්නේ පිරිවෙන්වල පැවිදි ශිෂ්‍යයන්. ඒ වුණත් ඕනෑම ගිහි ශිෂ්‍යයකුට වුණත් මේ විභාගයට නොමිලේම ලියාපදිංචි වෙලා වාඩිවීමට පුළුවන්. ප්‍රාචීන විභාගය කොටස් තුනකින් යුක්තයි. ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන යනුවෙන්. අවසාන විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් 60%65%ක් වගේ ප්‍රමාණයක් තමයි සමත්වන්නේ. අසමත් වූ විෂයයන් වර්ෂ 5ක් ඇතුළත යළිත් ලියලා සමත්වීමට පුළුවන්. අවසාන විභාගය ලියලා සමත් වූ අයට රාජකීය පණ්ඩිත උපාධිය ප්‍රදානය කරනවා. අප වෙත එලෙස අදහස් දැක්වූයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ සහකාර ලේකම් බණ්ඩාරවෙල රතනසාර හිමියෝ වෙති.

රාජකීය පණ්ඩිත යන නාමය තම නමට මුලින් යෙදිය හැක්කේ එලෙස ප්‍රාචීන පණ්ඩිත විභාගය සමත් වූ අයට පමණි. මෙම විභාගයට ප්‍රධාන විෂයයන් තුනක් තිබේ. ඒ සිංහල, පාලි සහ සංස්කෘතයි. එයට අමතරව තමන්ට කැමැති නම් ඉංග්‍රීසි, දෙමළ, ඉතිහාසය, බෞද්ධ අධ්‍යයනය ආදී අනිවාර්යය නොවන අතිරේක විෂයන්වලටද පෙනී සිටීමට හැකිය.

අද පණ්ඩිත විභාගයට පෙනී සිටින බහුතරය පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙති. මේ තරගකාරී සමාජයේ ඉහත විෂයයන් ඉගෙන ගැනීමට ගිහි පිරිස් යොමුවන්නේ කලාතුරකින් පමණි. එහෙත් පෙරදිග භාෂා ගැන උසස් දැනුමක් හා නිවැරදි අවබෝධයක් ලබාගැනීමට මෙම විභාගයෙන් ඉඩ ලැබේ.

පණ්ඩිත විභාගය පවත්වන්නේ විභාග දෙපාර්තමේන්තුව මගිනි. එය මෙහෙයවන ප්‍රාචීන භාෂොපකාර සමාගම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති ශාඛාවකි. වර්තමානයේ එහි ලේකම් පදවිය දරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය නාබිරිත්තන්කඩවල ඥානරතන හිමියෝ වෙති.

ප්‍රාචීන භාෂෝපකාර සමාගම ආරම්භ වූයේ 1902 ජූලි 24 දාය. එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරය දැරූ එස්.එම්. බරෝස් විසින් පෙරදිග භාෂා අධ්‍යයනයෙහි වැදගත්කම වටහාගෙන එය ආරම්භ කිරීමට මුල් විය. හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාරාම. හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත, මහගොඩ ඥාණිස්සර, තෙල්වත්තේ සීලානන්ද ආදී එවකට සම්භාව්‍ය භාෂා ප්‍රවීණත්වය දැරූ භික්ෂූන් වහන්සේ පිරිසක් එහිලා පෙරමුණ ගත්හ. එන්.ඒ. එදිරිසිංහ, සී.ඩබ්ලිව්. ද සිල්වා යන පියතුමන්ලාද සී.එච්. ප්‍රනාන්දු, ජේ.සී. මැන්දිස් ආදී ප්‍රාචීන භාෂා උගත්තුද එයට සහභාගී වූහ. සරසවි සඳරැස, ඩේලිනිව්ස්, සරසවිය, ෂට්භාෂා ආදී පුවත්පත්වල කතුවරුද මෙහි ආරම්භක අවස්ථාවට සහභාගී වූ බව සඳහන්ය.

ප්‍රාචීන පණ්ඩිත උපාධිය ලබාගත් අයට උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වනවා. මෙවර උපාධි ප්‍රදානෝත්සවය මේ වර්ෂයේ මුල් භාගයේදී පැවැත්වීමට නියමිතයි. එහිදී 400ක පමණ පිරිසකට රාජකීය පණ්ඩිත උපාධිය පිරිනැමීම සිදුවෙනවා බණ්ඩාරවෙල රතනසාර හිමියෝ පැවසූහ.

සුද්දන්ගේ කාලයේ ඉංග්‍රීසියට මුල්තැන දෙමින් ප්‍රාචීන භාෂා පාගා දැමීම සිදුවිය. ඒ නිසාම සිංහල, පාලි, සංස්කෘත ආදී ප්‍රාචීන භාෂා රැකගනිමින් ඒ පිළිබඳ දැනුම වර්ධනය කිරීමට ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාගය 1903, 1905 සහ 1909 යන වර්ෂවල මුලින්ම පැවැත්විණි. එවක් පටන් අද දක්වා ගිහි පැවිදි උගතුන් දහස් ගණනක් බිහිකිරීමට ප්‍රාචීන භාෂෝපකාර සමාගමට හැකිවී තිබේ. මෙම විභාගයෙන් ප්‍රථමයෙන්ම ගෞරව පන්තියෙන් සමත් වූ ශිෂ්‍යයා ලෙස වාර්තා තබා ඇත්තේ උගත් බහුශ්‍රැත හිමිනමක් ලෙස සම්භාවනාවට ලක්වූ විදුරුපොළ පියතිස්ස හිමියන්ය.

ප්‍රාචීන විභාගය ආශ්‍රයෙන් ඉංග්‍රීසි, සිංහල, දෙමළ, සංස්කෘත, පාලි, ප්‍රාකෘත යන භාෂා ඥානයෙන් පරිපූර්ණ උගත් පිරිසක් බිහිකිරීමට මේ ප්‍රාචීන විභාගය මහත් අනුබලයක් වුණා. ප්‍රාචීන විභාගය සමත් වී රාජකීය පණ්ඩිත උපාධිය ගත් පිරිස අතරට ආචාර්යවරු, ධර්මධරයන්, ආයුර්වේද වෛද්‍යවරු, පුවත්පත් කලාවේදීන්, ගත් කතුවරු විශාල පිරිසක් සිටිනවා.

ප්‍රාචීන භාෂෝපකාර සමාගම බිහිකිරීමේ මූලික අරමුණ වුණේ උගතුන් බිහිකිරීමයි. සමාජ අභිවර්ධනයට බලපාන නිර්මාණ ශක්තියෙන් පිරිපුන් පිරිසක් බිහිකිරීමයි. හෙන්රි ස්ටීල් ඕල්කට්, හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලාන ධර්මාරාම ආදී උගතුන්ගේ තෝතැන්න වුණෙත් ප්‍රාචීන භාෂෝපකාර සමාගමයි එලෙස සඳහන් කළේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභික අරම ශ්‍රී ධම්මතිකලක නාහිමියන්ය.

රාජකීය පණ්ඩිත උපාධිය ලබාගත් පසු අවශ්‍ය නම් තවත් උගත්කම වර්ධනය කර ගැනීමට ග්‍රන්ථ විශාරද උපාධියට ලියාපදිංචි වී එය සමත්වීමට පුළුවන. ඒ සඳහා වර්ෂ දෙකක් තුළ අදාළ මාතෘකාවක් යටතේ උපාධි නිබන්ධනයක් ලියා ඉදිරිපත් කළ යුතුය. අද මෙන් නොව දශක කිහිපයකට පෙරදී ප්‍රාචීන පණ්ඩිත උපාධියට ලැබුණේ විශාල ගෞරවයක් හා පිළිගැනීමකි. මෙහි මංගල උපාධි ප්‍රදානෝත්සවය 1911 නොවැම්බර් 4දා පැවැත්වූයේ එවකට ආණ්ඩුකාර හියු ක්ලිපර්ඩ්ගේ ප්‍රධානත්වයෙනි. 1945 සිට ප්‍රාචීන විභාග පවත්වන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසිනි. ප්‍රාචීන පණ්ඩිත උපාධිය විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රවේදී උපාධිය හා සම මට්ටමේ ලා පිළිගෙන ඇත. ප්‍රාචීන මධ්‍යම විභාගය විශ්වවිද්‍යාල ප්‍රථම වර්ෂය හා සමානවද ප්‍රාරම්භ විභාගය අ.පො.ස. උසස්පෙළ හා සම තත්ත්වයෙන්ද පිළිගැනේ.

සලමොන් ක්‍රිස්ටෝපල් උභයසේකර ප්‍රාචීන අවසාන විභාගයෙන් ගෞරව පන්තියෙන් ප්‍රථමයාව සමත්වන ශිෂ්‍යයා දිරිගැන්වීමට ත්‍යාගයක් ආරම්භ කිරීමට මුල් විය. ඔහු පිහිට වූ ත්‍යාගය උභයසේකර ස්වර්ණ මුද්‍රිකාවයි. එය මුලින්ම හිමිකර ගත්තේ වීදුරුපොළ පියතිස්ස නාහිමිය. යගිරල පඤ්ඤානන්ද, කොත්මලේ ධම්මානන්ද, වැලිවිටියේ සෝරත, හේන්පිටගෙදර ඥාණසීහ ආදී හිමිවරු රැසක් එය හිමිකර ගත්හ. අද අප අතර සිටින මහාචාර්ය විමල් ජී. බලගල්ල ද 1950 දී මෙම ස්වර්ණ මුද්‍රිකාව දිනාගත් පඬිවරයෙකි.

පසුව ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් සම්මාන පණ්ඩිත උපාධිය පිරිනැමීම ඇරඹිණි. සංස්කෘත, පාලි, සිංහල යන භාෂාවලින් එකක් හෝ පුරාවිද්‍යාව, ඉතිහාසය, සංස්කෘතිය යන අංශවලින් විශිෂ්ට දස්කම් දැක්වූ වියතුන් කිහිප දෙනෙකුට සම්මාන පණ්ඩිත උපාධිය ප්‍රදානය කර තිබේ. මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමි, ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න, වෙ.වි. අභයගුණවර්ධන, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය නන්දදේව විජේසේකර ඒ අතරින් කිහිප දෙනෙකි.
අද සිංහල විෂයයෙන් උපාධි ලබාගත් අයට පවා සිංහල පිළිබඳ ඉහළ දැනුමක් නැති බව පෙනේ. එවන් යුගයක මෙම පණ්ඩිත උපාධිවල අගය ඉහළය. එහෙත් ඒ සඳහා උනන්දුවන්නේ සුළු පිරිසක් වීම කනගාටුවට කරුණකි.

► කුසුම්සිරි විජයවර්ධන