2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

ක්‍රිකට් දිනන්න නායකයාට වගේම අැමතිටත් වාසනාව තියෙන්න ඕන

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 391

අනාවැකි කියන ගංඟා සුදර්ශනී සමඟ කතාබහක්

මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ කතාබහට ලක්වන චරිතයක් වී ඇත්තේ ගංඟා සුදර්ශනීයි. ඇය කියූ බවට පැවසෙන අනාවැකි විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළද ප්‍රචාරය වෙයි. ඇත්තටම ඇය කවුද? ඇය ඇත්තටම ගංඟා මෑණියෝ වශයෙන් හඳුන්වන කෙනාමද? ක්‍රීඩාවේ අනාගතය කොහොමද යන්න පිළිබඳව ඈ සමඟ සිදුකළ සාකච්ඡාවකි මෙය.

ඔබගේ සම්පූර්ණ නම?

අගම්පොඩි ගංඟා සුදර්ශනී ද සොයිසා.

ගම කොහේද?

අකුරල ග්‍රාමයේ

පවුලේ විස්තර?

මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. සහෝදරයන් සතරදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් ඉන්න පවුලක හයවැනියා විදිහට උපත ලබපු කෙනෙක්. මම දරුවන් හතර දෙනකුගේ අම්මා කෙනෙක්.

පාසල් ගියේ?

මම අකුරල පාසලේ අධ්‍යාපනය හැදෑරුවා.

ඔබගේ රැකියාව මොකක්ද?

මම රැකියාවක් වශයෙන් කිසිම දෙයක් කළේ නෑ. කුඩා කාලයේ ඉඳලම වෙනස් විදිහට හැදිච්චි කෙනෙක්. මට සවසට වැඳුම් පිඳුම් කරන්න ඕන. එය අපේ ගෙදර හැමෝම කරන දෙයක්. හැබැයි මගේ විශේෂත්වයක් තිබ්බා. මම පොඩි කාලයේ ඉඳලම සමහර අනාවැකි කියලා තිබ්බා.

කවුද එතකොට මේ ගංඟා මෑණියෝ?

ගංඟා මෑණියෝ කියන්නේ මම නෙමෙයි. ඔය මුහුණු පොතේ මම වගේ හදාගෙන ගංඟා මෑණියෝ කියලා පෙනී ඉන්නවා. ඒක තුළින් අසත්‍ය අනාවැකි කියනවා. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මම මුහුණු පොතේ ඉන්නේ ගංඟා සුදර්ශනී සොයිසා කියන නමින්. මේ ගැන මම කොස්වත්ත පොලීසියට පැමිණිලි කළා. ඉදිරියේදී කවුද කියලා හෙළිවෙයි. මේ වෙනකොට මම දන්නවා කරන කෙනා.

ඔබ ජ්‍යොතිෂ්‍යවේදිනියක් ද? අනාවැකි කියන්නියක් ද?

මම ජ්‍යොතිෂය හදාරපු කෙනෙක් නෙමෙයි. මම ඒ ගැන දන්නේ නෑ. ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒක දන්නේ නැති දෙයක්. මම අනාවැකි පළකරන්නියක්. 

මේ අනාවැකි කියන්නේ හැමෝම කියන විදිහේ දේව වරමකින්ද?

නැහැ. වරමකින් නෙවෙයි. මම කුඩා අවධියේ ඉඳන්ම යම් යම් දේවල් කියලා තියෙනවා. ඒ කියපු දේවල් සත්‍ය වෙලා තියෙනවා. ඒත් ඒ දවස්වල අපේ අම්මා තාත්තා ඒවා සමාජ ගතකළේ නැහැ. ඒත් පසුකාලීනව මම වෘත්තිමය වශයෙන් අනාවැකි කියන්නියක් වුණා.

ඔබ අනාවැකි කියන්න අරගෙන කොච්චර කල් ද?

අවුරුදු 35කට එහා දිවයනවා. දැන් මගේ වයස 55ක්.

ඔබ කිව්ව අනාවැකි වැරදිලා නැද්ද?

එතෙක් මෙතෙක් කිව්ව කිසිදෙයක් වැරදිලා නෑ.

ඔබ කිව්ව ලොකුම අනාවැකිය මොකක්ද?

කුඩා අවදියේදී මම කියලා තියෙනවා ඔය සප්ත කන්‍යා ගුවන් අනතුර. කොහේදෝ රටක ඉඳලා එන අහස් යාත්‍රාවක් මහා කන්දක හැපිලා ඒ ඔක්කොම මැරෙනවා කියලා. ඒ වගේම මගේ සහෝදරයන්ට පවසලා තියෙනවා මේ මහා මුහුද විශාල වෙලා ගොඩ ගලලා ගොඩාක් දෙනෙක් මියයනවා කියලා.

ඔබට සමාජය ඇතුළේ විශාල කතා බහක් ඇති වෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ සිදුකරන අනාවැකිත් එක්ක. මොකක් ද මේ සම්බන්ධය?

එකපාරට නෙමෙයි. 2011 ඉඳලම කිව්වා. මගේ වෙබ් අඩවිය බැලුවොත් ඕන කෙනෙකුට දකින්න පුළුවන්. මම එදා ඉඳලා කිව්වා ලංකාවේ ක්‍රීඩාව බලාපොරොත්තු නැති විදිහට පහතට වැටෙනවා. ඒ වගේම ක්‍රීඩකයන් අතර ප්‍රශ්න ඇති වෙනවා. ක්‍රීඩාව අපහාසයට ලක්වෙනවා. ක්‍රීඩකයන්ට නින්දාවන් විඳින්න වෙනවා කියලා. මට 2011 ඉඳලම කිව්වා මෑතක ඉඳලා තමයි ඒත් අවධානය යොමු වුණේ.

එදා ඔබ කාටද කිව්වේ මේ අනතුරු?

මම මේක කිව්වා ජයන්ත ධර්මදාස මහත්තයට. මට පස්සේ කතා කරන්නම් කිව්වා. ඊට පස්සේ සංජීව රණතුංග කියලා කෙනෙක්ට කතා කරලා මම කිව්වා.

මොනවද කිව්වේ?

මම කිව්වා අපේ රට ක්‍රිකට්වලින් ඉහළට යන නිසා වෙනත් රටවලින් යම් යම් කොඩිවින වගේ දේවල් සිදුකරලා තියෙනවා කියලා අපේ ක්‍රීඩකයන්ට. ඒක මගේ විශ්ව ශක්තියට පේන බව තමයි මම ඒ කාලේ ඉඳලම කියන්න උත්සාහ කළේ. ඒත් ඒ ගැන අවධානය යොමු කළේ නෑ.

ඔබ කියන්නේ ක්‍රීඩකයන්ට අයහපතක් සිද්ධවෙන්න කියලා මොනවාහරි දෙයක් කරලා කියලද?

ඔව්. අනිවාර් යෙන්ම. හිටපු දක්ෂ ක්‍රීඩකයන් එකපාර පැකිළුණේ මේ දේවල් නිසා. එහෙම නැතුව ඒ අයගේ දක්ෂකම් අඩුවීමක් නෙමෙයි. පුහුණුවේ අඩුවීමකුත් නෙවෙයි. නොසැලිකිලිමත් බවකුත් නෙමෙයි. අර කරපු දේවල් නිසයි එහෙම වුණේ. අදටත් ඒ දේ එහෙමයි.

ඒ කියන්නේ මේක කාලාන්තරයක් තිස්සේ වෙච්ච දෙයක් ද?

2011 ඉඳලම පෙනුණා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අපලයි. පහතට හෙළනවා කියලා. තව කාරණයකුත් තියෙනවා. රටට වාසනාව ගේන්න නායකයන්ගේ වාසනාවත් බලපානවා. හිතන්න ක්‍රීඩා ඇමැතිගේ අපල තියෙනවා නම් ක්‍රීඩකයන්ගේ අපල තියෙනවා නම් ඒ දේවලුත් ක්‍රීඩාවට බලපානවා. 

මේ මෑතක ඉඳලා ක්‍රීඩා බලධාරීන් ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ මේක දැනගෙන ද?

ඔව් ඒක නෑ කියන්න බෑ. මම බොරු කියන කෙනෙක් නෙමෙයි. එහෙම සහසම්බන්ධයක් ඇති වුණා. ඒක කියන්න පුළුවන්.

ඔවුන් සම්බන්ධ වුණේ මොකටද?

මම ඒ අයට කිව්වා, මේ ප්‍රශ්න තියෙනවා. අන්න ඒ ප්‍රශ්නවලට උදව් කරන්න පුළුවන් කියලා. අවම කරන්න හරි පුළුවන් කිව්වා. දිනන්න බැරි නම් සම තත්ත්වයට හරි ගේන්න පුළුවන් කිව්වා.

මේ ගැන දැනුම් දුන්න අය නම් වශයෙන් කියන්න?

මම කලින් හිටිය ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කිව්වා. හැබැයි මම කියන දේ ගැන පොඩි හරි අවධානයක් යොමු කළේ වර්තමාන ක්‍රීඩා ඇමති දයාසිරි ඇමැතිතුමා විතරයි. 

දයාසිරි අමාත්‍යවරයා ඔබව හම්බවෙන්න ආවාද?

ඔව් ඉතින් ආවා. මගේ පැලවත්තේ නිවසට. 

ඔබ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල හම්බවුණාද?

නෑ... නෑ... හම්බවුණේ නෑ... එක්තරා ආගමික උත්සවයකදී හම්බවුණා. ඊට පස්සේ හම්බවුණේ නෑ.

ඇත්තද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා පත්කර ගන්නේ ඔබගේ උපදෙස් මත කියන්නේ?

නෑ... ඒක බොරු කතාවක්.

ක්‍රීඩා ඇමැතිවරයා කිව්වා මේ ක්‍රීඩකයන්ගේ බඩ වැඩියි. ෆිට්නස් අඩුයි කියලා ඔබ කියන්නේ ඒවා නෙමෙයි මේ කඩා වැටීමට ප්‍රශ්න?

නෑ... ඒවා නෙමෙයි. මට මෑතකදී දැක්කා අනුර කුමාර දිසානායක මහත්තය කියලා තිබ්බා මේ හැමෝම ගංඟා මෑණියෝ ළඟට යනවා. ඊට පස්සෙයි ක්‍රීඩකයෝ පුහුණුකරු වෙත යන්නේ කියලා. මම කියනවා මෙච්චර කල් පුහුණුකරුවෝ පුහුණු කළා නේද? එහෙමනම් දිනන්න එපැයි. මගේ ආශිර්වාදය ගත්තේ පාකිස්ථාන මැච් එකට කලින්.

ඔබව හම්බෙන්න ආපු ක්‍රිකට් ක්‍රීඩකයෝ කවුද?

බෑ එහෙම කියන්න බෑ.

වර්තමාන ක්‍රීඩකයෝ විතරද එන්නේ?

අනේ අම්මේ ඉස්සර හිටිය ක්‍රීඩකයෝ තමයි වැඩියෙන්ම ආවේ.

ඔබට හිතෙන්නේ නැද්ද අවිනිශ්චිත ක්‍රීඩාවක් ගැන අනාවැකි කියන්න ගිහින් සමාජයෙන් ගැරහුම් ලබන්නට වෙයි කියලා?

නෑ... ඉතින් හිතන්න දෙයක් නෑ. දැනටම පේනවනේ ගොඩාක් අය අපේ ක්‍රීඩකයන්ට ඊර්ෂ්‍යයි. දරාගන්න බෑ. ඒ නිසා මට චෝදනා කරනවා. කරන්න දෙයක් නෑ මට පේනදේ මම කියන්නේ. බුදුහාමුදුරුවන්ට, ජේසුස් වහන්සේටත් අපහාස කළානේ. ඒ නිසා මම සැලෙන්නේ නෑ.

ඔබ යෝජනා කළාද දිනේෂ් චන්දිමාල් නායකයා හැටියට ටීම් එකට පත්කරන්න?

අනිවාර්යයෙන්ම කරොත් හොඳයි කියලා මට පෙන්නුම් කරනවා.

දිනේෂ්ට වාසනාව තියෙනවාද?

නෑ මෙහෙමයි. ක්‍රීඩකයෙන් තමන් කරන ක්‍රීඩාවට ආදරේ කරන්න ඕන. වෘත්තියට නෙමෙයි රටට ආදරේ කරන්න ඕන. ඒ නිසා මට හම්බවුණ ක්‍රීඩකයන් එක්ක බලද්දී දිනේෂ් චන්දිමාල් ඒකට සුදුසුයි. මගේ පුතාගේ යාළුවෙක්. තමන්ගේ වාසියට නෙමෙයි ඔහු ක්‍රීඩා කරන්නේ.

කවදා ගොඩ යයිද මේ ක්‍රිකට්?

කවදා ගොඩයයිද කියලා බලන් ඉන්න බෑනේ. අපි කොහොම හරි ගොඩවෙන්න ඕන. හැබැයි දැන් නම් ගොඩඑන්න ඕන කාලය හරි.

ඒ කියන්නේ ඔබ මොනවා හරි දෙයක් කළාද?

නෑ... නෑ... මට කරපු දෙයක් නෙමෙයි. හොඳ පුහුණුකරුවෙක් ආවා. ඔහුට වාසනා ගුණය තියෙනවා. ඔතන නුසුදුසු කීපදෙනෙක් ඉන්නවා ඒ අය ඉදිරියේදී යයි. ඒ අයගේ නම් කියන්න බෑ.

ඔය නුසුදුසු අය ක්‍රීඩකයෝ ද? බලධාරින් ද?

දෙගොල්ලොම ඉන්නවා.

පසුගිය කාලයේ වැඩිම චෝදනාව එල්ල වුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයට. එතන නුසුදුසු අය ඉන්නවා කියලා පෙන්නේ නැද්ද?

අනිවාර් යෙන්ම මම කියන්නේ ඔය මණ්ඩලවලින් අයින් කරලා ක්‍රීඩකයන් තේරීම ක්‍රිකට් නායකයාට ලබාදෙන්න ඕන. 

දැන් ඔය කරලා තියෙනවා කියන බන්ධනවලින් ක්‍රීඩකයෝ බේරගන්න මොනවාද කරන්න ඕන?

මේ මිත්‍යාවක් නෙමෙයි. බන්ධන තියෙනවා බුදුන්ගේ කාලයේ ඉඳලා. ඉන්දියාව වගේ රටවල්වල විශාල වශයෙන් තියෙනවා. කෝලිලා ක්‍රීඩා කරන්න කලින් ආශිර්වාද කරනවා පූජකවරු ගෙන්නවලා.

ක්‍රිකට් අතඇරලා දේශපාලනයට ආවොත් කොහොමද දේශපාලනඥයන් අතර සම්බන්ධය?

මෙහෙමයි හරි දෙයක් කරනකොට කටින් කට යනවා. මම ලංකාවේ විතරක් නෙමෙයි දෙස් විදෙස්වල පවා ජනප්‍රිය කෙනෙක්. ඒ නිසා දේශපාලනඥයෝ එනවා. පක්ෂ විපක්ෂයෙන් තොරව එනවා.

රාජ්‍ය නායකයොත් සම්බන්ධ වුණාද?

බොහෝ නායකයන්ට ආශිර්වාද කරලා තියෙනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

එතුමා බොහෝම හිතවත්. මට ගොඩාක් හිතවත් වුණේ පරාජයෙන් පස්සේ. හැබැයි ඒ පරාජයත් 2013දී මම කිව්වා.

ඔබ මීට කලින් දැක්ක ද වර්තමාන ජනාධිපති ජනාධිපතිවරයෙක් වෙනවා කියලා?

අනිවාර් යෙන්ම මම කිව්වා. මතකද පිළියන්දල පැත්තේ බෝම්බයක් තියලා එතුමා බේරුණා. ඒ වෙලාවේදි මම කිව්වා එතුමා කවදා හරි නායකයා වෙනවා කියලා.

මෛත්‍රීපාල මහත්තයට දැනුම් දුන්නාද?

නෑ... නෑ... මම පස්සෙන් යන කෙනෙක් නෙමෙයි.

වර්තමාන ජනාධිපතිව හම්බවුණේ නැද්ද?

එතුමාව හම්බවෙන්න මම ගිහින් තියෙනවා එක දවසක්.

ඔබට හිතන හැටියට මේ ආණ්ඩුවේ අනාගතය කොහොමද?

ඒකට දැන් උත්තර දෙන්න බෑ.

රටට මොන වගේද?

දැන් තියෙන්නේ අර්බුදකාරී තත්ත්වයක් ඉදිරියේදී මට කියන්න බැරි තරම් දේවල් සිද්ධ වෙනවා. මම මේ අවස්ථාවේදී දෙයක් කියන්න නරකයි.

2018 වසරේදී යම් දේශපාලන පෙරළියක් වෙනවලු. ඇත්තද ඒක?

ඔව් පෙරළිකාර තත්ත්වයක් වෙන්න පුළුවන්.

ඔය දේශපාලන අනාවැකි කියන්න ගිහින් ගොඩාක් දෙනෙක් නම් කැත කරගත්තා. ඔබට හිතෙන්නේ නැද්ද එහෙම වෙයි කියලා?

අනාවැකි වාසියට කියන අය වැඩියි. සමහර අය තවත් කෙනෙක්ට වාසි වෙන්න කියනවා. තවත් අය මුදලට කියනවා.

2020 කවුද මේ අය අතරින් නායකයා වෙන්නේ?

2020 දී මේ ඔක්කොම ගැන ජනතාව කලකිරෙනවා. ඔය ඉන්නම කෙනෙක් බලාපොරොත්තු නැති ආකාරයෙන් ඉස්මතු වෙනවා.

ගයාන් ගාල්ලගේ
සේයාරුව I අන්තර්ජාලයෙනි