2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

තරුණියන් හතරකගේ ජීවිත ගොඩදැමූ පරගොඩ පන්සලේ හාමුදුරුෙවා්

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 286

ගාල්ල කොග්ගල මුහුදු තීරයේ දිය නාමින් සිටි කාන්තාවන් සිව්දෙනකු රළ පහරට හසුව ගසාගෙන යමින් සිටියදී ස්වාමින් වහන්සේ නමක් විසින් පිරිස බේරාගෙන තිබුණි. සිය ජීවිතය දෙවැනිකොට අවදානමේ තබා උතුම් මෙහෙවරකට දායක වූ උන්වහන්සේ ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරවාසී කොත්මාදුවේ අනුරුද්ධ හිමියෝ වෙති. මේ ලියමන උන්වහන්සේගේ අභීත මෙහෙය පිළිබඳවය.

ඉකුත් 23 වැනි සෙනසුරාදා දිනය කොග්ගල මුහුදු තීරයට ඉස්පාසුවක් නොවීය. ඒ තරමට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ගොස් තිබිණි. පිරිසක් වෙරළ තීරයේ සුන්දරත්වය විඳින අතර තවත් පිරිසක් රළ පාගමින් විනෝද වෙමින් සිටියෝය.

ප්‍රදේශයේ හිතවතුන් පිරිසක් වෙරළට පැමිණ සිටියේ සිය සගයකුගේ උපන් දිනය නිමිත්තෙන් සාදයක් පවත්වා විනෝද වීමටය. ඔවුන් අතර යෞවනියන් හතර දෙනකු ඇතුළු පිරිසක් මුහුදේ බැස දිය නාමින් සිටියෝය. එතැන සිටි අයට විනෝදය හැර පිටස්තර යමක් පිළිබඳ අවබෝධයක් නොවීය. ඒ අතර රළු වූ මුහුදු රළට ගොදුරු වූ පිරිස අතර තරුණයන් වෙරළට පැමිණිය ද තරුණියන් සිව්දෙනා දියඹට ඇදීයමින් සිටියේ දිය රකුසාට බිලිවන තරමටය.

“දෙයියනේ... ළමයි ගහගෙන යනවා... කවුරුත් නැද්දෝ... මගේ ළමයි බේරාගනියෝ...” 

මේ හඬ මුහුදේ ඝෝෂාව පරදා ඇසෙන්නට විය. මේ විලාප තබන්නේ මුහුදු රළ හමුවේ ජීවිතය ඉල්ලන දරුවන්ගේ පවුලක වැඩිහිටි කාන්තාවකි. වෙරළේ විනෝද වෙමින් සිටි බොහෝ පිරිසකට මේ අඳෝනාව නෑසුණු තරමය. පරගොඩ රජමහා විහාරවාසී කොක්මාදුවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එම ස්ථානයට වැඩම කර සිටියේ වාසනාවකටය. උන්වහන්සේ ඉමදුව පරගොඩ රජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති දේවාලයෙහිද අජිත හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂු නමකි. අනුරුද්ධ හිමියන් මේ ස්ථානයට පැමිණ තිබුණේ සිය ගුරු හාමුදුරුවන්ගේ උපන් ගම වූ අම්පාර ප්‍රදේශයේ ඥාති පිරිසක් ස්වාමින් වහන්සේ බැහැදැකීමට පැමිණි මොහොතේ ඔවුන්ගේ ඉල්ලීම මත කොග්ගල වෙරළ නැරඹීමටය. මුහුදු රළේ ශබ්දය නිසා පෙර කී කාන්තාවගේ අඳෝනාව අන් කිසිවකුට නෑසුණත් අනුරුද්ධ හිමියන්ට ඇසුණේ හිත උණුවන තරමටය.

උන්වහන්සේ මඳක් සවන් යොමුකරමින් සිටියේ කාන්තාවකගේ අඳෝනාව කුමක්ද පිළිබඳවය. එසැණින් උන්වහන්සේට අවබෝධ වූයේ යම්කෙනෙක් මුහුදේ ගසාගෙන යන බවත් ඔවුන් බේරාගන්නට උදව් ඉල්ලන බවත්ය. වහා ක්‍රියාත්මක වූ අනුරුද්ධ හිමියෝ අසරණව හඬන අම්මා දෙසට දිවගියහ. ඒ යනවිටත් තරුණියන් හතරදෙනෙක් මුහුදු රළ මැද බේරෙන්නට ක්‍රමයක් සොයමින් දෑත් උස්සමින් සිටියෝය. මේ දුටු ස්වාමීන් වහන්සේ සිවුර උනාදමා අඳනය පිටින් චණ්ඩ රළ මතින් දියඹට බැස්සේ කෙසේ හෝ ගිලෙන්නට යන පිරිස බේරාගන්නා අටියෙනි.

“අපේ ලොකු හාමුදුරුවන්ගේ ගමේ ඥාති පිරිසක් පන්සලට ආවා. ඔවුන්ට කොග්ගල වෙරළ නැරඹීමට අවශ්‍ය බව කීවා. ඒ නිසයි ඔවුන් සමඟ අපි වෙරළට ගියේ. සෙනඟ ගොඩක් වෙරළෙ හිටියා. ඒ අතරෙ ගෑනු කෙනෙක්ගේ අඳෝනාව ඇහුණා. මම විපරම් කරලා බැලුවම දැක්කා ගිලෙන්න යන ඇයගේ දරුවන් බේරන්න කියලා උදව් ඉල්ලනවා. මම සිවුර උනා දමලා මුහුදට බැස්සා. හැබැයි මටත් හරියට පීනන්න බෑ. එතන කාන්තාවන් හතරදෙනෙක් හිටියේ.

තුන්දෙනෙක්වම මම තනියම බේරලා ගොඩට ගත්තා. අනික් කෙනා ගොඩගන්න එතන හිටපු සුදු මහත්මයෙක් උදව් කළා. ඔහු විදේශීය සංචාරකයෙක්.

අනුරුද්ධ හිමි එසේ ප්‍රකාශ කළහ. ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීමෙන් බේරාගත් තරුණ කාන්තාවන් සිව්දෙනා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරන්නට රැස්වූ පිරිස් පියවර ගත්හ. රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ රෝගින්ගේ තත්ත්වය බරපතළ නොවන බවය. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙවැනි වෙරළ උද්‍යානවල ආරක්ෂාවට මීට වඩා යම් පියවරක් ගැනීම බලධාරීන්ගේ යුතුකම බවය.

අනුරුද්ධ හිමියන් දනට පිනට කැමති පින්වත් ස්වාමින් වහන්සේ නමකි. උන්වහන්සේ පරගොඩ රජමහා විහාරය අසල මිනිසුන්ට නොමිලේ ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටිති. එහිදී කරාපිටිය රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ වෛද්‍ය පහසුකම් ලබා ගැනීමටද අදහස් කරති. උන්වහන්සේ ප්‍රකාශ කළේ ඒ සඳහා පින් කැමති අයගේ දායකත්වය ලැබෙනවා නම් මහඟු පින්කමක් බවය.

සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා සහ සේයාරූ
කරාපිටිය ප්‍රේමතිලක ද සිල්වා