2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

වීරයෝ වගේ හිටි අය එල්ලුම් ගහට ගියේ අඬ අඬා!

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 419

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සී.ටී. ජෑන්ස් මතකය අවදි කරයි

♦ සමහර කරදරකාරයන්ට ලුණුයි බතුයි කන්න දෙනවා

♦ නිලධාරියා සින්දු කියද්දී දරුණු හිරකාරයෙක් පැනලා ගිහින්

♦ සිරකුටි අතර ඇවිදිද්දී එක හිරකාරයෙක් අපට ගහන්න පැන්නා

♦ කුඩුකාරයන්ගෙන් අනෙක් සිරකරුවන්ටත් කරදරයි

අපේ සමාජයේම පංගුකාරයන් වන එහෙත් සමාජයේ පංගුකාරයන් බව කීමට බොහෝ දෙනෙක් මැලිවන සමාජ සංස්ථා කිහිපයකි. මහඋළුගෙදර හෙවත් බන්ධනාගාරයට ඒ අතරින් හිමිවන්නේ සුවිශේෂී තැනකි. ‘“සිරකරුවෝ ද මනුෂ්‍යයෝය” යනුවෙන් පොල්ගෙඩි අකුරෙන් වැලිකඩ බිත්තියේ ලියා තිබුණත් හිරකරුවන් සියලු දෙනා මිනීමරුවන්ය, දරුණු ගණයේ අපරාධකරුවන්ය වැනි ඇසකින් බලනා දෙනෝදාහක් සිටින සමාජයක ඒ පිළිබඳව බන්ධනාගාරය තුළම සිටි නිලධාරීන්ට කියන්නට ඇති කතාව වෙනස් විය හැක. මෙරට බන්ධනාගාර ඉතිහාසයේ හිටි කීර්තිමත් නිලධාරියකු මෙන්ම හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයකු ද වූ සී.ටී. ජෑන්ස් මහතා සොයා අපි දෙහිවල පිහිටි ඔහුගේ නිවසට ගොඩවැදුණේ හිරගෙදර අතීතය ගැන ඔහුගේ මතකය ආවර්ජනය කිරීමේ අටියෙනි. 

සීනුව නාද කළ ගතවූයේ තත්ත්පර කිහිපයකි. ඉදිරි දොර විවෘත කරගෙන අප වෙත පැමිණි ජෑන්ස් මහතා උණුසුම් අයුරින් අප පිළිගත්තේ දෑත් තදින් අල්ලා සොලවමිනි.

“මම දැන් රිටයර් වෙච්ච මනුස්සයෙක්නෙ. ඔයාලට මගෙන් මොනා දැනගන්නද?” ඔහු කතාව ඇරඹුවේ එලෙසිනි.

විශ්වවිද්‍යාලයෙන් බන්ධනාගාරයට

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ජෑන්ස් මහතා වැඩිදුර අධ්‍යාපනයට ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය. පසුව තෝරාගත්තේ බන්ධනාගාර පරිපාලන ක්ෂේත්‍රය වුවද ඔහු විශ්වවිද්‍යාලයේදී උගත්තේ පශු වෛද්‍යවරයකු වීම සඳහා ය.

“මගේ ඉස්කෝලෙ කාලෙ ඉඳන් හිටපු යාළුවෙක් තමා ලීන් ද අල්විස් කියන්නෙ. එයයි මමයි දෙන්නම කැම්පස් අවුට් වුණාට පස්සෙ සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ තනතුරටයි බන්ධනාගාර නිලධාරී තනතුරටයි ඉල්ලුවා. එයාට සත්වෝද්‍යානෙ තනතුර ලැබුණා. මට බන්ධනාගාරෙ තනතුර ලැබුණා” 

“ඇයි ඇත්තට බන්ධනාගාරෙ රස්සාවක් තෝරගත්තෙ?” 

“අනේ මන්දා. හිරේට යන්න මගේ ඉරණමේ ලියවිලා තියෙන්න ඇති මම හිතන්නෙ” ඔහු උත්තර බැන්දේ විහිළුවකිනි. 
ජෑන්ස් මහතා බන්ධනාගාර සේවයට එක්වන්නේ සහකාර අධිකාරීවරයකු ලෙසිනි. පළමු පත්වීමෙන් බෝගම්බරට යන ඔහුට පැවරුණේ බන්ධනාගාර අධිකාරීවරයාගේ වැඩකටයුතුවලට සහාය වීමය.

බන්ධනාගාර නිලධාරියකු වීම ලෙහෙසි පහසු කාරියක් ද නොවේ. තමන්ට ඇසුරු කරන්න සිදුවන්නේ විවිධ අපරාධ සම්බන්ධයෙන් වැරැදිකරුවන් වූ පුද්ගලයන් සමඟය. එවන් තැනකදී පෞරුෂත්වය යනු නිලධාරියකුට තිබිය යුතුම දෙයකි.

“මම ඉස්කෝලෙ කාලෙදි ක්‍රීඩා ගොඩක් කළා. ඉස්කෝලෙදි වගේම ඊටපස්සෙ මහනුවරදිත් මම රගර් සෙල්ලම් කළා. හොකී, බොක්සිං වගේ තවත් ක්‍රීඩා ගොඩක් කළා. ඒක බන්ධනාගාරෙ ගෙවපු ජීවිතේදි ගොඩක් ප්‍රයෝජනවත් වුණා” 
සිරකරුවන් අතර සිටින විට අකරතැබ්බවලට මුහුණදුන් අවස්ථාද නැතුවාමත් නොවේ. 

“ඒ දවස්වල මම හිටියේ යාපනේ බන්ධනාගාරෙ. එක හිරකාරයෙක් හිටියා එයාව පාලනය කරන්න හදනවාට කැමැති නෑ. ඉතින් දවසක් මමයි අපේ බන්ධනාගාර අධිකාරියි බන්ධනාගාරෙ ඇතුළේ හිර කුටි අතර ඇවිදින ගමන් හිටියෙ. ඔය වෙලාවට තමයි හිරකාරයෝ ඒ ගොල්ලොන්ට තියෙන දුක්ගැනවිලි ගැන අපිට කියන්නෙ. ඉතින් එදා අපි ඇවිදගෙන යද්දි මේ හිරකාරයා එකපාරටම අපිට ගහන්න පැන්නා. හැබැයි අපිට මුකුත් කරන්න එයාට ලැබුණෙ නෑ. අපිත් එක්ක හිටපු සුබසාධන නිලධාරියා ඉක්මනට එයාව අල්ලගත්තා”.

මුරණ්ඩු හිරකාරයන්ට අමුතු දඬුවම්

සිරකරුවන් සිරගෙදරදී ද විවිධ වැරැදි කිරීමෙහි අඩුවක් නැත. විශේෂයෙන්ම දීර්ඝකාලීන සිරදඬුවම් විඳින සිරකරුවන්ට සිරගෙය යනු තම නිවස මෙන් ස්ථානයකි. එනිසා තමන්ට රිසි පරිදි ඉන්නට ඔවුහු සෑමවිටම උත්සාහ ගනිති. එහෙත් ඒ නිදහස බොහෝවිට සිරගෙදර නීති රීතිවලට පටහැනි වන්නට ඉඩ ඇත. 

“නිලධාරීන්ට කන්ට්‍රෝල් කරගන්න සෑහෙන අමාරු වෙච්ච එක හිරකාරයෙක් මට හොඳට මතකයි. එයා ගාල්ලෙ මනුස්සයෙක්. මිනිහා කියන කිසිම දෙයක් නාහෙට අහන්නෙ නැති දඩබ්බර මිනිහෙක්. ඉතින් මිනිහට නිතරම අපෙන් දඬුවම් ලැබුණා. ගොඩක් වෙලාවට ලැබුණු දඬුවම තමයි වේලිච්ච පොල් ලෙලි තලන එක. වේලිච්ච පොල්ලෙලි තලන එක ටිකක් අමාරුයි. තෙත පොල්ලෙලි නම් තලන්න ලේසියි. ඉතින් පස්සෙ තමයි අපි දැනගත්තෙ අපි දෙන පොල්ලෙලි වලට මුත්‍රා කරලා තමයි මිනිහා පොල් ලෙලි තලන්නෙ. මොකද එතකොට ලේසියෙන් තලන්න පුළුවන්නෙ”.

එම සිරකරුවාම කළ තවත් වික්‍රමයක් ගැන ජෑන්ස් මහතා කීවේ හිනැහෙමිනි. 

“වැලිකඩ බන්ධනාගාරෙ තට්ටු තුනේ ගොඩනැගිල්ල ළඟ තමයි හිරකාරයන්ගෙ වැසිකිළි පිහිටලා තියෙන්නෙ. එයාල එක එක්කෙනාට වැසිකිලි පෝච්චිය ගානෙ දීලා තියෙනවා. ඒක අරන් ගිහින් තමයි එයාලා වැසිකිළි යන්නෙ. ඉතින් මේ මනුස්සයා දවසක් වැසිකිළි ගිහින් ඉවරවෙලා ආපහු කුටියට එද්දි තමන්ගෙ අතේ තිබ්බ වැසිකිළි පෝච්චිය අපේ නිලධාරියෙක්ගෙ ඔළුවෙ හැලුවා. අර මනුස්සයා අපහසුතාවයට ලක්වුණු එකෙන් එයා සතුටු වුණා”. 

හිරගෙදර බත් පත සුපිරි භෝජනයක් නොවූවද එය ඇත්තෙන්ම හොඳ කෑමවේලකි. ඊට බත් සමඟ එළවළු දෙකක් සහ මස් හෝ මාළු හෝ ලැබේ. මස් මාළු නොකන අයට තවත් එළවළුවක් හිමිවේ. 

“කලාතුරකින් දවසක පාලනය කරගන්න අමාරුම හිරකාරයන්ට අපි සාමාන්‍ය කෑම දෙන එක නවත්තලා, ලුණුයි බතුයි දුන්නා. හැබැයි ගොඩක්ම කලාතුරකින් තමා එහෙම කළේ. ඔය ගාල්ලෙ මනුස්සයට නම් එකපාරක් එහෙම ලුණුයි බතුයි දුන්නා. මිනිහා ඒ තරමටම වද දීපු මිනිහෙක්”

එල්ලුම් ගහ

මරු සිරා යනු මෙරට බන්ධනාගාර ඉතිහාසය තුළ සුවිශේෂී සිරකරුවෙකි. දරුණු ගණයේ අපරාධ කරුවකුවූ මරු සිරා ගැන ජෑන්ස් මහතාට ඇත්තේ තරමක් බොඳවූ මතකයකි.

“මට ඒ තරම් මතක නැහැ. හැබැයි එයා කලින් වීරයෙක් වගේ හිටියට එල්ලා මරන දිනය ළංවෙද්දි එයා සෑහෙන බයකින් හිටියා කියලා අපිට තේරුණා. ඒක ඇත්තටම මරණ දඬුවම් නියම වෙන බොහෝ හිරකරුවන්ට සිද්ධ වෙන දෙයක්. මරණ දිනය ළංවෙද්දි එයාලා සෑහෙන විදිහට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ආගමික නායකයෝ ඇවිත් එයාලට විවිධ උපදෙස් දෙනවා. මට මතකයි එක හිරකාරයෙක් හිටියා හිරකුටියේ ඉඳන් පෝරකේ ළඟට එනකල් ගාථාවක් කිය කිය ආවා. අලුගෝසුවා ලීවරේ ඇදලා ටික වෙලාවක් ගියාට පස්සෙ තමා ඒ ගාථා සද්දෙ නතර වුණේ” 

ජෑන්ස් මහතා විස්තර කළ ආකාරයට යම් දිනයක කිසිවකු එල්ලා මැරීමට නියමිතව ඇත්නම් එදින මුළුමහත් බන්ධනාගාරයම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද දවසකි. වෙනත් ලෙසකින් කියතොත් බන්ධනාගාර ශෝක දිනයකි. නිලධාරීන් පමණක් නොව හිරකරුවන් පවා එකිනෙකාට කතාබහ කරන්නේ සෙමිනි; අඩුවෙනි. 

එල්ලුම් ගහට නියමිත දිනයට පෙර දින රාත්‍රියේදී සිරකරුට කැමැති ඕනෑම ආහාරයක් ඉල්ලා සිටීමේ අයිතියක් තිබේ. එහෙත් ජෑන්ස් මහතාගේ අත්දැකීම්වලට අනුව කෑමවේලක දුරින් මරණය පෙනි පෙනී තිබියදී රසමසවුළු සෙවූ කිසිම සිරකරැවකු හිඳ නැත. බොහෝ දෙනෙක් ඒ සෑම තත්පරයක්ම යොදාගෙන ඇත්තේ ආගම දහමට සමීප වීමටය.

ගුටිකන කුඩ්ඩෝ

මත්ද්‍රව්‍ය නිසා හිරගෙට නියමවෙන පිරිස ද අති මහත් ය. එහෙත් හිරගෙදර තුළට පවා කුඩු ගෙන්වා ගැනීමට ඔවුහු අති දක්ෂයෝය. ජෑන්ස් මහතා පවසන ආකාරයට ඉතා සියුම් ක්‍රම හරහා මෙසේ හිරගේ තුළට මත්ද්‍රව්‍ය ගෙන්වා ගැනීම සිදුවේ. ටෙනිස් බෝල තුළ සඟවා එළියේ සිට හිරගේ තුළට කුඩු එවීම එවැනි එක් ජනප්‍රිය ක්‍රමයකි. 

“කුඩු නැතිවුණදාට එයාලා නිකන් පිස්සු වගේ හැසිරෙන්නෙ. කූඩුවේ ඉඳන් වේදනාවෙන් කෑගහනවා. මහ හයියෙන් හූ කියනවා. එහෙමත් නැත්නම් පෙරළි පෙරළි අඬනවා. ඉතින් අනිත් හිරකාරයන්ටත් වදේ. රෑට නිදාගන්නත් නෑ. ඉතින් සමහරදාට අනිත් හිරකාරයෝ කරන්නෙ ඉවසලා බැරිම තැන උන්ට අල්ලන් හොඳටම තඩිබාන එකයි”. 

සින්දුව අතරේ හිරෙන් පැනලා

දීර්ඝ කාලයක් තිස්සේ හිරගෙදර දඬුවම් විඳින හිරකරුවෝ ඇතැම්විට තම වාසනාව උරගා බලන්නේ හිරගෙයින් පැනීමට උත්සාහ කරමිනි. එහෙත් බොහෝවිට එම අවස්ථා ව්‍යර්ථ කරදැමීමට බන්ධනාගාර නිලධාරීන්ට අවස්ථාව ලැබේ. 
“හිරගෙයක් කිව්වම ඉතින් හිරෙන් පනින එකත් ඒකෙම කොටසක්නෙ. මටත් යාපනේ ඉන්දැද්දි එකපාරක් ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න ලැබුණා. එදා රෑ ආරක්ෂාවට යොදවලා හිටපු බන්ධනාගාර නිලධාරියා සිංදු කියන්න බොහොම ආසා මනුස්සයෙක්. ඉතින් මිනිහා සිංදු කියද්දි අනිත් හිරකාරයෝ එයාව උසිගන්නනවා. තව සිංදුවක් කියන්න තව සිංදුවක් කියන්න කියලා ඉල්ලනවා. ඉතින් මිනිහාත් සිංදු කියනවා. දවසක් ඔහොම සිංදු කිය කියා ඉඳලා රෑ ෂිෆ්ට් එක මාරුවෙලා වෙන නිලධාරියෙක් ආවට පස්සෙ තමයි දැක්කෙ එක හිරකාරයෙක් පැනලා ගිහින් කියලා. ඒ පැනලා ගිය මනුස්සයා ටිකක් දරුණු මිනිහෙක්. යාපනේ බලකොටුවෙ තාප්පෙටත් උඩින් තමයි මිනිහා පැනලා ගිහින් තිබ්බෙ. හැබැයි වැඩිවෙලාවක් යන්න කලින් එයාව අල්ලගන්න අපිට පුළුවන් වුණා.” 

කොමසාරිස් ජෙනරාල්

1986 වර්ෂයේදී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ලෙස පත්වීම භාරගන්නා ජෑන්ස් මහතා වසර දෙකක කාලයක් එම ධූරයේ කටයුතු කළේය. ඔහු විශ්‍රාම ලබන්නේ ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වෙමින් සිටි අතරතුරදී වීම විශේෂත්වයකි. බන්ධනාගාරයෙන් පසු අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ලෙසත් ඉන් අනතුරුව මානව හිමිකම් කොමිසම තුළත් ආදී වශයෙන් විවිධ තනතුරු හෙබවූව ද බන්ධනාගාරයේ ගෙවූ ජීවිතය ඔහුගේ ජීවිතයේ වටිනාම කාලපරිච්ඡේදය විය.

“බන්ධනාගාරයේ විශ්‍රාම ගිය නිලධාරීන්ගේ සුබසාධක සංගමයකුත්, උසස් නිලධාරීන්ගේ සංගමයකුත් තියෙනවා. ඒවායෙදි මුණගැහුණම අපි පරණ දේවල් ගැන ගොඩක් කතාවෙනවා.” 

එදා තමා යටතේ හුන් හිරකරුවන් අද දවසේ පාරතොටේදී හමුවන අවස්ථාද බහුල බව ජෑන්ස් මහතා අප සමඟ කීය. ඔහු ඉඳහිට ව්‍යායාම සඳහා ඇවිදින්නට යනවිටද එදා හිරකරුවෝ අද යහපත් මිනිසුන් ලෙස ඔහුට මුණ ගැසෙති. ජෑන්ස් මහතාට ඔවුන් හැඳිනීම තරමක් අපහසු වුවත් ජෑන්ස් මහතා දුටු වහාම ඔහුට කතාකිරීමට ඔවුහු පසුබට නොවෙති. 

“මම මේ ළඟදී දවසක් නුගේගොඩ පේමන්ට් එකේ ඇවිදගෙන යද්දී කවුදෝ කෙනෙක් ජෑන්ස් මහත්තයා, ජෑන්ස් මහත්තයා කියලා කැගැහුවා. මම හැරිලා බලද්දී හිටපු මනුස්සයව මම අඳුනන්නෙ නෑ. හැබැයි පස්සෙ එයාම මට එයාව අඳුන්නලා දුන්නා. එයා මං බන්ධනාගාරෙ හිටපු කාලෙ හිටි හිරකාරයෙක්” 

සමුගන්නා මොහොතේදී ජෑන්ස් මහතා පුන පුනා අවධාරණය කළ විශේෂ කරුණක් විය. ඒ බන්ධනාගාර තදබදය අඩුකිරීම කඩිනමින් කළ යුත්තක් බව ය. තදබදය අඩු කරගනිමින් සහ සිරකරුවන්ගේ ශ්‍රමය ඵලදායී ලෙස භාවිත කිරීමට අවධානය යොමුකළහොත් වඩා යහපත් තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි යන්න ජෑන්ස් මහතාගේ අපේක්ෂාව ය.

♦ රජිත ජාගොඩ ආරච්චි
සේයාරුව - සුමුදු හේවාපතිරණ