2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

හිටි ගමන් මැරෙන්න හිතෙන මාරාන්තික කොඩිවිනේ

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 493

නීච යක්ෂ බන්ධනයකට ඔබේ සිරුර නතුවී ඇති වග ඔබට දැනෙනවාද? ඔබ පිටුපස කවුරුන් හෝ කෙනෙක් නිරන්තරයෙන් සෙවණැල්ලක් සේ ගැවසෙන වග ඔබට දැනෙනවාද? සුව නොවන අසනීප, ශාරීරික වද වේදනාවන්, මානසික වද වේදනාවන්, ජීවිතය ගැන දැනෙන අප්‍රසන්න හැඟීම්, ජීවිතය විනාශ කරගැනීමට දැනෙන සිතුවිලි නිසා ඔබ අප්‍රමාණ කායික මානසික පීඩනයකට ලක්වී සිටින්නේද? ඔබේ දියුණුව බලාපොරොත්තු ඔබ දෑස් මානයේම ඉහිරී බොඳවී යන්නේද? ඒ සියල්ලට හේතුව බොහෝවිට කොඩිවිනයක්, නීච කාල යක්ෂ බන්ධනයක් විය හැක.

මේ සත්‍ය කතාවකි. කියවා බලන්න....

මම පොළොන්නරුවේ අරලගංවිල ප්‍රදේශයේ කෙනෙක්. මගේ නම පියසේන. මගේ මස්සිනා තමා ගුණරත්න කියන්නේ. එයා හොඳට වැඩ කරගෙන දියුණු වේගෙන ආවා. ඒත් ටිකින් ටික එයා වෙනස් වුණා. අසනීප වුණා. බලාගත්ත අතේ බලාගෙන හිටියා. හැමතිස්සෙම හැසිරුණේ කාට හරි බයවෙලා වගේ. එයා පිටිපස්සෙන් කෙනෙක් ඉන්නවා වගේ. මගේ මස්සිනාට මානසික ලෙඩක් කියලා අපි සැක කළා. කසාද බැන්දට එයාට ළමයි හිටියෙත් නෑ. පොළොන්නරුව, කොළඹ, කුරුණෑගල මේ හැමතැනකම මානසික වෛද්‍යවරු ගාවට මස්සිනාව අරන් ගියා. ඒත් කිසිම සුවයක් නෑ. ඊට පස්සේ බලි තොවිල් කළා. ලක්ෂ ගණන් සල්ලි ඒවාට වියදම් වුණා. ඒත් කිසිම සුවයක් ලැබුණේ නෑ. අවසානේ අපි කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ඉද්දී තමා කීර්ති කුමාර බටගොඩගේ දේවගැතිතුමා ගැන දැනගත්තේ. අපි ගාල්ල උණවටුන මැටරඹ සතර මහා දේවාලයට දවසක් එතුමාව හොයාගෙන ආවා. එතුමා කීවා මට බලන්න ලෙඩාව අරන් එන්න. නැත්නම් හඳහන අරන් එන්න කියලා. අපි රුපියල් 18000ක් දීලා ලොරියක් අරගෙන ලෙඩාව අරන් ආවා. තනියම එක්ක එන්න බය නිසා ලොරියක් අරන් ලෙඩාව අරන් ආවේ ලොකු සෙනඟක් එක්ක. මොකද ලෙඩා කලබල කරයි අපිට ආන් බාන් කරගන්න බැරිවෙයි කියලා අපි බය වුණා. අපි හතර දෙනෙක් ලෙඩාව උස්සගෙන ආවේ. මගේ මස්සිනා හොයාගන්න බැරි අසනීපයක් නිසා අවුරුදු දාහතරක් එක්තැන් වෙලා හිටියා. මෙයාට මොකක් හෝ දිෂ්ටියක් කියලා අපි හිතුවේ දවසක් සිදුවෙච්ච සිදුවීමක් නිසා. දවසක් රෑ 12.00ට විතර බලද්දී ලෙඩා ගෙදර නෑ. අපි පුදුම වුණා. මොකද මෙයාට ඇවිදින්නත් බෑ. ගමේ මිනිස්සුන්ටත් කියලා අපි හැමතැනම ලෙඩාව හොයන්න පටන් ගත්තා. රෑ 12.30ට විතර අර ලෙඩාගේ හඬින් හූවක් ඇහෙන්න පටන් ගත්තා. අපේ ගෙදරට කිලෝමීටර් එකහමාරක් විතර දුරකින් තියෙන කනත්ත දිහාවෙන් තමා හූව ඇහුණේ. අපි හුළුඅත්තක් පත්තු කරගෙන කනත්ත දිහාට දිව්වා. ඇවිදින්ට බැරුව හිටපු ලෙඩා රෑට උයපු බත් හට්ටියයි වෑංජන හට්ටි දෙකයි උස්සගෙන ඇවිත් සොහොන උඩ ඉඳන් කාලා ආයෙත් අර විදිහටම වැටිලා ඉන්නවා. අපිට හිතාගන්න බැරිවුණා අඩියක්වත් ඇවිදින්න බැරුව හිටිය මිනිහා කොහොමද මේ මහ රෑ කනත්තට ආවේ කියලා. කනත්තට එද්දී කුඹුරක් මැද්දෙන් එන්න ඕනෑ. ඒ කුඹුර මැද්දෙන් එද්දී මඩ ගෑවෙනවා. ඒත් ලෙඩාගේ කකුල්වල මඩ ඇඹිත්තක්වත් ගෑවිලා තිබුණෙ නෑ. මිදුලේ වැලිවලත් එක අඩි පාරක්වත් තිබුණෙ නෑ. ගමේ මිනිස්සුත් කීවා මොකක් හරි දිෂ්ටියක් මේකව මෙතෙන්ට ගෙනත් දාන්ට ඇති කියලා..... 

අවසානයේ ඒ රෝගියා ඔහුගේ නෑදෑ හිතමිතුරන් විසින් කීර්ති කුමාර බටගොඩගේ දේවගැතිවරයා අබිමුවට ගෙන එන ලදී.

එතැන් සිට කතාවේ අවසානය අපි දේවගැතිවරයාගෙන් විමසුවෙමු.

හඳහන බලද්දී මට පෙනුණා මේ අහිංසක මනුස්සයට යක්ෂ බන්ධනයක් කරලා කියලා. යකෙක් ඇඟට හිරකරලා මෙයාව සම්පූර්ණයෙන්ම අඩපණ කරලා තිබුණේ. දෙහි කපද්දී මේ මනුස්සයා පියවි සිහියට ඇවිත් මේ මොකද වුණේ? මට මොකද වෙලා තිබුණෙ ඇහුවා. අවුරුදු දා හතරක් ඇඟට හිරකරලා හිටිය යක්ෂයා නිසා මේ මනුස්සයා පුදුම දුක් කන්දරාවක් විඳලා තිබුණෙ. එයාගෙම එක කුස උපන් සහෝදරයෙක් තමා දේපළවලට කෑදරකමේ මෙයාව එක්තැන් කරලා මරවන්න මේ බන්ධනය කරලා තිබුණෙ. අපි ඒක කැපුවම ඒක කරපු පව්කාරයා පිටින් බන්ධනය කැරකිලා ගියා. අතුරු අන්තරා වෙලා ඉඩකඩම් විනාශවෙලා අයාලේ ගිහින් බලාගෙන ඉද්දි කෙටි කාලයක් ඇතුළත යක්ෂ බන්ධනේ කරපු එකාගේ මුළු පවුලම විනාශවෙලා ගියා. ආවේගයෙන් පව්කාර හිතුවිලි බලවත් වෙද්දී ක්‍රෝධයෙන් කොඩිවින යක්ෂ බන්ධන කැවිලි පැන්නිලි කරද්දී මිනිස්සු ඒවගේ කර්ම විපාක ආදීනව ගැන හිතන්නේ නෑ. ඒත් කර්මය පව කවදාහරි පල දෙද්දී ඒක කැරකිලා එන්නේ තව කීප ගුණයකින් බලවත්වෙලා. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ පව්කාර හිතුවිලි ඈත් කරන්න සතුරෙකුගෙන්වත් පලිගන්න හිතන්න එපා. සතුරැකම් කරන අයට ඒ පව් පලදෙයි. අපි හතුරැකම් කරන්න ඕනේ නෑ. පව් එකතු කරගන්න එකතු කරගන්න සංසාරේ දුක වැඩියි.

ඒ සනාතන දහම හිත්හි ගැඹුරින් ධාරණය කරගනිමින් අපි මේ කතාවත් අහමු.

නෙළුවේ ලොකු ව්‍යාපාරික පවුලක් හිටියා. ලොරි 16ක් ලොකු බේකරියක් මේ විදිහට ව්‍යාපාර රැසක් මේ පවුලට තිබුණා. මේ පවුලේ හිටපු දරුවට වයස අවුරුදු 25ක්. මේ දරැවත් හොඳින් ව්‍යාපාර කටයුතු කරගෙන යමින් හිටියා. ඒත් හිටපු ගමන් මේ දරුවට අමුතු දෙයක් සිද්ධවෙන්න පටන් ගත්තා. ගෙදරට එන පාරේ එක තැනකදී මේ දරුවාගේ කකුල් දෙක දණහිසින් පණ නැතිවෙනවා. පණ නැතිවෙලා වැටෙනවා. එතනින් එහාට යන්න බෑ. උස්සගෙන යන්න ඕන. එතන පහු කරපු ගමන් ආයෙත් යන්න පුළුවන්. වාහනයක යද්දී මේ දේ වෙන්නේ නෑ. මේ දරුවා මගේ ළඟට අරගෙන එද්දී තොවිල් 49ක් කරලා තිබුණා. මම මේ දරුවාගේ කේන්දරේ බැලුවා. නීච කාල යක්ෂ බන්ධනයක් තමා කරලා තිබුණේ. මේකව විනාශ කරපන් කියලා යක්ෂයාවැඩේ පවරලා තිබුණා. නීච කාල යක්ෂ බන්ධනයක් කළාම සමහර අයට යක්ෂ රූපය පේනවා. තවත් සමහර අයට ඇඟට දැනෙනවා. මේ දරුවට යක්ෂයා පෙනිලා තිබුණා.

එතැන් සිට කතාව කියන්නේ නීච කාල යක්ෂ බන්ධනයට හසුවූ ඒ තරුණ දරුවාගේ අම්මාය.

දවසක් මම ගෙදර ඉද්දී දැක්කා පුතාගෙ කාමරේ තියෙන පුටුව ළඟින් සිගරට් දුමක් වගේ දුමක් උඩට නගිනවා. ඒ වගේම දවල් 11.30ත් 12.00ත් අතර කාලයේදී ගේ ඇතුළෙ නොයෙකුත් ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. කවුරුහරි ගේ ඇතුළෙ ඇවිදිනවා වගේ දැනෙන්න පටන් ගත්තා. මේ විදිහට දිගින් දිගටම එක එක වෙනස්කම් දැනෙද්දී මගේ පුතත් ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා. ඔළුව පුපුරන්න තරම් කැක්කුමක් එනවා අම්මේ ඉවසන්න බැරිතරම් ඇඟ දැවිල්ලයි අම්මේ... මෙහෙම කිය කියා පුතා කෑ ගහනවා වෙලාවකට. බැරිම තැන එයා එයාගේ නෝනගේ ගෙදර ගිහින් හිටියා. එහෙ ඉද්දී මොකුත් නෑ. ආයෙත් ගෙදරට ආව ගමන් අසනීප වෙනවා. ඇස් දෙක පවා එයාගේ ලේ කෑලි දෙකක් වගේ රතු වෙනවා. කාමරේ ජනේලේ අරිද්දී කවුදෝ එතන හිටියා කියනවා. බෙල්ල මිරිකනවා වගේ දැනෙනවා කියනවා. රෑ තනියෙන් වැඩ කරද්දී කවුදෝ පිටිපස්සෙන් ඉන්නවා වගේ දැනෙනවා කවුදෝ මාව ඇඟෙන් අල්ලලා තල්ලු කරනවා වගේ දැනෙනවා කියනවා. මේ තත්ත්වය එන්න එන්නම වැඩිවුණා. කරන්න පුළුවන් හැමදේම අපි කළා. මරන්න නියම වෙච්ච සතුන් නිදහස් කළා. ලක්ෂ ගණන් වියදම් කරලා වෙදකම් සෙත් ශාන්ති මේ හැමදේම කළත් අඩුවක් නැති වුණා. අත පැත්තකට ඇලවෙලා බඩ ලොකුවෙලා ඇස් රතුවෙලා කඳුළු වැක්කෙරෙන්න ගත්තා මගේ පුතාගේ. මට මැරෙන්ට හිතෙනවා කියලා නිතරම කීවා. ගෙදර ඉන්නම බැරි තත්ත්වයක් ආවා. දවසක් හීනෙන් බයවෙලා එයාගේ නෝනාගේත් බෙල්ල මිරිකන්න හැදුවා. ගෙදරට එන පාරේ එක තැනකදී පුතාගේ දණ හිසෙන් පහළ කකුල් පණ නැතුව වැටෙනවා. අවුරුදු තුනක් පුතා මේ විදිහට දුක් වින්දා. අපි සනීප කරගන්න දස අතේ සල්ලි වියදම් කළා. අපේ මුළු පවුලම මානසිකව කඩාගෙන වැටුණා. ව්‍යාපාර පැත්තෙන් වුණත් වැටෙන්න පටන් ගත්තා. මාසයක් විතර පුතා ජයවර්ධනපුර රෝහලේ නතර කරගෙන හිටියා. අන්තිමේදී කිසිම අසනීපයක් නෑ කියලා ටිකට් කපලා එව්වා. ගෙදර ගෙනාව වෙලාවේ ඉඳන් අර පුරුදු විදිහමයි. මගේ පුතා එයාගේ දරුවා එක්කවත් දවස් ගණන් කතා නොකර හිටියා. ගෙදර ඉන්න බෑම කීවා. මැරෙන්න ඕන කියලා හැමවෙලේම කීවා. උදේ හවස දෙවියන්ට බුදුන්ට වැඳ වැඳ මම හිතේ දුක කීවා. මෙහෙම ඉද්දී තමා කීර්ති කුමාර බටගොඩගේ දේවගැතිතුමා ගැන දැනගත්තේ. අපි ගාල්ල උණවටුන මැටරඹ සතර මහා දේවාලය හොයාගෙන ආවා. ඒ එද්දී රෑ 12.30ට විතර ඇති. දවස් ගාණකින් අපි හරියට කෑමක් බීමක් ගත්තේ නෑ. අපි එද්දී දේවාලය වහලා. මම ගේට්ටුව අරිනකම් බිම ඉඳගෙන හිටියා. මම ගේට්ටුවෙන් එහා පැත්තේ බිම ඉඳගෙන කාලි අම්මට වැඳ වැඳ මගේ දුක කිය කියා හිටියේ. මගේ දරුවා මට සනීප කරලා දෙන්න මට පළවෙනි නොම්බරේම අරන් දෙන්න කාලි අම්මේ මට මගේ දරුවාගේ ජීවිතය ගැන බයයි... මම අඬ අඬ මගේ දුක කීවා අද ගේට්ටුව අරින එකක් නැතිවෙයිද කියලත් මම බය වුණා... උදේම දේවගැතිතුමාගේ අම්මා ඇවිත් ගේට්ටුව ඇරියා. මට පළවෙනි නොම්බරයම හම්බවුණා. කාලි අම්මා මට බැලුවා. දේවගැතිතුමා පුතාගේ කේන්දරය බලලා කීවා කොයි වෙලේ කාල යක්ෂයා මේ දරුවා තනි කරගනීද දන්නෙ නෑ. මේ දරුවාගේ ජීවිතය අනතුරේ කියලා. අන්තිමේදී මගේ දරුවාව කාලි අම්මගේ පිහිටෙන් සනීප කළා.

අපි නැවතත් දේවගැතිවරයා දෙසට හැරුණෙමු.

මේ දරුවාගේ ජීවිතය අකාලයේ විනාශ කරන්න නීච කාල යක්ෂ බන්ධනයක් කරලා තිබුණා. දවසින් දවස දියුණු වෙද්දී ඒක දිහා බලාගෙන ඉන්න බැරි කෙනෙක් බූදලය විනාශ කරලා මුළු පවුලම විනාශ කරවන්න තමා මේ නීච කාල යක්ෂ බන්ධනය කරලා තිබුණේ. ඒත් අවසානේදී ඒ කරපු මනුස්සයටම කරපු පව අනිත් පැත්තට කැරකුණා. අප මිනිසුන් ලෙස උප්පත්තිය ලබන්නේ මනුෂ්‍යත්වයට වටිනාකම් එක්කරන්නටය. ඒ මනුෂ්‍යත්වයේ අගය තේරුම් ගෙන ජීවත්වීමට ඔබට නුවණැස පහළ වේවා!

(නොපෙනන ලෝකයේ තවත් කඩඉමක සිට එන ඉරිදාත් මුණගැසෙමු.)

 සංජීවිකා සමරතුංග
සේයාරූ - චන්න කස්සප කෝරලේආරච්චි