2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

සා. පෙ. විභාගෙදි වරද්දා ගන්නා තැන්

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 327

හිටපු විභාග කොමසාරිස්ගෙන් උපදෙස්

 

ලබන සතියේ 12 වැනිදා අඟහරුවාදා ඇරඹෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳවත් විභාගයට පෙනී සිටින දරුවන් විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමේදී වරද්දගන්නා තැන් පිළිබඳවත් හිටපු විභාග කොමසාරිස් ජෙනරාල් අනුර එදිරිසිංහ මහතා මෙම සාකච්ඡාවේදී විස්තර කරයි.  

ඔබට ප්‍රශ්න පත්‍රය අතට ලැබීමට පෙර කළ යුතු දේ :-

• පළමුව තමාට නියමිත අසුනෙහි අසුන් ගැනීමට වගබලා ගත යුතුය. ඔබගේ විභාග අංකය 31845104 නම් ඒ වෙනුවට විභාග අංකය 31845401 දරන අසුනට ගොස් අසුන් ගන්න එපා. ඔබ අසුන් ගත් අසුනෙහි ඔබේ නියමිත විභාග අංකය සඳහන් ඇත්දැයි හොඳින් පරීක්ෂා කර බලන්න.

• අසුන් ගත් පසුව ඔබගේ අසුන සහ මේසය අබලන් කැඩී බිඳී ගිය අසුනක් හෝ මේසයක්දැයි හොඳින් බලන්න. අබලන් වුණු සෙලවෙන මෙන්ම දිරාපත් වුණු මේසයක් ඇත්නම් විභාගය ආරම්භ වීමට පළමුව ඒ බව ශාලාව බාර ගුරුවරයාට දැනුම් දීම කළ යුතුය.

• එසේ වෙනත් මේසයක් මාරු කර ගත්තානම් ඔබේ විභාග අංකය මේසය මත නිවැරදිව සඳහන් කරගන්නට අමතක නොකරන්න.

• අනවශ්‍ය පොත්පත්, ලිපි, කටු සටහන් පොත් සියල්ලම වෙනත් තැනක තබන්න. එය ඔබගේ විභාග අසුන කරා රැගෙන ඒමෙන් වළකින්න.

• වසර ගණනාවක් තිස්සේ ඔබ විසින් පාඩම් කරගත් එක්රැස් කරගත් දැනුම ඒකරාශී කොට ඔබේ ප්‍රශ්න පත්‍රයට ලිවීමට සූදානම් වන්න.

ප්‍රශ්න පත්‍රය අතට ලැබුණු පසුව :-

• මුලින්ම පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න පත්‍රයේ ඔබේ විභාග අංකය නිවැරදිව සටහන් කරගන්න. නැවත එය නිවැරදිදැයි හොඳින් බලන්න.

• පසු අවස්ථාවලදී ශාලාව භාර ගුරුතුමාගෙන් ඔබ විසින් ඉල්ලා ගනු ලබන අතිරේක කඩදාසිවල විභාග අංකය නිවැරදිව ලිවීමට වගබලාගන්න.

• ඔබට දී ඇති ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කර බලන්න. සියලු පිටු මුද්‍රණය වී තිබේද...? පිටු ගැලවී තිබේද? දුර්වර්ණ වී තිබේද? ආදිය පිළිබඳව පරීක්ෂා කර බලන්න. එවන් පිටුවක් හෝ ඇත්නම් වහාම වෙනත් ප්‍රශ්න පත්‍රයක් ඉල්ලා ගන්න.

• ඔබට කඩදාසි අවශ්‍ය වූ විට මේසයට තට්ටු කර අත ඔසවා නිරීක්ෂකතුමාගෙන් අවශ්‍ය කඩදාසි ඉල්ලා ගන්න. කිසිවිටකදීවත් අසුනින් නැගිටින්න එපා. 

• ඔබගේ ප්‍රශ්න පත්‍රය ඒ දිනයට, වෙලාවට, මාධ්‍යයට අනුව නියමිත ප්‍රශ්න පත්‍රයදැයි බලා තහවුරු කරගන්න.

• කිසිදු හේතුවක් මත රතු, දම් හෝ කොළ පැහැදි පෑන් පාවිච්චි කරන්න එපා.

• ප්‍රශ්න පත්‍රය හොඳින් කියවන්න. ඒ සඳහා විනාඩි පහක් පමණ වේලාවක් ගන්න.

• ඒ අනුව තමාට පිළිතුරු සැපයිය හැකි පහසු ප්‍රශ්න සලකුණු කර ගන්න.

• පහසු ප්‍රශ්නයකින් පිළිතුරු ලිවීම ආරම්භ කරන්න. එය මානසික සහනයක් ගෙනදේ.

• බහුවර්ණ පත්‍රයක් නම් එහි එක් එක් ප්‍රශ්නයේ ක්‍රියාකාරක පදයට අනුව නිවැරදි පිළිතුර තෝරා ගන්න.

උදාහරණ :-

ගැටලුව නොවන්නේ

ගැටලුව වන්නේ

අදාළ නැති පිළිතුර

අදාළ පිළිතුර

• සෑම ප්‍රශ්නයක්ම සඳහා පිළිතුර අලුත් පිටුවකින් අරඹන්න.

• ප්‍රශ්න පත්‍රයේ දැක්වෙන ප්‍රශ්න අංකයම හැම විටම උත්තර පත්‍රයේ ලියන්න. ඔබ පිළිතුරු සපයන්නේ අනුපිළිවෙළට නොවන බව මතක තබාගන්න.

• කරුණු හතරක් දක්වන්නයැයි සඳහන් කළවිට හතරක් පමණක් ලියන්න. තුනක් හෝ පහක් ලියන්න එපා.

• අකුරු පැහැදිලි සහ කියවන්නට හැකි අකුරු විය යුතුය. ලස්සන අත් අකුරුම අවශ්‍යම නොවේ. නමුත් පැහැදිලි අත් අකුරු ලියන්නට මතක තබාගන්න.

• පද බෙදීම මෙන්ම අකුරු ලිවීමේදී පැහැදිලි නියමිත අකුරුම ලියන්න. “ම” අකුර වෙනුවට “ට” අකුර ද“ක”අකුර වෙනුවට “ත”අකුර ද නොලියන්න. එක් අකුරකින් ඔබ ලියන උත්තරය සම්පූර්ණයෙන්ම වෙනස් වියහැක.

• ඉලක්කම් පැහැදිලිව ලියන්න. අමුතු රටා දමමින් එනසේ පෑන් තුඩ වෙනස් නොකරන්න. සම්මත ඉලක්කම් හැඩයක් ඇති බව මතක තබාගන්න.

• අවධානය යොමු කළයුතු වචනයක් හෝ කොටසක් හෝ වාක්‍යයක් හෝ තිබේනම් එය යටින් ඉරක් අඳින්න.

• කිසියම් හේතුවක් මත මකන දියර (ටිපෙක්ස්) යොදන්න එපා. මකන දියර විභාග ශාලාවට ගෙනයාම තහනම්.

• වැරදුණු තැන එක ඉරකින් කපන්න. ඒ මත කුරැටු ගාන්න එපා.

• ඔබේ පිළිතුරක් යටින් වැරදියට ඉරක් ඇඳුණොත් එම ඉර හරස් ඉරි කැබැලි කිහිපයකින් කපා හරින්න.

• කලබල නොවන්න. තම විශ්වාසය ඇති කරගනිමින් පිළිතුරු ලිවීම ආරම්භ කරන්න. “මා තුළ ඇති ශක්තිය මත මෙම ප්‍රශ්න පත්‍රයට ඉහළම ලෙස පිළිතුරු ලිවිය හැක.”යන උදාණ පාඨය සිත් තුළ රදවාගන්න.

• කිසියම් උප කොටසකට පිළිතුරු ඔබට එක්වරම සිහියට නොආවොත් පසුව පිළිතුරු සැපයීමට හැකිවන පරිදි එතැන ප්‍රමාණවත් ඉඩක් තබා ඊළඟ ප්‍රශ්නයට යොමුවන්න.

• අන් අයගේ හැසිරීම් දෙස බලන්න එපා. සිත ඒකාග්‍ර කරගැනීමට ප්‍රශ්න පත්‍රය දෙසම බලා හිඳන්න.

• ප්‍රශ්නයක “ක්‍රියාකාරක පද සම්බන්ධය” පිළිබඳ අවබෝධයකින් පිළිතුරු ලියන්න. කළ යුත්තේ කුමක්ද...? නොකළ යුත්තේ කුමක්ද යන්න එහි අරුතයි.

ඒ අනුව

• කරුණු වශයෙන් ඉදිරිපත් කරන්න කී විට ඒ අනුව කරන්න.

• කරුණු දෙකක් විස්තර කරන්න කී විට දෙකක් පමණක් විස්තර කරන්න.

• කරුණු කිහිපයක් නම් කරන්න කී විට නම් කිරීම පමණක් කරන්න.

• ඉඳහිට හොඳ හුස්මක් ඉහළට පහළට ගෙන පෙනහළු ශක්තිමත් කරගන්න. ඔබගේ ආත්මශක්තිය මත දිගටම විශ්වාසය තබාගන්න.

ගණිතය හා විද්‍යාව

බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අඩු සාමාර්ථයන් ලබාගනු ලබන මෙම විෂයන් දෙක අමාරු විෂයන් නොවේ. මෙයට තම උනන්දුව හා කැපවීම දියුණු කරගන්න.

• ඉතාම සුදුසුම කරුණනම් එක්වරම ඔබේ පිළිතුරු කොළයේ නොලියා පියවර වශයෙන් එම පිළිතුර ආ හැටි කටු කොළයේ දැක්වීමයි.

• සමහර සිසුන් ඒවා “පරීක්ෂවරයා” දන්නවා යැයි සිතා විස්තර නොලියා සිටී. එය සුදුසු නැත.

• බහුවරණ ප්‍රශ්නවලට දී ඇති පිළිතුරු හතරම ඉතාම සියුම් වෙනස්කම්වලින් යුතුවන අතර ඉතාම නිවැරදි වන්නේ එකකි. එබැවින් හිතින් තර්කකර නිවැරදි පිළිතුර තෝරාගන්න.

• බහුවර්ණ ප්‍රශ්න 40කි. කාලය විනාඩි 60කි. එබැවින් “අමාරු ප්‍රශ්නයේ එල්බ නොසිට” ඊළඟ ප්‍රශ්නයට යන්න. නැවත වේලාව තිබුණොත් අමාරු ප්‍රශ්නවලට එන්න.

• රූප සටහන් සම්බන්ධයෙන් සංකේත පැහැදිලිව නම් කරන්න. විස්තර කරන්න.

• රූප සටහන් අඳින්නේනම් නිවැරදිව අඳින්න. කල්පනාකාරීව නම් කරන්න. ‍

• කිසියම් සංසිද්ධියකට බලපාන විද්‍යාත්මක හේතු ඇසුවොත් විද්‍යාත්මක හේතු පමණක් ලියන්න.

• විභාග දෙපාර්තමේන්තුව සකස් කරන ප්‍රශ්න විෂය නිර්දේශය, ගුරුමාර්ගෝපදේශය පෙළපොත්වලට සහමුලින්ම අදාළ වේ. එබැවින් ඒවා පරිහරණය කිරීම ද ඔබට වාසි ගෙනදේ.

• රූප සටහන් අඳින විට නිල් හා කළු පෑන් පමණක් භාවිත කරන්න.

• කටුවැඩ කරන්න. ඒවා පිළිතුරු සමඟ අමුණන්න.

• උපදෙස් දී ඇති පරිදි ප්‍රශ්න 4නම් හතරකට පමණක් පිළිතුරු සපයන්න. ඊට වැඩියෙන් ලිවීම ප්‍රයෝජනවත් නොවේ.

• පිළිතුරු ලියන ආකාරය බහුවරණ කඩදාසිය පිටුපස මුද්‍රණය කර ඇත.

මේ පිළිබඳව සැලකිලිමත් වන්න :-

• ඔබ අත්සන් සහතික කරගත් ප්‍රවේශ පත්‍රය විභාගයට රැගෙන යා යුතුය.

• එම අත්සන් සහ විභාග ශාලාවේදී ප්‍රවේශ පත්‍රයේ තබන අත්සන සමාන විය යුතුය. සෑම දිනකම එකම අත්සන තැබීම අවශ්‍යය.

• විභාගයට යාමට පෙර ඔබගේ ප්‍රවේශ පත්‍රයේ ඡායාපිටපතක් වෙනම තබාගන්න.

• විභාග ශාලාවට තම ජාතික හැඳුනුම්පත ගෙන යාමට අමතක නොකරන්න.

• එසේ නොවන අවස්ථාවක විභාග කොමසාරිස් ජනරාල් ලබාදෙන උපදෙස් පමණක් පිළිපදින්න. මේ සම්බන්ධ උපදෙස් පාසලේ විදුහල්පතිතුමියට/ තුමාට විභාග දෙපාර්තමේන්තුව දක්වා ඇත.

• වෙනත් පාසල් සිසුන් හෝ සමඟ ආරවුල් ඇති කරගැනීමෙන් ඔබගේ විභාග අපේක්ෂකතාව අවලංගු කිරීමට ද ඉඩ තිබේ.

වංචනික ක්‍රියා හා අසංවර හැසිරීම :-

• වෙනස් කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම.

• අන් අයට උපකාර කිරීම.

• අන් අයගෙන් උපකාර ලබා ගැනීම.

• පිළිතුරු පත්‍ර හුවමාරු කර ගැනීම.

• කාර්ය මණ්ඩලය අපහසුතාවයන්ට ලක් කිරීම.

• අවිනීත ලෙස හැසිරීම.

• ලියන කඩදාසි ගෙදර ගෙනයාම.

වැනි ක්‍රියා විභාග අපේක්ෂකයාට දඬුවම් දියහැකි වැරදි වේ.

ඔබ පිළිතුරු ලියා අවසන් වූ විට :-

• පිළිතුරු ලියා අවසන්නම් තවත් වේලාවක් ඇත්නම් ලියූ උත්තර පත්‍රය නැවත පරීක්ෂා කර බලන්න.

• විභාග අංකය මුල් පිටුවේ ඇතුළුව සෑම පිටුවකම (කටු සටහනේද ඇතුළුව) ලියා තිබේද බලන්න.

• ප්‍රශ්න අංකය නිවැරදිව අදාළ පිළිතුරේ ලියා ඇත්දැයි බලන්න.

• පසුව ලිවීමට ඉඩ තබා ඇති කොටස්වල අදාළ පිළිතුර ලියා තිබේද?

• පිළිතුරු ලියූ කඩදාසියක් අමුණා නොමැතිව ඒ වෙනුවට හිස් කඩදාසියක් අමුණා ඇත්දැයි බලන්න.

• නිරීක්ෂකවරුන් තමා ළඟට පැමිණ උත්තර පත්‍රය ඉල්ලන තෙක් නැගිටීම, නැගිටයාම ඔවුන් වෙන ගොස් එය ලබාදීම නොකළ යුතුය.

• කිසිදු කඩදාසියක් හෝ රජයට අයත් කිසිදු දෙයක් ගෙදර ෙගන  යාම තහනම්ය.

• අසනීපයක් හෝ වෙනත් අවශ්‍යතාවයක් ඇත්නම් මේසයට තට්ටු කර අත ඔසවා නිරීක්ෂකවරුන්ට දැනුම් දෙන්න.

♦ දිශානි ජයමාලි කරුණාරත්න