2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ජාතක පාෙත කියවන බතල මඤ්ඤාෙක්කා කන, බර නැති පත්තර ගන්න ජර්මන් මාස්ටර්

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 263

මුහුදු රළ අව් රැල්ල වැටී දිලිසෙයි .මුහුද අද්දර අවන්හලේ මුහුද දෙසට මුහුණ ලා තිබූ මේසය අපේ දිවා ආහාර ඇණවුමෙන් පිරී තිබුණි. මුහුද දෙස බලාගෙන නිස්කාන්සු සුවයෙන් දිවා ආහාරය රස විඳිමින් සිටි අපේ කෑම මේසය අද්දරින් යන්නට ආ රත් පැහැ ගැන්වුණු මුහුණක් සහ උස් සිරුරක් සහිත විදේශිකයෙක් මොහොතකට අප දෙස බලා මිත්‍රශීලී සිනාවක් පෑවේය. 

කෑම රහද? මම මෙතනින් කන්න එන ඉස්සරලම දවස තමා අද? ළගන්නා සුළු උච්ජාරණයකින් සිහල බස හැසිරවූ විදේශිකයා ගේ දෑස් මත අපේ නෙත් රැඳුණේ මොහොතකිනි. සරලවම කියන්නේ නම් සුද්දෙක් සිංහල කතා කරද්දී මොහොතකට අරුමයකි. අනික් අතට සුද්දෙක් ඉංග්‍රීසිය හෝ නැත්නම් ප්‍රංශකාරයෙක් ප්‍රංශ බස හෝ ජර්මන්කාරයෙක් ජර්මන් බස  පසෙක තබා  ලෝකයේ අඩුම ජන සංඛ්‍යාවකගේ මාතෘ භාෂාවක් ලෙස ගැනෙන අපේ මව් බස කතා කිරීම අහම්බකාරක සතුටට කරුණකි. එහෙත් සුදු හම ඇති විදේශිකයා කොහෙන් හෝ අහුලාගත් වචනයක් දෙකක් මිමිනුවාදැයි සැකයෙන් ඔබට සිංහල භාෂාව කතා කළ හැකිදැයි අපි ඉංග්‍රීසි බසින් විමසුවෙමු.

ඔව්... ටිකාක්... සිනහ වෙමින් එසේ පැවසූ විදේශිකයා කෑම රසදැයි යළිත් විමසුවේය.

රසයි..... යළිත් හිස පහත් කර සිනාසුන සුහද පෙනුමක් ඇති ඒ විදේශිකයා හුදෙකලා තැනක හිඳගෙන පැණිරස යමක් කමින් උණු තේ බඳුනක් තොල ගෑවේය. ඉක්මනින් දිවා ආහාර ගැනීම  අහවර කළ අපි ඒ විදේශිකයා අසුන් ගෙන සිටි තැනට  ගියේ වඩාත් දිගු කතාවකට මුලපුරනු රිසියෙනි. අපි කැමතියි ඔයත් එක්ක ඔයාගේ විස්තර කතා කරන්න. ඔයා සිංහල ඉගෙන ගත්ත හැටි ගැන ඔයාගෙන් අහන්න. ඔයා කවුද කියලා දැනගන්න. ඔයා කැමතිද අපිත් එක්ක කතා කරන්න අපි ඉංග්‍රීසියෙන් විමසද්දී ඔහු ඉංග්‍රීසියෙන්ම කැමැත්ත ප්‍රකාශ කරමින්  ඉනික්බිති මෙසේ කීවේය.

මට සිංහල තේරෙන්නේ නැති තැනක් ආවොත් විතරක් මගෙන් ඒ ප්‍රශ්නය ඉංග්‍රීසියෙන් අහන්න.... මම කැමතියි ලංකාවේ මිනිස්සු එක්ක එයාලගේ භාෂාවෙන්ම කතා කරන්න.... ඔහු ප්‍රසන්නශීලි ඉල්ලීමක්ද කළේය.

ඔයාගේ රට මොකක්ද?
ජර්මනිය

 නම මොකක්ද?
මම හයිනර් කෝච්.... (පසුව ඔහුගේ වෙබ් පිටුව බලද්දී අප දුටු ආකාරයට ඔහු ආචාර්ය පදවිය දරන්නෙකි. එහෙයින් ඔහු ආචාර්ය හයිනර් කෝච්ය)

මේ වතාවේ ලංකාවට ආවේ කී වැනි වතාවටද?
විසිවැනි වතාවට 

එච්චරටම ලංකාව ඔයාගේ හිතට ඇල්ලුවද ?
මම මේ රටට එනවා යනවා... මගේ බිරිඳ, දුව, පුතා එයාලත් ඇවිත් තියෙනවා.. ඒත් එයාලා සතියකින් දෙකකින් විතර ආපහු යනවා.. මම එහෙම නෙවෙයි... මම මාස පහක් විතර ආවම ලංකාවේ නවතිනවා... අවුරුද්දෙන් එක කාලයක්ම මම ඉන්නේ ලංකාවේ. 

ඇයි ඒ ?
මගේ රටේ සීතල කාලයට මම කැමති නෑ මගේ රටේ. ඉන්න. හරි සීතලයි. අව්ව නෑ..හිම වැටෙනවා... ගිනි උඳුනෙන් තමා අපි උණුසුම් වෙන්නේ.. ඒත් ලංකාව කොච්චර සනීපද? මෙහෙ අව්වට මම ආසයි.. ඔයාලගේ සිංහල අවුරුදු කාලෙ එද්දී මගේ රටේ සීතල ඉවරයි මගේ රටටත් අව්ව වැටෙන කාලය... ඒ කාලෙට මම ආයෙමත් මගේ රටට යනවා... හැබැයි මම ලංකාවට එන ලොකුම හේතුව ඒ සීතලනම් නෙවෙයි... මම ලංකාවට එන්නේ ලංකාවේ පන්සල්වල ඇවිදින්න... ඒ විහාර බිතු සිතුවම් බලන්න.. මම ලංකාවේ මුහුදට හුඟක් කැමතියි ...ඒත් මම හුඟක් කැමති ලංකාවේ ලස්සන බලන්න ඇවිදින්න නෙවෙයි... විහාර බිතුසිතුවම් බලන්න... ඒක තමා මගේ සතුට සහ විනෝදාංශය නුවර, කොළඹ, පොළොන්නරුව, මුල්කිරිගල වගේම ලංකාවේ හුඟක් ගම් නගරවල විහාර බිතුසිතුවම් බලන්න මම ගියා. 

ඇයි ලංකාවේ විහාර බිතුසිතුවම්වලට  කැමති.. ඔයා ඒවා ගැන අධ්‍යයනයක් කරන කෙනෙක්ද ?
මගේ ප්‍රියතම විෂය තමා විහාර බිතුසිතුවම්. මම පාලි සංස්කෘත ඉගෙනගත්තා. මට සිංහලත් හොඳින් පුළුවන්. මම ජාතක පොත කියෙව්වා. මම හුඟක්ම කැමතියි උම්මග්ග ජාතකයට වෙස්සන්තර ජාතකයට චුල්ලපදුම ජාතකයට. විහාර බිතුසිතුවම්වල ඒ ජාතක කතා හරිම ලස්සනට ඇඳලා තියෙනවා. මම ඒවා ගැන හදාරනවා. දකුණු ආසියාවේම තියෙන විහාර බිතුසිතුවම් ගැන මම අධ්‍යයනය කරනවා. මගේ හැදෑරීම් ගැන web page එකක් තියෙනවා. මම මගේ රටේ මිනිස්සුන්ට ඒවා ගැන කියා දෙනවා. 

එතකොට ඔයාගේ රැකියාව ?
මම දැන් පෙන්ෂන්... ඒකට මොකක්ද සිංහලෙන් කියන්නේ.... උත්තරයට වචන එකතු කරන ඇසිල්ලේ ඔහු විමසීය. විශ්‍රාමික.... අපි උත්තර දුන්නෙමු. ආන්න මම දැන් විශ්‍රාමික. මම විශ්ව විද්‍යාලයේ ඉගෙනගත්තා. මියුනික් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට ළමයින්ට ඉගැන්නුවා. අවුරුදු දහයක් මම සංචාරක මඟ පෙන්වන්නෙක්   විදිහට වැඩ කළා. දැන් රස්සාවක් කරන්නේ නෑ. දැන් මම ඇවිදිනවා.. ඇවිදිනවා.. ඇවිදිනවා..... ලංකාවේ පන්සල් පන්සල් ගාෙණ් ඇවිද්දා... තවත් ඇවිදිනවා.... එසේ කියමින් ඔහු යළිත් හඬ නගා සිනාසුණේය.

ඒ සිනාවේ හවුල්කාරයන් වෙන අතරේම අපි තවත් ප්‍රශ්නයක් විමසුවෙමු.

ලෝකයේ රටවල් කීයක විතර ඇවිදලා තියෙනවද?
වයස 18 වෙද්දී මම වාහනයක් ගන්නවා. එලවනවා. ඇවිදිනවා. මගේ තාත්තා මට ඇවිදින්න වාහනයක් දුන්නා. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය චීනය තව රටවල් ගොඩක මම ඇවිද්දා... කාලයක් මම ඉන්දියාවේ රස්සාවත් කළා.. ඒත් මම එහෙට ආසා නැති වුණා 

ඇයි ඒ ?
එහෙ වතුර හොඳ නෑ... එහෙ ජීවත් වෙන්න එච්චර හොඳ නෑ. 

ලංකාවට ආවම නවතින්නේ කොහෙද ?
මට ලංකාවෙත් මගේ හිතවත් පවුලක් ඉන්නවා.. ගාල්ලට කිට්ටුව තිරාණගම තමා මගේ ලංකාවේ පවුල ඉන්නෙ... මගේ ලංකාවේ යාළුවා තමයි සෝමසිරි. එයාගේ පවුෙල අය තමයි ලංකාවේ මගෙත් පවුල. එයා ව්‍යාපාරිකයෙක්. බම්බලපිටියෙත් මගේ යාළුවෙක් ඉන්නවා.. ලංකාවේ මිනිස්සු මට විශේෂයි...

විශේෂයි කීවේ ?
හොඳයි.. මම කැමතියි... එයාලා හිනාවෙලා කතා කරනවා.. සිංහල කතා කරද්දී වැරදුණත් හිනා වෙන්නෙ නෑ...

මට ලංකාවේ අමතකම නොවෙන දෙයක් වුණා.. කතා බහ අතරතුර මුහුද දෙස බලාගෙන ඔහු පැවසුවේය... ඒ කවරක්දැයි අසන්නටත් පෙරාතුවම ඔහු කතාවේ ඉතිරියට වචන එක් කළේය. සුනාමි එද්දී මම ලංකාවේ හිටියේ... මමත් සුනාමියට අහුවුණා... එදාත් මම හිටියේ මගේ ලංකාවේ  හිතවත් පවුලත් එක්ක සෝමසිරිගේ ගෙදර... මගේ කාමරේට වතුර ආවා.. කාමරේම වතුරෙන් පිරුණා.. මම පීනුවා.. පීනලා පීනලා කොහොමහරි බේරුණා ...

සුනාමියෙන් පස්සේ ලංකාවට එන්න බය හිතුණෙ නැද්ද ?
බය වෙන්න හොඳ නෑ... අපි බය නැති මිනිස්සු වෙන්න ඕන.. මම ලංකාවේ විහාර බිතු සිතුවම්වලට ආසයි.. ඒවා බලන්න ඇවිදින එක තමා මගේ විනෝදාංශය.. මට ලංකාවේ යාළුවෝ ඉන්නවා.. මම උපතින් ක්‍රිස්තියානි වුණාට මම බුද්ධාගමට කැමතියි.. සිංහල කතා කරන්න කැමතියි.. සිංහල කෑම කන්න කැමතියි.. මගේ රටේ සීත කාලෙට ලංකාවේ අව්වට කැමතියි.. ඉතින් මම කොහොමද ලංකාවට එන්නෙ නැතුව ඉන්නේ 

මොනවද කන්න කැමති සිංහල කෑම ?
බත් කන්න ආසයි.. ඒත් මිරිස් කන්නනම් බෑ.. දනවා දනවා... කඳුළු එනවා.. මම ආසයි කිරිමාළු කන්න.. තව පොල් රොටී බතල, මඤ්ඤොක්කා කන්න ආසයි.. දවල්ට මොනවා හරි කනවා.. උදේට රෑට මට මගේ හිතවත් සිංහල පවුලෙන් කෑම හම්බවෙනවා. 

ලංකාවේ පත්තරත් කියවනවද ?
ඉංග්‍රීසි පත්තරයක් කියවනවා.. කලින් මම ගත්ත ඉංග්‍රීසි පත්තරේ දේශපාලන තොරතුරු එහෙම හොඳයි.. ඒත් ඒ පත්තරේ හරි බරයි. කෑලි ගොඩයි... දැන්වීම් කෑලි කෑලි... ඒ හින්දා මම ඒ පත්තරේ ගන්න එක නතර කළා.. දැන් ගන්නවා වැඩිය බරනැති ඉංග්‍රීසි පත්තරයක්.

වයස කියන්න කැමතිද ?
අමතක් වෙනවා.. අමතක් වෙනවා.... එසේ කියමින් ඔහු හඬ නගා සිනාසුණේය. වයස නේද? වයස දැන් 64යි. ඔහු යළිත් සිනාසුණේය.. අනතුරුව ඔහු අපෙන් ප්‍රශ්නයක් ඇසුවේය.. මොකක්ද ඔයාලගේ පත්තර කොම්පැණියේ නම.. අපි උත්තර දුන්නෙමු ...ආආආආ  විජය.. විජය කියන්නේ කුමරයෙක්නේ ඔහු යළිත් සිනාසුණේය... ඔහු අපේ ඉතිහාසයත් කියවා ඇති සැටියකි.

හමුවීම සතුටක්.. සමුගන්න තත්ත්පරයේ අපි කීවෙමු.
මටත් සතුටක්... ඔහුත් කීවේය.

බුදු සරණයි.. සමුගන්නා ඇසිල්ලේ අපි නැවතත් කීවෙමු.
එසේම වේවා.. ඒ ඔහු දුන් පිලිවදනයි.

Dr Heiner koch... ඔබ තවම තරුණයි.... අහම්බෙන් මුණගැසුණු සොඳුරු සල්ලාපයකට මඟ හැදූ නන්නාඳුනන ජර්මන් ජාතිකයාට ආයුබෝවන් කියන මොහොතේ මට එසේ සිත්විණි .

► සංජීවිකා සමරතුංග 
    සේයාරූව / චන්න කස්සප කෝරලේආරච්චි 

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00