2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

රජයට තීරණාත්මක දෙසැම්බර් 08

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 250

“යහපාලන ආණ්ඩුව දෙදරයි, යූඇන්පීය අලුත් ආණ්ඩුවක් හදයි, ශ්‍රිලනිපය අලුත් ආණ්ඩුවක් හදයි, මන්දිරේ තීරණාත්මක සාකච්ඡාවක්” වගේ ප්‍රවෘත්ති රාශියක් පසුගිය සතියේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එකදිගට මෙවැනි ප්‍රවෘත්ති ප්‍රචාරය වීමත් සමඟ සමාජයේ එකම දේශපාලන මාතෘකාව වූයේ ආණ්ඩුවේ දෙදරා යාම ගැනය. එපමණක් නොව මුද්‍රිත මාධ්‍යද එය තව තවත් තහවුරු කරමින් ආණ්ඩුවේ අවදානම ගැන රටටම කීවේය. මේ නිසා බොහෝ දෙනා අවධානයෙන් සිටියේ කොයිවෙලේ ගිනි බෝම්බයක් පත්තුවේදැයි කියාය.

මෙවැනිම තත්වයක් 2001 යූ.ඇන්.පී ආණ්ඩුව පත්වූ අවස්ථාවේ රටේ ඇතිවී තිබුණේය. එයට හේතු වුණේ යූ.ඇන්.පී රජය ඒ මොහොතේ රටේ පාලනය, යුද්ධය සඳහා ගෙන ආ යෝජනා එවකට ජනපතිනිය විසින් ප්‍රසිද්ධියේ විවේචනය කළ නිසාය. මේ නිසා ආණ්ඩුව දැන් ගෙදර යන මට්ටමේ තිබුණේය. අවසානයේ එය සනාථ කරමින් 2003 වසරේදී ආණ්ඩුව විසුරුවා හරිනු ලැබීය. නැව‍තත් යූ.ඇන්.පී.යට ආණ්ඩුවක් පිහිටුවන්නට අවස්ථාව ලැබුණේ නැත.

එජාපයට යළි ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ලැබුණේ 2015 ජනවාරි 08 වැනිදා රාජපක්ෂ පාලනයේ මාරුවත් සමඟය. විශාල බලයක සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒ අවස්ථාවේ පරාජයට පත්වූයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීම හරහාය. ඒත් සමඟම බහුතර බලය ඇති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයා විසින් පැවරූ අතර  එහි අගමැතිවරයා වූයේ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. එම ආණ්ඩුව තුළ ශ්‍රීලනිපයෙන් එළවා දැමූ පිරිසද එක් වී සිටියහ. අවසානයේ නව ආණ්ඩුවක් බිහිකර ගැනීම සඳහා මහා මැතිවරණයකට ආණ්ඩුව ගිය අතර එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගැටුම ආරම්භ විය. ඒ අගමැති අපේක්ෂත්වය මහින්ද රාජපක්ෂට ඉල්ලාය. එහෙත් එය සාර්ථක නොවූ අතර ශ්‍රීලනිපයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂට නැවත බලය නොදෙන බව නොකියා කීවේය. ඒ සමඟ ශ්‍රීලනිපයේ ගින්න ආරම්භ විය. අවසානයේ එජාපය මහ මැතිවරණයෙන් ජයගත් නමුත් බහුතර බලයක් ඔවුන්ට ලැබුණේ නැත. මේ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපතිවරයා ලෙස ශ්‍රීලනිපයේ පිරිසක් ආණ්ඩුවට එක්කරගනිමින් සම්මුතිවාදී ආණ්ඩුවක් සකස් කළේය. එහි ප්‍රබල ඇමැතිකම් ශ්‍රීලනිපයටද ලැබුණි. ඒ අනුව අලුත් ආණ්ඩුවක් 2015 අගෝස්තු මාසයේදී ආරම්භ විය.

ආරම්භ වී වැඩිකලක් ගියේ නැත. ජනතා විමුක්ති පෙරමුණත්, ශ්‍රීලනිපයෙන් වෙන්ව ක්‍රියාකරන ඒකාබද්ධ විපක්ෂයත් ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය. ඒ ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාව ගැන හෙළිදරව් කරමිනි. මහ බැංකුවේ බැඳුම්කර එහි අධිපතිවරයාගේ බෑණාට විකිණීම මගින් රජයට කෝටි ගණනක පාඩුවක් සිදුවී ඇතැයි මෙහිදී හෙළිදරව් කෙරිණි. එම හෙළිදරව්ව අවසානයේ ‍කෝප් කමිටුවටත් ගිය අතර එහිදීද මෙය වංචාවක් බව හෙළිවිණි. එහෙත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ ෆුට් නෝට් කෑලි හේතුවෙන් එම චෝදනාව ක්‍රමයෙන් එජාපයට බරවන තැනට පත්විය. එසේ වීමට හේතුවූයේ මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ සමීපතම හිතවතකු වීම නිසාය. අවසානයේ මෙය ශ්‍රිලනිප මධ්‍යමකාරක සභාවේදී ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වන තරමට දුර ගියේය.

එම යෝජනාවට අනුව ජනාධිපතිවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකගෙන් යුත් කොමිසමක් පත් කළේය. එසේ ආරම්භ කළ කොමිසමට විවිධ පුද්ගලයෝ සාක්ෂි දීමට කැඳවනු ලැබූහ. මේ අතර කොමිසම ඉදිරියේ අනිකා විජේසූරිය නැමැති කාන්තාවක් ප්‍රකාශයක් ලබාදුන් අතර එම ප්‍රකාශයේ දී එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇගෙන් නිවසක් කෝටි ගණනකට මිලදී ගත් බවත් එය ඇලෝසියස් විසින් මිලදී ගෙන දුන් බවත් හෙළිවිය. ඉන්පසුව මේ ගැන ප්‍රශ්න කිරීම සඳහා අමාත්‍යවරයා කැඳවූ අතර ඔහුගේ පිළිතුර වූයේ තමන් කිසිවක් නොදන්නා බවය. මේ පිළිතුර නිසා ආණ්ඩුවම කැළඹුණු අතර ශ්‍රීලනිපයේ ඉල්ලීම වූයේ අමාත්‍යවරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙසය.

කෙසේ වෙතත් එම යෝජනාවට ජනාධිපතිවරයාද එකඟවූ අතර වහාම කරුණාරත්න අමාත්‍යවරයාට ඉවත්වන ලෙසට දැන් වූ බව සඳහන්ය. ඒ වනවිටත් ඒකාබද්ධ විපක්ෂය මගින් විශ්වාසභංගයක් අමාත්‍යවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවට යොමුකර තිබිණි. එය ආණ්ඩුවට එතරම් හොඳ නැති නිසාත් ජනතා චෝදනා සුළුපටු නොවන නිසාත් අවසානයේ මුදල් අමාත්‍යවරයා ඉවත් විය. එම සිද්ධිය ආණ්ඩු දෙදරණ කතාවේ ආරම්භයක් විය. එයට හේතුවූයේ අමාත්‍යවරයා ඉවත් කිරීමට එජාප මන්ත්‍රීවරුන් එකඟ නොවීම නිසාය. මේ නිසා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. අවසානයේ මුදල් අමාත්‍යවරයා ඉල්ලා අස්විය. මෙය එජාපයට එල්ල වූ මරු පහරක් විය. මේ නිසා එජාපය ශ්‍රීලනිපයත් සමඟ නෝක්කාඩුවක් හට ගත්තේය. එයට හේතුව වූයේ ජනාධිපතිවරයාද එළිපිට බැඳුම්කර හොරුන්ට කිසිදු සමාවක් නොදෙන බව කීම නිසාය. එපමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුව එකදිගට හරස් ප්‍රශ්න ඇසීමද එජාපයට ප්‍රශ්නයක් විය. මේ නිසා ආණ්ඩුව ඇතුළත ගට්ඨනය එන්න එන්නටම වැඩිවිය.

මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරයාත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් ප්‍රහාර එල්ල කරමින් තිබුණේය. ජනාධිපතිවරයා එක් උත්සවයකදී කීවේ වැරදි කරපු ආණ්ඩුවේම සුළු පිරිසක් තමන්ට මඩ ගසන බවය. ඒ අය තමන් දන්නා බවත් ඔහු කීවේය.

කෙසේ වෙතත් මෙම සිදුවීම අළු යට ගිනිගත් සිද්ධියක් වූ අතර වැඩිය එළියට කතාව ආවේ නැත. මේ අතර පසුගියදා කොමිසම මගින් කෝප් කමිටු සාමාජිකයන්ගේ දුරකථන වාර්තා එළියට දැම්මේය. එහි වැඩිම දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් යොමුව තිබුණේ එජාපයේ මන්ත්‍රීවරු වෙතය. ඉන්ද වැඩිම දෙනෙක් කතාවුණේ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ගැනය. එයට හේතුවූයේ ඔහු විසින් බැඳුම්කරය ගැන ලියන ලද පොතක් නිසාය. මේ නිසා ඔහුට විවිධ වර්ගයේ ප්‍රහාර එල්ල කෙරිණි.
ඊට පිළිතුරු සැපයීමේ අරමුණින් සුජීව සේනසිංහ විශේෂ මාධ්‍ය හමුවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කැඳවා තිබුණේය. මෙහිදී ඔහු ඇමතුම් ලබාගත්තේ පොත ලිවීම සඳහා බව කීවේය. එසේ කියා නිකන් සිටියේ නැත. ඔහු ජනාධිපතිවරයා බරපතළ ලෙස විවේචනය කළේය. ජනාධිපතිවරයාගේ දරුවන් වගේ සිටින තමන්ට චෝදනා කරන්න එපා යැයි කිවේය. තමන්ට වෙළෙඳ ප්‍රචාරණ ආයතන නැති බව කීවේය. එසේම මෙම කොමිසම එජාපයට මඩගැසීම සඳහා යොදාගත් එකක් බවටද චෝදනා නැගුවේය.

එම ප්‍රකාශයෙන් ජ්‍යෙෂ්ඨයන් පවා කලබල වූ අතර මෙම ප්‍රකාශය එජාප මූලස්ථානයේ සිට කළ දෙයක් නිසා බොහෝ දෙනා සිතුවේ මෙය එජාපයේ මතය විය හැකි බවය. එයට හේතුවක් තිබුණේය. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට පක්ෂ නායකයාගේ හෝ මහලේකම්ගේ අවසරයක් තිබිය යුතු නිසාය. මේ නිසා බොහෝ දෙනා සිතුවේ මෙය එජාපයේ ප්‍රහාරයක් හැටියටය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ ජනපති හමුවී මෙම සිද්ධිය ගැන විමසා සිටියහ. එවිට ජනාධිපතිවරයා පවසා තිබුණේ අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු සංචාරය නිමවා පැමිණි පසුව මේ පිළිබඳව සාකච්ඡා කරන බවය.

කෙසේ වෙතත් මේ අතරතුර ජනාධිපතිවරයා කුලියාපිටියේ පැවති උත්සවයකදී තරමක දැඩි කතාවක් කළේය. එනම් වැරදි කරපු අය කොළේ ඉරාගෙන ඇඟේ හලා නොගන්නා ලෙසත් එසේ වුවහොත් වැඩේ වැරදිය හැකි බවකි. මෙම කතාව ශ්‍රීලනිපය එකතුවීමේ හීනය දකිමින් සිටි බොහෝ දෙනකුට නව බලාපොරොත්තු දල්වන්නක් විය.

ඒ ආණ්ඩුවේම සිටින ඇතැම් මැති ඇමතිවරුන්ටය. ඔවුන් පසුගිය කාලයේ එළිපිට කියා සිටියේ එජාපය සමඟ වැඩකළ නොහැකි බවත්ය. ඒ නිසා ගිවිසුම් කාලය නිමවුණු සැණින් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවත්ය. ඒ සඳහා ආරම්භයේ 12දෙනෙක් සුදානම් වී සිටියහ. එහෙත් ජනපතිගේ ඉල්ලීම මත වැඩේ කල් ගියේය. ඒ මැතිවරණයද ඒ වනවිට තිබෙන මානයක නොතිබුණු නිසාය.

එහෙත් මැතිවරණය ළඟ එන බවට ප්‍රචාරය වීමත් සමඟ මෙම පිරිසත් ඒකාබද්ධයේ පිරිසත් අතර සාකච්ඡා ආරම්භ විය. ඒ නායකයන් දෙදෙනා එක් කිරීම සඳහාය. ඒ සම්බන්ධයෙන් එජාපය සිටියේ දැඩි අවධානයෙන්ය. මේ නිසාම එජාපයෙන් දැනුම් දී ඇති ආකාරයට මහින්ද සමඟ එකට සිටගතහොත් සම්මුතිවාදී ගිවිසුම අහෝසි කළ යුතු බවත් ඉන්පසුව එජාපය තනිවම ආණ්ඩුවක් තනන බවත්ය. ජනපතිගේ ප්‍රකශයෙන් උද්දාමයෙන් සිටි ශ්‍රිලනිප මැති ඇමතිවරු නැවත ශ්‍රිලනිපය එක්කිරීම සඳහා මෙහෙයුම ආරම්භ කළහ. මේ අතරතුර ඒකාබද්ධයේ පිරිස් යෝජනා වැලක්ද ඉදිරිපත් කළේය. එනම් එජාපය අත්හැර ආණ්ඩුවක් සකසන ලෙසත් එහි අගමැතිකම මහින්ද රාජපක්ෂට ලබාදෙන ලෙසත්ය. එසේ නැතහොත් විපක්ෂ නායකකම ලබාදෙන ලෙස ඉල්ලීය.

එම සිදුවීම එජාපයට එතරම් සුවදායක නොවන බව තේරුම් ගත් බැවින්දෝ එහි පිරිස ක්‍රමයෙන් පල්ලම් බැස්සාහ. අගමැතිවරයා මන්ත්‍රීවරැ අමතා කියා සිටියේ ජනාධිපතිවරයාව මින්පසු විවේචනය නොකරන ලෙසය. ඒ බව අභ්‍යන්තරයේ පමණක් නොව එජාපයෙන් මාධ්‍යයට පවා නිවේදනය නිකුත් කළේය.

කෙසේ ආණ්ඩුවේ පැල්ම මකන්න හැදුවත් දැන් දැන් ඒ පැල්ම එන්න එන්නටම වැඩි වී ඇත. පක්ෂ දෙකේම පිරිස දෙපැත්තට ඇදීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. එහෙත් එළියට පෙන්නන්නෙ නැත. දෙපාර්ශවයම ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් ඉන්නේ අවිනිශ්චිත තැනකය. එය සැබෑවකි. ආණ්ඩුවේ අනාගතය තීන්දු වන්නේ දෙසැම්බර් 8 වැනිදාය. එදාට ආණ්ඩුවේ පිපිරීමට හේතුවූ බැඳුම්කර කොමිෂන් වාර්තාව ජනපතිට ලබාදීමට නියමිතය. එහිදී කවුරු හරිද නැතිද යන්න හෙළිකරනු ඇත. බොහෝ දෙනකුගේ ඇඳුම් ගැලවී යන්නට පිළිවන. ඉන්පසුව ජනපතිට බරපතළ තීන්දු ගැනීමට සිදුවිය හැක. ඇතැම් විට සම්මුතිවාදී බැම්ම පිපිරී යහපාලනය දෝරෙ ගලන්නට වනු ඇත. ඒ නිසා අළුයට ගිනි තවමත් ඇති බව දේශපාලනයේ කොයි කවුරුත් දන්නා දෙයකි.

 ගයාන් ගාල්ලගේ

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00