2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

වෙඩි වැදුණ දළ පූට්ටුවා දඟලද්දීම දළ කපාගත් පව්කාරයෝ

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 313

දෙඇස අන්ධ ඇත් රජිඳුන්ට... පාපතර මිනිසුන් විසින්ම බඳින ලද තුවක්කුවක් පත්තු වී ජීවිත කාලයම කොරගැසූ ඇත් රජිඳුන්ට... නරුම මිනිසුන්ගේම අවකල් උසිගැන්වීම නිසා දිනක්  මුළු සිරුරින්ම ලේ වැගිරී පීඩාවිඳි ඇත් රජිඳුන්ට... මේසා විපතක් කරන්නට තරම් අම්මා කෙනෙකුගෙන් කිරි බී හැදුණු මිනිසෙකුට සැහැසි සිත් පහළ වේයැයි ඒ ඇත් රජිඳුන් කෙරේ ළතෙක් සිතින් පැන් බඳුනක් හෝ බොන්නට දුන් ගල්ගමුවේ ගැමියන් කිසිවෙකුත් නොසිතන්නට ඇත. එහෙත් මිනිස් සිරුර තුළ යක්ෂ ආත්ම පණගන්වා ගත් නීච මැරයෙක් හා මැර ගෝලයන් ඒ ඇත් රජිඳුන්ගේ හිස පසාරුවෙන්නට වෙඩි 10 ක් එල්ල කළේය. වේදනාවෙන් බිම වැටී ඒ සද්දන්තයා දඟලද්දීම ඒ නරුමයෝ සල්ලිවලට කෑදර සිත් පෙරටුව තබා ඒ ඇතුගේ හනුව මුලින්ම යාන්ත්‍රික කියතකින් දළ යුගල කපා වෙන්කර ගත්තේය. මරණ මංචකයේදී රජු විඳි වේදනාව කියන්නට තවත් වචන අවැසිදැයි අපි ඔබෙන් අසමු. හඬාවැටෙන හදවතකින් දළපූට්ටුවාගේ ඉරණම ගැන අපි ලියන්නේ වගකිවයුතු සියලු අපරාධකරැවන්ට ඇත් රජු විඳි වේදනාව මෙන් දසදහස් ගුණයක දඬුවම් උරුම විය යුතුය යන සාධාරණ සිතුවිල්ලෙන්මය.

අතුරුදන්වූ බව සඳහන් කළ ගල්ගමුවේ දළ පූට්ටුවා නමැති ඇතාගේ මළසිරුර කහල්ල, පල්ලෙකැලේ රක්ෂිතයේ හොරොව්වැව නම් වැව ඉස්මත්තේ තිබී ඉකුත් 29 වැනි බදාදා දහවල් විමර්ශන නිලධාරී කණ්ඩායම විසින් සොයා ගන්නා ලදී. මීට මාස එකහමාරකට පමණ සිටම මෙම ඇතා අතුරුදන්ව සිට ඇති බව වනජීවි නිලධාරීන්ගේ නිගමනය වී ඇත. ඉකුත් සතියේ වනජිවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ද විශේෂ අවධානයට ලක්වූ කරුණක් බවට මෙම කරුණ පත්ව තිබිණි. ගල්ගමුව සහ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි මායිමෙහි පිහිටි කහල්ල, පල්ලේකැලේ වන රක්ෂිතය හෙක්ටයාර් 21,690 ක් පුරා විහිද පැතිර ඇත. ඉකුත් වකවානුවේ ප්‍රදේශයේ ඇති වූ ආහාර අහේනිය සහ පානීය ජලයේ හිඟකම හේතුවෙන් වසරේ කවර කලකදී හෝ සිඳී නොයන ස්වභාවික ජල උල්පත් සහිත මෙම රක්ෂිතය වෙත ඇතා පැමිණෙන්නට ඇති බවට ගැමියෝ විශ්වාසය පළකරති.

ඉකුත් 22 වැනිදා ගල්ගමුව, මොරගොල්ලාගම, නිකවැව ප්‍රදේශයේදී ඇත් දළ යුගළක් සහ ගජමුතු 06ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟ මතුව ආ සැකය ඔස්සේ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. මේ වනවිට මේ මහා අපරාධයට වගකිවයුතු මහා ඇත් රජිඳෙකු බලහත්කාරයෙන් මරණ මංචකයට යැවූ හිතක් පපුවක් මිනිස්කමක් නැති පාපතරයන් සියල්ලන්ම නීතියේ රුහැනට කොටු වී හමාරය. 

ඉකුත් 24 වැනිදා සිට 29 වැනි දින දක්වා වනජීවී නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් හා පොලිස් නිලධාරීන් එක්ව විශේෂ විමර්ශනයක් සුප්‍රකට කහල්ල, පල්ලෙකැලේ රක්ෂිතය පුරා දියත් කරනු ලැබීය. එහිදී අදාළ විමර්ශන කණ්ඩායම විසින් මෙම ඇතාගේ මළ සිරුර සොයා ගනු ලැබූ අතර, ඒ වන විටත් වසර ගණනාවක් තිස්සේ තේජාන්විතව ගමින් ගම සැරිසැරු සද්දන්තයාගේ සම දියවී ගොස් අස්ථි කොටස් ඉතිරිව තිබිණි. තමන්ට උරුම ස්වාභාවධර්මයේ හිමිකම් හා ජීවිතය භුක්ති විඳිමින් සිටි සද්දන්ත කුලයේ මහ රජිඳෙකු අනන්ත දුක් සහිත මේ සංසාරයේ නොමිනිසුන්ගේ කෘෘර ගොදුරක් බවට පත්වීමේ සැහැසි ඉරණම විඳ තිබුණේ එලෙසිනි.

සොයාගනු ලැබූ ඇතාගේ ශරීරයේ කොටස් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු තාරක ප්‍රසාද් සහ චන්දන ජයසිංහ යන පශු වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය. ඇතා ඝාතනය කළ පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දෙන බවට වයඹ වනජීවී සහකාර අධ්‍යක්ෂ ගාමිණී සුමනසේකර මහතා අවධාරණය කොට ඇත. මේ වනවිට මෙම ඇතාගේ යැයි සැක කෙරෙන දළ යුගලය අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනෙක් ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති. ඔවුන්ගෙන් එක් අයෙක් මොරගොල්ලාගම, හේරත්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය භාර ග්‍රාම නිලධාරිවරයා වන අතර, අනෙක් පුද්ගලයා වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයකු බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් ග්‍රාම නිලධාරිවරයා නිකවැව විහාරස්ථානයේ නායක හිමියන්ගේ රියැදුරු වශයෙන් කටයුතු කරන්නකු බවත්, ගල්ගමුව වාරිමාර්ග අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන ඉන්ජිනේරුවරයාගේ සහෝදරයා බවත් අනාවණය වී තිබේ. ඝාතනයට ලක්වූ ඇතාගේ දළ යුගලය සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් කර තිබූ අන්දමත් ශරීරයේ ඇතැම් කොටස් සතුන් විසින් කා දමා ඇති අයුරුත් දක්නට ලැබී ඇත. දින 5 ක් පුරා සියලු විමර්ශන කටයුතු ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතාගේ මූලිකත්වය යටතේ එම නිලධාරීන් ඇතුළු කණ්ඩායම විසින් සිදු කරනු ලැබීය. 

කාලයක් මුළුල්ලේ කහල්ල, පල්ලේකැලේ වන රක්ෂිතය, මහව, සියඹලන්ගමුව, ගල්ගමුව ආදි ප්‍රදේශයන්හි ගම්මැදිවල සැරිසරමින් සිටි මෙම දේහධාරි ඇතා දළ පුට්ටුවා ලෙස ප්‍රසිද්ධව සිටියේය. ඒ එකිනෙක යාවු විසල්, විචිත්‍රවත් දළ යුගලයකට හිමිකම් කීම හේතුවෙනි. 

දළ පූට්ටුවා මරා දමා නිකවැව, තිබ්බටුවැව ප්‍රදේශයේ වල දමා ඇති බවට තොරතුරක් වන ජීවි නිලධාරීන්ට ලැබීම නිසා ඉකුත් විසි අට වැනි දින ඒ ඉඩමේ ස්ථාන කීපයක් බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන කැණීමට පියවර ගත්තද ඉන් හෝඩුවාවක් ලබාගත නොහැකි විය. මේ අතර එදිනම ගල්කිරියා ගම වන ජීවී අඩවි ආරක්ෂ නිලධාරී ඩී. රාමසිංහ මහතා මහව මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් අත් අඩංගුවට ගනු ලැබ තිබු ඇත් දළ දෙක පරීක්ෂා කොට ඒ දළ දෙක ගල් ගමුවේ දළ පූට්ටුවාගේ ම දළ දෙක බවට හඳුනා ගත්තේය.

“ගල්ගමුවේ දළ පූට්ටුවා” නම් වූ හස්ති රාජයා මරා දමා හෝ මියගොස් ඇති බවට වූ සැකය කෙමෙන් කෙමෙන් තහවුරු වෙමින් පැවතිණ. ඒ බව නිශ්චිතවම තහවුරු කර ගැනීමට විෂය බාර අමාත්‍යවරයා හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත ගල්ගමුව, ගල්කිරියාගම, මීගලෑව, හේරත්ගම හා මහව වන ජීවි කාර්යාලවල නිලධාරීන්ද, නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල නිලධාරීන්ද එක්ව දළ පූට්ටුවා සොයා පසුගිය විසි අට වැනිදා පස්වරුවේ මෙහෙයුමක් දියත් කළහ.

එහි ප්‍රතිඵලයක් ලෙස කහල්ලපල්ලේ කැලේ අභය භූමියට සීමාවක් වූ මොරගොල්ලාගම, හොරව්වැව ඉස්මත්තේ කැලෑ රොදක තිබූ “දළ පූට්ටුවා”නම් වූ ඇත් රජුගේ සිරුර පසුගිය විසි නම වැනිදා පස්වරුවේ සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.

වයස අවුරුදු පනහක් - පනස් පහක් පමණ වන උස අඩි දහයක් පමණ වූ මේ හස්ති රාජයාගේ පිටතට නික්මුණ දළ දෙකේ දිග අඩි හතර හමාරක් පමණ වූ බව වන ජීවී නිලධාරීහු කීහ. ඇතාගේ එක් ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වී ඇති අතර අනෙකේ පෙනීම දුර්වල බව ද වනජීවී නිලධාරීහු කියති.

2016 වසරේදී මේ ඇත් රජුගේ එක් පාදයක් ආබාධයට ලක්වූයේද නරුම මිනිසුන් විසින් බඳින ලද වෙඩිල්ලක් පත්තු වීමෙනි. ජීවිත කාලයේ බොහෝවර යක්ෂ වෙස් ගත් මිනිසුන්ගේ නපුරුකම්වල ගොදුරක් බවට පත්වන්නට මේ ඇත් රජුට සිදුවිය. වෙඩි පහර කෑමෙන් ඕජස් ගලන තත්ත්වයට පත් වූ කකුල අමාරුවෙන් ඇද ඇද ගිය මේ මහා හස්තියාට වෙදකම් කරන්නට වනජීවී නිලධාරීන් පසුව කටයුතු කළද ඒ කකුලේ ආබාධය සම්පූර්ණයෙන් සුව අතට හැරුණේ ද නැත. වේදනාවේ තරම කතා කර වචන බවට පෙරළන්නට පුළුවන්කමක් නැති වූ දළපූට්ටුවාගේ අන්ධ නෙතින් වරෙක ගලාගිය නිහඬ කඳුළ මිනිස් වග වෙතින් විඳි අනේක පීඩාවන් නිහඬවම කියූ සංකේතයක් බඳු විය. කතා කරන්නට හැකි වුණානම් දෙවියනි ඔබ කොහිදැයි දළ පූට්ටුවා විමසනු නිසැකය.

ගල්ගමුව ප්‍රදේශය නිජබිම කොට ගෙන මහගල්ගමුව වැව හා උස්ගලසියඹලන්ගමුව වැව ආශ්‍රිත වන ලැහැබවල නිතරම ගැවසුණ මේ ඇත් රජු වසරකට දෙකකට වරක් කහල්ලපල්ලේකැලේ රැස්වෙහෙර කොටස හරහා බලලු වැව දක්වා ගමන්කොට ආපසු සිය නිජබිම වූ ගල්ගමුවටම පැමිණීම පුරුද්දක් කොටගෙන සිටියේය. මෙසේ ගිය ගමනකදී කාගේ හෝ පිරිසකගේ වරදකින් බලලුවැවත් පසුකොට මඩාටුගම ප්‍රදේශයට මේ ඇත් රජු ගමන් කොට තිබේ. ඒ 2011 වසරේ ඔක්තොම්බර් මස එකළොස් වැනිදාය. එදින උදේ කාගේ හෝ අමන ක්‍රියාවකින් ප්‍රචණ්ඩත්වයට පත් වූ ඇත් රජු දඹුල්ල- කැකිරාව මහා මාර්ගයේ නොසන්සුන් ලෙස ගමන් කරද්දී වාහන 49ක ගැටී සිරුරම තුවාල විය. ලේ වැගිරෙන සිරුරේ වේදනාව දරාගෙන එදා දළපූට්ටුවා පාරේ පසෙකට වී සිටි අසරණ විලාසය අදත් මැවී පෙනෙන තරම්ය. 

“ගල්ගමුවේ දළ පූට්ටුවා” රටතුළ වඩාත් කථාබහට ලක් වූයේද මේ සිදුවීමෙන් පසුය. ඉන් සතියකට හමාරකට පසු මේ ඇත් රජු නැවත සිය නිජබිම වූ ගල්ගමුව ප්‍රදේශයට ම පැමිණියේය. ඒ සහකාරියකද කැටුව බව එකල අපි මාධ්‍යයට ද ලියුවෙමු. වරදක් නැති තමන් කුපිත කළ අවස්ථාවකදී හැරෙන්නට වෙන කවර අවස්ථාවකදීවත් මේ ඇත් රජු ශාන්තදාන්තයෙක් මිස රෞද්‍රයෙක් වූයේ නැත.

මේ ඇත්රජු වැඩිපුරම කාලය ගත කළේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහගල්ගමුව, ගොප්රාගම, උල්පනගම, කොක්වැව, සියඹලෑව, පාඩිපංචාව ආදී ප්‍රදේශවලය. මේ ගම්වල ජනතාවගේ වතුපිටි, කෙත්වතු ආදියටද ඉඳහිට ඇත් රජුගෙන් සුළු අලාභහානි සිදු නොවුණාම නොවේ. එහෙත් “ඇස් නොපෙනෙන අසරණ සතා” යැයි කියමින් ගම්මු ඌට අනුකම්පා කළහ. ඇතැම්හු සිය කැමැත්තෙන්ම වන්නේ පිටියේ බව බෝග භුක්ති විඳීමට ඉඩ හළහ. මාධ්‍යවේදියකු වන උල්පතගම පදිංචි ජයතිලක බණ්ඩාර මහතාගේ ගෙවත්තටද මේ ඇත් රජු වරෙක කෑම සොයා පැමිණියහ. එහෙත් ඔහු ඇත් රජු සමඟ කිසිදාක විරසක නොවීය.

සැබැවින්ම ගල්ගමුව ප්‍රදේශයේ බොහෝ මිනිස්සු දළ පූට්ටුවාට දැඩිසේ ළෙන්ගතු වූහ. ආදරය කළහ. ඇත්රජු යන එන ඉසව් පිළිබඳව විපරම් කළහ. ඇත් රජු පැමි‍ණෙන විට පවස නිවාගන්නට පැන් බඳුනක් තබන්නට බොහෝ ගැමියෝ පුරුදුව සිටියහ. ඒ නිරපරාදේ කෙදිනකවත් මේ ඇත් රජිඳුගෙන් තමන්ට හිරිහැරයක් නොවූ නිසාය. 

එමෙන්ම ලංකාවේ අලිඇතුන්ගේ ශෝචනීය ඉරණම ගැන කියන පළමු හෝ අවසාන කතාව දළ පූට්ටුවාගේ ඉරණම් කතාව නොවන වගද අපි දනිමු. බරපතළම ශෝකාන්තය ඇත්තේ එතැනය. සිද්ධියක් සිදුවූ ඉනික්බිති ශෝකවීම පසෙක තබා මුදලට සාරධර්ම උගස්කරන සින්න කරන බලු කරන සමාජයට එරෙහිව මනුදම් බලවර ගැන්වීමේ යුතුකම හා වගකීම ඔබත් මාත් සතුවගද මෙහිලා අවධාරණය කරමු. 

“ගල්ගමුවේ දළ පූට්ටුවා”නම් වූ ඇත් රජුගේ මළ සිරුර පසුගිය තිස් වැනිදා මළ හිරු බැස ගිය සැඳෑවේ මිහිදන් කෙරිණ. ඒ භික්ෂුන් වහන්සේලා වැඩමවා ගෙනවිත් පාංශකූලය දී ඇත් රජුට මෙවන් විපතක් යළි කිසිදිනෙක අත් නොවේවා! කියා පිං අනුමෝදන් කිරීමෙන් පසුවය. ඇත් රජුනි... මනුෂ්‍යත්වය අවරට ගිය විශ්වයක - දේශයක ඔබ යළි යළිත් සසර හමුවේවායි පතන පැතුමක් සිතේ අහලකවත් නැත. ඒ නොමිනිසුන්ගේ අනන්ත පීඩාවන් දුක්ගැහැට විඳින්නට ඔබ යළිත් මේ දෙරණට නොඑනු මැනවයි අයදින්නට මිස මේ ම්ලේච්ඡයන් අතරට නැවත එන්නැයි යදින ආයාචනයක් තුන්හිතකවත් නැති හෙයිනි. ඇත් රජුනි... පොතේ නීතියටත් වඩා ස්වභාවධර්මයේ නීතිය බලවත් යැයි අපි විශ්වාස කරමු. නුඹ පණනල උදුරාගත් ම්ලේච්ඡ පාපතරයන්ට මේ සොබාදහමේ නීතියෙන් කිසිදා සමාවක් ගැලවීමක් නැති බවද අපි අදහමු. 

කථාව සහ සේයාරූ
♦ නිහාල් ජයවීර සහ ප්‍රදීප් රණතුංග

 

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00