2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

බාෙක්කටම වදින ටියුෂන් මාස්ටර්ලාගේ පා්ෙස්ටර් යුද්දේ

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1795

සමහර පෝස්ටර්වල භාෂාව අප්පිරියයි 
බොරුනම් පොලීසි යන්නලු

මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින දූ දරුවෝ 2020 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටිති. ඒ දරුවන් ඉලක්ක කරගත් උපකාරක පංති නැතිනම් ටියුෂන් ක්ලාස්වල කාලසටහන් මේ වනවිටත් සැකසෙමින් පවතී. හතු පිපෙන්නා සේ රටපුරා නගරයක් පාසා ඇරඹෙන අමතර පන්ති රැල්ල සමඟ ගස්, ගල්, තාප්ප, බිත්ති වසා ඇලවෙන පෝස්ටර් මගින් පෝස්ටර් රැල්ලේ සංස්කෘතියක් නිර්මාණය කර තිබේ. ඇතැම් පෝස්ටර් ටියුෂන් ගුරුවරයාගේ මුහුණ හෝ උඩුකය දැක්වෙන ආලේඛ්‍ය ඡායාරූපයකින් වර්ණවත්වය. ඒ සංකල්පය තරුණ දුවා දරුවන්ගේ ඇස් රවටන්නට සමත්ය. ඊටත් එහා ගිය ආකර්ෂණීය වචන මාලාව සහ අකුරු රටාව දැනුම බෙදාදෙන නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය කෙසේ වෙතත් අලෙවි ප්‍රවර්ධන ක්‍රියාවක් නැතිනම් මාර්කටිං ප්‍රෝඩාවකි. මේ ටියුෂන් පංති ජනප්‍රිය කරවීමට ගන්නා විවිධ උපක්‍රම අතර බැනර්, පෝස්ටර්, කටවුට්වලට තවමත් ඇත්තේ නවීන සන්නිවේදන ක්‍රම ඉක්මවූ ස්ථානයකි.

කොළඹ, නුගේගොඩ හා ගම්පහ මහනුවර නගර උපකාරක පංතිවලට ප්‍රසිද්ධය. අවට තදාසන්න නගර හා මංමාවත්වල තාප්ප බිත්ති පමණක් නොව විදුලි රැහැන් කණු මතද විවිධාකාර අමතර පංතිවල දැන්වීම් පෝස්ටර් දකින්නට ලැබේ.

(බොක්කටම දැනෙන්න, තක්කෙටම උගන්වන... සිංහල සර්) වශයෙන් සඳහන් පෝස්ටරයකින් සිංහල පංතියක් හඳුන්වා දෙද්දී තවත් ගුරුවරයෙක් ඔහුගේ සිංහල පංතිය දරුවන් අතරට ගෙනයාමට “රැල්ලේ නොගොස් එල්ලය බලා” යනුවෙන් සටහන් කළ පෝස්ටර් අලවා තිබුණි. එසේම වෙනත් අමතර පංතියක ගුරුවරයෙක් සිය සිංහල පංතිය පිළිබඳව ඔබේ ජීවිතය පාටකරන ආදරණීය භාෂා පාට පෙට්ටිය ලෙසින් සිය දැන්වීම් ප්‍රචාරණය කර තිබුණි. මේ අතර ප්‍රසිද්ධ ගුරැවරයෙක් තම සිංහල පංතිය ප්‍රවර්ධනය සඳහා යොදාගෙන තිබුණේ සිංහල ව්‍යාකරණවල සඳහන් “තද්ධිත, කෘදන්ත, නිපාත” වචන තුන සමඟ ඔහුගේ නම අමුණමින්ය.

වර්තමානයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට සූදානම් වන දරු දැරියන් අතර අමතර පංති සංස්කෘතිය ප්‍රචලිතය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් අතරත් තත්ත්වයේ වෙනසක් නොමැති අතර අමතර පංති සඳහා ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ ආයතන රාශියක් රට තුළ ක්‍රියාත්මකය.

ප්‍රධාන පෙළේ නගරයක පවතින උපකාරක පංතිය ඉදිරිපිට විශාල දැන්වීම් පුවරුවක සිය ආයතනයේ නම දක්වා තිබුණේ “වරෙව් තනියම බැරිනම් ගැන්සි පිටින්”යනුවෙන් සඳහන් වදන් පෙළට පහළින්. එවැනිම ආයතනයක දැන්වීම් පුවරුවේ “පොත් ගෙන ඒම තහනම්”වශයෙන් සටහන් තබා තිබියදී වෙනත් උපකාරක පංතියක පුවරුවේ දක්වා තිබුණේ “බොරුනම් පොලීසි යන්න” යනුවෙනි.

ඉංග්‍රීසි විෂය උගන්වන උපකාරක පංති ගුරුවරු සිය නම සහ පංතිය දරුවන් අතරට ගෙනයාම සඳහාත් අලුතින් සිසු සිසුවියන් බඳවා ගැනීම සඳහාත් විවිධාකාර සිංහල වදන් මාලා උපයෝගී කර ගන්නා බව දකින්නට ලැබේ.
“වෙඩි තැබීමට උගන්වනු ලැබේ” කඩු හරඹ පුහුණු කරනු ලැබේ වශයෙන් ඔවුන් වචන පේළිගස්වා තිබේ. බොහෝ විට මේ සඳහා යොදාගන්නේ කෙටි වචන කීපයක් වන අතර ඇතැම් ඒවා දෙපිට කැපෙන වචන වශයෙන් හඳුන්වන්නට හැකිය. තරුණ ප්‍රජාව ඉංග්‍රීසි භාෂාව කඩ්ඩ වශයෙන් හඳුන්වන නිසා ඉංග්‍රීසි කතා කිරීමට ඉගැන්වීම “කඩු හරඹ පුහුණු කිරීම” වශයෙන් හඳුන්වා දෙන්නට නවක තරුණ ගුරුවරුන් පියවර ගෙන තිබේ.

ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙක් කලකට ඉහතදී“අපේ සිංහල පංතිය” වශයෙන් ඔහුගේ උපකාරක පංතිය දරුවන් අතරට ගෙන ගියේය. මේ ආකාරයට අමතර පංති පවත්වන ගුරුවරයෙක්. සිය පංතිය හඳුන්වා දී ඇත්තේ දැන ඉගෙන යන ගමනක නිවැරදි මඟ සලකුණු ලෙස සඳහන් කරමිනි. ඉතිහාසය විෂය උගන්වන උපකාරක පංති ගුරුවරයෙක් සිය පෝස්ටරය හැඩ කරන්නට “රජ දරුවන් ගොඩනගන්නට නොව ඉතිහාසය ගොඩනගන්නයි” ලෙස යොදාගෙන තිබුණි වාණිජ විෂය උගන්වන උපකාරක පංති ගුරුවරයෙක් සිය පංතිය ප්‍රචාරණය සඳහා සැකසූ පෝස්ටරයේ “වාණිජ ඇසින් ලොව දකින්නට” ලෙස සටහන් කර තිබුණි.

සාමාන්‍ය පෙළට, උසස් පෙළට මෙන්ම ශිෂ්‍යත්වය සඳහා උපකාරක පංති රැල්ලක් ක්‍රියාත්මක වෙමින් ඇති පසුබිමක අමතර පංති නොපවත්වන විෂයක් නැත. ව්‍යාපාර අධ්‍යයන විෂය සඳහා උපකාරක පංති පවත්වන ගුරුවරයෙක් සිය දැන්වීම් පුවරුවක් සඳහා යොදාගෙන තිබූ වැකිය “තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් වරෙවු” යනුවෙනි. එසේම ඇතැම් ටියුෂන් ගුරුවරුන් විශිෂ්ට ප්‍රතිඵලයකට ඔබේ මනාපය යනුවෙන් “පිරුණු කළේ දිය නොසැලේ” වශයෙන්ද දක්වා ඇති බව දකින්නට ලැබේ.

මෙවැනි ආකර්ෂණීය වැකි රැසක් අතර ඇතැම් ඒවා වැදගත් සමාජයකට ආමන්ත්‍රණය කරනවා වැනිය. 

එහෙත් බහුතරයක දකින්නට ලැබෙන වදන් අප්‍රසන්නය. එවැනි හරසුන් වදන් සහිතව සිය ප්‍රචාරණ කටයුතු සිදුකරන ගුරුවරුන්ගේ අමතර පංතියකට සහභාගී වීමට පෙර වරක් නොව කීපවිටක් සිතා බැලීම සුදුසුය. මේ අතර විද්‍යාව උගන්වන අමතර පංති ගුරුවරයෙක් සිය පෝස්ටරය සඳහා “වීරයන් හිඳින්නේ හැමවිටම තනිවමයි” ලෙස දක්වද්දී තවත් විද්‍යා ගුරුවරයෙක් දක්වා තිබුණේ “හිසට යසට විද්‍යාව සේවනය” ලෙස සටහන් තබාය. මේ ආකාරයට සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කොටගෙන ගණිත විෂය උගන්වන ගුරුවරුන් කීපදෙනකු අතරින් අයෙක් “ගණන්කාරයෙක්ද ඔයා හොයන්නේ” ලෙස දක්වා තිබියදී “භාවනාවෙන් ගණං හදමු” වශයෙන් තවත් අයෙක් දක්වා තිබුණි. මේ අතර අලුතින්ම දකින්නට ලැබුණේ “ගණිතය අප්පච්චී” නැමැති පෝස්ටරයයි. මේ ආකාරයට ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙක් සිය ආයතනය හඳුන්වා දී තිබුණේ “හෙට දවසේ ඔබේ සාර්ථකත්වය පිණිස අද දවසේ අපේ යුතුකම” වශයෙනි.

මේ සියල්ල අතර “ඉන්ටර්නැෂනල් ස්කූල් යන ළමුන්ගේ මවුපියන් සඳහාමයි” ලෙස හුවා දක්වමින් ආරම්භ කළ ඉංග්‍රීසි පංතියක දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබුණේ මහරගම ප්‍රදේශය ආශ්‍රිතවය. මේ ආකාරයට ටියුෂන් පෝස්ටර් සඳහා ඉතිහාසයේ ප්‍රසිද්ධ නම් සහ පටබැඳි අන්වර්ථ නාම ඔස්සේ දැන්වීම් ප්‍රචාරණය ප්‍රසිද්ධය. මේ සියල්ල පරදවමින් ඇතැම් පෝස්ටර් සඳහා දිවයිනෙන් පළමුවැනියා බිහිකළේ අපි දිස්ත්‍රික්කයේ පළමුවැනියා බිහිකළේ අපි &145 වැනියා බිහිකළේ අපි වශයෙන් දක්වන දැන්වීම් කලාව තවත් ජාවාරමකි. 

මේ ආකාරයට ටියුෂන් පංති ජනප්‍රිය කිරීම සඳහා දැන්වීම් නිර්මාණය හා ප්‍රසිද්ධ කිරීම පිළිබඳ කිසිදු නියාමනයක් නැත. ඒ සඳහා භාවිත වන ඇතැම් අකුරු, වචන අපුළ දනවන සුළුය. මේ සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීම අධ්‍යාපන බලධාරීන්ට බාරය. නොඑසේ නම් පාසල් අධ්‍යාපනයේ අගය බින්දුවටම දමන නවීන ටියුෂන් සංස්කෘතියක් මතුවීමට වැඩිකල් නොයනු ඇත.

►කතාව/ සේයාරූ
සමන්ත ප්‍රදීප් විල්තෙර