2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ට්‍රම්ප්ගෙ මාර ඩයට් එක

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මංගල ආසියානු සවාරිය හමාර කළේ හොඳහැටි කටබඩ පුරවාගෙනය. ලෝකයේ ආහාර මේසය ලෙස හැඳින්වෙන ආසියාකරය, රසගුණ පිරි විවිධත්වයෙන් යුතු අපූරු සහ අමුතු කෑම සඳහා ප්‍රසිද්ධිය. කඩිමුඩියේ රසමසවුළු ගිල දමන්නෙකු ලෙස ප්‍රසිද්ධ ට්‍රම්ප්ගේ ආසියා ගමනේදී ඔහුට අමතක නොවන භෝජන සංග්‍රහයන් රැසක් භුක්ති විඳින්නට ලැබුණු අතර ආසියාව තුළ හොඳහිත දිනාගනිමින් සරුසාර ආයෝජන අවස්ථා ගොඩනඟා ගන්නටද ඔහු සමත් වූයේය. කොටින්ම ආසියාවට ආ ට්‍රම්ප් හට ලෝකයේ ලොක්කාට හිමි ඉහළම පිළිගැනීම ලැබුණු අතර එහිදී ට්‍රම්ප් හැසිරැණේද අමුතු හාදයකු මෙනි.

කුකුල් කේන්තිකාරයකු, කටට ආ දේ තැන නොතැන නොබලා කියා දමන්නකු, තදබල විවේචනවල යෙදෙන්නෙකු, කටමැද දොඩන්නෙකු, ස්ත්‍රී ලෝලියකු, අන්ත ධනවාදී සුදු ඒකාධිකාරියකු බඳු විවිධ කටුක විවේචනවලට සිය රටේම මාධ්‍ය මගින් ගොදුරුව ඇති ට්‍රම්ප්, මේ ගමනේදී හැසිරුණේ මුළුමනින්ම වෙනස් පුද්ගලයකු ලෙසිනි. නිදහස්, ක්‍රීඩාශීලී, විනෝදකාමී, කාගේත් සිතා දිනාගන්නා, ආත්ම විශ්වාසයකින් යුතු සුහදශීලී රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ට්‍රම්ප් මෙහිදී හැසිරුණේ ඔහුගේ වරදක් අල්ලා ගන්නට මාන බලමින් පසුපස හඹා එන මාධ්‍ය නඩය සහ දේශපාලන විවේචකයන් තක්කු මුක්කු කර දමමිනි. කොටින්ම ඔහුගේ පරම වෛරක්කාරයන් ලෙස සැලකුම් ලබන CNN සේවයද ට්‍රම්ප්ගේ ආසියා ගමන අතිසාර්ථක බවට උදම් ඇනුවේය.

ආසියා ගමන යන්නට ඔන්න මෙන්න කියා උතුරු කොරියානු නායකයාහට (බඩ තඩි මිට්ටා) යැයි වහෙන් ඔරෝ බාසාවෙන් අමතන්නට අමතක නොකළ ට්‍රම්ප්, විවිධ හැල හැප්පිලි සහ ගැටුම්කාරී දේශපාලන ආර්ථික සංස්කෘතියක් සහිත ආසියා ගමනේදී ඉවසුමක් නැතිව කට වරද්දා ගෙන, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අනා ගනිමින්, සතුරන් රැසක් ප්‍රසිද්ධියේ ඇතිකරගනු ඇතැයි බලා සිටි අය අමාරුවේ වැටුණේය. ඔහු ආසියාවේදී පුදුමාකාර ඉවසිලිමත් බවකින් හැසිරෙන අයුරු දක්නට ලැබුණි. ඒ නිසාමදෝ ඔහුට එහිදී එතෙක් මෙතෙක් අමෙරිකානු ජනාධිපතිවරයකුට ලැබුණු ඉහළම සැලකිල්ල ලැබී තිබුණි.

ට්‍රම්ප් මුලින්ම ගොඩබැස්සේ ජපානයටය. ජපානය ආසියාවේ ආරක්ෂකයා ලෙස ප්‍රශංසාවට ලක්කර මුරුංගා අත්තේ තැබූ ට්‍රම්ප්, තමන්ට වාසිදායක අවි ගනුදෙනුවකටද අඩිතාලම දමා ගත්තේය.

ට්‍රම්ප් ප්‍රසිද්ධව ඇත්තේ බර්ගර් රසවතෙකු හැටියටය. ජපානයේ ඇති මැක්ඩොනල්ඩ් අවන්හලක් බඳු එරට ප්‍රසිද්ධ “මන්ච් බර්ගර්” හල වෙතින් අමෙරිකානු මස් පෙති යොදා කොල්බීජැක් චීස්වලින් පිරවූ බර්ගර් ආහාරයට ලබා ගන්නට මුල් දවසේම ට්‍රම්ප් පියවර ගත්තේය. ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ ඉන්පසු ට්‍රම්ප් රැගෙන ගොල්ෆ් ක්‍රීඩා පිටියට ගියේ තමන්ට හොඳ ක්‍රීඩා සගයකු ලැබුණු බවට පුරසාරම් කියමිනි. එතැනදී ක්‍රීඩාවෙන් මත්වූ අබේ ගොල්ෆ් වලක වැටී යාන්තම් ගොඩඑනු ජාත්‍යන්තර මාධ්‍යවලට රස කතාවක් ලෙස එක්විණි. එදා රාත්‍රියේ අබේ අමෙරිකානු ජනාධිපතිවරයා රැගෙන ගියේ ග්‍රිල් කරන ලද මස් සඳහා ප්‍රසිද්ධ ගින්ෂා උකායිතේ සුඛෝපභෝගී අවන්හලටය. උයන ලද හරක් මස් සමඟ බෙල්ලන් මෙහිදී ආහාරයට එක්කර තිබුණි.

දෙවැනි දින දිවා ආහාරයට ජපාන අගමැතිවරයා සහ පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ ට්‍රම්ප් ඇතුළු පිරිස සහභාගී වූහ. ටෙරිසාකි කුකුළු මස්, එළවළු මුසු සලාදය සමඟ ට්‍රම්ප්ගේ ප්‍රියතම වැනිලා අයිස්ක්‍රීම්ද එහිදී පිළිගන්වා තිබුණි. ට්‍රම්ප්ට ලැබුණු ඉහළම රාජකීය රාත්‍රී භෝජනය එදින එනම් සඳුදා සවස පිළියෙළ කර තිබුණි. අර්තාපල්, කැරට්, අලිගැට පේර, ඇතුළු එළවළු  පළතුරු මුසුවට බේකන් යොදා තෙලෙන් තෙම්පරාදු කළ සලාදයක් මුල් තැනගෙන තිබුණි. වියලා තීරු කරන ලද මස් ඇතුළුකර සාදන ලද හාල්පිටි රෝල්ස් ද ඒ සමඟ විය. ඒ අතරට පාන් පිටි තවරා බැදගන්නා ලද බෙල්ලන්ද කර කරන ලද බිත්තර රෝල්ස් තුළ බහාලූ ඉස්සන් මුසුවක්ද එක්ව තිබුණි.

මුහුදු ආහාරවලින් තැනූ ප්‍රධාන සූපයට මාළු බොකු, මෝර වරල්, ඉස්සන් සහ බෙල්ලන් යොදාගෙන තිබුණි. බටර්වලින් බැදගත් කොඩ් මාළු කුට්ටි ක්‍රීම් සහ ලෙමන් සෝස් යොදා රසකර ධාන්‍ය මුසුවක් සමඟ පිළිගන්වා තිබුණි.

මට්යුටාකේ හතු, පොකිරිස්සන් මාංශ සමඟමල්ගෝවා සහ කොළ පැහැති එළවළු මුසුකර එයටම කුකුළු මස් එක්කර හරක් මස් තීරුවලින් සරසා ප්‍රධාන ආහාර වේලක් පිළිගන්වන්නටද මේ රාත්‍රියේ ජපාන සූපවේදීන් හා එක්වූ ට්‍රම්ප්ගේ රසනහර ගැන දන්නා අමෙරිකානු ධවල මන්දිර කෝකීන් අමතක කර තිබුණේ නැත. තමන් හොඳ හැටි සප්පායම් වූවා සේම ට්‍රම්ප් ජපාන රාජකීය කාෆ් මසුනට ආහාර ලබාදෙන්නටද අමතක කළේ නැත. මෙහිදී ට්‍රම්ප්ගේ වරදක් අල්ලා ගන්නට මඟ බල බලා සිටි මාධ්‍ය ක්ෂණිකව වාර්තා කළේ ට්‍රම්ප් ඉවසිල්ලකින් තොරව එකවර මත්ස්‍ය ආහාර වට්ටියම පොකුණට හැලූ බවකි. නමුත් පසුව මෙය නිවැරදි කළේ ඔහු එය කළේ ජපාන අගමැති අබේ අනුකරණය කරමින් බව පෙන්වමිනි.

ජපානයත් සමඟ සසඳා බැලූ විට ට්‍රම්ප් දකුණු කොරියාවේ ගත කළේ කෙටි කාලයකි. මෙහිදී කොරියානු අර්බුදය ගැන කතා නොකරන්නට පරෙස්සම් කරගත් ට්‍රම්ප් කලින් බැණ වැදුණු උතුරු කොරියානු බඩ මහත මිට්ටා සමඟ සුහද කතාබහකට සූදානම් බවද කියා දකුණු කොරියාවට සැනසුමක් ලබා දුන්නේය. අඟහරුවාදා දිවා ආහාරය ඔහු ගත්තේ උතුරු කොරියානු සහ අමෙරිකානු හමුදා සෙබළුන් සමග හම්ප්රේ කඳවුරේදීය. හවස තේ පානය සඳහා ට්‍රම්ප් බ්ලූහවුස් මාලිගයට කැඳවා ගන්නා ලදී.

දකුණු කොරියාවේදී ට්‍රම්ප් හට හොඳම කෑම වේල ලැබුණේ අඟහරුවාදා රාත්‍රියේදීය. සෝයා බෝංචි සුප් සමඟ ග්‍රිල් කරන ලද හරස් පපු මස ලබාදී තිබුණේ අමෙරිකාවටත් වඩා වයස්ගත එනම් වසර 360ක් ඉපැරුණි සෝයාසෝස් වර්ගයක් සමඟිනි. එයටම ග්‍රිල් කරන ලද මාලු සහ විශේෂයෙන් මේ උත්සවකාරී දේශපාලනික සංග්‍රහය සඳහා දකුණු කොරියාව සහ ජපානය අතර ඩොක්ඩෝ දූපත අසලින් අල්ලා ගන්නා ලද බැදපු ඉස්සන්ද පිළිගන්වා තිබුණි. ඩොක්ඩෝ ඉස්සන් සඳහා වූ ඉල්ලුම සියයට 500කින් අඟහරුවාදා රාත්‍රියේ සිට ඉහළ නැග තිබුණේලු.

චීනයේදී ට්‍රම්ප් හට තවත් ආසියානු රසයක් අත්විඳින්නට ලැබුණි. ට්‍රම්ප්ට විශේෂ සත්කාරක ගෞරවයක් දක්වමින් ඔහු කැඳවාගන යනු ලැබුවේ තහනම් නගරය ලෙස හඳුන්වන රාජ්‍ය සංකීර්ණය වෙතටය. රාජ්‍ය නායකයකු මෙම රාජකීය මාලිගා සංකීර්ණය වෙත කැඳවාගන යනු ලැබූයේ 1949න් පසු මුල් වතාවටය. එය ට්‍රම්ප්ට දැක්වූ මහා හරසරයකි. මෙහිදී ඔහුට රාජකීය රාත්‍රී ආහාර වේලක් පිළිගන්වන්නට යෙදුණි. කෙචප්වලින් පොඟවා රසකරන ලද මාළු කුට්ටිවලට කෑදර ට්‍රම්ප්හට මෙහිදී ඒ වෙනුවට තක්කාලී සෝස් වලින් රස ගැන්වූ හරක් මස් කුට්ටි ස්ටුවක් පිළිගන්වන ලදී. කුන්ග් පාවෝ කුකුළු මස් සමඟ මුහුදු ආහාර මුසුවක්ද පොල්කිරි මුසුකළ චිකන් සුප්ද මේසයට එක්ව තිබුණි.

ට්‍රම්ප්හට සුවිශේෂී වයින් වර්ග 2ක් පිළිගන්වා තිබුණි. එසේ වුවද ට්‍රම්ප් නොබොන්නෙකි. මත්පැන් පානය නොකරන ට්‍රම්ප් ඒ වෙනුවට වයින් පැහැති මධ්‍යසාර රහිත බීම වර්ගයක් සම්ප්‍රදාය රකිමින් භාවිත කළේය.

APEC සමුළුවට සහභාගි වන්නට ආ රාජ්‍ය නායකයන් සමඟ එක්ව ගත් වියට්නාමයේ පැවැති රාත්‍රී ආහාරයද ට්‍රම්ප්හට සුවිශේෂී වූවකි. වියට්නාමය කටදන අපූරු මස් හොදි සඳහා ප්‍රසිද්ධය. පෝ, ලෙසින් හඳුන්වන මේ හරක් මස් හොද්දත් සමඟ විවිධ රස සහිතව තට්ටු තට්ටු ලෙස සකසා තිබූ නූඩ්ල්ස් ඔහුට ලැබුණු අමුතු ආහාරයකි. එය බැසිල් කොළ සහ බෝංචි අංකුරවලින් සරසා තිබුණි. ට්‍රම්ප්ගේ සුපුරුදු ආහාරයක් වන මස් කුට්ටි නොතිබූ අඩුව පුරවන්නට පිළිගන්වා තිබුණේ බේකන්ය. හාල් පිටිවලින් තැනූ රෝල්ස් සමඟ එළවළු සලාදයක්ද මුහුදු ආහාර මුසුකළ සූපයක්ද මෙහිදී පිළිගන්වා තිබුණි.

පිලිපීනයේදීද රාජකීය උණුසුම් පිළිගැනීමක් ට්‍රම්ප්ට ලැබුණි. ට්‍රම්ප් මෙන්ම පිලිපීන ජනාධිපතිවරයාද කටට බ්‍රේක් නැති, තද පරුෂ, මුරණ්ඩු පුද්ගලයන් ලෙස ප්‍රසිද්ධය. මේ දෙදෙනාගේ හමුව තකට තක සේ ගැලපෙන හමුවක් වූයේ එහෙයිනි. මානව හිමිකම් කඩවීම් ගැන ලොකු දෝෂාරෝපණයකට ලක්ව සිටින පිලිපීනයේදී ට්‍රම්ප් ඒ ගැන කතා නොකරන්නට වගබලා ගත්තේය. මේ නිසාම පිලිපීනයේදී ඔහු මහත් ඇගැයීමකට ලක්විය. පිලිපීන ජනාධිපති ඩ්‍යුටර්ටේ ට්‍රම්ප් වෙනුවෙන් ආදර ගීයක්ද ගැයුවේ කාගේත් ප්‍රමෝදය වර්ධනය කරමිනි.

පිලිපීනයේ සම්ප්‍රදායික ඇඹුලක් වූ යහමින් සියඹලා යොදා ඌරු ගාත පිටින් තම්බා සෑදූ සූපය ට්‍රම්ප්ට අලුත් ආහාරයකි. ඒ අතරට එහෙම පිටින්ම රෝස් කරන ලද ඌරු මස්ද හරි හරියට මේසයට පිළිගන්වා තිබුණි. කිරි යොදා වියලන ලද වහු මස් සමග මුං බීජ, කුකුළු මස් සමඟ මුසු කළ ඌරුමස්ද මුල් පෙළේ ආහාරයක් විය. සුළු කට ගැස්ම හැටියට පිලිපීනයේ ප්‍රසිද්ධ කෙසෙල් බැදුම සහ බෝංචි සූපයක්ද එක්ව තිබුණි. තක්කාලි සෝස්වලින් සරසන ලද කුකුළු මස් බැදුමට ස්පැහැටි යොදා කැබලි කළ හොට්ඩෝග් සමඟ පිළියෙළ කළ පිලිපීන සම්ප්‍රදායික ආහාරයක්ද ට්‍රම්ප් වෙත පිළිගන්වන්නට යෙදුණි. ඒ අතර හැලෝ හැලෝ නමින් වූ සම්ප්‍රදායික සුඛෝපභෝගී හිම කිරම රසමුසුවක්ද ඔහු වෙත පිළිගන්වන්නටද අමතක කර තිබුණේ නැත. එය සාදා තිබුණේ ගා ගන්නා ලද කොමඩු, රත්කළ කිරි, සිහින්ව සූරාගත් කුරුම්බා ලොඳ සහ ජෙලටින් අයිස්ක්‍රීම් සමඟ එකට මුසු කිරීමෙනි. මේ සඳහා වරකා මදුළු, කෙසෙල්, තම්බන ලද සුදු හෝ රතු කවුපි, සෝයා ඇට, ආදී තවත් දේ විවිධ අවස්ථාවල මුසුකරනු ලැබේ. හැලෝ හැලෝ යන්නෙහි තේරුමද රසමුසුව යන්නය.

♦  සුගත් පී. කුලතුංගආරච්චි