2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

රෙදි කර්මාන්තයට බදු පිට බදු!

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 524

- දීපානී සමරසිංහ

ඉන්දියාවේ ලාට පුරයෙන් පිටුවහල් කළ ඉනික්බිති සත්සියක් පිරිවර සමඟ විජය කුමාරයා ලංකාවේ තම්බපන්නී වෙරළට ගොඩ බැස්සේලු... ඉතිහාසයේ පරිච්ජේද ඒ වෙනුවෙන් සාක්ෂි දරයි. විජය කුමරු පිටුවහලෙක් ලෙස තම්බපන්නියට ගොඩ බසිද්දී යක්ෂ ගෝත්‍රික කුවේණි කුමරිය කපු කටිමින් සිටියේලු... ඉතිහාස පරිච්ජේද ඒ වගටත් සාක්ෂි දරයි. කුවේණිය කපු කටිමින් නොඑසේනම් නූල් වියමින් සිටි වගට ඉතිහාසය සාක්ෂි දැරීමෙන් විජය කුමරු පැමිණි ක්‍රිස්තු පූර්ව 6වැනි සියවස තරම් දුරාතීතයට දිවෙන දේශීය කර්මාන්තයක් ගැන ඉතිහාස පොතෙන් ඉඟි පළවෙයි. නූල් වියන්නට කුවේණිය දැන සිටීමෙන් කියැවෙන්නේ රෙදි විවීමේ කලාවත් එකල මේ තම්බපන්නියේ ලලනාවන් දැන සිටි බවයි. එකී සාධක අනුව නූල් විවීමේ, රෙදි විවීමේ කලාව ලාංකික අනන්‍යතාවයක් මෙන්ම දේශීය කර්මාන්තයක් වූයේද දැනට අවුරුදු දෙදහස් පන්සීයකටත් වැඩි අතීත කාලයක සිටය. එපමණක්ද? නැත.

බත් කන්න හාල් ටිකත්, පරිප්පු ඇටයේ පටන් ලූනු බික දක්වාත් බොහෝ දෑ නැවෙන් එනතුරු අද බලා හිඳින්නට සිදුවූයේ එදා වැව් අමුණු බැඳී නීල දියවරින් සශ්‍රීක සහලින් ස්වයංපෝෂිතව තිබූ රටක ජනතාවකටය. යුගයෙන් යුගයට සිදුවන පරිවර්තන ඕනෑම රටකට අනන්‍ය ලක්ෂණයකි. එහෙත් රටක අනාගතය සුභදායි වන්නේ රටකට ආවේණික අනන්‍ය අනන්‍යතාවයන් දේශීයත්වයන් ඔප්නංවමින් සිදුවන සුභදායි පරිවර්තන ඔස්ෙස්ය. එවන් පරිවර්තනයක සේයාවක්වත් ඇසට අසුවන මායිමක ඇත්දැයි යන ප්‍රශ්නය අපගේය. විචක්ෂණයෙන් සිතා පිළිතුරක් සපයා ගැනීමේ වගකීම ඔබගේය.

රටක ආර්ථිකයේ කොඳු නාරටිය ශක්තිමත් වීමටනම් එරට ආර්ථිකය අපනයන ඔස්සේ උපයන ආදායමද ධනාත්මක ප්‍රතිශතයක් ඉසිලිය යුතු වේ. එමෙන්ම දේශීය කර්මාන්ත ඔස්සේ එරට ආර්ථික ධාරාව බලාත්මක කිරීමෙහි ලා ලබාදෙන පිටුවහලද පුළුල් විය යුතුය. එසේම දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමටත් ඔවුන් දිරිමත් කිරීමට සහ නව දේශීය කර්මාන්ත හා ආයෝජන විෂයෙහි ඔවුන් පොළඹවාලීමටත් එරට ආණ්ඩුව සතුව පුළුල් දැක්මක් වැඩපිළිවෙලක් මෙන්ම රටකට නොවෙනස් සාධනීය ආර්ථික ප්‍රතිපත්තීන්ද තිබිය යුතුවේ.

අපේ දේශීය කර්මාන්ත ගැන කතා කරද්දී දේශීය රෙදි නිෂ්පාදන කර්මාන්තය ඒ දහරාවේ මුලටම වැටෙන්නේ පෙර කී පරිදි එකී කර්මාන්තයේ ඇරඹුම කුවේණියගේ යුගය දක්වාම ඈතකට දිව යන බැවිනි. එහෙත් එදා මෙදා තුර බොහෝ දේශීය කර්මාන්තවල මුදුන් මුල් බිඳ වැටුණු අතර ආර්ථිකයේ මහා බලවේග බවට පත්වූයේ දේශීය ව්‍යවසායකයන් නොව පිටරටකින් කුණු කූඩයට දමන දේ පවා මෙරටට ගෙන්වා විකිණීමට තරම් බලවත් වූ නානා මාදිලියේ ව්‍යාපාරිකයන්ය. පෙර රජ දවස සිට විධායක ජනාධිපතිවරු දක්වා යුග සංක්‍රාන්තියේදී 1977 ඇරඹි විවෘත ආර්ථිකය තුළ ආයෝජනවලට මුල්තැන ලැබිණි. ආනයන මත යැපීම ඉහළ ගියේය. ඒ නිසා ඇතැම් දේශීය කර්මාන්තවල කල දවස යහපත් වූයේ නැත. රෙදි කර්මාන්තය, සපත්තු කර්මාන්තය වැනි කර්මාන්ත ඊට උදාහරණය.

 දශක ගණනාවක් මුළුල්ලේ අදටත් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස වර්ග වෙන්නට පෙර කී සාධකයද ප්‍රබලවම බලපෑවේය.

මෙවර අයවැය ලේඛනයෙන් ද ඇතැම් දේශීය කර්මාන්තවලට අපේක්ෂිත සහාය රජයෙන් නොලැබුණ බවට විවිධ කර්මාන්තකරුවෝ මැසිවිලි නගති. රෙදි කර්මාන්තය, නාවික ව්‍යාපාරය වැනි අංශවලින් නැගෙන චෝදනා ප්‍රබලය. බදු සහන අහිමි කිරීම, ව්‍යාපාර අංශ පිටරැටියන්ට විවෘත කිරීම වැනි මතගැටුම් ගණනාවක් අපට අසන්නට ලැබී තිබේ. මෙම ලිපිය මගින් අප අවධානය දක්වන්නේ මෙරට රෙදි කර්මාන්තයට උදා වූ කල දවස ගැන සාකච්ඡාවකටයි. ඒ සඳහා දේශීය නිට්රෙදි කර්මාන්තයේ පුරෝගාමී ව්‍යවසායිකාවක සමඟ සංවාදයක යෙදුණෙමු. ඇය දේශීය නිට් රෙදි කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින ඒ.පී.එස්. නිටර්ස් පෞද්ගලික සමාගමේ සභාපතිනි දීපානී සමරසිංහය. 2015 වසරේ ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මඟින් පැවැත්වූ සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලද ඇය සමඟ අප කතා කළේ අද වෙද්දී දේශීය ගෙතූ රෙදි නිෂ්පාදන ක්ෂේත්‍රය හා ඒ හා සබැඳි අතුරු කර්මාන්ත රාශියක් මුහුණ පා ඇති අනේක විධ ගැටලු පිළිබඳවය. මෙවර අයවැයේදී එම කර්මාන්තය විෂයෙහි සැලසී තිබූ සහන අහිමි වී ඇති බවටත් එමඟින් තවත් දේශීය කර්මාන්තයක් ඉදිරියේදී බලවත් අර්බුදයකට හා ව්‍යවසනයකට ලක්විය හැකි බවටත් විවිධ පාර්ශව වෙතින් නැගුණ චෝදනාවද මේ කතා බහට පදනම සැකසීය.

මෙවර අය වැයෙන් ගෙතූ රෙදි නිෂ්පාදන කර්මාන්ත හිමියන්ගේ බෙල්ලටම තොණ්ඩුව දාලා... විශේෂයෙන්ම ගෙතූ රෙදි නිෂ්පාදන කර්මාන්තයේ නියැලෙන සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර අනාගතයට මෙවර අය වැයෙන් දැඩි පහරක් එල්ල කරලා... මේ පොදු චෝදනා පිළිබඳව මෙන්ම අද වෙද්දී මෙකී දේශීය කර්මාන්තය මුහුණ පා සිටින අර්බුදය පිළිබඳවද අපි ඇගෙන් විමසුවෙමු.

ඇත්තටම ඔව්... මෙවර අය වැයෙන් නූල්, රෙදි, ඩයි වර්ග මේ හැමදේකටම බදු ගහලා. 2018 අප්‍රේල් පළමුවැනිදා සිට එකතු කළ අගය මත බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ ආර්ථික සේවා ගාස්තු සහ මුදල් පනතට සිදුවන සංශෝධනත්, රේගු බදු සහ නිෂ්පාදන බදු සුරාබදු වහාම බල පැවැත්වෙන පරිදි ක්‍රියාවට නංවනු ලබන බවත් සඳහන්.

2008 වර්ෂයේදී දේශීය ගෙතූ රෙදි නිෂ්පාදන ක්ෂේත්‍රයට අවශ්‍ය නූල් (Yarn) ආනයනය කිරීමේදී පනවා තිබූ එකතු කළ අගය මත බද්ද (VAT 15%) ඉවත්කර සහන සැලසුවා. නැවත 2012 වසරේදී පසුගිය රජය දේශීය ගෙතූ රෙදි නිෂ්පාදනයට අවශ්‍ය නූල් සඳහා පනවා තිබූ ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT 2්‍%) සහ රේගු ආනයන බද්ද (PAL %) සම්පූර්ණයෙන්ම ඉවත්කරලා විශාල සහනයක් සැලසුවා. ඒත් පසුගිය රජය දේශීය කර්මාන්ත නගා සිටුවීමට ලබා දුන් මේ සියලු සහන මෙවර අයවැයෙන් 2018 අප්‍රේල් පළමුවැනිදා සිට ඉවත් කරන්න යෝජනා කරලා තියෙනවා. 2012 වසරේ සිට වියට්නාමයෙන් ගෙන්වන Polyester Cotton yarn (p/c) කන්ටේනරයක් සඳහා අපට ගිය සම්පූර්ණ වියදම ලක්ෂ අසූවක්. ඒත් මෙවර අය වැයෙන් අපේ බදු සහන ඉවත් කර VAT 15%,PAL 7.5% NBT 2% ක් විදිහට අපිට 24.5%ක් ආනයන බදු ගෙවන්න නියම කරලා. ඒ බදු අනුව අපිට ලක්ෂ 80ට ගෙනාව එක නූල් කන්ටේනරයක් වෙනුවෙන් 2018 අප්‍රේල් 01 වැනිදා ඉඳන් ලක්ෂ 21ක් බදු ගෙවන්න වෙනවා. එතකොට පසුගිය රජය කාලෙ ලක්ෂ 80ට ගෙන්වපු නූල් කන්ටේනරය මේ ආණ්ඩුව යටතේ ගෙන්වන්න අපිට ලක්ෂ 101ක මුදලක් වැය කරන්න වෙනවා. මම මේ පැහැදිලි කළේ එක් වැඩිවීමක් විතරයි. SPUN YARN, POLYESTER VISCOSE YARN, POLYESTER YARN මේ ආදී නූල් වර්ග කිහිපයක් අපි වියට්නාමය චීනය ආදී රටවලින් ගෙන්වනවා. ඒ හැම එකකටම මේ බද්ද වදිනවා. මේ අසීමිත බදු බර අනුව සුළු පරිමාණ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් පමණක් නෙවෙයි මහා පරිමාණයෙන් මේ දේශීය කර්මාන්තයේ නියැලෙන පිරිසත් දැඩි අර්බුදයකට සහ කඩාවැටීමකට ලක් වෙනවා.

ගෙතූ රෙදි නිෂ්පාදනයත් එක්ක තවත් ප්‍රධාන කර්මාන්ත දෙකක් බැඳී පවතිනවා. එනම් ගෙතූ රෙදි කර්මාන්තය සහ ගෙතූ රෙදි වර්ණ ගැන්වීමේ කර්මාන්තය. ගෙතූ රෙදි නිෂ්පාදනයට නම් මේ කර්මාන්ත දෙක සඳහාම යොමු විය යුතුයි. අපි මේ කර්මාන්ත දෙක සඳහාම යොමු වී සිටියත් මේ දෙකට වෙන වෙනම යොමු වී සිටින පිරිසක්ද සිටිනවා. වැඩි ප්‍රමාණයක් යොමු වී සිටින්නේ ගෙතූ රෙදි කර්මාන්තයට. ඒත් සැලකිය යුතු පිරිසක් රෙදි වර්ණ ගැන්වීමේ කර්මාන්තයටත් යොමු වී තිබෙනවා. ඉහත බදු ‍ රෙදි සහ නූල් සඳහා මෙන්ම ඩයි වර්ග සඳහාත් අදාළ දිනයේ සිට අය කරන්න යෝජනා වී තියෙනවා. 

ගෙතූ රෙදි නිෂ්පාදනය හා සබැඳි මේ ප්‍රධාන කර්මාන්ත දෙක හැරුණු විට තවත් අතුරු කර්මාන්ත රාශියක් තියෙනවා. උදාහරණ විදිහට එලාස්ටික්, කොලර් නිෂ්පාදනය සඳහන් කරන්න පුළුන්. අනිත් කාරණය අද ගෝස් පවා ලංකාවේ නිෂ්පාදනය කරනවා. මේ ගහන්න යන බදු මේ හැම කර්මාන්තයකම බිඳවැටීමට හේතුවක් වෙනවා. දේශීය නිෂ්පාදකයන්ට මේ ආකාරයට බදු ගැහුවම කවුද නිෂ්පාදනවලට යොමුවෙන්නේ. පිටරටින් භාණ්ඩ ගෙනත් විකිණීම, නිෂ්පාදන කර්මාන්තවලට ගිහින් අත පුච්චාගන්නවාට වඩා ලේසියි ලාභයි කියලා ඒත්තු ගියාම කඩාවැටෙන්නේ දේශීය නිෂ්පාදන හා කර්මාන්ත. දේශීයත්වයේ අක්මුල් සිඳදාලා රට සම්පූර්ණයෙන්ම බටහිර කොළණියක් කරන්න පාර කපලා නව උත්පාදන කෙරේ යොමුවෙන්න කීම සම්පූර්ණ විහිළුවක්. මේ බදු මේ විදිහට ක්‍රියාත්මක වුණොත් මහා පරිමාණයෙන් මධ්‍යම පරිමාණයෙන් හා සුළු පරිමාණයෙන් ගෙතූ රෙදි නිෂ්පාදනය , රෙදි වර්ණ ගැන්වීෙම් කර්මාන්තය හා ඒ සබැඳි අතුරු කර්මාන්තයන්හි නියැලි, ඒ ආශ්‍රිත රැකියා කරන ලක්ෂ හතරකට ආසන්න ශ්‍රී ලාංකික පිරිසක් අනාථ වෙනවා. ලොකු අර්බුදයකට කඩාවැටීමකට ලක්වෙනවා. එය වළක්වන්න බැහැ.

2012 වර්ෂයේ අපට ලැබුණු බදු සහනත් එක්ක පරිසර හිතකාමීව අපේ කර්මාන්ත පවත්වා ගෙන යන්න අවශ්‍ය නවීන යන්ත්‍ර සූත්‍ර ගෙන්වන්න අපි බැංකුවලින් මහා පරිමාණ ණය ලබාගෙන තියෙනවා. මේ අයවැයෙන් යෝජිත බදු නිසා දැන් අපි පත්වී තියෙන්නේ දැඩි අවදානමකට. නූලක් රෙද්දක් බවට පත් කරන්න විශාල පිරිවැයක් දරන්න වෙනවා. එය සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ.පී.එස්. නිටර්ස් කියන මගේ සමාගම ගත්තොත් අපි අපනයනය තුළින් වගේම දේශීය වෙළඳපොළට අවශ්‍ය ඉල්ලුම සැපයීම මඟින් මෙන්ම විදේශීය රටවල්වලට අපනයනය කිරීම සඳහා මෙරට නිෂ්පාදනය කරන ඇඟලුම් සඳහාත් අපේ නිෂ්පාදන සපයනවා. අයි.එස්.ඕ. තත්ත්ව සහතික ඇතුළු නිෂ්පාදන ඇගයුම් අපිට හිමියි. මෙවන් දේශීය කර්මාන්තයක් රැකගැනීමට හා එහි අභිවෘද්ධියට උරදීම වෙනුවට ආණ්ඩුව ඒ කර්මාන්ත පාගා දැමීමට පිඹුරැපත් සකසනවානම් එය මහා ජාතික අපරාධයක්. අපි පරිසරයට හානිකර ලෙස අපද්‍රව්‍යක්වත් බැහැර කරන්නේ නෑ. ඒ ක්‍රමවේද සකස් කිරීම  සඳහා අපි විශාල පිරිවැයක් දරා අැති අතර අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මාසිකවත් අපි විශාල පිරිවැයක් දරනවා. ව්‍යවසායකයෙක් කියන්නේ දේශීය භූමිය, දේශීය ශ්‍රමය, යොදාගෙන තමන්ගේ නිෂ්පාදනයක් කරන්නාට. ව්‍යාපාරිකයෙක් කියන්නේ තමන්ගේ නිෂ්පාදනයක් නැත්නම් කොහෙන් හෝ දෙයක් ගෙනත් විකුණන කෙනාට. අපි පැහැදිලිවම ව්‍යවසායකයන්. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට උර දෙන්නන්. මේ කර්මාන්තය ඇසුරෙන් ල හතරක පමණ සෘජු හා වක්‍ර රැකියා හිමිවී තිබෙනවා. රටක ආර්ථික ප්‍රතිපත්ති සහ තීරණ දේශීය කර්මාන්ත සහ ව්‍යවසායකයන්ගේ උන්නතිය වෙනුවෙන් නොව පරිහානිය වෙනුවෙන් නම් සැකසෙන්නේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය ගැන කතා කරන්න දෙයක් තියෙනවද? දේශීය කර්මාන්ත ෙමලෙස පාගා දැමීම ජාතික අපරාධයක්. 

2015 ශ්‍රී ලාංකික විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාව ලෙස ඇගයීමට පත් ඒ.පී.එස්. නිටර්ස් පෞද්ගලික සමාගමේ සභාපතිනි දීපානී සමරසිංහ මහත්මිය විසින් සඳහන් කළ සියල්ල තුළ ගැඹුරට විමසන්නට කරුණු අදාළ සියලු පාර්ශව වෙත යොමුව තිබේ. දේශීය ආර්ථිකය ඉහළ තැනක ඔසවා තබන්නන් රැකගන්නට උරදෙනවාද? ඔවුන් අගාධයක හෙලන්නට පිඹුරැපත් සකසමින් රටේ ආර්ථික ශක්තියට පරගැති සිතින් වින කටිනවාද? අදාළ සියලු බලධරයන්ගෙන් අපි උත්තර ඉල්ලා හිඳින අතර දේශිය සම්පත් හා දේශිය චින්තනයේ මුල් සිඳලූ බටහිර කොළණියක් ශ්‍රී ලාංකික බහුතරයකගේ අපේක්ෂාව නොවන බවද අවධාරණය  කරමු.

 සංජීවිකා සමරතුංග