2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

මැල්සිරිපුර වයස තිස්තුනේ මාරකේ

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

“අපිට තේරෙන්නේ නෑ.... ඇත්තටම මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. මමයි මගේ අයියයි දෙන්නම පුංචි කාලෙ ඉඳන්ම මේ දුක්කන්දරාව විඳිනවා. තවත් ඒ දුක්වල ඉවරයක් නෑනේ... දවසින් දවස අපි දෙන්නත් මේ දරු පැටව් එක්කම මැරි මැරී උපදිනවා...”  

මවුපියන් නොමැතිව හැඬූ කඳුළින් කල් ගෙවන අන්ත අසරණ දරු පැටියන් තිදෙනකු හදා වඩාගන්නා ඔවුන්ගේ ඥාති කාන්තාවක වූ සමන්තිකා කුමාරි මහත්මිය එසේ කියමින් සුසුම් හෙළන්නීය.

එකම පවුලක පරම්පරා දෙකකට අයත් පුද්ගලයන් කාන්තා පිරිමි භේදයකින් තොරව වයස අවුරුදු 30-33ත් අතර කාලසීමාවේදී අකාලයේ මියයාම නිසා කාත් කවුරුත් නොමැතිව අන්ත අසරණ තත්ත්වයට පත්වූ බාලවයස්කාර දරුවන් තිදෙනකු පිළිබඳව වාර්තා වූයේ මැල්සිරිපුර, පන්ලියද්ද, හැවනතැන්න ගම්මානයෙනි. මේ පුදුම දනවන ශෝචනීය පුවත මාධ්‍යයට වාර්තාවූයේ පසුගිය ඔක්තෝබර් 13 වැනිදා හදිසි රිය අනතුරකට ලක්ව අඹු සැමි යුවළක් මරණයට පත්වීමෙන් පසුව ඔවුන්ගේ දරු තිදෙනා අවතැන් වූ බවට සැලවීමත් සමඟය.

දිනය පසුගිය මාසයේ 13 වැනිදාය. ඩී.එම්. දිසානායක බණ්ඩාර (34) සහ එච්.ඒ.එස්.ඒ. නිලනිකා ගයානි (33) යුවළ සිය දරුවන් පාසලෙන් කැටුව ඒම සඳහා ගොස් තිබුණි. අතරමගදී හදිසි රිය අනතුරකට ලක්වීම නිසා අඹු සැමි යුවළ එම ස්ථානයේදීම මියගොස් තිබුණි. ඒත් සමඟ ඔවුන්ගේ අහිංසක දරු තිදෙනා අසරණ වූයේ මාපිය රැකවරණය අහිමි වීමෙනි. මෙසේ මවුපිය සෙනෙහස නොමැතිව නිලංක දේශප්‍රිය (10) දෙවුමි සමල්කා (07) සහ අවුරුදු 2 ½ක් වූ නෙතුලි සේහන්සා දරු පැටවුන් අවතැන් වී සිටිති.

පිපාසයට දිය පොදක් ඉල්ලන්නට, කුසගින්නට බත් කටක් කවන්නට හෝ උණුසුමට තුරුල් කරගෙන සෙනෙහස පාන්නට මේ දරු පැටියන් තිදෙනාට ආදරණීය අම්මා කෙනෙක් නැත. ඉල්ලන දෙයක් ගෙනත් දෙන්නට හඬනගා සිනාසෙන්නට හෝ පිය සෙනෙහසට හුරතල් වෙන්නට මේ දරු පැටියන්ට ආදරණීය තාත්තා කෙනෙක් නැත. කප්පරක් දුක හිතේ හොවාගෙන ගමේ අසල්වැසියෙක් දෙන දෙයකින් කුසගින්න නිවාගන්නා පුංචි දරු තිදෙනා විලිවසා ගන්නේ හිතවතුන් ලබාදෙන ඇඳුම් කීපයකිනි. අහිංසක කිරිදරු පැටියන් තිදෙනාට වැටී නිදාගන්නට තරම් සුදුසු තැනක්ද නැත. අව්වෙන් වැස්සෙන් සතා සීපාවාගෙන් ප්‍රවේශම් වී සුරක්ෂිතව දවස ගෙවා රැය පහන් කරන්නට තැනක් වේ නම් යාන්තමට හෝ දරුවන්ගේ අනාගතය සරිකර සුරක්ෂිත කිරීමට හැකියාව ඇතැයි දැනට මේ දරුවන් රැක බලාගන්නා වයෝවෘද්ධ ඥාති කාන්තාවක පවසන්නීය.

දරු පැටවුන්ගේ තරම අහිංසකකම හා අසරණ හැසිරීම දුටුවිට ඔවුන්ගේ ගැටලු මොනවාදැයි අසන්නට තම් සිත් නැත. ඒ හැඟීම්බර ළාමක මුහුණු කඳුළින් බොඳ වූ පුංචි ඇස් යුගල සියලු ප්‍රශ්නගත හැඟීම් විස්තර කරන තරමය. ඒ බව දකින අහන ඕනෑම කෙනෙකුගේ යුතුකම විය යුත්තේ මේ හුරතල් අසරණ පැටවුන්ගේ අනාගතය සුරක්ෂිත කරලීමට යම් පිළිසරණක් සැපයීමය.

මේ නිසාම ඒ දරු පැටියන්ගේ අකාලයේ මියැදුණු පරම්පරාවේ වගතුග පිළිබඳවද අපි සොයා බැලුවෙමු. 

හැවනතැන්න ගම්මානයේ අක්ක නගෝ සොහොයුරියන් දෙදෙනකු ජීවත් වෙමින් සිට ඇත. මේ විවාහක අක්කා නගෝ දෙන්නාට දරුවන් තිදෙනා බැගින් සිට ඇතිමුත් ඔවුන්ට වයස අවුරුදු 32-33 ඉක්මෙනවාත් සමඟම හදිසියේ මෙලොවින් සමුගෙන තිබුණේ හඳුනානොගත් රෝගී තත්ත්වයකට පත්වූ නිසාය. ඒ වනවිට මියගිය අයගේ දරුවන් ඉතා බාලවියේ පසු වූවෝ වෙති. සම වයස් සීමාවේ පසුවෙමින් සිටි මියගිය කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයන් දෙදෙනාද ඔවුනට වයස 33-34 කාලයේදී මියගොස් ඇති බවත් එය අදහාගත නොහැකි විශේෂ සිදුවීමක් ලෙස ගම්මු පවසති. ඔවුන් වැඩිදුරටත් පැවසුවේ මව පියා ඇතුළු පවුලේ වැඩිහිටි සිව්දෙනා මිය යනවිට දරුවන්ට වයස අවුරුදු 7ත් 10ත් අතර පසුවන්නට ඇති බවය. එදා මාපිය රැකවරණය අහිමි වූ ඒ දරු තිදෙනා ඔවුන්ගේ අසල්වැසි නිවෙසක ඥාති පිරිසක් විසින් හදා වඩාගෙන උස් මහත් කර තිබුණි. ඔවුන් තිදෙනා යොවුන් වියට එළඹි පසුව විවාහ දිවියට ඇතුළත් කොට තිබුණේ එකී ඥාතීන්ගේ ආශීර්වාදය ඇතුවය. කල්ගත වෙත්ම එම විවාහපත් පවුලේ සාමාජිකයන් තිදෙනාම දරු තිදෙනා බැගින් බිහිකර යහපත් පවුල් ජීවිතයක් ගතකර තිබුණි.

ඒ අතර එක් සොහොයුරියකගේ දරුවෙක් අවුරුදු 33 ලබා ටික දිනකින් හදිසියේ මියගියේ රිය අනතුරකට ලක්වීමෙනි. ඒ වනවිටත් විවාහ වී සිටි ඔහුට දාව උපන් දරු තිදෙනා සහ බිරිය ඔහුගේ මරණයත් සමඟ අසරණව සිටිති. එසේ මියගොස් සිටි පුද්ගලයාගේ නැගණිය වූ කාන්තාව ඉකුත් මාසයේ 13 වැනිදා මිය ගියාය. එසේ මියගිය කාන්තාවගේ පිරිමි දරුවා සහ දියණියන් දෙන්නා දැනට ජීවත් වෙමින් සිටින්නේ ගරා වැටෙමින් පවතින කටුමැටි ගැසූ නිවෙසකය. එබැවින් අසල්වාසී කාන්තාවක මේ දරු තිදෙනාට සිය නිෙවසේ නවාතැන් දෙන්නට ඉදිරිපත්ව සිටින්නීය. පිටස්තර පුද්ගලයෙක් මේ දරු තිදෙනා බැහැ දකින්නට ගියද කරුණු පහදා දෙන්නට තරම් ශක්තියක් ඒ පුංචි පැටවුන්ට නැත. ඔවුන් කරන්නේ ආදරණීය අම්මා තාත්තාගේ රුව රැගත් ඡායාරූපයක් පෙන්වා කඳුළු සැලීම පමණය.

මේ දරුවන් පදිංචි නිවසට තරමක් ඈතින් ඇත්තේ තවත් කටුමැටියෙන් පිරියම් යෙදූ නිවෙසකි. එම නිවෙස පසුගියදා රිය අනතුරින් මියගිය නිලනිකා ගයානිගේ සොහොයුරාගේ නිවසයි. ඔහුටද හිමිව ඇත්තේ බණ්ඩාර නිලනිකා යුවළගේ ඉරණමේ කොටසකි. ගයනිගේ සොහොයුරා වූ සංජීව බණ්ඩාරට අවුරුදු 33ක්ව තිබියදී ඔහු මියගොස් තිබුණේද හදිසි රිය අනතුරකට ලක්වීමෙනි. ඒ 2016 අගෝස්තු 4 වැනිදාය. ඔහුගේ මරණයත් සමඟ ඔහුගේ බිරිය වූ දමයන්ති කුමාරි (32) සිය දියණියන් දෙන්නා වන සකුණි චේතනා (14) ලිහිණි විහංගා (07) සහ මිහින්දි කුමාරි (2 ½) සමග අසරණව කල් ගෙවති. දරු තිදෙනාගේ රැකවරණය සලසමින් කල් ගෙවන ඇයට විශාල ගැටලුවක්ව ඇත්තේ සිය දියණියක් හෘද රෝගී තත්ත්වයෙන් පෙළීමයි. මේ නිසා ඇය මහත් ජීවන අරගලයක නියැලෙමින් සිටින්නීය.

(මම ඉස්කෝලෙ යනවා. හොඳට ඉගෙන ගෙන රස්සාවක් කරලා නංගිලා දෙන්නටයි මටයි අම්මටයි ඉන්න ලස්සන ගෙයක් හදාගන්නවා.)මෙසේ අදහස් දැක්වූයේ ඒ නිවසේ වැඩිමල් දියණිය වූ ලිහිණි විහංගාය. මේ දරු දැරියන්ට ඇත්තේ අනාගතයට පුංචි සිහින පමණය. ඒ සඳහා යම් දානපතියන්ගේ සහයක් හිමිවන්නේ නම් මහඟු උපකාරයක් වනු නිසැකය.

මේ දරුවන්ගේ නිවෙසට මඳක් ඈතින් පිහිටි තවත් නිවෙසකි. එය මේ දරුවන්ගේ ලොකු අම්මාගේ දියණියට අයත් නිවෙසය. එම ගෙහිමි කාන්තාවගේ ස්වාමි පුරැෂයා 2016 නොවැම්බර් 2 වැනිදා හෘදයාබාධයකින් මියගිය බව පැවසීම තවත් ඛේදජනක සිදුවීමකි. ඔහුගේ හදිසි වියෝවත් සමග මියගිය පුෂ්පකුමාරගේ (32) බිරිය රෝෂිණී (32) මලීෂා දෙවුමිනී (10) නෙත්මල් මිහිරංග (7) සහ නිසල දිල්රංග (5) දරු පැටියන් තිදෙනා සමඟ එකී පවුලද අන්ත අසරණව පසුවෙති. අවාසනාවන්ත අයුරෙන් ස්වාමි පුරුෂයන් මියගිය පසුව වැන්දඹුවන් වී සිටින බිරින්දෑවරුන් වයස 32 සහ 33 වියේ පසුවෙති. සිය වැඩිමහල් ඥාතීන් සියලු දෙනා අවුරුදු 30-33 අතරදී මෙලොව හැර ගිය නිසා මේ කතුන් දෙදෙනා දැඩි පීඩනයකින් කල් ගෙවති. තමුන්ට කුඩා කල අත්විඳින්නට වූ ඉරණම සහ දුක් ගැහැට තම දරු දැරියන්ටත් උරුම වීම පිළිබඳව ඔවුන් දැඩි කනස්සල්ලෙන් පසුවෙති.

මේ පිළිබඳ හඬා වැටෙමින් අදහස් දක්වන රෝෂිණී ප්‍රදීපිකා (ආර්ථික ප්‍රශ්න නිසා ජීවත් වෙන එකත් ප්‍රශ්නයක්. සල්ලි නැතිකම නිසා දරුවන්ට උගන්නා ගන්න එක අමාරුයි. කන්න බොන්න දෙන්න වුණත් පුළුවන්කමක් නෑ. අපිට කවුරු හරි උදව් කරනවා නම් ලොකු පිනක්) යනුවෙන් පවසන්නීය. මෙහිදී අදහස් පළකළ සමන්තිකා කුමාරි මහත්මිය මෙසේ කියන්නීය.

(මගේ සහෝදරියන් දෙන්නාගේ දරුවන් 9 දෙනෙක් මේ විදිහට අසරණ වෙලා ඉන්නේ. සහෝදරියන් දෙන්නා වගේම ඒ සැමියන් දෙන්නත් අවුරුදු 33 වෙද්දී ජීවිතය දාලා ගියා. අපි පුළුවන් විදිහට දරුවොන්ට සලකනවා. ඒ දරුවන්ගෙ දරුවො තමයි මේ තනිවෙලා ඉන්නේ. අම්මලා තාත්තලා වගේම දරුවනුත් අවුරුදු 30-33 වෙද්දි මැරෙනවා ඉවසන්න බෑ. භූමි දෝෂයක්ද? දේව සාපයක්ද? කොඩිවිනයක්ද? ‍අපි දන්නේ නෑ දෙවියනේ.

ඇත්තටම අපි ඉල්ලන්නෙ මෙච්චරයි. හරියට කාලා බීලා ඉන්න තැනක් නැති මේ පුංචි පැටවුන්ට කවුරු හරි උදව් කරන්න. අඩුම තරමේ නොතෙමී ඉන්න තැනක් හදලා දෙනවා නම් ලොකු පිනක්.

► සමන්ත විල්තෙර
 සේයාරූ I දඹුල්ල කාංචන කුමාර ආරියදාස

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00