2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ලෙඩ්ඩු විකුණා සල්ලි ගරණ ජයන්ති අක්කා

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

“අසරණ වූ ඔබට අපෙන් පිහිට” එක්තරා ෆේස්බුක් ගිණුමක නම එසේ සටහන්ව තිබුණි. එහි නම එලෙස සඳහන් වනවිට දැන්වීම් දෙකක් පමණක් එහි සටහන් වී තිබිණි. ඒ දෙකෙන්ම සඳහන් කර තිබුණේ මෙවැනි දෙයකි. “ඔබේ දරුවා, ස්වාමියා, බිරිඳ, දෙමාපියන්, ඥාතීන් රෝගයකින් පෙළෙන්නේද? එය සුව කිරීමට මුදල් අග හිඟද? එසේ නම් එන්න අපි ළඟට ඔබේ අසරණකමට අපෙන් පිහිට” යනුවෙන් සටහන් කර තිබුණු අතර එක්තරා දුරකථන අංකයක්ද එහි සටහන් විය.

ලියුම්කරු එම අංකයට ඇමතුමක් ලබා ගැනීමට තීරණය කළේය. ඒ එම දැන්වීමේත් ෆේස් බුක් ගිණුමේත් ඇති සැකය නිසාය.

දුරකථනය නාද විය. පිරිමි අයකු දුරකථනයට ආවේය. හලෝ මම කීවෙමි. එහා කොනේ සිටි පුද්ගලයා නිවුණු හදවතකින් ආයුබෝවන් මහත්තයා. ඔව් කතා කරන්න ඔහු කතාකළ ආකාරයට සිත නිවී ගියේය. ඒ ක්ෂණයකින් ඔහු මගෙන් කාරණය විමසුවේය. මම මගේ සහෝදරයකු හෘදරෝගියකු බවත් ඔහුට ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ 50ක් සොයා ගැනීමට අවශ්‍ය බවත් කීවෙමි. එය අසා සිටි පුද්ගලයා මාගේ දුරකථන අංකයත් සටහන් කරගනිමින් අක්කා පැමිණි පසු ඇමතුමක් ලබාදෙන බව පැවසීය. ඔහු කියූ අක්කා දන්නේ නැත. ඒ නිසා මා දුරකථනය විසන්ධි කළේ නැවත මොවුන් කතාකරනු නැති වෙතැයි සැක කරමිනි. විනාඩි 30ක් ගත විය. ඉහත අංකයෙන් මා නැවත ඇමතීය.

හලෝ මිස්ටර් ඔයා කෝල් එකක් දීලා තිබ්බා යැයි කියමින් කාන්තාවක් කතා කළාය. මාද එයට පිළිතුරු සපයමින් ඔයා කවුද? යැයි විමසීය. මම තමයි මේක කරන්නේ. ඇත්තටම මට කුඩා කාලේ ඉඳලා තිබ්බ හීනයක් තමයි අසරණ අයට පිහිට වෙන එක. ඉතින් ඒක මම කරනවා. ඔයාට ලක්ෂ 50ක් හොයන්න ඕනෙලු නේද? එක හුස්මට කියවාගෙන ගිය ඈ ප්‍රශ්නයක් විමසීය. මා එයට පිළිතුරු දුන්විට ඇයගේ පිළිතුර වූයේ අයියෝ මාස තුනෙන් ඕක හොයමු. යැයි ඈ කීවාය. මාද එයට පුදුම වූ අතර එසේ කරන්නේ කෙසේ දැයි විමසුවේය. 

හරි වැඩේ කරන්නම්. හැබැයි මම කියන විදිහට වැඩේ වෙන්න ඕනේ. ඒ වගේම අපි ඉල්ලන ගාණ දෙන්න යැයි ඇය කීවාය. මම ඊට එකඟ වීමි. ඊට පසු ඇය මා හට පැසුවේ රාත්‍රී 8ට ඇමතුමක් ලබගන්නා ලෙසය. කෙසේ වෙතත් ඇයගේ හැසිරීමේ කිසිදු සැකයක් නැත. කතාවබහද සෘජුය. මේ නිසාම මා රාත්‍රී 8ට ඇමතුමක් ලබාදුන්නෙමි. ඊට පසු මට අසා සිටින ලෙස දන්වා කතාව කියන්නට විය.

මෙහෙමයි ඔයාගේ අයියා වැඩිහිටියෙක් නිසා සල්ලි හොයන්න හරි අමාරුයි. ඒත් ඔයා වැටිලා ඉන්න ප්‍රශ්නෙක නිසා අපි ඔයාට උදව් කරන්නම්. මෙහෙමයි වැඩේ වෙන්න ඕනේ ඇය වැඩේ කරන ක්‍රමය කීවේය.

අපිට දෙන්න ලෙඩාගේ ඔර්ජිනල් ඩොකියුමන්ට්වල කොපි. ඒ වගේම ලෙඩාගේ ෆොටෝ එකක්. ඒ ෆොටෝ එක අසනීප තත්ත්වෙන් ඉන්න එකක් වෙන්න ඕන. අපේ ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ 16ක්. මේ අය වාහනවලට දාලා හැම නගරයකම බස්සනවා. ඒ නගරවල අපේ අය ලෙඩාට සල්ලි එකතු කරනවා.

ඒ කතාවත් සමඟ මම පුදුම වීමි. නොදැනුවත්වම මෙන් මම ඇගෙන් ප්‍රශ්නයක් විමසුවෙමි. ඒත් අක්කේ පොලීසියට මාට්ටු වුණොත්. අම්මෝ හෙණ ලෙඩක් වෙනවා. ඔව් පොලීසියෙන් අල්ලන්න පුළුවන්. ඒ වෙලාවට තමයි ඔයාලා ඉන්නේ. යැයි ඇය කීවාය. එසේ කරන්නේ කෙසේදැයි මම ඇයගෙන් විමසීමි.

අපිව පොලීසියෙන් ඇල්ලුවොත් ඒ ළඟම පොලීසියට අරගෙන යනවා. ඒ අය අහනවා අපි කවුද කියලා. අපි කියනවා අපේ යාළුවෙක්ට සල්ලි එකතු කරන්න ආවේ කියලා. ඊට පස්සේ අපි ඔයා ඉන්න පැත්තේ පොලීසියට එන්න කියලා පණිවිඩය දෙනවා. ඔයා ගිහින් ඔර්ජිනල් ඩොකියුමන්ට් ටික පොලීසියට දීලා කියන්න අපිව මෙන්න මේ පොලීසියෙන් අල්ලගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ අපි ඉන්න පොලීසියෙන් හරි ඔයා ඉන්න පොලීසියෙන් හරි කතා කරයි. එතනින් පස්සේ වැඩේ ඉවරයි. යැයි ඈ එක හුස්මට කියාගෙන ගියාය.

සිද්ධිය වටහාගත් මා ඇයට අනේ අක්කේ ඔයාලා ලොකු උදව්වක් කරන්නේ. ඇත්තටම සල්ලි ගන්නෙත් නැතුව මේ කරන පිනම ඇති යැයි කීවෙමි.

ඒත් සමඟ ඈ අවශ්‍යම කතාවට මුලපිරුවාය. මෙහෙමයි මල්ලි අපි කවුරුත් රස්සාවල් කරන්නේ නෑ. කරන්නෙම මේ වැඩ. ඒ නිසා අපිට කන්න බොන්න සල්ලි ඕනේ. අපි දවසට හොයාගන්න සල්ලි වලින් 1/3ක් ගන්නවා. 30000ක් හෙව්වොත් 10000ක් අපි ගන්නවා. කමක් නෑනේ. ඔයාලට සතපහක් නැතිව ඉන්නකොට මෙහෙම ලැබෙන එකත් මදැයි කියමින් ඈ මා අස්වැසුවාය. එම කතාවෙන් පසු ඈ දුරකථනය විසන්ධි කළාය. නැවත ඊට පසුදින උදේ 9ට ඈ ඇමතුමක් ලබාදුන්නාය. වැඩේ කොහොමදැයි ඇය මගෙන් ප්‍රශ්න කළේය. මම ඇයට බොරුවක් කීවෙමි.

මම ගෙදරට කිව්වා. ඒත් අයියගේ නෝනා එපා කියනවා. ඉතින් මට කරන්න පුළුවන් දෙයක් නෑ. එම කතාවෙන් ඇගේ කටහඬ තරමක් තද විය. මේ හලෝ අයියා ඔයාලගේ නම්, ඒ මනුස්සයා නැතිවුණොත් පාඩුව ඔයාලට නම් ඔය බැන්ද ගෑනිගේ පදේට නටන්න එපා. ඔයාලට කැමති දේ කරන්න. අද හැන්දෑවට බඩු ටික මේල් කරන්න. ඈ කීය. එහෙත් මා එකදිගට ගෙදර විරෝධය කියා පෑවෙමි. අවසානයේදී ඇය අපූරු යෝජනාවක් ගෙනාවේය.

ඔයත් ඔය වැඩේට මැරුණට ගාණක් නෑනේ. මම කියන්නද? මමත් ඔයාට තුනෙන් එකක් දෙන්නම්. අපි අයියට දාමු කොහොමහරි දවසට 20000ක් විතර. ඔයා වැඩේ කළොත් ගොඩ. ඔයාටත් දවසට 15000 ක් විතර ගන්න පුළුවන්. ඒ නිසා ඔය ඩොකියුමන්ට් ටික මේල් කරන්න යැයි ඈ කීවාය. 

හා බලන්නම් කියා මම ඇමතුම විසන්ධි කළෙමි. ඇය ඇමතුම විසන්ධි කළත් එක දිගට ඇමතුම් ලබාදෙමින් සහෝදරයාගේ කැමැත්ත ලබාගත්තා දැයි විමසීය. මා තවම නෑ කියන විට ඈ අපෝ මොකක්ද අනේ. ඔයාගේ පවුලේ අය නටන්නේ අර පිටින් ආපු ගෑනිට ඕන විදිහටද? කියමින් පවුල් ද අවුල් කළාය. නැවතත් ඈ ඊට පසුදින ඇමතුමක් ලබාදුන්නාය.

මල්ලි මේ ඔය සල්ලි මාස තුනෙන් හොයන්න පුළුවන්. හැබැයි ඔයා සෙට් වුණොත් මාස තුන අවුරුද්දක් ඇදන් යන්න පුළුවන්. අයියගේ වැඩේ සල්ලිවලින් පස්සේ එන අනෙක් සල්ලි බාගයට බාගේ බෙදාගමු. ඔයා කියන්නේ අපි කෝටි ගණන් හොයලා තියනවා. යැයි ඈ යෝජනා කළාය. 

ඒ සැණින් මා හට සිනාගිය අතර ඈ මගෙන් සිනාසෙන්නේ ඇයිදැයි විමසීය. නෑ මම මේ පත්තරේක කෙනෙක් කතා කරන්නෙ. මට දැනගන්න ඕන වුණේ ඔයාලගේ වැඩේ ගැන. මේක මරු බිස්නස් එකක් නේ* යැයි මම කීවෙමි. ඇගේ කටහඬ වෙනස් විය. ඈ දෙවරක් නොසිතා ඇයි තමුසේ දැන් දැනගෙන මට මොනවා කරන්නද යැයි ඇසීය. මම ඈට කීවේ කරන්න දෙයක් නැති බවත් මෙය අසරණ මිනිසුන්ට නොවැටහෙන බවත්ය. ඊට පසු එම කාන්තාවට යකා ආරූඪ වූ අතර ඈ ශුද්ධ සිංහලෙන් මට ඇමතුවේ වැඩේ අතේ මාට්ටු වූ නිසාය. අවසානයේ ඈ කතාකළේ මා ඇයව ඇගේ සද්ගුණවත් කර්තව්‍ය ව්‍යාපාරයක් බවට පත්කළ පුද්ගලයකු ලෙසය.

මේ තමුසේ දැන ගන්නවා මම අවුරුදු ගාණක් කරගෙන ආපු මේ පිංඅතේ වැඩ එක එකාගේ ලණු කාලා නවත්තන්නේ නෑ කියලා. මම දැනගත්තා කතා කරනකොට තමුසේ හොරෙක් කියලා. ඒකයි මම අරම කිවේ. මම වැඩකරන හැටි මේ ලංකාවෙ ස්වාමින් වහන්සේලා දන්නවා. මගේ අත්වල කුණු නෑ. හැබැයි මගේ ගැන වචනයක් ලිව්වොත් නඩු දානවා. මොකද බොරු චෝදනා කරන්නෙපා. යැයි ඈ යක්ෂාවේෂයෙන් කියාගෙන කියාගෙන ගියේය.

මා ඇයට සඳහන් කර සිටියේ මේ බව පුවත්පතේ ලියන බවය. ඊටපසු නඩුදමන ලෙසත් ඇයට යෝජනා කළෙමි. ඉන්පසුව ඈ දුරකථනය විසන්ධි කළාය. ඊට පැයකට පසුව එම අංකයට ගත්‍තත් මේ වනතුරු එම අංකය භාවිතයේ නොමැත. එසේම එෆ්.බී. ගිණුමද වසාදමා ඇත. ඈ එතරම් නිර්දෝෂී නම් හැංගුණේ ඇයි දැයි සිතාගත නොහැක. එහෙත් ජයන්ති නමින් සිටින ඇයට කීමට ඇත්තේ එක දෙයකි. මා ඔබ ගැන ලියා අවසන්ය. දැන් නඩු දමන්නට සුදානම් වෙන්න කියාය.

 ගයාන් ගාල්ලගේ