2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

බවුසරෙන් පෙට්‍රල් ඇද භූමිතෙල් පුරවන ජාවාරම ඇල්ලූ හැටි

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 220

♦ හොර පාරෙන් කැලෑවකට ගිහින් බවුසරයේ සීල් කඩනවා

♦ බවුසරය එජාප මන්ත්‍රී බිරියකට අයත් එකක්

පෙට්‍රල් හිඟය නිසා රට පුරා ඉන්ධන අර්බුදයක් පැවැති සමයක පිරවුම්හල්වලට ඉන්ධන ගෙනයන බවුසර්වලින් පෙට්‍රල් සොරාගෙන එම අඩුව පිරවීමට භූමිතෙල් කලවම් කිරීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් පිරිසක් සමත් වූයේ පසුගිය 13 වැනිදා සිදුකළ විශේෂ වැටලීමකදීය.

“නියම තොරතුරක් තියෙනවා කියන්න... ත්‍රිකුණාමලය ඉඳන් මාතලේ යටවත්ත ෂෙඩ් එකකට පෙට්‍රල් ගෙනියන බවුසරයක් එනවා. ඒ බවුසරය ප්‍රධාන පාරේ නොයා දේවහූව, බුල්නෑව පැත්තට යනවා. ඊට පස්සේ තේක්ක කැෙල්ට දාලා පෙට්‍රල් හොරකම් කරලා ඒ අඩුවට භූමිතෙල් දානවා...”

විශේෂ ඔත්තුකරුවෙකු විසින් අදාළ තොරතුරු ලබාදී තිබුණේ දඹුල්ල පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ පොලිස් සැරයන් 8786 - ජීවානන්ද මහතා වෙතය. තමාට ලද හෝඩුවාව සම්බන්ධයෙන් කඳවුරේ ඉහළ නිලධාරීන් දැනුම්වත් කළ පසුව දෙවැනි කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක අයි. රණතුංගගේ මහතාගේ උපදෙස් මත ජාවාරම්කරුවන් වැටලීමේ ක්‍රියාන්විතය ආරම්භ කෙරිණි.

“ඉන්ධන බවුසරයකින් පෙට්‍රල් හොරකම් කරලා හිස්වෙන ප්‍රමාණය පුරවන්න භූමිතෙල් කලවම් කරන ජාවාරමක් ගැන බුද්ධි තොරතුරක් ලැබිලා තිබුණේ පොලිස් සැරයන් ජීවානන්ද නිලධාරියාටයි. ඔහු අපව දැනුම්වත් කළා. පස්සේ තීරණය කළා මේ ගැන වැටලීමක් කළ යුතුයි කියලා. අපට ඔය තොරතුර ලැබෙන්න මීට සති දෙකකට පමණ කලින්. ඒ කියන්නේ පසුගිය ඔක්තෝබර් අවසන් සතියේ මුලදි වගේ.”

මෙසේ පැවසුවේ දඹුල්ල විශේෂ කාර්ය බලකා දෙවැනි කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක අයි. රණතුංග මහතාය.

තොරතුර ලද සැණින් ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරිහු අදාළ ජාවාරම සම්බන්ධයෙන් සෝදිසි කිරීම සඳහා බුද්ධි නිලධාරීන් කීපදෙනකුගේ සහාය ලබාගත්හ. නමුත් හදිසියේ රට තුළ පෙට්‍රල් හිඟයක් ඇතිවීම නිසා පෙට්‍රල් රැගත් බවුසර් රථ ධාවනය සීමා වී තිබුණි. මේ නිසා අදාළ සෝදිසි කිරීම්වලට දින ගණනාවක් ගතවෙමින් තිබුණි. කාලය කොතෙක් ගෙවී ගියද අදාළ බුද්ධි අංශ නිලධාරීහු සැක සහිත මාර්ගයේ යන එන ඉන්ධන බවුසර් පිළිබඳව අවධානයෙන් පසුවූහ. ඒ සඳහා ස්ථාන කීපයක රැඳීසිටි නිලධාරීහු ආවේශන රාජකාරියේ නිරතව සිටියෝය. 
මේ අතර හදිසියේම බුද්ධි අංශ නිලධාරියකුගේ තොරතුරක් ලැබුණේ පසුගිය 13 වැනිදාය.

“දවස් ගාණකට පස්සේ අද බවුසරේ එනවා... ත්‍රිකුණාමලයෙන් පිටත්වෙලා තියෙන්නේ පැය තුන හතරකින් මකුළුගස්වැව දේවහූව හරියට එනවා. ඒ හරියේ ගල්මෝලක් තියෙනවා. පයාස්ගේ ගල්මෝල කීවාම ඕන කෙනෙක් දන්නවා. මෝලට එළියෙන් තියෙන තේක්ක වත්තේ තමා වැඩේ වෙන්නේ.”

තොරතුර ලත් සැණින් උප පොලිස් පරීක්ෂක බණ්ඩාර සහ පොලිස් සැරයන් ජීවානන්ද ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ ප්‍රදේශය හා මාර්ගය රැකවලලා සිටියේ කාටත් සැකයක් නොසිතෙන අයුරෙන්ය.

කිසිදු සැකයකින් තොරව සුපුරුදු මාර්ගයේ ආ ඉන්ධන සහිත බවුසර් රථය මකුළුගස්වැව හරහා දේවහුව බුල්නෑව ප්‍රදේශය දෙසට ධාවනය කළේය. ආ වේගයෙන්ම එය නවතා දැමුණේ පෙර කී පයාස්ගේ ගල්මෝල් ඉදිරිපිට පිහිටි තේක්කවත්තට ඇතුළු කළ පසුවය. ඒ වනවිටත් එම ස්ථානයේ නිල් පැහැති කුඩා ලොරි රථයක් නවත්වා තිබුණි.
බවුසරය එතැනට පැමිණ වැඩි වේලාවක් ගතවූයේ නැත. එහි රියදුරු හා සහායක එක්වී ටැංකි හතරකින් යුත් බවුසරයේ වසා සීල්තබා ඇති ඉබියතුරු ගලවා දැමූහ. තරමක රබර් බටයක් ඊට ඇතුළත් කළ වහාම එමගින් ඇඳගන්නා තෙල් බැරල් කීපයකට පිරවී ඇරඹිණි. එසේ පෙට්‍රල් හිස් වන ටැංකියේ අඩුව පුරවන්නට අසලින් නවත්වා තිබූ ලොරි රථයේ බැරල්වල තිබූ භූමිතෙල් කලවම් කරන්නට දෙදෙනා සූදානම් වූහ.

“ජාවාරම්කරුවන්ට නොදැනෙන්න අපි ඔවුන්ගේ ක්‍රියාව බලාගෙන හිටියා. භූමිතෙල් පෙට්‍රල්වලට කලවම් කරන්න හදනවාත් සමඟම ගිහින් ඔවුන් අත්අඩංගුවට ගත්තා. බවුසරයේ රියදුරු සහ සහායකයා අත්අඩංගුවට ගත්තත් ඒ වෙද්දී ලොරි රථයේ හිමිකරු පලා ගිහින් තිබුණා. ඔහු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. ඔහුගේ උපදෙස් මත රියදුරු හා සහායකගේ මැදිහත් වීමෙන් ජාවාරම සිදුකරන බව හෙළිවුණා.” යැයි විමර්ශනයට සම්බන්ධ නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට පත් බවුසරය ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ සිට මාතලේ යටවත්ත සමූපකාර ඉන්ධන පිරවුම්හල වෙත ධාවනය කරමින් තිබූ එකකි. එහි ඉන්දියානු ඔයිල් සමාගමට අයත් පෙට්‍රල් ප්‍රවාහනය කරමින් තිබූ බවත් නියමිත මාර්ගයෙන් නොයා ගලේවෙල - කලාවැව මාර්ගයේ ධාවනය කර තිබුණේත් අදාළ ජාවාරම සිදුකිරීම සඳහා බවත් අනාවරණය විය. වැටලීම සිදු කරන අවස්ථාවේ පලාගිය පුද්ගලයා ජාවාරම සිදුවෙන දේවහූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

භූමිතෙල් සැපයීම සිදුකරන්නේ ද ඔහුමය. බවුසරයේ ටැංකි හතරකින් දෙකක් ගලවා තිබුණේ ඔහුගේ උපදෙස් මතය. එසේ ගලවන සීල් යථා තත්ත්වයෙන් සැකසීමට ඔවුන්ට තිබුණේ විශේෂ හැකියාවකි. අත්අඩංගුවට පත් බවුසරයේ රියදුරු සහ සහායකගේ ප්‍රකාශ අනුව පෙට්‍රල් බවුසර්වල පෙට්‍රල් සොරාගෙන ඊට භූමිතෙල් කලවම් කිරීමේ ජාවාරම කලක සිට සිදුකර තිබෙන්නකි.

බවුසර් රථය කාන්තාවකට අයත් එකක් වන අතර එම්.එල්.එම්. ෆෂ්ලියා නැමැත්තියට හිමි බව අනාවරණය වී ඇත. කින්නියා 3, කින්නියා ලිපිනය සඳහන්ව ඇති එය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම්. මහරුෆ් මහතාගේ නිවසේ ලිපිනය බවත් ඔහුගේ බිරියගේ නමට බවුසරය ලබාගෙන ඇති බවත් හෙළිවී තිබුණි. බවුසර් රථයෙන් සොරාගත් පෙට්‍රල් ලීටර් 460ක් සොයාගෙන තිබූ අතර අඩුවට දැමීම සඳහා ගෙනආ භූමිතෙල් ලීටර් 235ක්ද සොයාගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම්. මහරුෆ් මහතා පවසා තිබුණේ ජාවාරමට තමාගේ සම්බන්ධයක් නැති බවය. ඒ පිළිබඳව නොදන්නා බවත්ය. පැය ගණනක් තිස්සේ රියදුරු සහ සහායක දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට නොහැකි වීම පිළිබඳව පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කරන ලෙස යටවත්ත ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරිත්වයට දැන් වූ බවකි.

ජාවාරම සඳහා යොදාගත් බවුසරය, ලොරි රථය සොරාගත් ඉන්ධන හා භූමිතෙල් තොගය සහ ඊට යොදාගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ගලේවෙල පොලීසිය වෙත බාරදීමට විශේෂ කාර්යය බලකා නිලධාරීහු සමත් වූහ.

පොලිස් සැරයන්වරුන් වන 22965 ගාමිණි, 10110 අමරසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන 83085 තිළිණි, 78591 ගුණතිලක, 6399 ධම්මික සහ රියදුරු 80880 විජේසුන්දර යන අය වැටලීමට දායක වූහ.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

සේයාරූ I කාංචන කුමාර ආරියදා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00