2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

වයසට ගිය කොළඹ රකින වේලි

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

“මීට වසර සියයකට ඉහතදී බ්‍රිතාන්‍ය පාලන සමයේ හැදූ වේලි දෙකකින් කොළඹ හා කැලණිය ආරක්ෂා වී තිබෙන්නේ. මේ වේලි දෙක ආරක්ෂා කරගත යුතුයි. අඹතලේ (ගොතටුව) වේල්ලට හානියක් වුණොත් ඊළඟ ගංවතුරෙන් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් යටවීමට නියමිතයි. මේ බව මා කතානායකවරයාටත් දැනුම් දී තිබෙනවා. පසුගිය වාරයේ වේල්ල පිපිරීම නතර කරන්න ප්‍රබල උත්සාහයක් ගත්තා. ඉදිරි කාලවලදී විශාල වැසි ඇතිවෙනවා.” මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී එසේ ප්‍රකාශ කළේය.

නාගලගම්වීදියේ වේල්ල ආරක්ෂා නොකළහොත් කොළඹ නගරයද අනතුරකට ලක්වීමේ අවදානමක් පවතින බව ඔහු පැවසුවේය.

කොළඹ හා කෝට්ටේ අවට ප්‍රදේශයට ගංවතුර තර්ජන ඇතිවන්නේ කැලණි නදියේ ජල මට්ටම ඉහළ ගිය විටය. කැලණි ගංගාව ගලා බසින්නේ කොළඹ මෝදර ප්‍රදේශයෙනි. කැලණි ගංමෝයේ සිට කි.මී.53ක් ඉහළට පිහිටි ප්‍රදේශ නිතර ගංවතුර තර්ජනයට මුහුණ දේ. එහිදී විශාල බලපෑමක් එල්ලවන්නේ කොළඹ නාගරික ප්‍රදේශ, බියගම, කැලණිය, අංගොඩ ආදී ප්‍රදේශවලටයි.

කොළඹ අවට ප්‍රදේශ ගංවතුරින් ආරක්ෂා කරගැනීම සඳහා ඉංග්‍රීසි යටත්විජිත සමයේදී ඉංජිනේරු සී.සී. හාවඩ්ගේ යෝජනාවක් මත වේලි ආරක්ෂණ පද්ධතියක් ඉදිකිරීමට තීරණය විය. එම වේලි 1922-1924 අතර කාලයේදී ඉදිකෙරිණි. රේල්වේ වේල්ල, කොළොන්නාව වේල්ල හා කැලණි ගඟේ වම් ඉවුරේ සමගාමී වැඩිදියුණු කිරීම් මෙම යෝජනාවලියට ඇතුළත් විය. මෙම වේලි සියල්ල හඳුන්වන්නේ දකුණු වේල්ල යනුවෙනි.

“මෙම වේලි කොළඹ අවට ප්‍රදේශ මහ ගංවතුරකදී ආරක්ෂා කර ගැනීමට සමත්. මෙතෙක් මෙම වේලිවලට ඉහළින් ගංවතුර ගොස් නැහැ. ඒ නිසා වේලිවලට පහළ ප්‍රදේශවල ජනතාව ආරක්ෂා වුණා. 2016 මහ ගංවතුරේදීත් එම ආරක්ෂාව ලැබුණා. මෙම වේලි සියල්ල පාලනය කරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින්. ඒවා වැඩිදියුණු කර ගංවතුර ආරක්ෂණ පද්ධතියේ වැඩිදියුණු කිරීම්, මෙහෙයුම් හා නඩත්තු අප සිදු කරනවා.”

අප සමඟ එලෙස පැවසුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොළඹ කලාපය භාර අධ්‍යක්ෂ ජී.කේ. පද්මකීර්ති මහතායි.
බියගම පාරේ කැලණිය දක්වා ගමන් කරන විට මාර්ගය දකුණු පසින් පිහිටා තිබෙන වේල්ල බොහෝ දෙනකු නිතර දකින දසුනකි. කොළොන්නාවේ සිට අයි.ඩී.එච්. පාරේ යනවිට දකින ගොතටුව වේල්ල ගංවතුර ආරක්ෂණ පද්ධතියේ උසම වේල්ල වශයෙන් සැලකේ. මෙම වේලි සියල්ල එක්ව ගංවතුර රකුසාගෙන් තමන් බේරාගන්නා බව නම් බොහෝ දෙනකු කල්පනා කළ බවක් නොපෙනේ. සමහර වේලි පාමුල අනවසර නිවාස ඉදිකිරීම් නිසා හානියට පත්වන්නේ එම නිවාසවල පදිංචිකරුවන්මය.

“මහ ගංවතුරක් කියල කියන්නේ නාගලගම්වීදියේ ජල මාපකයේ අඩි 7-9 අතර ගංවතුරක්. ඒවා නිතර ඇතිවන්නේ නැහැ. පසුගිය 2016 අවුරුද්දේ එවැනි ගංවතුරක් ඇතිවුණා. මහ ගංවතුර ආරක්ෂණ පද්ධතිය යටතේ ජයවර්ධනපුර කෝට්ටේ, කොළඹ නගරය හා වත්තල ප්‍රදේශ කැලණි ගඟෙන් ආරක්ෂා කරගැනීම අයත්. මේ සඳහා වේලි හතරක් තිබෙන අතර ඒවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනවා.” පද්මකීර්ති මහතා වැඩිදුරටත් කීවේය.
කැලණි ගඟේ දකුණු ඉවුරට අයත් උතුරු ගංවතුර ආරක්ෂණ වේල්ල දිගින් කි.මී.8කි. එය පෑලියගොඩ පොලිස් අධිකාරි කාර්යාලය පිටුපස සිට කැලණිය හරහා තල්වත්ත දක්වා පැතිර යයි. කැලණිය, පිලපිටිය, වරාගොඩ ආදී ප්‍රදේශ ඉන් මහ ගංවතුර තත්ත්වයකදී ආරක්ෂා කර දේ.

වත්තල වේල්ල දිගින් කි.මී.1කි. වත්තල ඉදිකර තිබෙන එයින් කැලණි ගඟේ දකුණු ඉවුරේ පිහිටි වත්තල නගරය අවට ආරක්ෂා කර දේ. මාදම්පිටිය සිට මීතොටමුල්ල දක්වා ඉදිකර තිබෙන දකුණු වේල්ල (Railway Bund) දිගින් කි.මී. 4කි. කැලණි ගඟේ වම් ඉවුරේ කොළඹ නගරය තුළින් ඇදී යන එම වේල්ල ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. ඒ මහ ගංවතුරකදී කොළඹට රැකවරණ සලසමිනි. මෙම වේල්ල අවට ද අනවසර ඉදිකිරීම් බහුලව දැකගත හැකිය.

ගොතටුව වේල්ල හඳුන්වන්නේ හාවඩ් වේල්ල යනුවෙනි. ඒ ඉංජිනේරැ හාවඩ් සිහිකිරීමටය. කොළොන්නාවට නුදුරින් ගොතටුවේ පිහිටි එය දිගින් කි.මී.08 කි. කෝට්ටේ සහ ජයවර්ධනපුර ප්‍රදේශයට ගංවතුරෙන් ආරක්ෂාව සලසන්නේ මෙම වේල්ලයි. වේල්ල පාමුලින් ඇළ මාර්ගයක්ද ගලා බසී.

ඉහත සඳහන් කළ මහ ගංවතුර වේලිවලට අමතරව සුළු ගංවතුර වේලි පද්ධතියක්ද පිහිටා තිබේ. “මේවා ඉදිකර තිබෙන්නේ සුළු ගංවතුරකදී කෘෂිකාර්මික ඉඩම් ආරක්ෂා කර ගැනීමටයි. නමුත් දැන් මේ ප්‍රදේශවල කෘෂිකාර්මික ඉඩම් වෙනුවට විශාල ජනාවාස පැතිරිලා. ඒ නිසා ගංවතුර අවස්ථාවලදී එම ජනතාව පීඩාවට පත්වෙනවා. කැලණි ගඟේ වම් ඉවුරේ කඩුවෙල සිට අකරවිට දක්වාත්, දකුණු ඉවුරේ පට්ටිවිල සිට සැනසුම්ගොඩ දක්වාත් මෙම වේලි ඉදිකර තිබෙනවා. නාගලගම්වීදියේ ජල මාපකයේ අගය අඩි 5 මට්ටම වනවිට මේ සුළු ගංවතුර වේලි මතින් ජලය පිටාර ගලනවා. වේලිවලින් ආරක්ෂිත ප්‍රදේශ ජලයෙන් යටවෙනවා.”

අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කළ පරිදි දැන් මේ වේලි වයසය. ඒවා ඉදිකර තිබෙන්නේ පස් පුරවා තද කිරීමෙනි. ඒවා ඉදිකරන කාලයට වඩා වේලි පිහිටි ස්ථාන පවා නිවාස හා ගොඩනැගිලිවලින් පිරී ගොසිනි. මේ වේලි නිතිපතා නඩත්තු කළද ඒවා වඩාත් දරුණු ගංවතුරවලට ඔරොත්තු දෙන සේ නවීකරණය කළ යුතුය.

ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවද කැලණිය ද්‍රෝණියේ ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් 2016 ගංවතුරෙන් පසු කඩිනම් සැලසුම් සකස් කර තිබේ. ඒ යටතේ පියවර දෙකක් යටතේ ගංවතුර පාලනය කිරීමේ නව යෝජනා ඉදිරිපත්ව තිබේ.

පළමු පියවර යටතේ ගඟ දෙපස ගංවතුර පාලන බැමි ඉදිකිරීමට යෝජනා වී ඇත. දෙවන පියවර යටතේ ගංගා පෝෂක ප්‍රදේශයේ අලුතින් ජලාශ ඉදිකිරීම හා කැලණි ද්‍රෝණියේ අමතර ජලය යාබද ද්‍රෝණිවලට හැරවීමටද සැලසුම් කර තිබේ.
කළ යුත්තේ මෙම සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමය. 2016 ගංවතුරෙන් සිදුවූ රු. බිලියන ගණනක දේපල හානියද මිල කළ නොහැකි ජීවිත හානියද සසඳන විට මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට යන වියදම ගණන් ගත යුතු නොවේ.

♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරෑ: සුමුදු හේවාපතිරණ