2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

පෟෙද්ගලික විශ්වවිද්‍යාල ඕනෑද? එපාද?

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 243

සයිටම් අහෝසි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ මාස ගණනාවක් පුරා ඇදි ඇදී තිබූ සයිටම් ගින්න නිවීයන්නට පටන්ගෙන තිබේ. එහෙත් මීට මාස කිහිපයකට පෙර ආණ්ඩුවේම ඇමැතිවරැ ප්‍රකාශ කර සිටියේ විදේශීය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් මෙරට පිහිටුවීමට සූදානම් බවයි. එනිසා සයිටම් ප්‍රශ්නය කවරක් වුවද මෙරටට නිසි ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයද යන්න පිළිබඳව පවතින සංවාදයේ නිමාවක් නැත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමඟ දිගහැරෙන මේ සංවාදයේ අරමුණ වන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් යම් ධනාත්මක ප්‍රවේශයක් ලබාගැනීමය.  

සයිටම් හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන බවට ආණ්ඩුව තීරණය කොට තිබෙනවා. ඇත්තටම අපේ රටට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අකැප දෙයක්ද? 

මෙතැනදී පොදුවේ පෞද්ගලික උසස් අධ්‍යාපනය ගැනත් කතාකළ යුතුයි. පෞද්ගලික අංශයට අධ්‍යාපනයට මැදිහත්විය හැකිද යන කාරණය පහුගිය කාලයේදී මතුවුණේ සයිටම් ගැටලුවට සමගාමීවයි. පෞද්ගලික අංශයට අධ්‍යාපනයට මැදිහත් විය හැකිය යන්නෙන් ගම්‍ය වන්නේ මේ රටේ ශිෂ්‍යයින්ට තමන් කැමති අධ්‍යාපනයක් මුදලට හෝ ලබාගැනීමට අයිතියක් තිබෙනවා කියන දේ. ඉතා පැහැදිලි කාරණයක් තමයි උසස් පෙළ සමත් අයගෙන් සියයට හතරකට පහකට විතරයි විශ්වවිද්‍යාලයකට යෑමේ අවස්ථාව ලැබෙන්නෙ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව උසස් පෙළ ලියූ දරුවන්ට එවන ප්‍රතිඵල ලේඛනයේ සඳහන් කරනවා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇත්ද නැද්ද කියන කාරණය. එතැනදී ප්‍රවේශ සුදුසුකම් ලැබූ (Yes යැයි සඳහන්) අයගෙන් ඉතාම සුළු ප්‍රතිශතයකට පමණයි විශ්වවිද්‍යාලයකට ඇත්තටම ඇතුළුවීමේ අවස්ථාව ලැබෙන්නෙ. අනිත් අයට මොකක්ද වෙන්නෙ කියන දේ ගැන රටේ ලොකු ගැටලුවක් තිබෙනවා. මෙතැනදි පැහැදිලිවම දිය යුතු උත්තරය තමා විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලැබූ සෑම ශිෂ්‍යයෙකුටම උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවිය යුතුයි. රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ඒ දේ සම්පූර්ණ වෙන්නෙ නැත්නම් ඔවුන්ට වෙනත් අවස්ථාවක් හෝ ලැබිය යුතුයි. 

පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපනය තුළ සිද්ධවෙන්නෙ උපාධි විකිණීමක් කියලත් චෝදනාවක් තියෙනවා? 

උපාධිය විකිණීම කියන දේ අද සිද්ධ වෙන්නෙ පෞද්ගලික අංශය තුළ පමණක් නොවෙයි. රාජ්‍ය විශ්ව විද්‍යාලවලත් උපාධි විකිණීම සිද්ධ වෙනවා. බොහෝමයක් රාජ්‍ය විශ්ව විද්‍යාල පශ්චාත් උපාධි හරහා උපාධි විකිණීමේ ක්‍රියාවලියේ ඉන්නවා. උදාහරණයකට එම්.බී.ඒ. කියන (ව්‍යාපාර පරිපාලනවේදී) පශ්චාත් උපාධියට මූලික උපාධියක් තිබීම අනිවාර්ය වෙන්නෙත් නැහැ. ඒ වගේම තවත් සමහර රාජ්‍ය විශ්ව විද්‍යාල සේවා පළපුරුද්ද සුදුසුකමක් සේ සලකලා එම්.එස්.සී. විකිණීම සිද්ධ කරනවා. ඒ නිසා පෞද්ගලික අංශයේ විතරයි උපාධි විකිණීමේ යාන්ත්‍රණයක් තියෙන්නෙ කියලා කවුරුහරි හිතනවා නම් වැරුදියි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තත්ත්ව සහතිකකරණ ව්‍යුහයක් හඳුන්වා දී තිබෙනවා. මූලික උපාධියක් නැති අයටත් පශ්චාත් උපාධියක් හැදෑරීමේ අවස්ථාව රට තුළ ඇති බව එහි පැහැදිලිව සඳහන් වෙනවා. ඉතින් ඒ අවස්ථා හිමිවෙන්නෙත් මුදල් තියෙන අයටයි. 

නමුත් වෛද්‍ය උපාධිය හැරුණු විට වෙනත් උපාධි ඕනෑ තරම් පෞද්ගලික අංශයෙන් ලබාදෙනවා? 

ඔව්. පෞද්ගලික අංශයෙන් උපාධි ලබාදීමේ ගැටලුව දැනට මතුවෙලා තියෙන්නෙ වෛද්‍ය උපාධි සම්බන්ධයෙන් පමණයි. අපි දන්නවා, කළමනාකරණ අධ්‍යයන ක්ෂේත්‍රයේ බොහෝ විෂයන්, ශාස්ත්‍ර පීඨයේත් ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව වැනි විෂයන් ඉතා ඉහළ මිලකට පිරිනමන පෞද්ගලික ආයතන තිබෙනවා. 

වෛද්‍ය උපාධිය අනිත් උපාධිවලින් වෙනස් වෙන්නෙ කොහොමද? 

මෙතැනදී කියන කාරණයක් තමයි වෛද්‍ය උපාධිධාරියෙක් අතින් යම් වැරදීමක් වුණොත් පුද්ගලයෙක්ට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව. හැබැයි ඒ වගේම තමයි ඉංජිනේරු වෘත්තියත්. ඉංජිනේරැවෙක්ගේ අතින් වෙන වැරැද්දකදී වුණත් ජීවිත හානියක් වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් මෙතැන තියෙන්නෙ ප්‍රමිතිගත අධ්‍යාපනය කියන කාරණය ඉෂ්ට සිද්ධ කරගැනීමේ අවශ්‍යතාවයයි. 

විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය ගැන අපේ රටේ තියෙන අවධානය ප්‍රමාණවත්ද? 

ඇත්තටම ප්‍රමිතිගත අධ්‍යාපනය ගැන කවුරුවත් නිසි කතාබහකට ප්‍රවේශවෙලා නැහැ. උදාහරණයකට කවුරුන් හෝ වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවනවා නම් එහි ප්‍රමිතිය කුමක්ද කියන දේ රටේ හෙළිදරව් විය යුතුයි. විභාග පවත්වන්නේ කොහොමද? ඒ විභාග විනිවිද භාවයකින් පැවැත්වෙනවද? ඒ ඒ වෛද්‍ය විද්‍යාලවලට අවශ්‍ය විදිහට විභාග තියලා සිසුන් සමත් කළ හැකිද? නැත්නම් ඒ විභාග පරීක්ෂා කිරීමේ හැකියාව අනිත් විශ්ව විද්‍යාලවලට පවරනවාද වාගේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න ඕන. ප්‍රමිතියක් නැතිව පවත්වාගෙන යන උපාධි ආයතනයක් නම් ඒක වෛද්‍ය විද්‍යාවට අදාළව විතරක් නෙමෙයි, සෑම ක්ෂේත්‍රයකටම අදාළව ගැටලුවක්. අද රාජ්‍ය විශ්ව විද්‍යාලවල වුණත් ලබාදෙන පශ්චාත් උපාධි, බාහිර උපාධි පිළිබඳ බරපතළ ගැටලු පවතිනවා. ඉතින් ප්‍රමිතිගතව උපාධියක් පිරිනැමීමට සූදානම් නම් පෞද්ගලික අංශයට වුණත් ඒ අවස්ථාව ලබාදිය යුතුයි. ඒ වගේම ගුණාත්මක භාවය පවත්වාගෙන යෑම සඳහා ස්වාධීන නියාමන ආයතනයකුත් තිබිය යුතුයි. ඒ විතරක් නෙමෙයි, ගුණාත්මක භාවය මැන බැලීමේ නිර්ණායක රටට හෙළිකළ යුතුයි. එතකොට පෞද්ගලික වගේම රාජ්‍ය විශ්වවිද්‍යාලවලත් අදාළ ගුණාත්මක භාවය පවතිනවාද කියන දේ ගැන ඕන කෙනෙක්ට සොයා බලන්න පුළුවන්. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයට අනුව අධ්‍යාපනය ලැබීම මානව අයිතියක්. නිදහස් අධ්‍යාපනය ගැන කතාකරන අපි අධ්‍යාපනයේ නිදහස අමතක කර දාලාද තියෙන්නෙ? 

පැහැදිලිවම ඔව්. නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ අධ්‍යාපනය නෙමෙයි. නිදහස් අධ්‍යාපනය කියන්නේ සෑම දරුවෙකුටම අධ්‍යාපන වරප්‍රසාදය ලැබීමේ අයිතිය තිබෙනවා කියන එකයි. අපේ විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරාගැනීමේ ක්‍රමවේදය සකස් කරන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවයි. විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට සුදුසුයි කියලා හැඳින්වෙන හැම සිසුවෙක්ටම උසස් අධ්‍යාපන වරම් ලැබිය යුතුයි. කාටවත් ඒක එහෙම නෙමෙයි කියලා කියන්න බැහැ. පෞද්ගලික විශ්ව විද්‍යාල හරහා සිසුන්ට තමන් කැමති අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව හිමිවෙනවා. අපේ රටේ වෛද්‍ය පීඨවලට ඇතුළු වෙන්නේ ඉතාම සීමිත සිසුන් පිරිසක්. ඒ නිසා අපේ රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය රටේ නැහැ. එහෙනම් ඒ අවශ්‍ය වෛද්‍යවරු පිරිස නිර්මාණය කරගන්නේ කොහොමද? අනික් අතට පිටරට ගිහින් උපාධි ලබාගන්නා සියලු දෙනා ධනපතීන්ගේ දරුවන්ම නෙමේ. ගුරුවරුන්ගේ, ලිපිකරුවන්ගේ, ගොවීන්ගේ දරුවන් පවා පිටරට ගිහින් ඉගෙන ගන්නවා. තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගෙවල් දොරවල් පවා උකස් කරන්න අපේ මව්පියන් සූදානම්. ඒකයි ඇත්ත සමාජ තත්ත්වය. හොඳ සමාජ තත්ත්වයක් ලබන්න නම් හොඳ අධ්‍යාපනයක් තිබිය යුතුයි කියන මූලික අදහස අපේ සමාජයේ මුල්බැසගෙන තිබෙනවා. ඉතින් ඒකට බාධා කිරීමේ ම්ලේච්ඡ අයිතියක් කාටවත් නැහැ. 

වෛද්‍ය වෘත්තිය කියන්නේත් තවත් වෘත්තියක්. නමුත් අපේ රට ඇතුළෙ වෛද්‍ය වෘත්තිය උත්කර්ෂයට නංවා තිබීමත් මේ ප්‍රශ්නවලට පසුබිමක් සපයනවා නේද? 

මේක ඇත්තටම ගෝත්‍රික යුගයේ සිට ආපු දෙයක්. ඉස්සර ගෝත්‍ර නායකයාට ලෙඩ රෝග සුවපත් කිරීමේ දැනුමක් තිබිය යුතුයි. ඒ වගේම සටන්කාමියෙක් විය යුතුයි. අදටත් වෛද්‍ය වෘත්තියට ලොකු තැනක් ලැබෙන්නේ ඒ නිසායි. අනෙක් අතට අපි වෛද්‍යවරයෙක් ළඟට යන්නෙ අසරණභාවයට පත්වුණු වෙලාවටයි. තවත් දෙයක්. වෛද්‍යවරයෙක්ට අපේ රට ඇතුළෙ විශාල පිළිගැනීමක් නිර්මාණය වී තියෙනවා. ඔවුන්ට සමාජයේ විශාල වරප්‍රසාද සංඛ්‍යාවක් පවතිනවා. මේ නිසා මූලික සුදුසුකම් තිබේ නම් තමන්ගේ දරුවාව කෙසේ හෝ වෛද්‍යවරයෙකු කිරීමේ සිහිනය මවුපියන්ට තිබෙනවා. වෛද්‍යවරුනුත් උත්සාහ ගත යුත්තේ තවත් වෛද්‍යවරු පිරිසක් වෛද්‍ය සේවයට එක්වීම වැළැක්වීමට වඩා ඔවුනුත් එකතු කරගෙන රටේ වෛද්‍ය සේවය පුළුල් කිරීමටයි. සයිටම් වගේ දේකට විරුද්ධ වෙනවා නම් වෛද්‍ය අධ්‍යාපනයට සුදුසුකම් ලබා විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි නොවන සිසුන්ට කරන්නේ කුමක්ද කියලා ඔවුන් විසඳුමක් ඉදිරිපත් කළ යුතුයි. සයිටම් වැහුවට පස්සේ අපි සටනින් දිනුවා කියලා හිතනවා නම් එතැන තියෙන්නෙ ආත්මාර්ථකාමී හැඟීම විතරයි. 

අපේ රටේ මුල් බැහැගත්තු අදහසක් තමයි පෞද්ගලීකරණය කියන්නෙ පාපයක්, වැරදි දෙයක් කියන එක. අපිට ඒ අදහසත් එක්ක රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් වෙයිද? සමාජ විද්‍යාඥයෙක් විදිහට ඔබ ඒ කාරණය දකින්නෙ කොහොමද? 

මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් දියුණු වුණේ පෞද්ගලික ආයෝජකයන් සමඟ එක්ව කටයුතු කිරීමෙනුයි. හැබැයි අපේ රට ඇතුළෙ පෞද්ගලිකරණය, පෞද්ගලික අංශය කියන වචන ඇහෙද්දිම මිනිස්සු කුපිත වෙනවා. එහෙමත් නැත්නම් අපේ වාමාංශික පක්ෂ මිනිස්සුන්ව කුපිත කරවනවා. අද රාජ්‍ය අංශයට ගොඩක් දෙනෙක් බැඳෙන්නෙත් සුබසාධන වරප්‍රසාද සහිත රැකියාවක් කිරීමේ අවශ්‍යතාව නිසායි. සමීක්ෂණවලින් හෙළිවුණු දෙයක් තමයි අපේ රටේ ජනගහනයෙන් සියයට තිහක් රාජ්‍ය අංශය ගැනත් එහි සේවාව ගැනත් අසතුටින් ඉන්නෙ. ඇත්තටම බැලුවොත් අපේ මිනිස්සු පෞද්ගලීකරණයට විරුද්ධ වෙන්නෙ ඒවා යටින් සිද්ධවෙන දේශපාලන ඩීල් නිසා මිසක් පෞද්ගලික අංශයට ඇති අකමැත්ත නිසා නෙමෙයි. ඒ නිසා ඩීල් නතර විය යුතුයි. සිද්ධ විය යුත්තේ විනිවිදභාවයකින් යුතුව පෞද්ගලික අංශයට ඉඩදීමයි. මෙතැන තියෙන්නේ අපේ දේශපාලනඥයන්ගේත් ජනතාවගේත් සද්භාවය පිළිබඳ ගැටලුවක්. ඒක නිවැරදිව කළමනාකරණය කරගැනීමයි කළයුත්තේ.  

►සංවාදය - රජිත ජාගොඩ ආරච්චි