2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

කෝච්චියේ අපිට බිස්නස් තහනම්

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

ආණ්ඩුවේ ජොබ් නැති හින්දයි දුප්පත් අපි කෝච්චියට නැග්ගේ

මඟීන්ට අපහසුතා, හොරකම් වංචා සිදුවන බවටත්  පැමිණිලි ලැබුණා --දුම්රිය සාමාන්‍යාධිකාරි

දෛනිකව සිය රාජකාරි සඳහා කොළඹට පැමිණෙන කාර්යාල සේවක සේවිකාවන්ද, පාසල් යන දුවා දරුවන්ද, මෙරට නැරඹීමට එන විදෙස් සංචාරකයන් වැනි එකී නොකී සියලු දෙනාද අද වනවිට පුමුඛතම මගී ප්‍රවාහන සේවාවක් ලෙස තෝරාගෙන ඇත්තේ දුම්රියයි. පෙට්ටි 14,15 ඇමිණී ගමන් කරන දුම්රිය වාර 20-30 තිබුණද උදේ 5.30 සිට 8.30 දක්වාද සවස 3.45 සිට රාත්‍රී 7.00 පසුවන තුරැද දුම්රියේ පාපුවරුවේත් අන්තිම පඩියේ වෙර වීරියගෙන අල්ලාගෙන ගමන් කරන ජනතාවද දුම්රියේ ගමන් කරන බොහෝ දෙනකුට නිතරම දැකිය හැකි කරුණකි.

දෛනිකව එලෙස දුම්රියේ එහා මෙහා ගමන් ගන්නා මගීන්ගේ පිපාසය සංසිඳුවීමට මෙන්ම ඇතැම් කුඩා ආහාර වේල් වැනි දේ විකුණන වෙළෙඳුන් බොහෝමයක් දුම්රිය මගීන්ගේ නෙත ගැටෙන අතර එම මිනිසුන්ගෙන් කුමක් හෝ මිලදී ගැනීමට පුරුදුව සිටිනා බොහෝ දෙනෙක්ද දුම්රියන් තුළ ගමන් ගනිති.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දුම්රිය තුළ සංචාරක වෙළෙඳාම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත් පියවරත් සමඟම දුම්රියේ ගමන් ගන්නා මගීන්ට භාණ්ඩ අලෙවි කරමින් එදිනෙදා ජීවිතය සරිකරගත් බොහෝ පිරිසක් මේ වනවිට කබලෙන් ලිපට වැටී සිටිති.

වරින්වර දුම්රියේ සංචාරක වෙළෙඳාම තහනම් කරමින් සහ වෙළෙඳාමේ නියැලුණු පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීම වැනි සිදුවීම් තිබුණද පසුගියදා අමාත්‍යවරයා ගත් මෙම දැඩි තීන්දුවත් සමඟ දුම්රියේ වෙළෙඳාම් කළ කිසිවකු අප කළ සංචාරයේදී මෙවර අපට දැකගත නොහැකි විය.

එදා දුම්රියෙන් දුම්රියට යමින් වඩේ, රටකජු, අඹ, අන්නාසි, ඇපල් වැනි ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳුන්ද පොත්, පැන්සල්, හඳුන්කූරු වැනි භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ද අද දුම්රිය නැවතුම දෙස බලා සිටින අයුරු අප කළ සංචාරයේදී අපට දැකගන්නට ලැබිණ.

දුම්රිය තුළ ජංගම වෙළෙඳාම තහනම් කිරීමත් සමඟම සිය ජීවිකාව ගෙන යාමට නොහැකි වූ වෙළෙන්දන් කිහිප දෙනෙක් දේශය අපට සිය අදහස් මෙලෙස පැවසූහ.

ගීතා කුමාරි - මීරිගම

මගේ ඇස් පේන්නෙත් නැහැ. මම කෝච්චියේ හඳුන්කූරු විකුණන එක තමයි කරගෙන ගියේ. මගේ මහත්තයාගේ ඇස් පේන්නෙත් නැහැ. එයාට කිසි වැඩක් පලක් කරන්නත් බැහැ. මම අවුරුදු ගාණක් තිස්සේ කෝච්චියේ යන එන අයට මේවා බිස්නස් කරලා තමයි කීයක් හරි හොයන් ජීවත් වුණේ. නමුත් පසුගිය 18 වැනිදායින් පස්සේ අපිට කෝච්චි ඇතුළෙවත් ස්ටේෂන් එක ඇතුළෙවත් විකුණන්න දෙන්නේ නෑ. අපිව කෝච්චිවලින් බස්සනවා. නඩු දානවා කියනවා. අපි විකුණන කිසිම දෙයක් රුපියල් විස්සට වැඩි නෑ. රුපියල් දෙසීයක් තුන්සීයක් හොයාගන්න මුළු දවසම මහන්සි වෙන්න ඕන. මම ඉගෙන ගෙනත් තියෙනවා. ආණ්ඩුවේ රස්සාවක් නැති නිසා තමයි අපි මේවා කරන්නේ. මහ ලොකු ආදායමක් ලබන්නේ නෑනේ. ඒ පුංචි දේවල් අපිට මේ රටේ කරගන්න දෙන්නේ නෑ.

මැටිල්ඩා - කැලණිය

මම අවුරුදු පහකට වැඩි කාලයක් මේ කෝච්චියේ එහා මෙහා ගිහින් බිස්නස් කරනවා. මම විකුණන්නේ රටකජු. මේ එක රටකජු පැකට් එකකින් රුපියල් තුනයි අපිට තියෙන්නේ. කෑලි සීයක් විකුණන්න ඕන රුපියල් තුන්සීයක් හොයන්න. ඉස්සරත් බොහොම අමාරුවෙන් තමයි කෑලි සීයක් විකුණගත්තේ. දැන් තාම අද දවසට එක රටකජු පැකට් එකයි විකිණුවේ. අපිට කෝච්චිවලින් බහින්න කියනවා. දඩ ගහනවා. විකුණන්න දෙන්නේ නෑ. අඩුගානේ අපිට දැන් ස්ටේෂන් එක ඇතුළටවත් යන්න දෙන්නේ නෑ. අපි කාටවත් කරදරයක් වුණේ නෑ. අපි අපේ පාඩුවේ කීයක් හරි හොයන් හිටියේ. දැන් අපිට ඒකවත් හොයාගන්න විදියක් නෑ. අපිට සමෘද්ධි මොනවත් නෑ. අපේ දුක කාට කියන්නද කියලා තේරුමක් නැතුව ඉන්නේ.

දයානන්ද - වැල්ලම්පිටිය

මම ගල්කිස්සේ ඉඳලා රාගමට යන කෝච්චිවල තමයි බඩු වික්කේ. මම වඩේ විකුණලා තමයි දවසේ ආදායම හොයා ගත්තේ. සමහර මහත්තරු කියනවා අපි මේකෙන් හොඳට හම්බකර ගන්නවා කියලා. ඒ වුණාට අපි විතරයි දන්නේ මේකෙන් රුපියල් පන්සීයක් හොයන්න කොච්චර දුක් විඳින්න ඕනද කියලා. දැන් අපි ස්ටේෂමක දැක්කත් සමහර මහත්තුරු අපිව එළවනවා. අපිව ඇතුළට ගන්නෙත් නෑ. මේ දේවල් නිසා අපිට කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. අපිට රජයෙන්වත් කිසිම සහනයක් ලබාදීලා නෑ. අපි හොරකම් වංචා දූෂණ කරලා නෑ. ඒ වුණාට මේ අපි සාධාරණව හම්බකරන් කන එකටත් අපිට කරන්න විදියක් නැහැ. අපි ඉන්නේ අපිට කරකියා ගන්න දෙයක් නැතිව.

දුම්රිය තුළ සංචාරක වෙළෙඳාමෙහි යෙදුණු වෙළෙන්දන්ගේ මේ ප්‍රශ්නය පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතාගෙන්ද අපි විමසීමක් කළෙමු.

දුම්රියේ ගමන් ගන්නා මගීන්ට සිදුවන අපහසුතා අවහිරතා සහ අනිසි බලපෑම් පිටු දැකීම සම්බන්ධයෙන් මගීන්ගෙන් ලැබුණු පැමිණිලිවලට පස්සේ තමයි අපි මේ වගේ දෙයක් කරන්න තීරණය කළේ. ඒ වමෙ ඇතැම් මගීන් පැමිණිලි කරලා තියෙනවා දුම්රිය තුළ සිදුකෙරෙන විවිධ හොරකම් සහ විවිධ වංචනික ක්‍රියාවලට මේ අය උදව් දෙනවා කියලා. ඒ වගේම සමහර අවස්ථාවල දුම්රියේ ගමන් ගන්නා මගීන් මෙන්ම වෙළෙඳුන් අතර ගැටුම් ඇති වෙච්ච අවස්ථා ගොඩක් තිබුණා. අනෙක් කාරණය තමයි මේ අය ටිකට් නැතුව තමයි මෙහෙම ගිහින් බිස්නස් කරන්නේ. ඒ වගේම මේ ආහාරවල කිසිම ප්‍රමිතියක් මෙන්ම සෞඛ්‍යාරක්ෂිත බවක් නෑ. ප්‍රධාන දුම්රිය ස්ථානවල වේදිකාවේ සංචාරක වෙළෙඳාම් කටයුතු තහනම් කළාට මොවුන්ට සහනයක් ලෙස අනෙක් දුම්රිය ස්ථානවල වෙළෙඳාම් කටයුතු කරගෙන යන්න අපි ඉඩදීලා තියෙනවා.

ලංකා ස්වයංරැකියා නියුක්තිකයන්ගේ ජාතික සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මෙසේ කීය.
දුම්රිය තුළ ජංගම වෙළෙඳාමේ වෙළෙඳුන්ට මේ වෙනකොට සිය ජීවිකාව කරගෙන යාම අහිමිකරලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව විසින්. මේ වෙනකොට මේ තත්ත්වය එක්ක ඔවුන් ඉතාම අසරණභාවයට පත්වෙලා තියෙනවා. දුම්රිය තුළ වෙළෙඳාම් කරන 3200ක් පමණ පිරිසක් මේ වනවිට කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. මේ සම්බන්ධයෙන් අප ජනාධිපතිවරයාට සහ ප්‍රවාහන අමාත්‍යවරයාටද දැනුම් දුන්නා. නමුත් මේ වනතෙක් කිසිම තීන්දුවකට ඔවුන් පැමිණිලා නැහැ. ඒ නිසා අපේ සම්මේලනය ඉල්ලා සිටින්නේ මොවුන්ගේ රැකියාව ලබාදෙන ලෙසයි.

♦ හසිත් අංජන