2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

මැරෙන දවස කේන්දරෙන් හරියටම කියන්න පුළුවන්..

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 351

මැදියම් රැයේ සිට අරුණළු නැගෙන තත්ත්පරය දක්වා පැය ගණනක් බොරැල්ල කනත්තේ ගත කළ එක්තරා රාත්‍රියක් මට මේ මොහොතේ සිහිපත් වේ. යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයට වෙන් වූ මැදියම් 12.00 සිට 2.00 දක්වා පැය දෙකත් පසු වී තවත් පැය දෙකක කාලයක් අප වෙන් වෙන්ව බොරැල්ල කනත්ත පුරා සැරිසැරුවේද රාජකාරි ජීවිතයේ පැවරුණ වගකීමක් ඉටු කරනු උදෙසාය. එදා බොරැල්ල කනත්තේ දොරටු පාලකයා වූ සුනිල් අයියා තමාට කනත්තේ රාජකාරි අතර මුණගැසුණු භූතයන් ගැන යක්ෂයන් ගැන අවතාර ගැන ඇඟේ මවිල් කෙලින් වෙන කතා ගොන්නක්ම අප හමුවේ ඇද බෑවේය. මහසෝනා ගැන අපේ එකෙක් සුනිල් අයියාගෙන් අහද්දි සුනිල් අයියා බියෙන් මෙන් වික්ෂිප්ත විය. ඔය නමවත් කියන්න එපා... මට මහසෝනා ළඟට එනවා දැනිලා තියෙනවා... ඊළඟට සුනිල් අයියා මහසෝනාගේ නම කොතනකවත් සඳහන් නොකරමින් මහ රෑ ජාමයේ තමන්ට මහසෝනා නිසා වූ සංගදිය විස්තර කරන්නට වූයේය. ඇත්තටම මහසෝනා කියලා යක්ෂයෙක් ඉන්නවද? ගාල්ල උණවටුන මැටරඹ සතර මහා දේවාලයේ දේවගැති කීර්ති කුමාර බටගොඩගේ දේවගැතිතුමා මහසෝනා ගැන කියද්දි මහසෝනා සත්‍යයක්දැයි එදා මා ප්‍රශ්න කර සිටි දවස මගේ මතකයට නැඟුණි.

මහසෝනා යක්ෂයා වුණේ මහසෙන් කියන යෝධයා. මහසෙන් යෝධයා කියන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ට සිටි බලගතුම යෝධයා. ගෝඨයිම්බර යෝධයාට මහසෙන් යෝධයා ගැන වෛරයක් ක්‍රෝධයක් ඇතිවෙලා මහසෙන් යෝධයාව මරණවා. වැව් හදන්න වෙහෙර විහාර කරවන්න දහඩිය වගුරවමින් මහා පින් කඳක් රැස්කරගෙන හිටියත් මරණ චිත්තයේ දී සිතේ පිළිසිඳගත් වෛරය නිසා මහසෙන් යෝධයා යක්ෂයෙක් ලෙස උත්පත්තිය ලබනවා. මහසෙන් යෝධයාගේ බෙල්ල කැපූ මොහොතේ මහා බ්‍රහ්මයාගේ ආසනය ගිනිරත් වුණා. මහා බ්‍රහ්මයා සිදු වූ විපත්තිය දැක අසුර වේගයෙන් මහ පොළොවට ආවා. ඇවිත් ගෝඨයිම්බරට කීවා උඹ කළේ මහා පාපයක්.. වහාම ගිහින් මහසෙන් යෝධයාගේ කඳින් වෙන් කළ බෙල්ල නැවත තියපන්. මම එය පෙර ලෙසට හා කරන්නම් කියලා. ඒත් ඒ වෙද්දි බෙල්ල එතන නෑ. නරි ඇදගෙන ගිහින්. ඒ වෙලාවේ එතන ළඟින් වලහෙක් ගියා. ගෝඨයිම්බර අර වලහගේ බෙල්ල කපලා මහසෙන්ගේ කඳට තිබ්බා. යෝධයා වැටිලා හිටියේ මුනින් අතට. අත් දෙක කයට යටවෙලා. මහසෙන් යෝධයා තනියම උස්සන්න බෑ. ඒ තරම් සද්දන්තයි. ගෝඨයිම්බර යෝධයා පොඩියි. ඒ බැරිකමටයි, හදිස්සියටයි, බයටයි ගෝඨයිම්බර අර වලහගේ හිස මහසෙන්ගේ කඳට සවි කළේ අනෙක් පැත්තට. ඒකයි මහසෝනා යක්ෂයාගේ මූණ පිටුපසට හැරවිලා තියෙන්නේ. මහසෝනා කියන්නේ අවසන් චුතිචිත්තය නිසා යක්ෂයෙක් බවට පත් වුණත් හුඟාක් පින් කරපු කෙනෙක්. මතු බුදුවන බුදු කෙනෙකුට පමණයි මහසෝනාගේ ඔය මුහුණ වෙනස් කරලා ඒ යක්ෂයාව සුගතිගාමී ආත්ම භවයකට රැගෙන යන්න පුළුවන්. එයා මතු බුදුවන බුදු කෙනෙක් ළඟදි දෙවි කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්. සොහොන් කාලි අම්මා කියන්නෙත් මේ යක්ෂ සේනාවන් අතරින් එක් නායිකාවක්. මහා බ්‍රහ්මයා කීවා සොහොන් කාලි අම්මාට උඹ සංසාර භවයන්වලදී පව් කරලා තියෙන්නේ. මතු බුදුවන බුදු කෙනෙක් අනුකම්පාවක් දක්වලා උඹව මේ යක්ෂ ආත්මයෙන් නිදහස් කරනකම් උඹ යක්ෂයෙක්ම තමයි. ඔය යක්ෂ ආත්මයෙන් මතු බුදුන් දවසකදි හෝ මිදෙන්නනම් උඹ කොඩිවින නීච බන්ධන පැන්නිලිවලට ගොදුරු වී පීඩනයට ලක් වූ මිනිසුන් ඒවගෙන් මුදාගන්න උදව් වෙයන්. පින් කරපන්. මහා බ්‍රහ්මයා කීවේ එහෙම... 

දේවගැතිවරයා පවසන පරිදි මහා බ්‍රහ්මයා යනු මහා තෙදබල ඇත්තෙකි. අණ දෙන්නට බල ඇත්තෙකි. එහෙයින්ම කොඩිවින බන්ධන සහ සොහොන් කාලි අම්මාගේත් ලේ කාලි අම්මාගේත් වගතුග ගැන කියවෙන තවත් පරිච්ඡේදයක ඇරඹුමට පෙර මහා බ්‍රහ්මයා මනුෂ්‍ය ජීවිතය විෂයෙහි කළ බලපෑම් පිළිබඳ සොයා යාමට අපට සිත් විය. 

මහා බ්‍රහ්මයා දිනක් මාරයා ඇමතුවේය.

මාරයෝ උඹ මනුෂ්‍ය ලෝකයේ ඉපදුණු මිනිස්සුන්ගේ ආයුෂ ඉවරවෙන්න මාස තුනකට කලින් ගිහින් ඒ මිනිස්සුන්ට මරණයට ආරාධනා කරපන්. නිකම් උදේ ගිහින් හැන්දෑවට ගේන්ට බෑ. ඒක හරි නෑ. මහා බ්‍රහ්මයාගේ උපදෙස මාරයා පිළිගත්තේය. එහෙයින් මිනිසුන් උත්පත්තිය සමඟ රැගෙන ආ ආයුෂ ඉවර වෙන්නට තෙමසකට කලින් මනුෂ්‍යයාට මරණයට ආරාධනා කර ඒමේ වගකීම මාරයා බාරගත්තේය.

මාරයා ආරාධනා කළාම පසුව තමා මිනිස්සු මරුකියවන්න ගන්නේ. මැරෙන්න තුන් මාසයකට ඉස්සර ඉඳන් මිනිස්සුන්ට මරණය දැනෙනවා. ඒ විදිහට මරණය දැනුණම මිනිස්සු තමන් සමඟ එකට ඉන්න සමීපතමයින් එක්ක තමන්ට මරණය දැනී ඇති බවට විවිධ ක්‍රම ඔස්සේ සන්නිවේදනය කරනවා. සමහරු මරණය ගැන කියවනවා. තමන් මැරුණට පසු අවසන් කටයුතු කළ යුතු ආකාරය ගැන කියනවා. තවත් අය සමුගතයුතු අයගෙන් සමුගන්නවා. තමන්ගේ මියගිය ළඟම ඥාතීන් පැමිණ එක් එක් ස්වරූපවලින් පෙනීසිට තමන්ට ඒ අය ළඟට එන මෙන් අඬගසන බව කියනවා. මේකට තමා මරුකියවනවා කියන්නේ.

තරුණ කොල්ලො පවා හිටපු ගමන් මට හිටියා ඇති බං. මං මැරුණොත් මගේ අම්මා පවුලේ අය බලාගනින්. උඹ වරෙන් අන්තිමටත් මාව බලලා යන්න. මාව ටික දවසකින් මැරෙයි. මෙන්න මේ විදිහට කියන්නේ අර විදිහට මාරයා අඬගැසුවාම. මරණය දැනුණාම.

තමන්ගේ මියගිය ඥාතීන්, සමීපතමයින් මරණයෙන් පසු භවයක ඉපදී නැත්නම් තමන් ළඟින් හිටපු කෙනෙක් මැරෙන්න ළංවෙද්දි ඒ අය දකිනවා. එයත් අපි ළඟට එන්න හදන්නේ කියලා දැනුණම ඒ මළවුන් අර තමන් ළඟට එන්න හදන එකාව පිළිගන්න ලෑස්ති වෙනවා. මැරුණ මනුස්සයෙක් කවදාවත් කාගෙවත් ඇඟට ඇවිත් මේ වෙනකම් කියලා නෑ මට ඉපදෙන්න ඕනෙ කියලා. මොකද මේ ශරීරය කියන ප්‍රාණ කූඩුවෙන් මිදුනම දැනෙන සනීපය කොච්චරද කියන්න බෑ. ඒ නිසා මැරුණ හැම එකෙක්ම කැමතියි කාලයක් නිදහසේ මේ අවකාශය තුළ සැරිසරන්න. සංසාර භව ආත්ම හතක් ආපස්සට බැලුවොත් තමන්ගෙ ගෑනි මිනිහා දරුවෝ අම්මා තාත්තා වෙච්ච කවුරුහරි මේ විශ්වයේ ආත්ම භවයක් නොලබා සැරිසරමින් ඉන්නවා. මාරයා ආරාධනා කරන්න එද්දි මාරයා පිටුපසින් ඒ අයත් එනවා. ඒ අය හරි කැමතියි තමන්ගෙ එකෙක් ඒ අය ළඟට එනවට.

අපේ ආච්චි මැරෙන්න මාස තුනකට විතර කලින් අපිට දෙතිස් වදයම දුන්නා. අනේ පුතේ බාප්පා ඇවිත්. අන්න පුතේ තාත්තා ඇවිත් අඬගහනවා. එහෙම කියන ආච්චි අපි පිරිත් කියද්දි බණිනවා. අපේ ආච්චිගේ මහත්තයා ඒ කියන්නෙ අපේ සීයා මැරිලා යක්ෂයෙක් වෙලා ඉපදිලා. අපේ ආච්චි අප දන්න කාලෙක ඉඳන් උම්බලකඩ කෑල්ලක්වත් කෑවෙ නෑ. එහෙම හිටපු ආච්චි මැරෙන්න තුන් මාසයක් තිස්සේ මට මාළු දීපන් කියලා මාළු කන්න ඉල්ලුවා. ආච්චි එහෙම මාළු ඉල්ලුවේ සීයාගේ යක්ෂ ආත්මය ආච්චිගේ ඇඟට ඇවිත් සීයාට ඕන දේ තමා ආච්චිගේ කටහඬින් එළියට ආවේ. මරණාසන්නව ඉද්දි හුඟාක් අය තමන්ගේ මැරුණ අය ගැන කියමින් අන්න එයා බිත්තියේ ඉන්නවා මට අඬගහනවා. මට ඒවා දීපන් මේවා දීපන් කිය කියා ඒ ඒ අයට ඕන දේවල් ඉල්ල ඉල්ලා කෑගහනවා ඔබත් දැකලා ඇති...

මරණයෙන් ඉනික්බිති... ශරීර කූඩුවෙන් නිදහස් වෙන විඥානය කළ පව් පින් අනුව භවයක් සොයා යනවාද? නිදහස් අවකාශයේ සැරිසරමින් කුමක් කරනවාද? ඒ පිළිබඳව කීර්ති කුමාර බටගොඩගේ දේවගැතිතුමා කරන්නේ මෙවන් විග්‍රහයකි.

සළු එලූ රුවන් පිරුවට පාවඩ එලූ මාවතක් දිගේ මල් පෙරහරේ සුරංගනාවියක් ඇවිත් දේව අණ අනුව ගීතිකා කියමින් මරණයෙන් පසු එක්ක යනවා මහා බ්‍රහ්මයා ළඟට. මහා බ්‍රහ්මයා තමා තීරණය කරන්නේ ඊළඟ භවය මොකද්ද කියලා. අපි මැරුණම ගිහින් පෝලිමකට එකතුවෙනවලු. පෝලිමේ ඉද්දි එකම වගේ සුරංගනාවියන් ඉන්න පාරවල් හතරක් තියෙනවලු. ඒ ඔක්කොම ඒ ඒ අයගේ පාරවල්වලට එන්න කියලා අඬගහනවලු. පාරේ මුල් හරිය එකම වගේලු. අපේ චිත්ත ශක්තිය තමා තීරණය කරන්නේ මම යන්නෙ අර සුරංගනාවිය ඉන්න පාරට කියලා. ඒ එක පාරක් අපායට. අනික මනුෂ‍්‍ය ලෝකයට. අනික් පාර බ්‍රාහ්මණ ලෝකයට. අනික් පාර දිව්‍ය ලෝකයට. අපි තෝරාගත්ත පාරේ ටික දුරක් යද්දි අපිට ආය හැරිලා වෙන පාරක යන්න හිතුණට ආයෙත් හැරෙන්න බෑ. අපිව මෙහෙයවන්නේ අප කළ පින්... පව්.... අපේ චිත්ත ශක්තිය. මහා බ්‍රහ්මයා කියනවා උඹ ඉපදුණේ මේ අම්මා තාත්තා ළඟ. උඹගේ දරුවෝ මේ අය. උඹ සල්ලි වස්තුව හම්බ කළා. කෝ බලමු දැන් කියන්න උඹ කරගත්තු පින් මොනවද කියලා. 

අනේ දෙවියනි මට පින් මොකුත් කරගන්න බැරිවුණානේ.

හේතුව?

මම සැප සම්පත් ධන වස්තුව හම්බ කළා. ඒවා එකතු කරපු මට පින් කරන්න බැරිවුණා.

එතකොට සුගතිගාමී භවයක උපදින්න කොහොමද උඹට පින් ලැබෙන්නෙ.

මම ඒ හැමදේම කළේ මගේ පවුල වෙනුවෙන් දරුවො වෙනුවෙන්. ඒ අය මට පින් කරයි දෙවියනි
හා... එහෙනම් අපි තුන් මාසයක් බලමු.

මැරුණ පුද්ගලයා තමන් යුතුකම් ඉටු කළ අය තමන් වෙනුවෙන් පින් දෙනකම් බලාගෙන ඉන්නවා. ඒත් සමහර අවස්ථාවල පින් දෙන්න තියා මිනියවත් ගෙදර අරන් ගියේ නෑ. ඉන්පසු මේ මළගිය තැනැත්තා තමන්ගේ දරුවන් එක්ක පවුලේ අයත් එක්ක වෛර හිත් ඇතිකර ගන්නවා. වෛර හිත සුගතිගාමී භවයක් අහිමි කරගන්නවා. යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ භවයන්හි උපදිනවා. ඉන්පසු කන්න බොන්න ඉන්න තැනක් නැතුව ඒ පව්කාර භවයෙන් ගැලවෙන්න විදිහක් නැතුව අනන්ත දුක් විඳිනවා. තමන්ගේ මියගිය ඥාතීන් සමීපතමයින් වෙනුවෙන් පින්දහම් කරන්න පින් අනුමෝදන් කරවන්න කියලා කියන්නේ අන්න ඒ නිසා.

දේවගැතිතුමනි පුද්ගලයකුගේ කේන්දරයක් බලලා ජ්‍යොතිෂවේදියෙකුට ඒ පුද්ගලයා අහවල් දවසේ අහවල් හේතුව උඩ මැරෙනවා කියලා නිවැරදිවම කියන්න පුළුවන්ද? එසේ කිවහැකිනම් එය සත්‍යයක්ද?

ඇයි බැරි... හරියට ජ්‍යොතිෂ්‍ය දන්න කෙනෙකුට කෙනෙකුගේ කේන්දරය බලලා හරියටම ඒ පුද්ගලයා අහවල් දවසේ අහවල් හේතුවෙන් මරණයට පත්වන බව කියන්න පුළුවන්. ඒ වගේම ඕනම පුද්ගලයකුගේ පෙර භවය ගැන, ඒ පෙර භවයේ කළ පින් පව් ගැන කියන්න පුළුවන්. පුද්ගලයකුට කොඩිවිනයක් කැවීමක්, පැන්නීමක්, වශී ගුරුකමක්, නීච බන්ධනයක් කරලා තියෙනවනම් ඒ සියල්ලත් ජන්ම පත්‍රය පිරික්සා බලා කියන්න පුළුවන්. මම කේන්දරයක් බලද්දි ඒ සියල්ල බලනවා. කේන්දරයකින් කියන්න බැරි මතු ආත්ම භවය ගැන විතරයි. ඒ මරණින් පසු ඉපදෙන භවය තීරණය කරන්නේ මහා බ්‍රහ්මයා නිසා...

දේවගැතිතුමනි.. මිනිස්සු බුදුන් වඳිනවා. දෙවියන් වඳිනවා. දෙවියන් වෙනුවෙන් පහන් පත්තු කරනවා. පූජාවන් තියෙනවා. විෂ්ණු දෙවියන් ගත්තොත් මේ මුළු විශ්වයටම ඉන්නෙ එක විෂ්ණු දෙවියයි... එක මොහොතකදි විෂ්ණු දෙවියන්ට තමන්ගේ දුක කියන, ප්‍රශ්නවලට සහන ඉල්ලන, ප්‍රාර්ථනා ඉටුකරලා දෙන්න කියන මිනිස්සු ලක්ෂ ගණනක් ඉන්න පුළුවන්. එක මොහොතකදි දෙවියන් කොහොමද ලක්ෂ ගණනක් මිනිසුන්ගේ කෝටි සංඛ්‍යාත ඉල්ලීම්වලට කන් දෙන්නේ...

මම මීට පෙර වතාවක් කීවා කවදාවත් මිනිසුන්ගේ ඇඟට දෙවියන් එන්නෙ නෑ... තමන්ගේ ඥාතීන් සමීපතමයින් දෙවියන් ළඟ සේනාධිනායකයන් හා දූතයන් වෙලා ඉන්නවනම් ඒ අය තමා දෙවියන්ගේ බලවර අරගෙන මනුෂ්‍ය ඇඟට එන්නෙ කියලා. මොකද දෙවියන්ට මනුෂ්‍ය ශරීරය හත් දවසක් කුණු වී පණුවන් ගැසූ සුනඛ කුණක් තරමටම ගඳයි. අප්‍රසන්නයි. එක් දෙවි කෙනෙකුට සේනාව ඉන්නවා කෝටි එකහමාරක් විතර. ගමට, දිසාවට ගහට, රුකට, කෝවිලට, දේවාලයට, මේ හැමතැනටම ඒ සේනාවන් බැල්ම හෙලනවා. ගහක් මුලක හරි හැමදාම පහනක් පත්තු කරලා ඒ දෙවියන් වැඳලා පින් දෙනවනම් ඒ පණිවිඩය අර සේනාවේ කෙනෙක් දෙවියන් ළඟට අරන් යනවා. බල දෙන තැනට පුද දෙන තැනට දෙවියන් එනවා. බල දෙන තැනට පුද දෙන තැනට දෙවියන් ආකර්ෂණය වෙනවා. අපි හැමදාම දෙවියන් සිහිකර වඳින පුදන තැනට දේව සේනාධිපති කෙනෙක් පත්වෙනවා. ඒ දේව සේනාධිපති දෙවියන් වෙත පණිවිඩය අරන් යනවා. ඒ ඔස්සේ තමා දෙවි පිහිට රැකවරණය දෙවියන් විශ්වාස කරන වඳින පුදන තැනැත්තාට ලැබෙන්නෙ. එහෙම දෙවියන් වඳින පුදන තැන්වල දෙවියන්ගේ මහා බලයක් තියෙනවා. දෙවියන්ගේ පිහිට එතෙන්ට එන අයට ලැබෙනවා කියන කතාවේ පදනම අන්න ඒකයි.

බුදුන් දෙවියන් විශ්වාස කරන වඳින පුදන අදහන කවරකු වේවා ඔහු නිරන්තරයෙන් ඒ රුකවරණය ලබන්නකු බවට පත්වෙයි. පෙර පව් පලදීම කර්ම විපාක විඳින්නට සිදුවීම මේ විශ්වයේ සියල්ලන්ටම සාධාරණ නියතයකි. පව් කළ තැනැත්තාට ඉන් ගැලවීමක් මහ මුහුදු යට සැඟවුණත් අහසේ සැඟවුණත් සොයාගත නොහැක. මනුෂ්‍ය ඝාතන, හොරකම්, වංචා, දූෂණ, කොඩිවින, කැපිලි, පැන්නිලි, නීච බන්ධන යන මේ ආදී අපා දෙපා කවරෙකුට වුව පීඩනයක් වෙන සියල්ලක් පාප කර්මයන්ගේ ගණයට වැටෙති. ඒ පවින් වැළකී සසර සැප පිණිස පින් කරන්න. භව විමුක්තිය උදෙසා කුසල් වඩන්න.

නපුරු කලට සතහට පැමිණෙත        වෙහෙස
එ දුරු නොවෙයි කළ පව් පලදෙවා     මිස
තඹුරු වනය මුකුලිත වන බව           සවස
කවුරු විසින් වැළකිය හැකි මෙදිය     කුස

(සුභාෂිතය)
(ඇසට නොපෙනෙන ලෝකයේ තවත් කඩඉමක සිට එන ඉරිදාත් මුණගැසෙමු.
)

♦ සංජීවිකා සමරතුංග
සේයාරූ: චන්න කස්සප කෝරළේආරච්චි

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00