2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

කොළ කෑලි ගහගෙන යනවා වාගේ කට්ටියම වතුරෙ ගියා

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 325

“පාන්දර ගමන පිටත් වෙද්දිම ගෙවල් ළඟ දේවාලයේ පොල් ගෙඩියක් ගැහුවා... බිඳෙන්නෙ නැතුව ගෙඩිය විසිවුණා... දෙවැනි වතාවට ගහලා තමයි බිඳුණේ... ඒ බාධාව මෙච්චර විනාශයක් කරයි කියලා නම් කවුරුත් හිතුවේ නෑ...”

ඇටන්වල තෙලිගමු ඔය කඳුළු ගඟක් කළ ඛේදවාචකය සිදුවන්නට දිනකට මත්තෙන් ගමන පිටත් වූ මොහොතේ සිදු වූ අසුබ සලකුණ ගැන ගමනට එක් වූ රියැදුරු අජිත් ගාමිණී පැවසුවේ සංවේගයෙනි.

තෙලිගමු ඔයේ සුන්දර දියදහර එක් නිමේෂයකින් මහා දිය කඳක් වී අපේම ආදරණීයන් අට දෙනකු ජල රකුසාට බිලිගත් අවාසනාවන්ත සිදුවීමේ මළගම සොයාගිය අප නාත්තණ්ඩිය මාරවිල දේවාල පාරේ පිහිටි නිවෙස් සොයා ගියෙමු. 

මාරවිල නගරය දෙපස ශෝකය ප්‍රකාශිත සුදු කොඩි වලින් පිරී ගොසිනි. සුදු වතින් සැරසුණු පාසල් දරු දැරියන්, අසල්වැසි හිතවතුන් කිසිදු භේදයකින් තොරව රැස්කමින් ඇදෙන්නේ නොඑන ගමන් යන්නට සූදානම් හිතවතුන්ට අවසන් ගෞරව දැක්වීමටය. ප්‍රධාන මාර්ගයට පෙනෙන දුරින් දේවාල පාරේ පිහිටි සුවිසල් තෙමහල් මන්දිරය එකම හිස් ගොඩකි. නිවසේ තාප්පය වසාගෙන ඇත්තේ විවිධාකාර ශෝක ප්‍රකාශ වලිනි. සුවිසල් නිවහනේ සාලය එකම අඳෝනාවකි. ඒ අවසන් බුහුමන් දක්වන හිතවතුන්ගේය. කෝටිපති ව්‍යාපාරික රවීන්ද්‍ර ලසන්ත (38), සිය බිරිය රුවනි දිල්රුක්ෂි (30,) මැදිකරගත් වගීෂා (12) සහ විමාෂි (7) ආදරණීය දියණියන් ඇතුළු සිව්දෙනාගේ නිසල දේහයන් එකපෙළට සාලයේ නිසොල්මන්ව සිටිති. අනාගතය වෙනුවෙන් හරිහම්බ කළ සියලු සේසත අතරමඟදී හැරදමා උඩුබැලි අතට මිනීපෙට්ටියේ වැතිර සිටින ආදරණීය අම්මා, තාත්තා සහ අක්කලා දෙන්නා යළිත්  පිබිදෙන්නේ නැති බව එදා ඛේදවාචකයෙන් දිවිගලවාගත් පුංචි පුතා අදිත මෙත්සර දන්නේ නැත. කටේ කිරි සුවඳ පිරුණු හය හතර නොදන්නා පුංචි පුත්‍රයා සිය මව පියා හා සොයුරියන් දෙදෙනාගේ දේහයන් ඉදිරිපිට නවීන රිමෝට් කාරයක් පදවමින් සෙල්ලමේය. රත්තරන් පවුලක මල් කැකුළු වන් පුංචි දියණියන් ඇතුළු සිව්දෙනාගේ මළසිරුරු වලින් මිදුණු ඇස් ක්ෂණයකින් යොමුවන්නේ මේ අහිංසක පුංචි පුතා වෙතය. “අනේ අපොයි දරුපැටියා...” යැයි නොකී කෙනෙක් හෝ ඇහෙන් කඳුළක් නොවැටුණු කෙනෙක් එතැන නොවීය.

අහිංසක පවුල් දෙකක පුද්ගලයන් අට දෙනකුගේ ජීවිත මරුතුරුලට ගනිමින් වාර්තා වූ අවාසනාවන්ත සිදුවීමේ එක් මළගමකින් පිටත් වන පිරිස් මොහොතක් ගෙමිදුලේ රැඳී සිටිති. ඔවුන්ට උන්හිටිතැන් මතක නැති ගාණය. එතැන කෙනකුගේ සිහිගැන්වීම පරිදි බිම බලාගත් වතම ගමන් කරන්නේ මඳක් ඈතින් පිහිටි අසල්වැසි පවුලේ මළගම වෙතය.
මරණ ගෙවල් දෙක අතර දුර මීටර් සියයකට අඩුය. නවීන දෙමහල් නිවස ඉදිරිපිට පෙර කී නිවෙසට වෙනස් නැත. පාරේ සිට නිවස තුළට එකම හිස් ගොඩකි. විවිධාකාර ශෝක ප්‍රකාශ සහිත බැනර් හා සුදු කොඩි අවට වසාගෙනය. ගෙමිදුලේ තෙරපෙන ජනතාව එකිනෙකා පසුපසින් නිවෙසට ඇතුළු වෙති. සුවිසල් සාලයේ මැද එකපෙළට තැන්පත් කළ දේහයන් හතරකි. ප්‍රකට ව්‍යාපාරිකයකු වූ කිංස්ලි රත්නායක (42) ඔහුගේ ආදරණීය දියණියන් දෙදෙනා වන විනුකි මන්දිනා (12), හිරුණි දින්හාරා (4) සහ ඔවුනගේ මිත්තණිය චන්ද්‍රකාන්ති (59) මහත්මියගේ මළසිරුරු එහි තබා තිබුණේ හුරතල් දියණියන් දෙදෙනාගේ දේහයන් මැදිවන පරිදිය. සිය දෑස මානයේම ජල රකුසා උදුරාගත් දරුපැටවුන් දෙදෙනා, සෙනෙහෙබර සැමියා හා ආදරණීය මෑණියන්ගේ නිසල දේහයන් ඉදිරියේ වැළපෙන දුලීකාගේ හඬ පිටවන්නේ නැත. ජීවිතයේ සෙනෙහෙබර වස්තූන් සියල්ල අහිමිව වරින් වර සිහි විසංඥවන ඇය දෙනෙත් ඉදිරියේ පෙනී සිටිනා වර්තමාන කිසාගෝතමියක් වැනිය.

කිංස්ලි රත්නායක මහතා ධනවත් ව්‍යාපාරිකයෙකි. කිංස්ජෝයි අයිස් ක්‍රීම් ව්‍යාපාරය ඔහුගේය. පරිසරයට මෙන්ම සංචාරයට ඇළුම් කළ ඔහු දුම්බර කඳුවැටියේ ඇටන්වල ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන තිබුණි. එහි හෝටලයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි කිංස්ලි එහි අවශ්‍යතාවක් සඳහා යාමට අසල්වැසි මිත්‍රයා වූ රවීන්ද්‍ර ඇතුළු පවුලේ උදවියට ආරාධනා කළේය. ඉල් පෝය යෙදෙන සිකුරාදා දිනය සහිත දීර්ඝ සති අන්තයක් වූයෙන් රවීන්ද්‍ර ඇතුළු පවුලේ අය සිය මිතුරාගේ ආරාධනයට එකපයින් කැමති වූහ.

බිත්තර, කුකුළු පැටව් සහ කුකුළු කෑම අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් වතුහිමියකු වශයෙන් කටයුතු කළ රවීන්ද්‍ර සිය බිරිය, දියණියන් දෙදෙනා සහ එකම පුතු සමඟ ගමනට සූදානම් වෙද්දී කිංස්ලි සිය බිරිය, දියණියන් දෙදෙනා හා බිරියගේ මව පියා සමඟින් ගමනට එක් වූවෝය. ගමනේ නිදහස උපරිමයෙන් විඳින්නට සිතූ ව්‍යාපාරික දෙපළ සිය මෝටර් රථ දෙකේ රියැදුරන් දෙදෙනා ද ගමනට සම්බන්ධ කරගෙන තිබුණි. රැස් වූ පිරිස ගතවූ පසළොස්වක පෝය දා අලුයම ගමන පිටත් වූයේ රාජපක්ෂ වත්ත දේවාලයේ පොල් ගෙඩියක් ගසා ආශිර්වාද ලබාගනිමිනි.

මෙතැන් සිට කතාවේ සියලු විස්තර කියන්න දන්නේ ව්‍යාපාරික රවීන්ද්‍ර මහතාගේ රියැදුරු අජිත් ගාමිණී මහතාය.
“උදේ 5.30ට විතර පිටත් වුණු අපි ඇටැන්වලට යද්දි 11.30ට ඇති. කාලා බීලා තෙලිගමු ඔයට ගිහින් නාලා දවස ගෙවුණා. දෙවැනි දවසෙ හෝටලයේ වැඩ කටයුතු හොයලා බැලුවා. දවල් වෙද්දි ඈත කන්දෙ දිය ඇල්ලක් පෙනෙන්න තිබුණා. කට්ටියම ඒක බලන්න යන්න ලෑස්ති වුණා. ඒ තෙල්ගමු ඔයේම ඉහළ තැනක්. එතැනට ගිහින් ඇවිත් කලින් දවසෙ නාපු තැනට ටිකක් පහළින් නාන්න ගියා. එතැන බඹ දෙක තුනක් ඈතින් තැන් තුනකදී විතර අඩි තුන හතරක් පහළට වතුර කඩා වැටෙනවා. මීටර් 25 ක් විතර ඈතින් දිය ඇල්ලක් වගේ ගැඹුරට වතුර කඩාගෙන වැටෙනවා. 
මුලින් කට්ටිය වතුරට බහිද්දි දණවටක් වතුර තිබුණෙ නෑ. මමයි කිංස්ලි මහත්තයාගේ මාමයි ගොඩ හිටියේ. එයා වතුරට බහින්නෙ නැතුව හිටියෙ සෙරෙප්පු දෙක ගේනකම්. ඒත් දුලීකා නෝනා “තාත්තෙ එන්න වතුරට. මෙතන ප්‍රශ්නයක් නෑ” කියලත් කිව්වා. මේ වෙද්දි කිංස්ලි මහත්තයාගේ නෝනා ඉවුර අයිනෙ. දුවලා දෙන්නයි නැන්දම්මයි රවීන්ද්‍ර මහත්තයාගේ නෝනයි දරුවො තුන්දෙනයි ඔය මැද” අජිත් ගාමිණී කීවේ එසේය.

දරු පිරිස ඔයට බැස තත්ත්පර ගණනාවක් ගතවන්නට ඇත. ඔයේ ඉවුරට වී උන් කිංස්ලිගේ පියා “ඔන්න දරුවෝ වතුර පාර වැඩිවෙනවා... පරෙස්සමට... පරෙස්සමට” යැයි කියමින් කෑගැසුවේය. ඊට බිය වූ පිරිස අතර දැරියන් සිව්දෙනා රවීන්ද්‍රගේ බිරිය හා කිංස්ලිගේ නැන්දණිය එක පොදියට එක් වී දෑත් පටලාගෙන සිටියෝය. එසැණින් රවීන්ද්‍ර “අජිත්... ඉක්මනට පුතා ගන්න” කී සැණින් දිවගොස් දරුවා ඔසවාගත් අජිත් ගාමිණී දරුපැටියා මාමා අතට දී යළිත් ඔය දෙසට හැරුණේය.

“වතුර වැඩිවෙනවා කියලා මිනිත්තු තුන හතරක් යන්න ඇති. කට්ටියගේ දණවටක් තිබුණු වතුර දුලීකා නෝනගෙ පපුව මට්ටමට පිරුණා. නෝනා වෙලාවට ගොඩට ආවා. කිංස්ලි මහත්තයයි රවීන්ද්‍ර මහත්තයයි ඔයේ ඉහළට හැරිලා දරුවෝ ටිකයි නෝනයි නැන්දයි අල්ලාගෙන හිටියා. එන්න එන්නම වතුරෙ සැර වැඩිවුණා. එකපාරටම රවීන්ද්‍ර මහත්තයාගේ කකුල් දෙක උඩ ගිහින් හිටපු තැනින් ගහගෙන ගියා. ඒත් එක්කම නැන්දයි රවීන්ද්‍ර මහත්තයාගේ නෝනයි කිංස්ලි මහත්තයයි ගසාගෙන ගියා. දරුවෝ හතරදෙනා වතුර යටින්මයි ගියේ. පේන්නවත් හිටියෙ නෑ. රවීන්ද්‍ර මහත්තයා පහළින් තිබුණු ගලක් ළඟ නැවතුණා.

එයා කට්ටිය අල්ලන්න උත්සාහ ගත්තට වැඩක් වුණේ නෑ. කොළ කෑලි ගහගෙන යනවා වගේ කට්ටිය පහළට ගසාගෙන ගියා. කට්ටියගේ කෑගැහිල්ලට උඩින් නාන්න ආපු තරුණ පිරිසක් දුවගෙන ආවා. රවීන්ද්‍ර මහත්තයා බේරගන්න එතැන තිබුණු බටයක් දැම්මා. ඒත් එක්කම රවීන්ද්‍ර මහත්තයා ගසාගෙන ගියා. හිටපු තැනවත් හොයාගන්න බැරි වුණා.”

කිංස්ලි මහතාගේ බිරිය සහ පියා නඟන විලාපය කෙනකුට අසන්නට බැරිය. හොවාගත් දරුපැටියා සමඟින් පෙර කී දෙදෙනා වත්තන් කොට රථයට නංවාගෙන හෝටල් කාමරය වෙත ආවේ පුදුම වේගයකිනි. නවාතැන බලාගන්නා මහතුන්ගේ උපදෙස් මත පිරිස වහාම පිටත් වූයේ ඔයේ පහළ ස්ථානයකටය. එතැන පිරිසක් දියකෙළියේ නිරතවෙමින් සිටියෝය.

“ගොඩට එන්න ගොඩට එන්න... උඩින් වතුරක් එනවා. අපේ කට්ටියක් ගසාගෙන එනවා” කියනවාත් සමඟ පිරිස ගොඩවූවෝය. මොහොතක් ගතවූයේ නැත. මහා ජල කඳක් ඔය උතුරා ගලා ගියේය.

එහෙත් ඥාතීන් කිසිවකු වතුරේ ගසාගෙන යනවා දකින්නට නොවීය. නැවත රථය පණගන්වාගත් අජිත් ඇටන්වල පිරිස අතුරුදන් වූ ස්ථානය වෙත ගියේය. ඒ වනවිටත් ගම්මුන් විශාල පිරිසක් හා පොලීසියේ නිලධාරීන් රැසක් එතැනට රැස් වී පිරිස සෙවීමේ මෙහෙයුමක නිරතව සිටියෝය.

මියගිය කිංස්ලි මහතාට අයත් ඉදිකරමින් තිබූ හෝටලය බලාගෙන සිටි මහතුන් මැදිහත් වීමෙන් සිද්ධිය ලග්ගල පොලීසියට දන්වා තිබුණි. එහි නිලධාරීන් ගම්වාසීන් හා එක්ව දියේ ගිලුණු පුද්ගලයන් සොයන්නට මෙහෙයුම් අරඹා සිටියදී පොලීසියේ දැනුම්වත් කිරීම මත යුද හමුදාවේ භට පිරිසක්, නාවික භට කණ්ඩායමක් මෙහෙයුම සඳහා දායක කරන්නට පියවර ගෙන තිබුණි. මෙහෙයුමෙන් පැය කීපයකට පසුව දියේ ගිලී මරණයට පත් වූ සිරුරු එකිනෙක සොයාගැනුණු අතර එදින රාත්‍රිය වන විට සිරුරු 7 ක් සොයාගැනීමට හැකි වී තිබිණි. පසුගිය 4 වැනිදා සවස් යාමයේ වූ ඛේදවාචකයෙන් අතුරුදන්ව සිටි දියණියකගේ සිරුර සොයාගැනීමට හැකි වූයේ පසුදින (5) සිද්ධිය වූ ස්ථානයෙන් කිලෝමීටර් දෙකක් පමණ පහළින් රැඳී තිබියදීය.

හිතවත් පවුල් දෙකේ සාමාජිකයන් 11 දෙනකු කැටුව ගිය විනෝද චාරිකාව අතරමඟදී දිය රකුසු වෙසින් ආ මාරයා බිලිගත් ජීවිත සංඛ්‍යාව 8 කි. නාත්තණ්ඩිය මළගමක් කළ තෙලිගමු ඔය තවමත් ගලායද්දී කිංස්ලිගේ පවුලේ මියගිය පිරිස පසුගිය 7 වැනිදාත් ඊට පසුදින රවීන්ද්‍රගේ පවුලේ මියගිය පිරිසත් එකම භූමියක දී මිහිදන් කෙරුණි.

I කතාව - සමන්ත ප්‍රදීප් විල්තෙර

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00