2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

යාලේ රාවේ ඇහෙනවද රාළේ?

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 198

පළාතේ හෝටල් කර්මාන්තයත් ඉවරයි 
ජීප් රථ ආදායම බින්දුවට බැහැලා 
සහන දුන්නා: ගැටලු නැහැ

අද වෙනකොට තිස්සමහාරාම ප්‍රදේශයේ බඩ ඉරිඟු කරලින්, කොමඩු ගෙඩියෙන්, බෙලි මල් කෝප්පෙන් එදා වේල ගැටගසාගත් පීඩිත පන්තියේ අහිංසකයන්ගේ කර මතට තවත් හෙණ ගෙඩියක් පතිත වී ඇත්තේය. ඒ හෙණ ගෙඩිය වහිනකොට වදින අකුණු සැරයටත් වඩා දැඩි වේදනාකාරී බවක් ගෙන එන බව තිස්සමහාරාම ප්‍රදේශයේ ඇවිද යන්නකුට දැකගැනීමට හැකිය. වෙනදා රෑ 12ට එකටත් තිස්ස නගරය පුරා සැරිසරන සුදු ජාතිකයන් නැත්තටම නැති වී ගොස්ය. 

සැබැවින්ම කියතොත්, රටට ජාතික සම්පතක් වන මහත් වූ ආර්ථික වාසියක් රටට ලැබෙන යාල සෆාරි ජිප් රථ සේවාවට දමා ඇති තහනම් නියෝගය එම ජිප් රථ මගින් දිවිගෙවන සියලු දෙනාට මරුපහරක් එල්ල වී තිබේ.

මෙම කතාවේ වස්තු බීජය වන යාල රැකගැනීමේ මුඛ්‍ය පරමාර්ථය තුළ සැබැවින්ම යාලට ළැදි මේ හැම පාර්ශ්වයක්ම සිටීමත් සතුටට කරුණකි.

පසුගිය ඔක්තෝබර් 23 දා වසා තිබූ රුහුණ යාල ජාතික වනෝද්‍යානය යළි විවෘත කළත් සෆාරි ජිප් රථ යාලට ඇතුළු කිරීමේ සීමා නීතියක් දමා තිබීම 1200කට ආසන්න සංඛ්‍යාවක් වන යාල සෆාරි ජිප් රථ හිමිකරුවන්ට විශාල අනපේක්ෂිත ගැටලුකාරී කරුණක් විය.නොසිතූ ලෙස කඩිමුඩියේ කරදියට ආ සෆාරි ජිප් සීමා නීතියට යටත් වීමට මේ වන විට කිසිදු ජිප් රථ හිමිකරුවකු කැමැත්ත පළ කරන්නේ නැත. ඔවුහු තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලීම් දිනාගැනීමට සටනට ප්‍රවිශ්ට වනුයේ 23 වැනිදා යාල පලටුපාන ප්‍රධාන දොරටුවේ සහ තිස්සමහාරාම නගරයේ දී, උද්ඝෝෂණ ක්‍රියාදාමයකට සම්බන්ධ වීමෙනි.කරුණු කාරණා එසේ වෙද්දී වනජීවී පරිපාලනය තම නව නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකිරීම නිසා යාල කලාප අංක එක සෆාරි ජිප් රථ සේවය අද වන විටත් නැවතී තිබීම සෑම අතකම ආර්ථිකයට ඍණ ලකුණු ගෙන දෙන්නක් වී තිබීම කනගාටුදායක කරුණකි. පසුගිය දින කිහිපය පුරාවට මේ ගැටලුව සම්බන්ධව සාකච්ඡා කිහිපයක්ම සිදුවුවත් කිසිදු සහනදායී ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නොහැකි වී තිබීම අවාසනාවකි.

මේ නිසා අද තිස්සමහාරාම කේන්ද්‍ර කොටගෙන ඇති යාල සංචාරක ව්‍යාපාරය විශාල බිඳවැටීමකට ලක්ව තිබේ. 

ඒ.පී. අජිත් ප්‍රියන්තයාල ජිප් රථ හිමියන්ගේ සංගමයේ සභාපති

(මීට අවුරුදු දෙකකට කලින් ලියාපදිංචි ජිප් 300 ක් පමණ තිබෙන කාලේ අපි බලධාරීන්ට කිව්වා, මේ ගැන විශේෂ වැඩපිළිවෙළක් තිබීමේ අවශ්‍යතාවය ගැන.

ඒත් ඒ වෙලාවේදී කිව්වා මේවාට එහෙම නීති දාන්න නීතිමය පසුබිමක් නොමැති බව. 2015 සිට යාල උද්‍යාන භාරකරු මේ බව කිව්වා. එදා නීතිය අදට නැහැ. දැන් නීති දමා කොහොම හරි යාල ආදායම් නැති තත්ත්වයකට යොමු කරන්න හැදුවොත් හැමෝටම පාඩු වෙනවා. විශේෂයෙන් රටේ ආර්ථිකයට විශාල පාඩුවක් වෙයි.

2016 දී සුමිත් පිලපිටිය අධ්‍යක්ෂකවරයා අද මේ දමා ඇති නීතිය ක්‍රියාත්මක කරන්න හැදුවා. ඒත් එතුමා ඉල්ලා අස්වුණා.එදා ඒ ක්‍රමය ක්‍රියාත්මක කළා නම් අද ගොඩාක් හොඳ වෙනවා. ලෝක බැංකු ආධාර යටතේ මිලියන විශාල ප්‍රමාණයක මුදලක් ලැබෙනවලු. ඒකලු යාලට සීමාවන් දාලා එම මුදල් ගන්න බලන්නේ. අපි මේ සඳහා යෝජනා හදලා ඇමැතිතුමාට දුන්නා. එහි සමහර ඒවා එයාලා පිළිගත්තා. ඒ යෝජනා අතර රජය වසරකට මාස දෙකක් යාල වහන්න හදනකොට, අපි දවසකට පැය දෙකක් වසා දැමීමට යෝජනා කළා. එය විශාල පිම්මක්. සතුන්ට ඒ පැය දෙකත් ගොඩාක් වටිනවා. අපි මොනවා කළත් සතුන් තමයි අපේ පණ! එය රැකගනිමින් මෙම සේවාව කිරීම වැදගත් වෙනවා. මේ සඳහා සහනදායී පිළියමක් හැකි ඉක්මනට අපි බලාපොරොත්තු වෙනවා.)

තිළිණ අකලංක සමරසූරිය
තිස්සමහාරාම ස්වාධීන සංචාරක හෝටල් හිමියන්ගේ සංගම‍ෙය්  ලේකම්


(තිස්සමහාරාමයට, වීරවිලට, කිරින්දට පැමිණෙන සංචාරකයන්ගේ මූලික අභිලාෂය වනුයේ බොහෝදුරට යාල සතුන් නැරඹීමයි.

මේ සතුන් නරඹන හැම විදේශීය සංචාරකයෙක්ම මේ ප්‍රදේශවල රෑයක් ගත කර පසුදා පිටත්ව යාම කාලයක පටන් සිදු කරනවා. ඒත් අද යාල මෙම ප්‍රශ්නය හේතුවෙන් සියලුම සංචාර හෝටල් ව්‍යාපාරයම කඩාවැටීමකට ලක්වෙලා. හරියට එදා යුද්දෙ කාලේ වාගෙයි. අපේ  ආදායම් මාර්ගයන්ට විශාල මරුපහරක් අද වන විට වැදිලා ඉවරයි.

සෆාරි ජිප් ප්‍රශ්නය ගැන අපි තමයි මුලින්ම රජයට යෝජනා කළේ මීට වසර දෙකකට පෙර. එදා මෙය ක්‍රියාත්මක වූවා නම් අද මෙම ගැටලු නැහැ.

2014 වර්ෂයේ මේ ප්‍රදේශවල තිබූ සංචාරක ආකර්ෂණය අති විශාලයි. විදේශීය සංචාරකයෝ ඕනෑ තරම් මේ හෝටල්වල ලැගුම් ගත්තා. එදා “ස්මයිල් ට්‍රී” නමින් ආසියානු සංවර්ධන බැංකුව හරහා හෝටල් හිමියන්ගේ පහසුව, සංවර්ධනය වෙනුවෙන් සියයට අටක අඩු පොලී මිලියන 50ක මුදලක් රජය විසින් ලබා දුන්නා, හෝටල් දියුණු කරන්න. ඒ වාගේ වක්‍ර දිරිගැන්වීම් ලබාදීමෙන් මෙම හෝටල් හදිසියේ මෙවැනි නීතියකින් සෆාරි ජිප් රථ සීමා කිරීම ඇත්තට විශාල පාඩුවක් වෙනවා.

අපි online booking එන වසරේ අප්‍රේල් මස දක්වා මේ වන විට අරගෙන ඉවරයි. විදේශිකයන්ට මේ ප්‍රශ්න අදාළ නැහැ. අපිට සර්විස් එක දෙන්න තමයි තියෙන්නේ. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේ ගැන පුළුල්ව සාකච්ඡා කරලා අප්‍රේල් මස වන විට ක්‍රමවේදයක් සෑදීම සුදුසුයි කියලා.

යාල පලටුපාන ප්‍රවේශයත් නව හීන් වැව පිටවීමේ ප්‍රවේශයකුත් සෑදීම මෙහිදී වැදගත් වෙනවා. යාල ඇතුළෙ තිබෙන තදබදය අවම කිරීම වැදගත් වෙනවා. අපි යෝජනා මාලාවක් රජයට ඉදිරිපත් කළා. ඒ සම්බන්ධව බලධාරීන් කටයුතු කිරීම වැදගත්. අද විශාල වශයෙන් තිබෙන සෆාරි ජිප්වලින් හැමෝටම සංචාරකයන් ගෙනියන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනෙ. මේවාට ක්ෂණික විසඳුම් නොමැතිව දීර්ඝකාලීන කැමති විසඳුමක්, කාටත් සාධාරණ වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ජිප් රථ රියැදුරන් හා සංචාරක මඟපෙන්වන්නන් නිසි ලෙස පුහුණු කිරීමේ ක්‍රියාවලියකට යොමු කළ යුතුයි. තවද යාලට නොමැති අංගසම්පූර්ණ පශු වෛද්‍ය ඒකකයක් ද ලැබෙනවා නම් වටිනවා. දැනට තිබෙන දිනකට සෆාරි ජිප් රථ සීමා කිරීමේ නීතියෙන් සංචාරක ව්‍යාපාරයේ සියලුම හෝටල් ඇදවැටීමකට ලක්වෙනවා. මෑතක සිට යාල විශාල සංචාරක ආකර්ෂණයක් ඇතිවුණ බවට හොඳම කරුණ තමයි සෆාරි ජිප් රථ සංඛ්‍යාව වැඩි වීම. මේ ආදායම ගමට රටට විශාල ආයෝජනයක්. අපි ගොඩාක් දුක් මහන්සි වෙලා අද වෙනකොට ලබාගෙන තිබෙන ආර්ථික වර්ධනයට බාධා නොවන ලෙස යාල නීති රීති සකස් කරනවා නම් ඉතාමත් වටිනවා.)

හසුන් මේනක
ජිප් රථ රියැදුරු - අයිතිකරු

(අපි අවුරුදු හතකට වැඩි කාලයක් මේ සෆාරි ජිප් රස්සාව කළා. අපේ පවුලේ තාත්තා බයිපාස් සැත්කමක් කරලා. නංගි තාම අධ්‍යාපනය හදාරනවා. පවුලේ සියලු බර ගෙනියන්නේ මම. සෆාරි ගිහින් ලැබෙන මුදලින් තමයි මේ සේරම කරන්නේ. යාල වැසූ දා සිට අදට මාස දෙකක් වෙනවා, අපේ හැම වැඩක්ම දැන් අනාථයි. මේවා නොතිබුණොත් ඉදිරියේ දී මිනිස්සු හොරු බවට පත්වේවි.

ගස් කපලා විකුණාවි, සත්තු මරාවි, ගංජා වවාවි, යාල හින්දා මේ අවදානම නැති වුණා. යළිත් මිනිස්සුන්ව අගාධයට දාන්න එපා. නීති අවශ්‍යයි. ඒත් ඒවාට නිසි ක්‍රමයක් හදන්න.)

අනිල් ජයන්ත
හෝටල් හිමියෙක්

(අපේ සංගම් හතරක් ඇමැතිතුමා සමඟ සාකච්ඡා කළා. සමහර කරුණු සම්බන්ධව ඇමැතිතුමා එකඟ වුණා. ඉදිරි 2018 ජූනි මස ක්‍රියාත්මක වන සැලසුමක් තියෙනවා. එය සමස්ත වනජීවී සංචාරක අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාකාරී සැලසුමක්. ඒ සඳහා 17 දෙනකුගෙන් සමන්විත යාල උප කමිටු සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවා තියෙනවා. එවැනි යෝජනා මගින් යාල රැකගැනීම ඉතා හොඳයි. ඒත් දැනට පැනනැගී ඇති ගැටලුව සෆාරි ජිප් සර්විස් එක නීති දමා බාධා කිරීම නම් මේ මොහොතේ අනුමත කරන්නේ නැහැ. අපේ මුළු ආර්ථිකයට මේ නිසා විශාල පහරක් වදිනවා.)

ජේඩ් ඩු මෝටයාර්
කැනඩා ජාතික සංචාරක යුවළක්

(අපි ගොඩාක් ආසාවෙන් ලංකාවට එන්නේ යාල සත්තු බලන්න. ඒත් එහිදී සෆාරි කරන්න බැරි නම් අපි කනගාටු වෙනවා. අපිට ඕනෙ යාලේ සත්තු බලන්න. ලංකාවේ දිවියා, අලියා ගොඩාක් ලස්සනයි. ජිප් එකක නැගලා සෆාරි කරන්න අපි ආසයි. ඒ පහසුකම් නැත්නම් අපි කෙන්යාවේ, කොංගෝවලට මීටපස්සේ යනවා.)

රංජන් මාරසිංහ - සැලසුම් අධ්‍යක්ෂ
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

(නොවැම්බර් 2 දා වෙනකොට සෆාරි ජිප් ප්‍රශ්නය ඉවරයි. 2 දා උදේ වරුවේ ජිප් 125 ක් පලටුපාන යාල ප්‍රධාන දොරටුවෙන් ඇතුළට ගියා. උදේ වරුවේ ජිප් රථ 200 ක් සඳහාත් සවස 200 ක් සඳහාත් අපි අවසර දුන්නා. දවසෙ 12-2 ත් අතර යාල නැරඹීම තහනම් කළා. ඉල්ලීම් වෙනුවෙන් අපි විශාල අවධානයක් යොමු කර ඒ අයට සහනයක් වෙන්න අපි කටයුතු කළා. ජිප් රථ සංගම්, හෝටල් සංගම් අපිට විශාල සහයෝගයක් දුන්නා. දැනට යාල සෆාරි ජිප්වලට විශාල ගැටලුවක් නැහැ.)

| කතාව සහ සේයා - රුක්මන් රත්නායක