2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

කාලි අම්මා ලවා හොඳ වැඩ කරවන ගාල්ලේ දේවගැති!

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2273

මගේ තාත්තා ඉන්නේ සූනියන් අප්පච්චි ළඟ

ගුරුකම් කරලා කාලිට අහු වුණොත් හත්මුතු පරම්පරාවම ඉවරයි

තියුණු විනිවිද විසල් නෙත් යුග, යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩයින්ගේ ගෙල කපා ගෙල සරසාගත් ඔළු මාලය, අත් කපා ඉන සරසාගත් දෙවඟන, භූතයෙක් පාගාගෙන මෙල්ලකර ගෙන සිටින අභීත යක්ෂාධිපතිනිය, ගත දවටා ලූ කළු සළු, කපාගත් බෙල්ලකින් වෑහෙන උණු ලේ දහරාවෙන් බඳුන පුරවා පානය කරන්නිය, ලේ තැවරුණු දික් වූ දිව අයා සිටින්නිය, යුක්තියේ මාතාව, යුදකාමිනිය, කොඩිවින, නීච බන්ධන, කැපිලි, පැන්නිලි, මිනිස් ඝාතන, සොරකම, දූෂණය, වංචාව නොඉවසන්නිය, රෞද්‍රත්වයෙන් ඒ සියලු පව් කළ උන්ට රෞද්‍රත්වයෙන්ම පිළිවදන් දෙන්නිය, පව්කාරයන්ට එරෙහිව යක්ෂ බලයෙන් බලවර ගන්වා අවි අමෝරන්නිය, දඬුවම් පමුනුවන්නිය, ලෙයත්-මරණයත් උන්ට දෙවන්නිය, එක් වරක් වැරදි කළ උන්ට සත් වරක් දඬුවම් දෙවන්නිය, නපුර කළ උන්ට නපුරම කරන්නිය, ඇය කවුරුන්ද? ඇය මහසොහොන් කාලිය. ඇය කවුරුන්ද? ඇය ලේ කාලිය.

අම්මා පෙවූ කිරෙන් සවි ලද ගතේ රුහිරය කඩුවෙන් දැලි පිහියෙන් දෑත කපා බඳුනට ගෙන ඒ යක්ෂ සේනාධිපතිනියන් නහවා ඒ රුහිරයෙන් දොල පිදේනි තටු දී ලෙයින් සනසා තුටුකොට ලන දේව ගැතිවරයෙකි. සොහොන් කාලි මෑණියන් හා ලේ කාලි මෑණියන් ලවා යක්ෂයින්ට අණ දී යක්ෂයන් බලවර ගන්වා නපුරන්ට දඬුවම් දී අසරණයන්ට සරණක් වෙන කීර්ති කුමාර බටගොඩගේ දේවගැතිවරයා හමුවන්නට අප ගියේ ගාල්ල උණවටුනේ මැටරඹ දේවාලයටය. නපුර කළ උන්ට මෙදියතදී මෙන්ම අනන්ත සංසාර භවයන්හිදීත් කර්මය, දඬුවම, විඳවීම නියතයක්ම වග අදින් ඇරඹෙන ලිපි පෙළ අවසානයේ පසක් කර මිනිස් සංහතිය පාපෙන් මුදවාගන්නා සිතුවිල්ල සමාජ පරමාදර්ශයක් බවට පත් කිරීම මේ ලිපි මාලාවේ අවසන් පරමාර්ථයයි.

පොදු සමාජය නපුරට අධිපතිනියක් ලෙස සලකන මේ කාලි මෑණියන් කවුද? කැවිලි, පැන්නිලි, කොඩිවින, නීච බන්ධන ගැන යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයන්ගෙන් පිරුණු ලෝකය ගැන ඉදිරියේදී කතා කරන්නට අපේක්ෂා කරන මේ ලිපි මාලාවේ ප්‍රවේශය කවුද මේ කාලි මෑණියන් යන මාතෘකාවෙන් ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙමු.

භාරතයේ මධුරා පුරයේ උපන් සිද්ධ මධුර මාලාව හෙවත් පත්තිනි දේවිය සත්වාරයක් උපන් හෙයින් සත් පත්තිනි ලෙසත් දොළොස් වාරයක් උපන් හෙයින් දොළොස් පත්තිනි ලෙසත් ජන ඇදහිලි හා විශ්වාසය තුළ රජයයි. සළඹ, තෙද, ඔරුපාලි, ගිනි, අඹ, සිරි හා මල් පත්තිනි ලෙස සත්වරක් උපන් නිසා ඇය සත්පත්තිනිය. දෙමට මලෙන්, ගිනි කඳුළෙන්, නයි කඳුළෙන්, විදුලියෙන්, පිනි බිඳුවෙන්, සිනා රැල්ලෙන්, අඹ ගෙඩියෙන්, සළුවෙන්, නුග කොළයෙන්, කඳුරු පොත්තෙන්, ජලයෙන්, හෙණයෙන් උපන් නිසා ඇය දොළොස් පත්තිනිය. පත්තිනි මෑණියන්ගේ ජීවන සැරිසරිය වඩා පෘථුලය. කාලි අම්මා යනු පත්තිනි අම්මාගේ අවතාර දාහතරෙන් හතක් බව ඇගේ ජීවන දත්ත මාලාවේම තවත් තැනක සඳහන්ය. භද්‍රකාලි, නාගකාලි, වන්නකාලි, ඉන්ද්‍රකාලි, නීචකාලි, සොහොන්කාලි හා ලේකාලි යනු ඇයට අයත් අවතාර රූපයන්ය. කාලි අම්මාට බලවර දෙන්නේ පත්තිනි අම්මාය. මහා බ්‍රහ්මයා පත්තිනි දේව මෑණියන්ට මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කරනු පිණිස බල වරමක් ප්‍රදානය කළේය. පත්තිනි දේවිය ලෙස දේව වරම් ලැබ දේවාභිෂේක ලබන්නට ප්‍රථම ඇය මිනිස් දුවක වූවාය. සිටු කුමරියක ලෙස සිටු කුලයේ උපන් ඒ මිනිස් දුව කන්නගීය. ඇය අතගත් කුමරු සිටු කුලයේම වුවත් හෙතෙම සියලු වස්තුව බවබෝග සූදුවටම කැපකළ සූදු කෙළින කුමාරයෙක්ම වූයේය. දවසින් දවස සන්තක වස්තුව හීනවී ගියේ සූදුව කෙරේ බැඳි ඵලක් නැති ආශාව නිසාමය. විවාහයෙන් බොහෝ කල් ඉක්ම ගියත් රති සුව සිත් පුරා කය පුරා වින්දත් සිටු කුමරියගේ කුස යහනත දරු කළල විකසිත වූයේ නැත.

දරුවන් නැති ශෝකය එක්පැත්තකය. හිමිසඳ සූදු කෙළියට යාමෙන් වන විනාශයේ වේදනාබරිත සුසුම් තවත් පැත්තකය. ළය මඬලම දුක් සයුරකය. එහෙත් කන්නගී දරා උන්නාය. පති භක්තිය ඇය බොහෝ ගරුකොට තැකුවාය. සූදු කෙළින්නට යන හිමි සඳගේ පා වැඳ ඇය ආශිර්වාද කළේ එහෙයිනි. නැවත වස්තුව අහිමිකරගෙන නිවෙසට එද්දීත් ඈ ඔහු පා නැමද නමස්කාර පූර්වකව පිළිගත්තාය. දිනක් මේ රස්තියාදුකාර සිටු කුමාරයා පෙට්ටගම ඇර සූදුවට රැගෙන යනු පිණිස අතට ගත්තේ රන්වන් පා සළඹකි. හේ දිනපතාම සූදු කෙළියට ගියේ තම මිතුරෙක් සමඟය. සිටු කුමාරයා සූදු කෙළිනු පිණිස රැගෙන යන පා සළඹ මිතුරාගේද නෙත් ගැටුණේය.

අද දින රජුගේ බිරිඳගේ රන් පා සළඹ-සොරකම් කරලා ඇත රන්දෙව් මැඳුරේ ඉඳ දුන්නොත් හරි ලෙසට උත්තර තෑගි බෝග-රජු දෙවා කීවයි නිවැරදිකරුට.

සිටුකුමාරයාත් මිතුරාත් සූදු කෙළියට එක්ව යද්දී රාජ අඬබෙරකරු ගැසූ අඬබෙරය ඇසූ මිත්‍රයා මොහොතකට වික්ෂිප්ත විය.

“එකත් එකටම මේ පා සළඹ රජ මැඳුරෙන් හොරකම් කළ රන් පා සළඹ වෙන්න ඕන. මෙයා එක්ක ගිහින් මම පරදිනවට වඩා රජුට ඔත්තුව දුන්නොත් මට හුඟක් තෑගි බෝග ගන්න පුළුවන්. රාජ ප්‍රසාදය ලබන්නත් පුළුවන්” මෙසේ සිතූ මිත්‍රයා පා සළඹ පිළිබඳ සියලු පුවත් රාජ මාළිගයට දැන්වීය. නඩු-උසාවි තැන. තීරකයා රජුය. එහෙයින් බිසවගේ නැති වූ පා සළඹ වෙනුවෙන් එදින සවස් 2.10ට සිටු කුමාරයා එල්ලා මරන්නට නියෝග දුන්නේය. වූ වින්නැහිය කන වැකුණු කන්නගී රාජ වාසල අබිමුවට දුව ආවාය. හඬා වැලපී මෙසේ යැද්දාය.

“අනේ දෙව් හාමුදුරුවනේ මගේ සැමියා මේ අරගෙන ආවේ මගේ රන් පා සළඹ”

“ඔබ වැනි දුගී හිඟන්නියකට මෙවැනි රන් පා සළඹක්?” රජු විස්මය දෙනයන රඳවා විමසුවාය.

එය කීයටත් වෙන්න බෑ... මේක මගේ බිරියගේ සළඹ...

කන්නගීට හද සත්කඩකට පැලෙන්නට තරම් දැනෙන දුක කියන්නට කෙනෙක් නැත. එහෙත් රටේ නීතිය, රාජ නීතිය කවරක් වුවත් දෙවියන්ගේ නීතිය ඊට වෙනස්ය. ඒ නීතිය රජුටත් යාචකයාටත් එක හා සමානය. සාධාරණය.  දේව නීතියේ පදනම සත්‍යම මිස අන් කවරක්ද? කන්නගී අසන්නට කෙනෙක් නැති සඳ දෙවියන්ට දුක කීවාය.

දෑත අහසට දිගු කරගත් කන්නගී මේ විශ්වයේ කොතැනකහරි සත්‍ය දකින සත්‍යවන්ත බලධරයෙක් ඇත්නම් මට මේ වෙච්ච අපවාදයට අවලාදයට අයුක්තියට එරෙහිව, මගේ සැමියා මේ රැගෙන ආවේ මගේ සළඹ නම් නිවැරැද්ද කුමක්දැයි පෙන්නුම් කළ මැනව. මගේ ස්වාමියාගේ නිදොස් බව ඔප්පු කළ මැනව.

ඇය දෙවියන් යැද්දාය. ඇගේ යැදුම මහා බ්‍රහ්මයාට ඇසුණි. කවුද මේ ගැහැනියක් කෑ ගසන්නේ... මහා බ්‍රහ්මයා දිවැසින් බැලුවේය.

මා රැකගත්තා වූ පතිදම් බලයෙන්, උදේ හවා මා මගේ ස්වාමියාට සැලකූ බව සත්‍යයක් නම් මගේ ස්වාමියා එතරම් වැරදි කරද්දිත් මා ඔහුට කරුණාවෙන්, භක්තියෙන් සැලකූ බව සත්‍යයක් නම් මගේ පති භක්තියේ නාමයෙන් මගේ ස්වාමියාගේ නිදොස් බව ඔප්පු කළ මැනව....

මහා බ්‍රහ්මයා එකෙනෙහිම සත්ගිනි ජාලාවක් රජ මාලිගය වටේ මැව්වේය.

මේ ගැහැනිය කෑගැසූ ගමන් මෙවන් හාස්කමක් සිදුවූයේ කෙසේද.. මැය නම් ලේසි පහසු ස්ත්‍රියක් විය නොහැකියි... රජුට එකෙණෙහිම එසිතුවිලි පහළ විය. දේව පුරාණය අනුව මනුෂ්‍ය දුවක් දේව වන්දනයට ලක් වූ ඈත ඉතිහාසයේත් මෑත ඉතිහාසයේත් එකම තැන එතැනය. රජු ඇයට සිටු මාලිගාවක් ද තනා දී අහිමි වී ගිය සියලු සම්පත් නැවත ලබා දී උදේ හවස කන්නගී සිටු කුමාරියගෙන් ආශිර්වාදය ද ලබාගත්තේය.

අනෙක් ආත්මයේ ඇය සාමාන්‍ය ගැහැනියක ලෙස ගොවි ගෙදරක උපන්නාය. 

දන්දීම ඇගේ ආත්මීය පුරුද්දක් වූවාය. ඇගේ ගන්නට නොව දෙන්නට හුරු වූ අතට දෑ කුල භේද වලංගු වූයේ නැත. ඇය සරණක් අවැසි කාට වුව පිහිටක්ම වූවාය. ඈ ගැන පුවත් සැල වූ ඉනික්බිති මහා බ්‍රහ්මයා මේ පුවත් සැබෑවක්දැයි පැමිණම බැලිය යුතුයැයි කල්පනා කළේය. වයසක දුර්වල මනුෂ්‍ය වේශයක් ගත් මහා බ්‍රහ්මයා මේ ගැමි ගැහැනිය හමුවට පැමිණියේය.

දුවේ මට කන්න යමක් දෙන්නකෝ

මොනවද අප්පච්චිට කන්න ඕන

මෙන්න මගේ මේ අතේ තිබෙන වී පඳුර අරගෙන ගිගිරි මහා කඳු සෑය පයින් මඩ කරලා මඩ වගුරක් කරලා මේ වී පඳුර ඉන්දලා නොඉඳුල් කොටස බුදු පියාණන්ට පූජා කරලා දෙවැනි කොටස මට දෙන්න.
උඹට පිස්සුද අප්පච්චියැයි ඇය ඇසුවේ නැත. කියූ ලෙසම ඈ ගිගිරි මහා කඳු සෑය පයින් මඩ කළාය.

ගිගිරි සෑය පයින් මඩ කරන් වෙල්යාය කළා

ඒ මඩ වගුරම ඒ වී සහලින් බත කුඹුරු කළා

එලෙස වගා කළ බෝගය දිව රෑ නිති රැක්කා

එමං පතිනි බල කුලයෙන් දෙව් විමනක බල ලැබුණා

සතුන්ටවත් කන්න නොදී එළිවනතුරු නිදිමරාගෙන රැකගත් සහලේ නොඉඳුල් කොටස ඇය බුදුන්ට පූජා කළාය. මේ ගැහැනියට මා දේවබල වරමක් දිය යුතුයි. ඇයට දරුවන් නැහැ. ඒ නිසා දරුවන්ගේ දුක දන්නවා. අයුක්තිය අසාධාරණය සිදුවුණේ ඇයට. ඒ නිසා ඇය එහි වේදනාව අසරණකම අඳුරනවා. අසරණයන්ගේ දුක දැක උණු වූ සිත් ඇති ඇයට දුක් රෝග කරදර බාධක චිත්ත පීඩාවලට පිහිට වෙන්නට හොඳට බල තියෙනවා. ඇය දුක දන්න කෙනෙක්. දුකට මුහුණ දුන්න කෙනෙක්. රජෙක් බත් කද්දි බත් හැලෙන්නේ වී ඇටය බත් ඇටය වෙනකම් විඳිය යුතු දුක නොහඳුනන නිසා. ඒත් ගොවියෙක් බත් කද්දි බත් ඇටයක්වත් බිම නොහෙලන්නේ වී ඇටය බත් ඇටය කරන්නට විඳින දුක දන්න නිසා... දුක දන්නා ඇයට මිනිස් වර්ගයාගේම දුකට අසරණකමට පිහිට විය හැකියි. එසේ සිතූ මහා බ්‍රහ්මයා ඇයට බලවර දාහතරක් දී මෙසේ කීය.

ගිගිරි සළඹක් මුතු සළඹක් රන් සේලයක් මේ පතිනි බල අවතාර ගෙන සත්‍ය උදෙසා යහපතින් හොඳින් කරන්න පුළුවන් දේවල් කරන්න. එහෙත් යමෙකුට නීච, අණවින බන්ධන, කොඩිවින කරන, මරුවාගේ තුරුලට යවන රිසින් මිනිස් ජීවිත විනාශ කරන, සොරකම් කරන, පාපකාරී මිනිසුන්ට සළඹ අතින් ගෙන දඬුවම් කරන්න බෑ. රෞද්‍රයාට, එරෙහි සටනේදී ඔබත් රෞද්‍ර වෙස්ගත යුතුයි. ඒ රෞද්‍ර වෙස් ගන්නේ රෞද්‍රයාට එරෙහිව මිස අහිංසකයකුට, එරෙහිව නොවෙයි...

එසේ කී මහා බ්‍රහ්මයා භද්‍රකාලි, වන්න කාලි, ඉන්ද්‍රකාලි, ගිනිකාලි, ලේකාලි, නාගකාලි, සොහොන් කාලි නම් අම්මාවරු හත් දෙනෙක් පත් කර දුනු ඊතල චක්‍රායුධ, සේසත් දී ඒ අම්මාවරු බල ගැන්වූවාය.

භද්‍රකාලි දෙව් අම්මට බාරයි විශ්වයෙ සියලුම දුක්ගිනි නසන්න... මහා බ්‍රහ්මයා කාලි අම්මාට විශ්වයේ පීඩිත සකල මානවයන් වෙනුවෙන් ලබාදුන් යුක්තියේ පරමාධිපත්‍යමය වගකීම එය විය.

මම මහසොහොන් කාලි අම්මගෙන් සහ ලේ කාලි අම්මගෙන් වැඩ කරන්නෙ... දේවගැතිතුමා එසේ පවසත්ම අපි මෙසේ විමසීමු.

ලේ කාලි අම්මා... සොහොන් කාලි අම්මා කොයි වගේද?

සොහොන් කාලි, ලේ කාලි අම්මාවරු යක්ෂයින් අතර යක්ෂ සේනාධි නායිකාවන්. පෙර පව් නිසා යක්ෂ සේනාධි නායිකාවන් ලෙස උපත ලද්දත් ගරු ගාම්භීර තේජස් සහිත යක්ෂ සේනාධිපතිනියන්. නපුර කළ උන්ට නපුරෙන්ම උත්තර බඳින අසරණ අහිංසක මිනිස්සුන්ගේ දුකට පිහිටවන සොහොන් කාලි අම්මා හා ලේ කාලි කාලි අම්මා මතු බුදුවන බුදුවරයකුගේ පිහිටෙන් අනන්ත සංසාරේ යම් භවයකදි ඒ යක්ෂ ආත්මවලින් මිදී අසරණ පීඩිත මිනිසුන්ට පිහිට වූ පුණ්‍ය බලයෙන් සැනසීම ලබනවා. සොහොන් කාලි අම්මා, ලේ කාලි අම්මා හොඳට හොඳයි නරකට නරකයි. බොරු කරලා, හොරකම් කරලා, මිනී මරලා, නීච බන්ධන, කැපිලි, පැන්නිලි කරලා කාටවත් කවදාවත් හැංගෙන්න බෑ. කාලි අම්මට ඒ පව්කාරයන් අහුවෙච්ච දවසට වරද කළ එකාට විතරක් නෙවෙයි, සමහර විට හත්මුතු පරම්පරාවටම වන්දි ගෙවන්න වෙනවා. තාත්තා කොඩිවින කරලා මැරිලා ගියත් බිරිඳ දරුවන් පිටින් හරි ඒ පාපය යනවා. සංසාරෙටත් ඒ පව් අරන් යනවා. කර්මයෙන් මිදීමක් නෑ... දඬුවමින් බේරෙන්න බෑ...

දේවගැතිතුමනි නොපෙනෙන ලෝකයක් ගැන කියන ඇතැම් අය, නැත්නම් බොහෝ අය කරන්නේ අසරණ මිනිසුන් මුලාකර සල්ලි කඩාගන්න එක. ඒත් ඔබ මිනිසුන්ගේ දුක හඳුනන දුකට පිහිටවන, මුදල් නොතකා සත්වයාට සෙත සලසන දේවගැතිවරයෙකු ලෙස ප්‍රසිද්ධයි...

මේ ඔබේ ඇත්ත ප්‍රතිරූපයද?

අවුරුදු 13 දී මගේ තාත්තා මැරුණා. දරුවෝ දෙන්නෙක් එක්ක අම්මා තනිවුණා. අපි අන්ත අසරණ වුණා. මම ඉගෙන ගත්තේ ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ. තාත්තා නැති වුණාම අපි දුප්පත් වුණා. මම පාන් කෑල්ලක් එක්ක මිරිස් කුඩු දාලා කාලා තියෙන ජාතියේ මිනිහෙක්. ඒකයි මම පොඩි මිනිහගේ දුක අඳුරන්නෙ. මම ලොකු මිනිහා පස්සට දැම්මත් පොඩි මිනිහා පස්සට දාන්නේ නෑ. කන්ද උඩ මැටි ගෙදරක අපි හිටියෙ. රත්ති කියලා හරකෙක් අපිට හිටියා. රත්තිගේ කිරි මුදවලා ගන්න සල්ලි, කුඹුරු වැඩක් කරලා ගන්න සල්ලි වලින් තමා අපේ ජීවිත ගැටගැසුණේ. අපේ තාත්තා ඉද්දි ඒ කාලේ ගිහි පිරිත් කණ්ඩායමක නායකයෙක්. කරුණාපාල මාමා කීවාම ගමම දන්නවා ඒ කාලේ. අපේ ආච්චිට කීවේ බෝධි පූජා ආච්චි කියලා. ආච්චි මැරිලා පත්තිනි දෙවියන්ගේ දේවසේනාධිපති නායිකාවක් වුණා. අද ඇය පත්තිනි දෙවියන්ට සේවය කරන දේව දූතිකාවක්.

මගේ තාත්තා ඉන්නේ සූනියන් අප්පච්චි ගාව. ඒ බල අරගෙන තාත්තාත් ආච්චිත් මගේ ඇඟට එනවා. එහෙම ආවම මගේ මනෝකාය ඉවත් වෙනවා. ඒ වෙලාවට කරන කියන දේවල් මම දන්නෙ නෑ. දෙවියන් කිසිකෙනෙක් මනුෂ්‍ය ඇඟට එන්නෙ නෑ. මනුෂ්‍ය ශරීරය දෙවියන්ට දැනෙන්නේ හත් දවසක් කුණු වුණ බලු කුණක් වගේ. ඒ දුර්ගන්ධය අප්‍රසන්න බව තමා දෙවියන්ට මනුෂ්‍ය ශරීරයකින් දැනෙන්නෙ. දෙවියන්ගේ බලය මනුෂ්‍ය ශරීරයට එන්නේ අර වගේ බල ඇති අපේ ඥාතින් හරහා.
මම ඇත්තටම පියවි සිහියේ ඉද්දි ලේවලට බයයි. මට ලේ දකිද්දි කලන්තය දානවා. ඒත් ආවේශය ආවම මම කඩුවෙන් දැලි පිහියෙන් මගේ අත කපලා ඒ ලේ කඳ සොහොන් කාලි අම්මට, ලේ කාලි අම්මට පූජා කරනවා. කාලි අම්මව ලෙයින් නාවනවා. පියවි සිහියට ආවම මට වේදනාව දැනෙනවා. දනවා පිච්චෙනවා. ඒත් ඉවසනවා. මේ අම්මත් එක්ක වැඩ කරනවනම් දොළපිදේනි තටු දෙන්න ඕනෑ. මම කවදාවත් එළුවෝ කපලා කුකුළෝ කපලා ලේ අරගෙන නෑ. මම සත්තු මරලා ජීවිත හානි කරලා ලේ පූජා කරන්නෙ නෑ. මගේ අම්මා මට පොවපු කිරිවලින් මගේ ඇගේ හැදුණු ලේ දීලා යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයින්ට බලවර කරලා සොහොන් කාලි අම්මා - ලේ කාලි අම්මා ලවා ඒ බලයන්ම අනික් පැත්තට යවලා අසරණ දුකට පත් මිනිස්සුන්ගේ ජීවිත බේරනවා.

මතු බුදුවන බුදු කෙනෙක් කවදාහරි බුදු වී සානුකම්පිකව දිවැසින් දැක මේ යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයින්ව යම් සුගතිගාමී භවයකට යවනකම් උන් මේ දුක් සහිත බව තුළ ඉන්නවා. එක ලේ බිඳුවකින් යකෙකුට වර්ෂ 300කට ආයුෂ ලැබෙනවා. උන්ට ලේ නෑ. මම මගේ සිරුරේ ලේ දී යකුන් පෝෂණය කරනවා. සොහොන් කාලි අම්මාට, ලේ කාලි අම්මාට ලේ පූජා දී, දොල පිදේනි තටු දී ඒ අම්මාවරු ලවා බලවර යක්කුන්ව යොදාගෙන කොඩිවින නීච බන්ධන මිනීමැරුම් කරලා මිනිසුන්ව විනාශ කරන්න යවපු යකුන්වයි ඒවා කරපු උන්වයි ඉවර කරනවා. මිනිසුන්ගේ යහපත පිණිස යක්කුන්ට කන්න දීලා බොන්න දීලා ඉඳුම් හිටුම් දීලා උන්ව පාවිච්චි කරවනවා.

යහපත් මිනිස්සුන්ව විනාශ කරන්න අග ගන්න මුල ගන්න වැඩ කරන උන්ට කාලි අම්මා කියන්නේ උඹලා මගේ අණ නෑහුවොත් තොගේ බෙල්ල කපලා මගේ මේ බෙල්ලෙ දාගන්නවා. මම කියන දේ අහන්නෙ නැතුව තෝ කාටහරි අණවින කොඩිවින කළොත් තොගේ අත කපලා ඉණවට සරසා ගන්නවා. මේ බලපන් මම බොන්නෙ තොපේම ලේ. තොපි දඟලන්න එපා. මිනිස්සුන්ට නරක දේ කරන්න එපා කියලා. සොහොන් කාලි අම්මා කියන්නේ යුක්තියේ මාතාව. ලේ කාලි අම්මා කියන්නේ යුක්තියේ මාතාව. යමෙකුට අයුක්තියක් අසාධාරණයක් වෙනවනම් ඇය ඉවසන්නෙ නෑ. දඬුවම් කරනවා. අසාධාරණ හේතුවක් උඩ අකල් මරණයකට වැඩ සිදුකළොත් ඒ ගෙදරින් හත්දෙනෙක් බිල්ලට ගන්නවා.

ලංකාවේ මනෝ වෛද්‍යවරු මේ සියල්ල දකින්නේ, දෙවියන් හා ගනුදෙනු කරන අප දකින්නෙත් මානසික රෝගින් හැටියට. ඒත් යුරෝපයේ මනෝ වෛද්‍යවරු මේ නොපෙනෙන බලවේග නොපෙනෙන ලෝකය විශ්වාස කරනවා. මේ ලෝකයෙන් අපේ ඇසට පේන්නේ සීයට විස්සක් විතරයි. ඉතුරු සීයට අසූව පෙනෙන්නෙ නෑ. ඒ සීයට අසූවක් දේ තියෙන්නෙ නොපෙනෙන ලෝකයේ. කාලි මෑණියන් ගැන ඉන්දියාවට ගොස් පර්යේෂණ ගවේෂණ කරන හොලන් ජාතික මනෝ වෛද්‍යවරයෙක් අන්තර්ජාලය ඔස්සේ මේ ගැන තොරතුරු දැනගෙන මා හමුවන්නට පැමිණ සතියක් මෙහෙ නැවතී හිටියා. ඔහු කාලි මෑණියන් ජීවමාන බව විශ්වාස කරනවා...

(ඇසට නොපෙනෙන ලෝකයේ තවත් කඩඉමක සිට ඉදිරි සතියේත් හමුවෙමු)

 සංජීවිකා සමරතුංග
    සේයාරූ/ චන්න කස්සප කෝරළේආරච්චි