2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ලංකාවේ ඉඳන් තායි බැංකු කැඩූ ලෝක හොරු!

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 244

ලංකාවට ඇති තරම් හොරු සිටිති. බස් එකේ පොකට් එකට විදීමේ සිට මහබැංකුවට විදීම දක්වා අපේ රටේ හොරු වර්ධනය වී ඇත. යන එන මං නැති කෑමත් නැති උන් ජීවත්වීමට හොරකම් කරන විට ඇති තරම් මුදල් ඇති, යාන වාහන ඇති කෑවදේ උස්මුරුත්තාවට එන උන් සොමියට හොරකම් කරති. එහෙත් පොඩි උන් කූරු ගණින විට මහ උන් තවමත් සල්ලි ගනිමින් හොරකමේ සවුදිය පුරති. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ තවත් ලෝක කම්බ හොරු රැලක් ගැන කතාවකි. කාලයක් රටට විද්ද මේ රැළ දැන් ජාත්‍යන්තරයටද විදින්නට සුදානම්ව ඇත. එහෙත් අවසානයේ කාටත් හිතාගත නොහැකි මොහොතක මේ රැළේ හොටවල් කෙසෙල් ගසේ පැටලුනෝය. ඒ හොට පැටලුණු කතාව මෙසේ දිගහරින්නමි.

මේ මාසය ආරම්භ වී දින කිහිපයක් නික්මයාමත් සමඟ පසුගිය සතියේ දිනක චීන ජාත්‍යන්තර පොලීසිය මගින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධිත ජාත්‍යන්තර පොලීසියට තොරතුරක් ලබාදුන්නේය. ඒ තායිවානයේ බැංකුවකින් මුදල් තොගයක් සොරා ගැනීම ගැනය. එම මුදල් බැංකුව හරහා ඇද ඇත්තේ හැකර්වරු පිරිසක් බවත් මෙහිදී හෙළිවිය. එසේම එම බැංකුවෙන් සොරාගත් මුදල් මෙරට බැංකුවකට එවා ඇති බවත් ජාත්‍යන්තර පොලීසිය මගින් දැනුම්දෙන ලදී. 

එම පණිමුඩයත් සමඟ රහස් පොලීසිය සිය පරීක්ෂණ ආරම්භ කළ අතර මෙරට සියලු බැංකු වෙත මුදල් පැමිණීම ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම් දුන්හ.

මේ අතර පසුගිය සතියේ දිනක මෙරට කොළඹ පිහිටි රජයේ බැංකුවක කළමනාකරු විසින් රහස් පොලීසියට තොරතුරක් ලබාදුන්නේය. එම බැංකුව ලංකා බැංකුව වූ අතර පැමිණිල්ල යොමු කළේ එහි පෞද්ගලික බැංකු සේවා අංශයේ කළමනාකරු ජගත් අනුරසිරි කුරුප්පු මහතාය. එම තොරතුරට අනුව කියවුණේ එම බැංකුවේ එක්තරා ගිණුම් හිමියකුගේ ගිණුමට අ‍මෙරිකානු ඩොලර් මිලියන ගණනින් මුදල් පැමිණෙන බවත් ඔහු පැමිණ මුදල් රැගෙන යන බවත් දන්වාය. ඒ වනවිටත් ජාත්‍යන්තර පොලීසිය හරහා ලබාදී තිබූ තොරතුරට මෙම තොරතුර සමාන බව රහස් පොලීසියට තේරුම් ගියේය.

වහාම පරීක්ෂණ ආරම්භ කළ අතර එම බැංකු ගිණුම කාගේදැයි සොයා ගත්තේය. අංක 80663687 දරන ගිණුම අයත් ජනක චමින්ද නම්මුණිගේ යන අයගේ ගිණුමට මුදල් ලැබී ඇත. එම මුදල ඇමරිකානු ඩොලර් 11,03,960ක් බව රහස් පොලීසියට සොයාගත හැකිවිය. එසේම මෙම මුදල ඔක්තෝ්බර් 03 වැනිදා බැංකු ගිණුමට බැරවී ඇති අතර ඉන් ලංකා මුදලින් කෝටි තුනක මුදලක් ඊට පසුදින එනම් ඔක්තෝ්බර් 04 වැනිදා ඔහු රැගෙන ගොස් ඇත. ඒ අනුව මේ පිළිබඳව බැංකු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්නට විය.

පසුගිය ඔක්තොම්බර් හතරවනදා නම්මුණි නැමැත්තා ලංකා බැංකුවට පැමිණ ඇත. එසේ පැමිණි මොහු සිය ගිණුමට අ‍මෙරිකානු ඩොලර් මිලියන ගණනක් ලැබී ඇතිදැයි විමසා ඇත. බැංකු නිලධාරියා එය පරීක්ෂා කර ඇති අතර ඒ වනවිටත් එම ගිණුමේ ඩොලර් 11,03,960ක් තිබී ඇත. ඉන්පසුව ඔහු පවසා ඇත්තේ එම මුදලින් කෝටි තුනක මුදලක් තමාට අවශ්‍ය බවය. එසේම තවත් කෝටි පහක මුදලක් වෙනත් බැංකු ගිණුමකට මාරුකරන ලෙසද දන්වා ඇත. එහෙත් කෝටි පහක මුදල වෙනත් ගිණුමකට එදින මාරු කළ නොහැකි නිසා ඊට අදාළ මුදල් හුවමාරු අයදුම්පතක් පුරවාගෙන එන ලෙසට දන්වා ඇත. එහෙත් ඔහු නැවත පැමිණ නැත.

කෙසේ වෙතත් මේ සිද්ධියට පසුදින ජගත් අනුරසිරි මහතාට දුරකථන පණිවිඩයක් මගින් පැමිණිල්ලක් ලැබී ඇත. ඒ ලංකා බැංකුවේ අමෙ‍රිකානු ඩොලර් ගිණුම පවත්වාගෙන යනු ලබන නිව්යෝක් නුවර සිටි බැංකුවේ කොළඹ කාර්යාලයේ සේවය කරණ අසේල නැමැත්‍තාගෙනි. ඔහු පවසා ඇත්තේ නිව්යෝක්හි සිටි බැංකුවේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී ලබාගත් අමෙරිකානු ඩොලර් 11,03,960 ක මුදලක් ගිණුම් අංක  80663687 දරන ගිණුමට බැර වී ඇති බවය. එය සම්පූර්ණයෙන් ව්‍යාජ ගෙවීමක් බව ඔහු දන්වා ඇත. ඒ අනුව මේ පිළිබඳව සැක කළ ජගත් අනුරසිරි මහතා පැමිණිල්ලක් රහස් පොලීසියට යොමු කොට ඇත.

දිනය පසුගිය 07 වැනිදාය. එදින රහස් පොලීසිය සිය නිලධාරීන් යොදවමින් අවධානයෙන් සිටියේ හොරා එම ස්ථානයට පැමිණෙන තෙක්ය. සුපුරුදු පරිදි හොරා එදිනද ආවේය. ඒ ඉහත කී ගිණුමෙන් තවත් රුපියල් කෝටි අටක් රැගෙන යාමටය. එහෙත් ඒ වනවිටත් රහස් පොලීසිය වටලා සිටි නිසා සැකකරු කොටුවූයේ බඩුත් සමඟය.

මෙලෙස අඩංගුවට ගත්තේ ජාත්‍යන්තර කම්බ හොරෙකු වූ  ජනක චමින්ද නම්මුණිගේය. එසේ අත්අඩංගුවට ගත් නම්මුණිගේ රඳවාගෙන රහස් පොලීසිය ප්‍රශ්න කරන්නට විය. ඔහු සියලු දේවල් ගිරවකු සේ වමාරන්නට විය.

සැකකරු හෙළිකරන ලද තොරතුරැ මත අදහාගත නොහැකි රහසක් ද කීවේය. ඒ තමන් බැංකුවෙන් ගත් කෝටි තුනක මුදලින් කෝටි දෙකක් මෙරට ප්‍රබලයකුට ලබාදුන් බවය. ඔහු වෙනින් කවුරුත් නොව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහය. මෙම වංචාවේදී ශලීලගේ භූමිකාව කියූ පසු පොලීසිය අන්දමන්ද විය. එසේම සැකකරු බැංකුවේදී අත්අඩංගුවට ගන්නා මොහොතේ ශලීලද සිටි බව මෙහිදී සැකකරු හෙළි කළේය.

ඒ අනුව මෙම ජාත්‍යන්තර මෙහෙයුමේ තවත් මොළකරුවකු වන ශලීල අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළේය. පොලීසියට කට්ටි පනිමින් සැඟවී සිටි ශලීල අවසානයේ ස්වකැමැත්තෙන් රහස් පොලීසියට බාර වුණේය. ඒ නීතිඥවරු මාර්ගයෙනි. අත්අඩංගුවට පත්වූ ශලීලගෙන් මෙහි ඇත්ත කතාව විමසීය. ශලීල රහස් පොලීසියට අවනත වී සියලු දේ වැමෑරීය. කෙතරම් කීකරු වුවාදැයි කියතොත් රහස් පොලීසිය විමසීමටත් පෙර ඔහු ළඟ සඟවා තබාගෙන සිටි ජංගම දුරකථනයක් පවා පොලීසියට ලබාදුන්නේය.

ශලීල කියන පරිදි නම්මුණිත් ඔහුත් ඥාතීන්ය. ඔවුන් දෙදෙනාත් ඉන්දියන් ජාතිකයන් කිහිපදෙනෙකුත් කාලයක් ජීවත්ව සිට ඇත්තේ බ්‍රිතාන්‍යයේය. එහිදී මේ පිරිස නොයෙකුත් වැඩ කර ඇති අතර මේ බැංකු මෙහෙයුමද එවැනිම තවත් වැඩකි. ඒ අනුව මෙම සයිබර් ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඉන්දියානු ජාතිකයන් පිරිස විසිනි. ඔවුන් තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවට සයිබර් ප්‍රහාරය එල්ලකර ඇත්තේ පසුගිය තුන්වැනිදාය. එම බැංකුවට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඩොලර් මිලියන 2104 ක් සොරා ගෙන, එලෙස සොරාගත් මුදල් කොටස් තුනකට බෙදා එක් කොටසක් කාම්බෝජයටත් තවත් කොටසක් ඇමරිකාවටත් එක් කොටසක් ලංකාවටත් වශයෙන් එවා ඇත.

එසේ ලංකාවට එවූ මුදල නම්මුණිගේ ගිණුමට බැර කර තිබුණි. නම්මුණි පසුගිය 04 වැනිදා බැංකුවෙන් කෝටි තුනක් ලබාගත්තේ එම මුදලිනි. එසේ ලබාගත් මුදලින් කෝටි දෙකක් ශලීලට ලබාදී තිබේ. ශලීල පසුව කෝටි දෙකෙන් කෝටි එකහමාරක් ඉන්දියානු ජාතිකයන් දෙදෙනකුට ලබාදී ඇති බව හෙළිවිණි. එම ඉන්දියානු ජාතිකයන් දෙදෙනා මෙරට හෝටලයක නැවතී සිට ඇති අතර ශලිල සහ නම්මුණි අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් රටෙන් පැනගොස් ඇතැයිද තහවුරු විය. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා මේ මෙහෙයුමේ මහ මොළකරුවන් බව තහවුරු විය.

මේ පිළිබඳව තව තවත් පරීක්ෂණ සිදුකිරීමේදී ඇමරිකානු බැංකුව මගින් තවත් මිලියන එකහමාරක් මෙරට ගිණුමට බැර කරන්නට සිට ඇති බව තහවුරු වූ අතර පසුව එය නවතා දැමීය. කෙසේ වෙතත් එපමණක් නොව මීට පෙරද මෙවැනිම මුල්‍ය වංචාවන් සිදුකර ඇති බවට සැකකළ හැකි සාක්ෂි ඇති බව රහස් පොලීසිය සඳහන් කළේය.

එහෙත් මෙවැනි අපරාධයක් සිදුකොට තම බැංකු ගිණුමට බියක් නොමැතිව මුදල් බැරකර ගැනීමට තරම් ශලීල නිර්භිත වූයේ ඇයිද යන්නත් ගැටලුවක් ඇත. එපමණක් නොව දේශපාලන හයියෙන් උඩින් පැමිණ සභාපති පුටුවක වාඩිවීමත් එසේම බිය නොමැතිව මෙවැනි අපරාධ කිරීමත් පිටුපස ශැඩෝ හොරුන් සිටිය හැක. එයද බැඳුම්කරය වගේය.

ගයාන් ගාල්ලගේ