2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ගම්පහ ගැස්සෙන පාතාලේ කොකා

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 6918

ලංකාවේ පාතාලය දැන් පොලීසියේ ඇතැමුන්ගේ කර උඩටම පැමිණ ඇත. දැන් ඇත්තේ කකුල් දෙක ඔළුවට තබා පැහැරීම පමණි. එය වැඩි ඈතක නොවන බව දැන් දැන් සිදුවන දේවල් සමඟ අපට මෙන්ම රටේ ජනතාවට හැඟෙන දෙයකි. එක පැත්තකින් මාකඳුරෙ මදූෂ් ලේ සුවඳට ඉව අල්ලමින් ගොදුරු සොයමින් පිසාචයෙක් ලෙස සැරිසරන්නේය. පුදුමය නම් ඔහුගේ ඉව පොලිස් ලේවලට වැටී තිබීමය. එහෙත් මදූෂ් ඇල්ලීම වෙනුවට ඔළුව අතගා කිරි පෙවීමේ න්‍යාය නිසා දැන් රටේ ජනතාව පමණක් නොව පොලීසියද ඉන්නේ මර බයේය. කොහෙන් වැදෙයිද දන්නේ නැත. එවැනි අවදානමක් තිබියදීත් රතු වරෙන්තු නිකුත් කිරීම වෙනුවට බලධාරීන් නැට්ට කකුල් දෙක මැද ගසාගෙන සිටීම එක පැත්තකින් සිනායන අතර අනෙක් පැත්තෙන් පුදුමයකි.

මදූෂ් එලෙස එළිපිට පිස්සු නටන විට තවත් කකුලක් බන්ධනාගාරයේ සිට හැංගිහොරා වැඩ කිරීමට පටන්ගෙන ඇත. ඔහු නමින් ගණේමුල්ලේ සංජීව හෙවත් මාකිලංගමුවේ සංජීවය. “ගෝඩ් ෆාදර්” වීමේ මන්ද මානසිකතාවයකින් පෙළෙන මේ පාතාලයා සිය රාජධානිය ලෙස ගම්පහ නගරය පත්කර ගැනීමට කූඩුවේ සිට තටමමින් සිටියි. එය එක්තරා ආකාරයක සංජීවගේ සිහිනයකටත් වඩා එක්තරා අසරණ දේශපාලුවකුගේ හීනයක් වී ඇත. එම දේශපාලුවාගේ හීනයට යොදාගත් එකම පුද්ගලයා මේ සංජීවය.

එහෙත් සංජීව කෙතරම් කෙරැමකු වුවත් ගම්පහට අත තැබීමට හැකිවූයේ නැත. ඒ වෙන කිසිවක් නිසා නොව ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්” නිසාය. ඔස්මන් යනු සුප්‍රසිද්ධ වවුල්කැලේ නඩුවේ විත්තිකාරයාය. එහෙත් 2000 වසරේදී එම නඩුවෙන් නිදොස්කොට නිදහස් වන ඔහු එතැන් පටන් ව්‍යාපාර ලෝකයේ වැඩ කටයුතු සිදුකරමින් සිටියේය.

එහෙත් ඔහු කිසිදිනෙක ගම්පහට පාතාලයට එන්න ඉඩ දුන්නේ නැත. කප්පම් ගන්නට කිසිවකුට අවස්ථාව දුන්නේ නැත. කුඩු විකුණන්නට අවස්ථාව දුන්නේ නැත. මේ නිසා ඔස්මන්ව ඇතැම් පාතාලයන්ට මෙන් තක්කඩි දේශපාලනඥයන්ටද ඇලජික් වී සිටියේය. මේ නිසා ඔස්මන් පසුපස අවිගත් පිසාචයෝ වසර ගණනාවක සිට සැරිසැරූහ.

එහි ආරම්භය වන්නේ 2007 වසරේදීය. ඉහත කී සංජීවගේද ඥාතියකු වූ කරාටි අජිත් නැමැත්තා කාලයක් ඉහත කී අසරණ දේශපාලනඥයකු සමීපයේ වැඩ කළේය. මේ නිසා අජිත්ලා ඇතුළු පිරිස නිතර ගම්පහින් කප්පම් ගැනීමට නොයෙකුත් උපක්‍රම යෙදුවත් ඔස්මන් ඊට ඉඩදුන්නේ නැත. අවසානයේ ඔස්මන් ඝාතන සූදානමක් තිබිණි. එහෙත් ඒ බව පොලීසියට ඔත්තුව ලැබී කරාටේ අජිත් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ වෙඩි හුවමාරුවකින් අජිත් මියගියේය.

එහෙත් ඉහත කී දේශපාලනඥයා වැඩේ අතහැරියේ නැත. ඊටපසුව පසුගිය ආණ්ඩුවේ පාතාල මර්දන ඒකක වෙත තොරතුරු ලබාදී ඔස්මන්ගේ අවසන් ඉරණම ලිවීමට සූදානම් කළේය. එහෙත් එයද සාර්ථක නොවුණේ ඔස්මන් ඒ වනවිටත් රටේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගත් ව්‍යාපාරිකයකු වූ නිසාය.

අවසානයේ මේ සියලු සිද්ධීන් මැද නිට්ටඹුව වෙළෙඳ සංගමයේ සභාපති සුරංග පීරිස් ද ඝාතනය කරනු ලැබීය. ඒ ඉහත කී දේශපාලනඥයා සමඟ ගැටුම් ඇතිකරගත් කාලයේය. මේ ඝාතනයට අවසානයේ කොටු වුණේද ඉහත කී දේශපාලනඥයාගේම ගෝලයකු වූ උදම්මිට සමරේය.

මේ සිද්ධියෙන් පසුව සමරේ ඇතුළට ගොස් එළියට ආවේය. ඒ ඇප ලබාගෙනය. එසේ පැමිණි සමරේ ඉහත කී දේශපාලනඥයා සමඟ පැටලුණේය. එසේ පැටලුණේ මුදල් හබයක් නිසාය. එහෙත් අවසානයේ සමරේට කොකා ගැස්සුණේය. ඒ ඉහත කී මාකිලංගමුවේ සංජීව හරහාය. ඝාතනය සම්බන්ධයෙන් සැකකරු වූ වේයන්ගොඩ චාමර නැමැත්තා අවසානයේ ඉහත කී දේශපාලනඥයාගේ සමීපතමයකු බව හෙළි වුණේය.

කෙසේ වෙතත් මේ අතරතුර සංජීව කාගේ හෝ කීමකට ඔස්මන්ට කොකා ගස්සන්නට මාන බලමින් සිටියේය. ඒ සඳහා හොඳම අවස්ථාව එනතෙක් සංජීව බන්ධනාගාරයේ සිට උපදෙස් ලබාදෙමින් සිටියේය. ඒ කළු අජිත් වෙතය. අජිත් වැඩේ බාරගත්තේය. අජිත් ඒ අනුව පසුගිය අප්‍රේල් 08 වැනිදා ඔස්මන් ඝාතනයට ආවේය. ඒ තවත් සගයන් දෙදෙනකු සමඟය. ඒ අනුව ගම්පහ ජා-ඇළ පාරේ වල්පොළ ප්‍රදේශයේදී ඔස්මන් පැමිණි ජීප් රථය සමඟ එකට එක ගොස් වෙඩි තැබුවේය. එදින ජීවිතය අනූනවයෙන් ඔස්මන් බේරාගත් අතර එහෙත් ඔහුත් සමඟ සිටි ව්‍යාපාරිකයෙක් තුවාල ලැබීය. ඒ අනුව එදින වැඩේ ගැස්සී ගියේය. මේ නිසා සංජීවගෙන් කළු අජිත්ට බැණුම් අසන්නට විය.

මේ සිද්ධියත් සමඟ ඉහත කී දේශපාලනඥයා තමන්ම ඊට සම්බන්ධ නැති බව පවසමින් රටපුරා කියාගෙන ගියේය. කිසිවකු ඔහු සම්බන්ධ බවද නොකියා තිබියදීත් එලෙස හැසිරීම විහිළුවක් විය.

මේ අතරතුර ඔස්මන්ගේ ජීවිතයට මරණ වරෙන්තුව කැරකෙමින් තිබුණේය. ඒ පිරිසක් ඔස්මන් පසුපස පන්නන බවට ලද තොරතුරැ නිසාය. දිනක් ඔස්මන්ට ඔත්තුවක් ලැබුණේය. ඒ නන්නාඳුනන මෝටර් රථයක් ඔහුගේ නිවස ආසන්නයේ ගැවසෙන බවය. එම මෝටර් රථය හෙරොයින් ජාවාරමට සම්බන්ධ එකක් බවත් දැනගන්නට හැකිවිය. ඒ අනුව එම තොරතුර පොලිසියට දුන්නේය. එහෙත් පොලිසිය එය සත පහකට ගණන් ගත්තේ නැත.

එසේම ඊට දින කිහිපයකට පසුව පොලීසියට තවත් තැනකින් තවත් තොරතුරක් ආවේය. ඒ තවත් පාතාල සගයකු වූ බැකෝ චමින්ද නැමැත්තා ඉහත කී දේශපාලනඥයාගේ නිවසට රිංගන බව කියාය. බැකෝ චමින්ද පොලිසියට අත්‍යවශ්‍ය පුද්ගලයකු නිසා පොලිසිය ඒ ඔත්තුව හරහා චමින්දව අල්ලා ගත්තේය. අල්ලා ගත් චමින්ද අපූරු තොරතුරක් වැමෑරුවේය. ඒ ඉහත කී දේශපාලනඥයා කිව් තොරතුරක්ය. එම දේශපාලනඥයා පවසා තිබුණේ ඔස්මන් ඝාතනයට සැලසුමක් බන්ධනාගාරය තුළ මාකිලංගමුව සංජීව විසින් සිදුකරන බවත් ඊට සහය දෙන ලෙසත්ය. ඒ තොරතුරු සියල්ල චමින්ද වැමෑරුවේය.

එම සාක්ෂිය සටහන් කිරීමෙන් අනතුරැව පොලිස් නිලධාරීහු ඒ බව ඉහළ පොලිස් නිලධාරීන්ට දැන්වූහ. ඉහළින් ඊට අපූරු යෝජනාවක් ආවේය. එනම් චමින්ද අල්ලා ගැනීමේ ඔත්තුව ඉහත කී දේශපාලනඥයා දුන් බවට සටහන් කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු නියෝග කිරීමය. එහෙත් ඊට පොලිසියේ පහළ නිලධාරීන් එකඟ වූයේ නැත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ බලපෑම මත අවසානයේ එය වෙනස් කෙරිණි. එසේම ඔත්තුව ප්‍රථමයෙන් ලබාදුන් අයට කූඩුවෙන්නට සිදුවිය.

මේ සියලු දේවල් සිදුවන අතරතුර ඉහත කී මෝටර් රථය ගම්පහ ප්‍රදේශයේ සැරිසරමින් තිබුණේය.

දිනය පසුගිය සෙනසුරාදාය. එදින රාජකාරි නිමකොට සැරයන් 29014 චන්දන සහ කොස්තාපල් 88430 හුසන් යන දෙදෙනා ගම්පහ පොලිසියේ සිට නගරයට යාමට සූදානම් වූහ. එසේ සූදානම් වී පැමිණෙන විට මෝටර් රථයක් ගම්පහ මිරිස්වත්ත මාර්ගයේ එහා මෙහා යමින් තිබුණේය. එම මෝටර් රථයේ අංකය තරමක් එයට නොගැලපෙන බවද මෙහිදී දැකගත හැකිවිය. මේ නිසා පොලිස් නිලධාරීන් දෙදෙනා මෝටර් රථය පසුපස පැන්නූහ. එසේ පන්නමින් මෝටර් රථය නවතන ලෙසට නියෝග කළහ. එහෙත් මෝටර් රථය පොලිස් නිලධාරීන් දෙදෙනා පැමිණි යතුරු පැදියට වෙට්ටු දමමින් ඉදිරියට ඇදෙමින් තිබුණේය. එක්වරක් ඔවුන් අනතුරකට පත්කරන්නද සූදානම් විය.

අවසානයේ පොලිස් නිලධාරීන් දෙදෙනා මොටර් රථය ඉස්සර කොට පාර මැද යතුරුපැදිය නැවැත්වූහ. එසේ නවතනවාත් සමඟ මෝටර් රථයද නැවතුණු අතර එහි සිටි හතර දෙනා පැන දිවූහ. දෙදෙනෙක් ගම්පහ රෝහලට පැනගත් අතර අනෙක් දෙදෙනා වෙනත් පැත්තකට ගියෝය.

අතහැර ගිය මෝටර් රථය පොලිස් නිලධාරීන් පරීක්ෂා කළේ ඉන්පසුවය. එවිට මෝටර් රථයේ තිබූ ටී 56 ගිනිඅවි තුනක් සොයාගත හැකිවිය. ඒ සියලු අවි සූදානම් කර පැමිණ තිබූ අතර ඉතිරිව තිබුණේ කොකා ගස්සන්නට පමණි. පසුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. එම පරීක්ෂණයේදී ගම්පහ තරුණයන් දෙදෙනාද කොටුවූහ. ඔවුන්ගේ තොරතුරැ මත අනෙක් පැනගිය දෙදෙනා හඳුනා ගැනීමට හැකිවූ අතර ඒ ඔවුන් මීට පෙර ඔස්මන් ඝාතනයට පැමිණි සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකි. කෙටියෙන්ම කියතොත් ඔවුන් සංජීවගේ ගෝලයන් දෙදෙනක් වූහ. ඒ අනුව මෙවරද ඔස්මන් ඝාතනය වැළකී ගියේය.

දැනගන්නට ඇති පරිදි සංජීවත්, ඉහත කී දේශපාලනඥයකුත් මෑතකදී එකට හමුවී ඇත. එහි ප්‍රතිඵලයක් නිසා මෙය සිදුවූවාද යන්න සැකයක් ඇත. එහෙත් එය නිවැරදි කළ හැක්කේ නිවැරදි ඔත්තුකරුවකු හසුවුණු විටය. එහෙත් ඔත්තුකරුවන් පොලිසියට යන්න දෙපාරක් සිතිය යුතුය. අපරාධකරුවන් රකින පොලිසියේ ලොක්කන් ඉන්නා රටක නීතියේ සරණක් ලැබෙයිද කියා සැකයක් තිබීම ඊට හේතුවය. ඊට වඩා සද්ද නොකර සිටීම වැදගත් බව බොහෝදෙනා සිතති. කෙසේ වෙතත් ගම්පහ ආක්‍රමණය කරන්නට යන පාතාලයන්ට පමණක් නොව මේ වනවිට පොලිසියේ දූෂිත නිලධාරීන්ටද ඔස්මන් ප්‍රශ්නයක් වී ඇත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔස්මන්ගෙන් ගම්පහ ගලවාගෙන ඒ හරහා කප්පම් ගැනීමටය. එහෙත් ඊට තවමත් ඔස්මන්ගෙන් ඉඩක් නැත.

 රෙහාන් රාසික්