2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

උසාවියෙන් බෙදූ අනුරගේ බූදලය

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 527

බණ්ඩාරනායකවරු මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැකෙන නමක් තැබූ ප්‍රභූ පැලැන්තියක් නියෝජනය කළෝය. සුද්දන්ගේ කාලයේ මෙරට මහ මුදලිකම දැරූ සර් සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ පුත්‍රයා වූ හිටපු අගමැති සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකයන්ගේ එකම පුත්‍රයා වූ අනුර ප්‍රියදර්ශී සොලමන් ඩයස් බණ්ඩාරනායකද වෘත්තීය දේශපාලනඥයෙකි. ඔහුගේ මව, පියා, සොයුරිය ඇතුළු පවුලේ තිදෙනෙක් නිදහසින් පසු මෙරට 27 වසරක් පාලනය කළහ.  එය වාර්තාවකි. එහෙත් අනුර බණ්ඩාරනායකට ඒ ග්‍රීස් ගහ තරණය කළ නොහැකි විය. ඔහු දේශපාලන හිණිමගේ නැඟගත් ඉහළම පඩිය කතානායක ධූරයයි.

එහෙත් අනුර දක්ෂ හා ව්‍යක්ත දේශපාලනඥයෙක් විය. කලකට පෙර අසාධ්‍ය ලෙස රෝගාතුර වී ඔහු අකාලයේ මරණයට පත්වනවිටත් බණ්ඩාරනායක බූදලයේ සබ්බද්ධිවාරයෙන් සෑහෙන කොටසක් අනුර සතුවී තිබිණි. හොරගොල්ල මහ වලව්ව ඇතුළු ඉඩකඩම්ද රොස්මීඩ් පෙදෙසේ නිවස ඇතුළු තවත් බොහෝ දෑද අනුර සතුවිය. මෙම දේපොළවල වටිනාකම රුපියල් එකසිය දහ අටකෝටිය ඉක්මවීය. 

2008 වසරේ මාර්තු 16දා සිදුවූ ඔටුනු නොපළන් කුමාරයාගේ මරණය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුදෙනා කම්පා කරවූවක් විය. තම සීයාගේ කාලයේ සිට තමාට උරුම වූ දේපොළවලට අනුර අන්තිම කැමැති පත්‍රයක් සකස් කර තිබුණේද නැත. අනුරගේ මරණයත් සමඟ දේපොළවලට කුමක්වේද යන්න ගැටලුවක් විය. එහෙත් ඔහුගේ වැඩිමල් සොයුරිය වූ සුනේත්‍රා බණ්ඩාරනායකත් දෙවැනි සොයුරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගත් අනුරගේ දේපළවල නිසි හිමිකාරීත්වය තමන් සතුවිය යුතු බවට බූදල් නඩුවේදී හිමිකම් පෑහ.

එම බූදල් නඩුව යටතේ 2009 ජනවාරි 30 වැනි දින සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ බණ්ඩාරනායක මහතා සතුව තිබූ රුපියල් 1,183,830,735.12ක මුදල් හා තවත් බූදල් වත්කම් කිහිපයකම උරුමය තමාටත් තම සොයුරියටත් පවරන ලෙසය. කෙසේ වුවද මෙම තොරතුරු මාධ්‍ය හරහා ප්‍රකාශ වීමත් සමඟ අනුර බණ්ඩාරනායක මහතා ජීවත්ව සිටි අවධියේ ඔහුගේ ආරක්ෂකයෙකු වූ වසන්ත සමරසේකර, එමෙන්ම ඇමැති කාර්ය මණ්ඩලයේ හුන් දොන් සෙනරත් චන්ද්‍රසිංහ, ඩර්වින් සපරමාදු, රවින්ද්‍රලාල් පෙරේරා යන අය ද මෙම බූදල් නඩුවට මැදිහත් වූහ. ඔවුන් කියා සිටියේ අනුර බණ්ඩාරනායක මහතා ලියූ අන්තිම කැමැති පත්‍රයේ ඡායා පිටපත් තමන් සතු බවය. 

එහෙත් ඊට පිළිතුරු වශයෙන් අධිකරණයේදී සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය කියා සිටියේ තම සොයුරා ලියූ අන්තිම කැමැති පත්‍රය ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම ගිනි තබා විනාශ කළ බවය. අනතුරුව බූදල් නඩුවකදී ඡායා පිටපත් භාරගත හැකිද යන්න පිළිබඳ උභතෝකෝටිකයක් මතුවූ අතර සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරැව ඡායා පිටපත් භාර නොගැනීමට අධිකරණය තීරණය කළේය. ඒ අනුව අනුර බණ්ඩාරනායකයන්ගේ බූදලයේ හිමිකාරීත්වය දෙසොහොයුරියන්ට ලැබිණ. මෙම බූදල් නඩුව එම කාලය තුළ විශේෂ අවධානයට පාත්‍ර වූ නඩුවක් විය. එහි විශේෂත්වයක් වූයේ සාක්ෂිකරුවන් සියයකට වැඩි ප්‍රමාණයකගෙන් සාක්ෂි සටහන් කරගැනීමය. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වන බැසිල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂ ද සාක්ෂිකරුවෝ අතර වූහ.

එම අධිකරණ තීන්දුවට අනුව තමන්ට හිමි වූ සොයුරාගේ බූදලයේ කොටස ලබාගැනීමට අදාළ කටයුත්තකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉකුත් බදාදා (04) කොළඹ දිසා අධිකරණය වෙත පැමිණ සිටියාය. 

♦ රෙහාන් රාසික්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00