2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

භාවනා කරන්න දේහය දන්දුන් මහකන්දේ හාමුදුරුවෝ

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 416

♦ කුටි ළඟටම ආවත් වන අලින්ගෙන් කරදරයක් නැහැ

♦ අවසන් කැමැත්ත වුණේ ආදාහනයක් කරන්න එපා කියලා

පුත්තලම අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර 17කි ගිය පසු දකුණට හැරී නවගත්තේගම මාර්ගයේ කිලෝමීටර 08ක් පමණ ගිය පසු හමුවන රඹාවැව ගම්මානයේ විදුහල ඉදිරිපිට ඉදිවෙමින් පවතින මකර තොරනින් ඇතුළු වී මහකන්ද ගම්මානය පසුකර තබ්බෝව අභයභූමිය මැදින් කිලෝ මීටර 02ක් පමණ ගිය පසු ආරණ්‍ය සේනාසනයක් ඇති බවත් එහි ස්වාමින් වහන්සේගේ දේහයක් ජනතාවට දැක බලාගැනීම සඳහා ප්‍රදර්ශනය කෙරෙන බවත් වාර්තා වීය.

ඒ පිළිබඳ සොයාබැලීම සඳහා කිලෝමීටර දෙකක් පමන වනාන්තරය මැදින් ගමන් ඇරඹූ අපට මග දෙපස වන අලින් රංචු වශයෙන් රැඳී සිටින ආකාරයක් රිලවුන් වඳුරන් මොනරුන් තාරකා ඉබ්බන් වැනි සතුන් මාර්ගය ආසන්නයේ රැඳී සිටින ආකාරයක් දැක ගැනීමට හැකිවීය. මාර්ගය දෙපස වන අලි රැඳී සිටීමත් ගොම්මන් අඳුර ළඟා වෙමින් තිබීමත් හේතුවෙන් සිතට බියක් දැනුණත් ආපසු හැරී නොයා ආරණ්‍ය සේනාසනයට ළඟාවීය.

ගරාවැටුණු ගොඩනැගිලි කිහිපයක් නෙත ගැටුණද කිසිවකු දැකගන්නට නොවීය. රෑසියන්ගේ හඬත් හමා යන සුළං ගස්වල ගැටෙන හඬත් හැරෙන්නට වෙනත් කිසිම ශබ්දයක් නොවීය. වනාන්තර ඇතුළට සැකසූ මාර්ගය දිගේ ආරණ්‍ය සේනාසනය තුළට ගමන් ඇරඹූ අපට ඉදිරියෙන් පැමිණෙන මෙහෙණින් වහන්සේ නමක් හමුවීය. අපගෙන් වගතුග විමසූ මෙහෙණින් වහන්සේ අප කැඳවාගෙන ගියේ තමන් භාවනා කරන ජීවත්වන කුටිවලටය. එහි මෙහෙණින් වහන්සේලා සය නමක් වැඩ වාසය කරති.

අප සමග කතාබහ කළ මෙහෙණින් වහන්සේලා අතර වයස අවුරුදු 65 පමණ වසය මෙහෙණින් වහන්සේ නම සංසාර ගමන පිළිබඳ බොහෝ දේ පැවසූ අතර තම ජීවිත ගමනේ අඹු දරුවන්ගේ යුතුකම් ඉටුකර සංසාර ගමන කෙටිකර ගැනීමටත් යළි උපදින බවයක ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමටත් බලාපොරොත්තුවෙන් පැවිදි දිවියට ඇතුළු වූ බව පැවසීය. බොහෝ දුෂ්කරව වනාන්තරයක ගතකරන මේ ජීවිතය ඉතාමත් සැහැල්ලුවෙන් ගත කරන බවත් සැප සම්පත් සියල්ල අතහැර පැවදි දිවියට ඇතුළු වූ බවත් අත්‍යවශ්‍යම වූ පානීය ජල නොමැතිකම විශාල අඩුවක් බවත් මෙහෙණින් වහන්සේලා පැවසූහ.

තැන්පත් කර තිබෙන ස්වාමින් වහන්සේගේ දේහය දැක බලාගැනීම සඳහා එම ස්ථානයෙන් පිටත්වූ අප මීටර පන්සියයක් පමණ දුරක් වනය මැදින් සකස් කර ඇති මාර්ගයේ ගමන් ආරම්භ කල අතර මාර්ගය දෙපස ගස්වල සංසාර ගමන පිළිබඳ ලියවූ නාම පුවරු දැක ගැනීමට හැකිවීය. දේහය තැන්පත් කර ඇති ස්ථානයට ළඟා වූ අපට ගීතයක කොටසක් මතකයට නැගුණි.

“නාමෙ නොදිරනා - කුණුකය දිරනා - අරුමෙකි සෝභා සංසාරේ - අරුමෙකි සෝභා සංසාරේ - අරුමෙකි සෝභා සංසාරේ...”

අරුමයක්වූ සංසාර ගමනේ  අපි අහන්කාරව උඩඟුව ඊර්ෂ්‍යාවෙන් සිටියත් කොතරම් සැප පහසුකමින් සෝභනව සිටියත් මියගිය පසු අපගේ ශරීරයට වෙනදේ දැක බලා ගැනීමට මහකන්ද පුණ්‍ය භූමියට පැමිණෙන සැදැහැවත් කාටත් දැකබලා ගත හැකි බව සිහිපත් කළ යුතුය.

අඩු පහසුකම් යටතේ ශාසනය රැකබලා ගනිමින් දහම් මඟ දියුණු කරමින් ජනතාව සුමඟට ගැනීමට වෙර දරණ භික්ෂුන් වහන්සේලා හය නමක් සහා භික්ෂුන් වහන්සේ නමක් මෙහි වැඩ සිටිමින් මහත් කැපවීමක් කරති.

විදුලිට ජලය කිසිවක් නොමැති මෙම පුණ්‍ය භූමියට පැමිනෙන සැදැහැවතුන්ටවත් බීමට ජල පොදක් නොමැති වීම කනගාටුවට කරුණකි. මෙහි වැඩ වාසය කරන ස්වාමින් වහන්සේවත් මෙහෙණින් වහන්සේවත් පහසුකම් නොයිල්ලුවද බීමට ජල බිඳක් හෝ සපයා දීමට හැකි නම් මහා පුණ්‍ය කර්මයක් වේ. මෙම පසුබිමේ බුදු දහමේ සැබෑ යථාර්ථය අවබෝධ කර ගනිමින් තම ජීවිතය සසුනට කැපකළ සැබෑ බුද්ධ පුත්‍රයකු බවට ජනතාව තුළ කතාබහට ලක්වන දියගම ධම්මකුසල හිමියෝ බෞද්ධ කතෝලික, හින්දු වෙනත් භක්තිකයින්ට භාවනා කිරීමට යෝග්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට දැවැන්ත කාර්ය භාර්යයක් ඉටුකළ යතිවරයාණන් වහන්සේ නමක් බවට ප්‍රචලිතව සිටියහ.

නවගත්තේගම රඹාවැව මහකන්ද ආරණ්‍ය සේනාසනය නිර්මාණය කිරීමට මුල පිරූ දියගම ධම්මකුසල හිමියන් අපවත්වීමට පෙර එවකට සහයක හිමිනමක වූ වර්තමානයේ ආරණ්‍ය සේනාසනයේ ප්‍රධානී වශයෙන් වැඩවසන ආරියවංශ හිමියන්ට අවසන් කැමති පත්‍රය මගින් සඳහන් කරදී ඇත්තේ තමන් වහන්සේ අපවත්වූ පසු දේහය මිහිදන් නොකර බැතිමතුන්ට දැක බලා ගැනීමට හැකි ආකාරයට තැන්පත් කරන ලෙසයි.

නවගත්තේගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ රඹාවැව සුන්දර මිටියාවතේ මහකන්ද ආරණ්‍ය සේනාසනයේදී සැදැහැවත් පින්වතුන්ගේ හදවත් සසල කරමින් දියගම ධම්මකුසල හිමි වසර හැට හයක් ආයු වළඳා පසුගිය පෙබරවාරි 08 වැනිදා දින අපවත් වූහ. වසර හතකට පමණ පෙර තබ්බෝව අභයභූමිය තුළ නිර්මාණය කළ මහකන්ද ආරණ්‍ය සේනාසනයේ ගල් තලාවක් අසල උන්වහන්සේගේ දේහය දැනටද ආරක්ෂිතව තැන්පත් කර තිබේ.

අපවත් වීමට පෙර උන්වහන්සේගේ අවසන් කැමති පත්‍රය අනුව භාවනායෝගීන්ට දේහය ඉදිරිපිට භාවනා කිරීමටත් දේහය නැරඹීමටත් අවස්ථාව සැලසී ඇත. උදෑසන 8 සිට 10 දක්වාත් සවස 01 සිට 2.30 දක්වාත් කාලය තුළ එම අවස්ථාව සලසා දීමට එහි වැඩවාසය කරන හිමිනම කටයුතු කර ඇත.

වන අලින් සහා වෙනත් වනසතුන් විශාල වශයෙන් වාසය කරන ඝන කැලෑවකින් වටවූ රෑසියන්ගේ හඬින් වනයක සිරි අසිරිය මවන මෙම ස්ථානයට උපාසක උපාසිකාවන් මෙන්ම සැදැහැවතුන්ගේ වන්දනා මානයටද ලක්වී තිබේ. ගත සිත නිවන සිසිල් සුළං හමායන මේ ගස්වැල්වලින් පූර්ණ වූ මෙම භාවනා මධ්‍යස්ථානයේ ධර්ම කටයුතුවල නිරතවන මෙහෙණින් වහන්සේලා සය නමක් විදුලිය, ජලය ඇතුළු යටිතල පහසුකම් කිසිවක් නොමැතිව අති දුෂ්කරව කුටිවල වැඩ වාසය කරමින් භාවනායෝගීව කාලය ගත කරති.

බුදුන්වහන්සේගේ ධර්මයට අනුව කිසියම් අයකුට ලෝකය පිළිබඳව යථාර්ථය අවබෝධ කර ගැනීමට ඔහු හෝ ඇය තම සිත පිරිසිදු කර දියුණු කර ගත යුතු වන අතර ඒ සඳහා භාවනා ප්‍රඥාව දියුණු කර ගැනීම ඒකායන මාර්ගය වේ. රාත්‍රි කාලයේදී වනඅලින්ද වෙනත් සතුන් මෙම භාවනා මධ්‍යස්ථානය අසලට පැමිණ රැඳී සිටියද කිසිවකුට හානියක් සිදු නොකරන බව එහි වැඩවාසය කරන මෙහෙණින් වහන්සේ නමක් පැවසීය.

වේදනා බර සංසාර ගමනේ ආත්ම භාවයෙන්ම සසර දුකින් එතෙර වීමේ අධිෂ්ඨානයෙන් නිවන් මග පුරන කාටත් මෙම භාවනා මධ්‍යස්ථානය ශක්තියකි මාර්ගයකි. සියලු සත්වයන් අතර පරිනත වූ සිතක් මනුස්සයාට උරැමව තිබීමෙන් සිත දියුණු කර ගැනීමේ හැකියාවක් පවතී. භාවනාව තුළින් සිත මෙල්ල කර ගැනීමේ හැකියාව පිළිබඳව බුදුන්වහන්සේ මෙළොවට පහළවීමෙන් පසුව පැහැදිලිව පෙන්වා දී ඇත.

රාහුල හිමියන්ගේ මරණයෙන් පසු උන්වහන්සේ පිළිබඳ ගොඩනැගුණු මතයන් සත්‍යද අසත්‍යද යන්න විචාරය කළ යුතුය. විවිධ වූ මතයන් අනුව 1506 දී උපත ලැබූ ප්‍රැන්සියස් සේවියර් පූජකතුමාම රාහුල හිමියන්ම බවත් තරයේ විශ්වාස කරයි.

ඖෂධයක් අනුභව කිරීමෙන් පසු අපවත් වූ රාහුල හිමියන්ගේ දේහය දින කෝටියක් වුවද නරක් නොවී තිබේ. මෙම කරුණු හේතුකොට ගෙන ප්‍රැන්සිස් සේවියර් පූජක තුමාගේ දේහයද මෙතෙක් කල් නරක් නොවී තිබීම හේතුවෙන් රාහුල් හිමියන්ද යන්න සැබැවින්ම සත්‍යක්ද යන්න සිතා ගැනීම අසීරුවේ. මන්ද ප්‍රැන්සිස් සේවියර් පූජකතුමා හතළිස් හය වියේදි මියගිය අතර එතුමාගේ දේහයද දින කෝටියක් නරක් නොවී තිබීය හැකිවීම මෙම පැනයට හේතු සාධක වේ.

කතාව හා සේයාරූ I රෝවන් පෙරේරා පුත්තලම

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00