2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

සතියේ සාකච්ඡාවට බඳුන් වූ ප්‍රශ්න කිහිපයකට විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මැති ඇමැතිවරුන් ලබාදුන් පිළිතුරු මෙහි සඳහන් වේ. ඔවුන් සියලු දෙනාටම යොමුකළේ එකම ප්‍රශ්න හතරකි. 

(I) පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ පළාත් සභා තුනක ඡන්දය කල් යනවා. මේ ගැන මොකද කියන්නේ?

(II) ආණ්ඩුව දිගින් දිගටම ඡන්ද කල් දාන්නේ ඡන්දවලට මුහුණදෙන්න බය නිසාද?

(III) ආණ්ඩුවෙන් පිරිසක් විපක්ෂයට එකතු වෙනවා කිව්වට එකතුවුණේ අරුන්දික මන්ත්‍රීවරයා විතරයි. මොකද මේ අනිත් පිරිස එන්න අකමැති වෙලාද, එහෙම නැත්නම් වේලාව ආවම එන්න ඉන්නවද?

(IV) අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනතට දැඩි විරෝධයක් පේන්න තියෙනවා. මේකට හේතු මොනවාද?

 

ජනමතයට බයේ දුවනවා

ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික, දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමි

මේ ආණඩුව බලයට ආවේ තිබුණු ආණ්ඩුව දූෂිතයි. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීයි කියලා. ඒ වගේම කඩින්කඩ මැතිවරණ තියන්නේ නෑ කියලා. ඔවුන් පොරොන්දු වුණා එහෙම කියලා ආපු මොවුන් අද වැඩියෙන්ම බයවෙලා ඉන්නෙත් ඡන්දයට දැන් මේ රටේ ගොඩනැගෙමින් තියෙන්නේ ඉතාම භයානක තත්ත්වයක්. ඒ වගේම මේ ආණ්ඩුව මහජන මතය උරගා බලන්න අකමැති වෙලා තියෙනවා. ඒක නිසා තමයි මොවුන් මේ සංශෝධන පනත් ඔවුනට ඕන විදියට පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඡන්දය කල්දාන්නේ.

ලංකා ඉතිහාසයේ අඩුම වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ ජනාධිපති තමයි වර්තමාන ජනාධිපතිවරයා. රටේ බහුතර ජනතාවගේ ඡන්දයට වඩා සුළුතර ජනතාවගේ ඡන්දය තමයි ඔහුට ලැබුණේ. ඒ වගේම වර්තමාන ආණ්ඩුව දන්නවා මොන මැතිවරණය මොන වෙලාවේ තිබ්බත් මේ රජය පරාදයි කියන එක. මොකද ලෝකයේම සියලුම ආණ්ඩු ගත්තම අප්‍රසාදයට ලක්වුණ ආණ්ඩු අතරින් පළමුවෙන් ඉන්නේ මේ අපේ රටේ ආණ්ඩුව.

මුලින්ම කියන්න ඕන මේ දකුණු පළාත් සභාවේ ක්‍රීඩා ඇමැතිවරයාගේ ඇමැතිකම උදුරගෙන තියාගෙන ඉන්නවා මේ මහ ඇමැතිතුමා. යහපාලනයට හිතවත් ශ්‍රීලනිපයේ අයටවත් නොදී මේ ඇමැතිකම තියාගෙන ඉන්නේ අපේ පළාත් සභාවේ ඒකාබද්ධයේ මන්ත්‍රීවරයෙක් බාගන්න. එයාට මේ ඇමැතිකම දෙන්න ඉතිං පළාත් සභාවල මෙහෙම නම් ජාතික මට්ටමේ ඔය එනවා කියන ඇමැතිවරුන්ට විශාල බලපෑමක් සිදුවෙනවා ඇති. ඔවුන්ගේ පැමිණීම වැළැක්වීම සඳහා.

යුද්ධකදී සිදුවෙන සිදුවීම් මෙහෙම වහාම හොයලා බලලා ක්‍රියාත්මක වෙන රටක් නැහැ. යුද්ධයකදී අනිවාර්යයෙන්ම අතුරුදන්වීම්, සතුරු හමුදාව මැරීම් වගේ දේවල් සිද්ධ වෙනවා. මොකද මේ යුද්ධය කියන්නේ කඨින පිංකමක් නෙවෙයි. අපේ රටේ යුද්ධය නවත්වන්න කාටවත් බැරිවුණා. මේ යුද්ධය ඉවර කරන්න පුළුවන් වුණේ අපේ රජයක් යටතේ. අනික මේ අතුරුදන්වීම් 71 ඉඳලා සිද්ධ වුණා. ඒ කාලයේ හෙව්වේ නැති අතුරුදන්වීම් මේ දැන් හොයන්න කියලා මොවුන් මේ බල කරන්නේ වෙන මොකටවත් නෙවෙයි. ජාත්‍යන්තර සතුටු කරන්න. කොහොම වුණත් අපේ රටට නිදහස ලබාදුන්න රණවිරැවන් අපි පෝරකයට යවන්නේ නැහැ.

 

ඡන්දෙ තිබ්බොත් ආණ්ඩුවට වැලේ වැල් නෑ

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර

මේ ආණ්ඩුව වැඩබැරි ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ තියෙන වංචා, දූෂණ, හොරකම නිසා මේ ආණ්ඩුවට ඉදිරියට යාමේ හැකියාවක් නැහැ. සංශෝධන ඉදිරිපත් කරමින් හැම ඡන්දයක්ම කල්දාන එක තමයි මෙයාලා හැමවිටම කරන්නේ. ජනතාවගේ ඡන්දය පවත්වන දිනය තියා පසුගිය 20 වැනිදාට පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ මැති ඇමැතිවරුන්ට තියෙන ඡන්දයවත් මේ අයට හරියට තියාගන්න බැරිවුණා. ඒ වගේම මේ යහපාලන ආණ්ඩුවේ හැමෝම ජනතාව ඉදිරියට යන්න බැරි නිසා සාරි පොටයි මහ ලොකු වචන ටිකකුයි පෙන්නලා අද රටේ ජනතාවගේ ජනතා පරමාධිපත්‍යය දවසින් දවස කල්දාන එක තමයි මේ කරන්නේ. පසුගිය 20 වැනිදා මේ පනත සම්මත කර ගත්තේ සුළු පක්ෂවලට ඕනවෙන විදියට.
අනිවාර්යයෙන්ම. ඡන්දවලට මුහුණදීමට තියෙන බය නිසා තමයි මේ ආණ්ඩුව මේ විදියට ඡන්දය කල් දාන්නේ. මාර්තු මාසයේ තියනවා කියමින් නැවත වරක් සංශෝධන ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණයට කළා වගේ ජනතා පරමාධිපත්‍යය කෙලෙසල නිලධාරිවාදය ඇදන් යන වැඩක් තමයි මොවුන් මේ කරන්නේ. ඇත්තටම ඉදිරියේදී ඡන්දයක් තිබ්බත් මේ ආණ්ඩුවට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැහැ.

මට හිතෙන්නේ එයාලා වෙලාව ආවම එන්න ඉන්නවා ඇති. පහුගිය 20 වැනිදා අපේ පැත්තට තව කිහිප දෙනෙක් ඡන්දය දුන්න නම් මේ පනත අපට අහෝසි කර ගන්න තිබුණා. ඒ වගේම සමහර ඇමැතිවරු මන්ත්‍රීවරු අපි එක්ක එන්න කැමැත්ත පළ කරලා තියෙනවා. නමුත් මගේ පෞද්ගලික අදහස නම් ඔය කවුරුත් ඕන නැහැ කියන එකයි. අපි මේ ඒකාබද්ධ විපක්ෂය හැටියට ඉන්න පිරිස එක්ක අපිට මේ ගමන යන්න පුළුවන්. 20 තිබුණ පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට සහය දුන් කිසිවෙකුත් ගන්න ඕන නෑ කියලා තමයි මම කියන්නේ.

බොහොම පැහැදිලියිනේ. නැවත වරක් රණවිරුවන් යුද අධිකරණයට ගෙන්වන වැඩ පිළිවෙළක්නේ මේ ක්‍රියාත්මක වන්නේ. නමුත් මේ අය කියනවා එහෙම වෙන්නේ නෑ කියලා. එහෙම කිව්වට මේක වගන්තිවලට ඇතුළත් වෙලා නැහැනේ.

 

අතුරුදන්වූවන්ගේ ඥාතීන් විඳින දුක නිවන්න ඕනෑ!

දෙමළ ජාතික සන්ධානයේ ධර්මලිංගම් සිද්ධාර්තන්

කවුරු කොහොම කළත් මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක්. නමුත් නව ක්‍රමයකට මැතිවරණ පැවැත්වීමේ අදහසින් තමයි ආණ්ඩුව මේ පනත ඉදිරිපත් කළේ. ඒ සඳහා තුනෙන් දෙකක අනුමැතියත් ලැබී තිබෙනවා. මේ සඳහා කෙටි ගතවෙන්නේ කලක් විතරයි, මාර්තුවේ මාසයේ මැතිවරණය පැවැත්විය හැකි යැයි අගමැතිතුමා පොරොන්දු වී තියෙනවා. එතකොට මැතිවරණ කල් යන්නේ මාස තුනකට විතරයි. ඔවුන් පොරොන්දු වූ පරිදි මාර්තු මාසයේ අනිවාර්යයෙන් මැතිවරණය පැවැත්විය යුතුයි. ජනතාවට කැමති නියෝජිතයන් පත්කරගැනීමට තිබෙන අයිතිය උල්ලංඝණය නොකළ යුතුයි.

බොහෝ දෙනෙක් හිතන්නේ ආණ්ඩුව ඡන්දෙට බයයි කියලයි. ඇත්තටම ආණ්ඩුවත් මැතිවරණයට මුහුණ දෙන්න අකමැතියි කියලා හිතන ආකාරයේ වැඩකටයුතු කිරීම සහ තීන්දු තීරණ ගන්න බවක් තමයි අපිටත් පේන්න තියෙන්නේ. නමුත් ජනතා සුභසිද්ධිය යන හැබෑ පරමාර්ථයෙන් ඔවුන් මැතිවරණ ප්‍රමාද කරනවා නම් සමාවක් දෙන්න පුළුවන්. ඒත් අනවශ්‍ය පරිදි මැතිවරණ කල් දැමීම අපි අනුමත කරන්නෙ නෑ.

අරුන්දික මන්ත්‍රීවරයා පවා විපක්ෂයට ගියේ නියෝජ්‍ය ඇමැතිකමෙන් ඉවත් කළාට පස්සේ. කවුරු කවුරුත් ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද කියන ඔවුනොවුන්ගේ පුද්ගලික කැමැත්ත. එනිසා ඔවුන් සම්බන්ධයෙන් මට අදහස් දක්වන්න අමාරුයි.

ප්‍රධානම හේතුව දකුණේ ක්‍රියාත්මක අන්තවාදී පිරිසක් මේ පනතට විරෝධයක් දක්වනවා. අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ඉන්නේ අසරණ තත්ත්වයක. අතුරුදහන් වූවන් ජීවතුන් අතර ඉන්නවා ද නැද්ද යන්න ගැන හිතමින් දුක්වෙවී සැනසුමක් නැතුව අසරණ ජීවිතයක් තමයි ඔවුන් ගෙවන්නේ. ඒනිසා ඔවුන්ගේ ඛේදනීය ජීවිතය තිත තබලා අතුරුදහන් වූවන් පිළිබඳ දත්ත රැස්කර සොයා බලා ඔවුන්ගේ සිදුවුයේ කුමක් ද යන්න පිළිබඳව ඥාතීන් හට උත්තරයක් ලබා දිය යුතුයි. දැනට නම් ඒ දේ කරන්න ප්‍රමාද වුණා වැඩියි කියලයි අපි විශ්වාස කරන්නේ. දකුණේ කතා වෙන පරිදි අතුරුදහන් වූවන් පිළිබඳ පනතෙන් හමුදා නිලධාරීන් පෝරකයට දැක්කීමක් කෙරෙන්නේ නෑ.

 

දෙගොල්ලොම රට සූරන් කෑවා

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත

පසුගිය කාලය තුළ මේ රටේ ඡන්ද ක්‍රමයට ලොකු විවේචනයක් ආවා. ඒ වගේම 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂ මහත්තයා පළවා හරිනකොට ජනතාවගේ අපේක්ෂාවක් වුණා අලුත් ඡන්ද ක්‍රමයක් අවශ්‍යයි කියලා. එනිසා පළාත් පාලන ඡන්ද, පළාත් සභා ඡන්ද, පාර්ලිමේන්තු ඡන්ද ඔක්කොම සමානුපාතික නියෝජන ක්‍රමයකුත් කේවල ක්‍රමයකුත් සහිතව පැවැත්විය යුතුයි. ඒ අනුව පළාත් සභා ඡන්ද සියල්ල එකවර තැබීම කෙරෙන්නත් ඕන. අලුත් ඡන්ද ක්‍රමයකුත් ඕන.

මේ ආණ්ඩුවට ඡන්දවලට මුහුණදෙන්න බැරිකමක් තියෙනවා. මොකද පොරොන්දු ඉටුවුණේ නැහැ. ඡන්ද කල් දාන්න ආණ්ඩුවට එහෙම ඕනකමක් තියෙන්න පුළුවන්. නමුත් අපිට ඕනකම තියෙනවා අලුත් ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කර ගනිමින් ඡන්දය පවත්වන්න.

අපිට නම් ඔය දෙපැත්තම එකයි. මන්ත්‍රීවරු ඒ පැත්තේ හිටියත් එකයි මේ පැත්තේ හිටියත් එකයි. ඔය දොගොල්ලො තමයි මෙච්චර කල් මේ රට පාලනය කරේ. මේ රටේ දුක් විඳින ජනතාව තවත් දුකට පත්වෙලා තියෙනවා. රටේ සංවර්ධනයක් නෑ. දෙපැත්තෙම කට්ටිය රටේ ජනතාවගේ දේවල් හම්බකරගෙන කාලා තියෙනවා. ඒ නිසා ඒ පැත්තේ හිටියත් මේ පැත්තේ හිටියත් ජනතාවට කිසිම සුගතියක් ලැබෙන්නේ නැහැ.

කවද කොයි දේ කරන්න ගියත් විරෝධතාවයන් එනවා. බලන්න ඕන මේ රටේ ජනතාව අනාගතයේදීත් අතුරුදන් වෙන්න ඉඩ ලබලා දෙනවද කියලා. මේ ධනපති පාලකයන්ට අනාගතයේදී මේ රටේ ජනතාව අතුරැදන් නොවන ආකාරයේ නීති අණපනත් සහ ජාත්‍යන්තර ප්‍රඥප්තින්වලට පවා එකඟවෙන්න රටක් විදියට අපි යා යුතුයි. අනාගතයේදී යම් නීතිමය රාමුවක් ඇතිකර ගන්නව නම් ජාත්‍යන්තර බැඳීමක් ඇතිකර ගන්නවා නම් මේ රටේ ජනතාව අතුරැදන් නොවන ලෙස ඒ සඳහා වූ සම්පූර්ණ අපේ සහයෝගය අපි ලබලා දෙනවා.

 

යූ.එන්.පී.ය කවදාවත් ඡන්දවලට බය නෑ

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක

මම පෞද්ගලිකවම ඡන්දය කල් යනවට කැමති නැහැ. කාන්තා නියෝජනය මෙන්ම තවත් විශේෂ හේතු තියෙනවා නම් ඒවා එකතු කරලා ඉක්මනටම ඡන්දය පැවැත්විය යුතුයි කියන මතයේ මම ඉන්නවා.

මට සම්පූර්ණ ආණ්ඩුව ගැනම කතා කරන්න බැහැ. මට කතා කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය ගැන විතරයි. එහෙම ඡන්දවලට යන්න බය තියෙන පක්ෂයක් නෙවෙයි එජාපය කියලා කියන්නේ. මැතිවරණ තියන ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන් තත්ත්වයක අපි ඉන්නවා. හොඳ පළපුරුදු අත්දැකීම් සහිත පිරිසක් ඉන්න නිසා අපි මැතිවරණවලට බය නැහැ.

මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව ඒ කාලේ ලොකු කණ්ඩායමක් එළියට බහින්න සූදානම් වෙලා හිටියා. හතළිහක පනහක කණ්ඩායමක් හිටියත් ඡන්දය දවස ළංවෙනකොට ඒ කවුරුත් එළියට බැස්සේ නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා පොදු අපේක්ෂකයා කරන්න බොහොම පොඩි පිරිසයි එළියට බැස්සේ. එහෙම හැමෝම කතා කළාට තීරණ ගන්නකොට ඒවා නැහැ. ඉතිං සමහරු ඒ විදියට පොරොන්දු වුණාට ඒ පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැ. ඒකාබද්ධය බලාපොරොත්තු වෙනව නම් ආණ්ඩුවක් තියෙද්දී එහෙම පැති මාරුවක් වෙනවා කියලා ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහැ.

සමාජයේ කතාබහක් යනවා මේ ගැන මෙම පනත සම්මත වුවහොත් රණවිරුවන්ට අසාධාරණයක් වෙනවා කියලා. නමුත් එහෙම අසාධාරණයක් වෙන්නේ නැහැ. එක එක පුද්ගලයන් පහුගිය කාලයේ විවිධ මත පළකරලා තිබුණා. එහෙම මත පළකරාම වෙන්නේ ඒක රටට හොඳ නැහැ. මම හිතන්නේ නැහැ අපේ හමුදාව යුද්ධයේදී හමුදාවක් විදියට ඒවා කළා කියලා. අපි කවමදාවත් රණවිරුවන් පාවලා දෙන්නේ නැහැ.

 

කවුරු ගියත් අාණ්ඩුව යනවා!

සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්. නවවි

මැතිවරණ ප්‍රමාද වෙනවා කිව්වාට මැතිවරණය මාස තුනක් ඇතුළත පවත්වනවා. ඒවගේම මැතිවරණය පවත්වන්න කටයුතු කරලා තියෙන්නේ 1960 කලින් තිබ්බ විදිහට කොට්ඨාස ක්‍රමය මිශ්‍රිත ඡන්ද ක්‍රමයකට. එතකොට සෑම කොට්ඨාසයකට මන්ත්‍රිවරයෙක් පත්වෙනවා. දැනට තියෙන්නේ ඡන්ද පැවැත්වීමට අදාළව සීමා නීර්ණය කිරීම විතරයි. මාස හතරකින් සීමා නීර්ණය අවසන් කිරීමට ආණ්ඩුව අවධානය යොමු කරලා තියෙනවා.

පළාත් පාලන මැතිවරණය කල් යන්න හේතු වුණේ පහුගිය ආණ්ඩුව සීමා නීර්ණයේ දී කරපු වංචාවන්. මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ අලුතෙන් කමිටුවක් පත්කරලා නැවතත් සීමා නීර්ණය සිදු කිරීමට සිදු වුණා. අපි මැතිවරණ කල්දැම්මා නෙවෙයි තිබුණා ගැටලු නිරාකරණය කළා. දැන් සියලු කටයුතු අවසන් කරලා ජනවාරි මාසයේ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානමින් ඉන්නවා. මේ හේතුව හින්දා මිසක් ඡන්ද කල් ගියේ ආණ්ඩුව ඡන්දෙට තියෙන බයක් නෙවෙයි. නිල කාල අවසන් වුණ පළාත් සභා තුනේ ඡන්දත් තවත් මාස කීපයකින් අපි පවත්වනවා.

අරුන්දික ගියා කියලා ආණ්ඩුවට නම් ප්‍රශ්නයක් වුණේ නෑ. වෙන කවුරැත් ආණ්ඩුවෙන් යන්නෙත් නෑ. අරැන්දික මන්ත්‍රීවරයා වගේම ප්‍රියංකර මන්ත්‍රීවරයාත් ආණ්ඩුවෙ හිටියා නම් පුත්තලමේ ජනතාවට සේවයක් කරන්න තිබුණා. ඇත්තටම ඔවුන් කළේ තමන්ට ඡන්ද දුන්න ඡනතාව අමාරුවේ දැමීමක්. මමත් ශ්‍රී ලංකා කාරයෙක්. ඒත් ජනාධිපතිතුමා පක්ෂෙන් ඈත් වුණාට පස්සෙ තමයි මම එජාපෙන් තරග කළේ. අපි දැන් පක්ෂ පාට පැත්තක තියලා ප්‍රධාන පක්ෂ දෙකම එකතුවෙල රට ගැන හිතන කාලයක්. දැන් කවුරුත් කරන්න ඕන ආණ්ඩු බලය තියාගෙන තමන්ගේ ජනතාවට වැඩ කරන එකයි.

මේ ආණ්ඩුව අනාගතය ගැන හිතලා රටට හොඳ බොහෝමයක් දේවල් ආරම්භ කර තියෙනවා. නමුත් ඒකාබද්ධයේ ඉන්න හොඳ දේවල්වලට පවා විරුද්ධ වෙනවා. පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාව මුලින්ම ගෙනාවේ දැන් ඒකාබද්ධයේ ඉන්න දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා. ඔහුගේ ඒ යෝජනවාම තමයි අපේ ආණ්ඩුවත් කරන්නේ. නමුත් ඔහු ඒකටත් විරුද්ධ වෙනවා. මේකෙන්ම පේනවා ඔවුන් ආණ්ඩුව ඉදිරිපත් කරන දේවල්වලට විරුද්ධ වෙන්නේ විරුද්ධ විය යුතුය යන හේතුව නිසා මිසක තර්කානුකූල හේතුවක් නිසා නොවන බව. 

 

සංස්කරණය : සකීෆ් සාම් තන්වීරි සහ හසිත් අංජන