2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ජාතික ඇඳුමට බැස්ස මුල්ම සිවිල් සේවකයා

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 265

එදා පරිපාලන සේවාවේ බමුණු කුලය ලෙස හැඳින්වුණේ ලංකා සිවිල් සේවාවයි. සිවිල් සේවාව මෙරටට හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍ය පාලකයන්ය. නිදහස ලැබීමට පෙර සිවිල් සේවකයන් තෝරාගැනීමට පැවැත්වූ ඇතැම් පරීක්ෂණ පවා පැවැත්වූයේ බ්‍රිතාන්‍යයේදීය. රාජ්‍ය පරිපාලනයේ (ක්‍රිම්) එක ලෙස හැඳින්වුණ සිවිල් සේවාවේ සේවකයන් හැටියට වසරකට සමස්ත ලංකාවෙන්ම බඳවා ගත්තේ දෙතුන් දෙනෙකි. එකල බොහෝ දැනඋගත්කම් තිබූ පවුල්වල දෙමාපියන් තම පුතුන් සිවිල් සේවකයන් කිරීමට උපරිම උත්සාහ දැරෑහ. හොඳ විවාහයක් සඳහා එය කදිම සුදුසුකමක් විය. 

ඉංග්‍රීසි පන්නය අනුව හැඩගැසුණු සිවිල් සේවාව තුළ සේවය කළ දිසාපතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ක්‍රියා කළේ කළු සුද්දන් මෙනි. විශේෂයෙන්ම නිදහස ලැබීමට පෙර හා නිදහස ලැබී දස වසරක් පමණ ගතවන තෙක් මේ තත්ත්වය කැපී පෙනුණි. 1956 සිංහලය රාජ්‍ය භාෂාව වීමත් සමඟ ගමේ දරුවන්ට ද සිවිල් සේවාවේ දොර ඇරුණි. 1956 දේශපාලන පැලැන්තියේ සහ රාජ්‍ය සේවා පැලැන්තියේ සිදු වූ මේ වෙනස මාර්ටින් වික්‍රමසිංහයන් හැඳින්වූයේ බමුණු කුලය බිඳවැටීම ලෙසයි.

සිවිල් සේවා බමුණු කුලයේ වුවද එදා සම්මත සම්ප්‍රදායන් පිළිකෙව් කළ සිවිල් සේවකයෝ ද සිටියහ. අප පසුගිය සතියේ සඳහන් කළ නීල් කුවින්ටස් ඩයස් හෙවත් එන්.කියු ඩයස් මහතා එලෙස උඩුගම්බලා පිහිනූ සිවිල් සේවකයෙකි.

1954 දෙවැනි එළිසබෙත් මහ රැජනගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය ආන්දෝලනාත්මක පුවත්වලින් පිරුණු එකකි.

වාමාංශික පක්ෂ නායකයෝ රැජනගේ සංචාරයට එරෙහිව යුද ප්‍රකාශ කළහ. එවිට අගමැති සර් ජෝන් වමේ චණ්ඩින්ට දුන්නේ චණ්ඩි උත්තරයකි. ඔහු එන්.එම්. කොල්වින් ඇතුළු වමේ නායකයන්ට කීවේ මහ රැජනගේ චාරිකාවට විරෝධය දක්වන්නන් ගාල් කිරීමට තමන් රෝහල්වල ඇඳන් සූදානම් කර තබන බවයි.

කෙසේ හෝ මහ රැජන එකල ශ්‍රී ලංකාවේ නිල රාජ්‍ය නායකත්වය දැරුවාය. ඇගේ ප්‍රතිරාජයා වූයේ අග්‍රාණ්ඩුකාරවරයෙකි. මහ රැජන පිළිගැනීම සඳහා පැවැත්වූ නිල රාජ්‍ය උත්සවයේ දී රටේ සිටි අතළොස්සක් වූ සිවිල් සේවකයන් එතුමියට හරසර දැක්වීම සඳහා නිදහස් චත්‍රරශ්‍රයේ පැවති රාජ්‍ය උත්සවය සඳහා කැඳවනු ලැබුණි. යට කී එන්.කියු. ඩයස් මහතා මෙහිදී විප්ලවීය වැඩක් කිරීමට සිතුවේය. එකල රාජ්‍ය සේවාවේ ඉහළ තනතුරු දැරූ සියලු දෙනාගේ උත්සව ඇඳුම වූයේ ටයි කෝට් ටොප් හැට් ටේල් කෝට් (තොප්පි සහ වලිග කබාය) ඇතුළත් සූට් එකයි. කිසිම සිවිල් සේවකයෙක් මෙබඳු උත්සවයකට රෙදි බැනියම් සහිත ජාතික ඇඳුමින් සැරසී පැමිණියේ නැත. එකල සබරගමුව මහ දිසාපතිවරයා වූ එන්.කියු. ඩයස් කල්පනා කළේ මහ රැජන පිළිගන්නා නිල උත්සවයට තමන් යා යුත්තේ රටේ බහුතර ජනතාව අඳින ජාතික ඇඳුමින් සැරසී බවයි. ඔහුගේ හිතට මේ අදහස දැම්මේ එකල දිවයිනේ ප්‍රකට කීර්තිධර නායක හිමිවරුන් දෙපළක් වූ රත්නපුර ප්‍රදේශයේ වැඩවිසූ බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හිමියන් සහ වාදීහසිංහ හේන්පිටගෙදර ඤාණසීහ නායක හිමිපාණන් වහන්සේලා විසිනි. උන්වහන්සේලාගේ උපදෙස් මත මහ රැජන පිළිගන්නා ඔදවත් තෙදවත් ජාතික මහෝත්සවයට කොළඹ හතේ කුල්ටූර් ඇඳුමින් නොගියොත් සිවිල් සේවක සගයින්ගේ විරෝධය එල්ල විය හැකි බව එන්.කියු. ඩයස් දැන සිටියේය. එහෙත් පෙරළිකාර වැඩ ගැන ධෛර්යය තිබූ එන්.කියු. ඩයස් ජාතික ඇඳුමින් සැරසී මහ රැජන පිළිගැනීමේ උත්සවයට යාමට තීන්දු කළේ තම ආදරණීය බිරිය පවා මේ ගැන සැක සංකා පළ කරද්දීය.

ඒ අනුව කොළඹ ප්‍රවීණ ඇඳුම් මසන්නකු ලවා මස්සවාගත් රෙදි බැනියම් වලින් සැරසුණ සිවිල් සේවක එන්.කියු. ඩයස් නිදහස් චතුරශ්‍රයේ පැවති මහ රැජන පිළිගැනීමේ නිල උත්සවයට සහභාගි විය. ඔහුගේ මේ ඇඳුමේ වෙනස දුටු උත්සවයට පැමිණ සිටි ජේත්තුකාර සිවිල් සේවා සගයන් සිය මිතුරාගේ ඇඳුම ගැන අපේක්ෂා කළ පරිදිම සතුටු නොවීය. මේ ඇඳුම ඔවුන්ගේ බමුණු කුලයට හානියක්යැයි ඇතැම්හු කල්පනා කළහ. එම්. රාජේන්ද්‍ර, ෂර්ලි අමරසිංහ වැනි ඩයස්ගේ මිතුරු සිවිල් සේවා සගයන් ද කතා කළේ ඇඳුම ගැන දොම්නස් හැඟීමෙනි. එහෙත් කිසිවෙකුට කිසිවක් කළ නොහැකි විය. යුරෝපීය පන්නයට කදිම ඇඳුමින් සැරසුණු අගමැති සර් ජෝන් කොතලාවල මහ රැජන ගෞරව සම්ප්‍රයුක්තව එහිදී පිළිගත්තේය. මැති ඇමැතිවරුන් සමඟ ඉදිරිපෙළ ආරාධිත අසුනක සිටි එන්.කියු. ඩයස්ගේ ඇඳුමේ වෙනස දුටු අගමැති සර් ජෝන් ඒ ගැන වැඩි උනන්දුවක් නොපෙන්වා උත්සවයේ කටයුතු සුපුරුදු ලෙස කරගෙන ගියේය. එහෙත් අගමැතිවරයා තුළ මේ ඇඳුමේ වෙනස ගැන කිසියම් විමතියක් තිබූ බව දැනගන්නට ලැබුණි. ඉක්මනින් කේන්ති යන එහෙත් හිත හොඳ මිනිසකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි අගමැති සර් ජෝන් කොතලාවල එදින රාත්‍රී මහ රුජන වෙනුවෙන් පවත්වන ලද ඉහළ මට්ටමේ රාත්‍රී භෝජන සංග්‍රහයට ද සිවිල් සේවකයන්ට ඇරියුම් කර තිබුණි. එයට ද එන්.කියු. ඩයස් සහභාගි වූයේ පිළිගැනීමේ උත්සවයට සහභාගි වුණු ආකාරයේම ජාතික ඇඳුමින් සැරසීගෙනය. එහෙත් ඔහු තුළ ද චකිතයක් තිබුණි. කේන්ති යන අගමැතිතුමා උත්සවය අතරතුර තමාට දොස් කියනු ඇතැයි ඔහු අපේක්ෂා කළේය. භෝජන සංග්‍රහය අතරතුර පැමිණ සිටි ආරාධිතයන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටි අගමැතිවරයා අසලට ගිය එන්.කියු. ඩයස් ඔහුට අතට අත දී සුහදව කතා කළේය. ඔහු සිතුවේ කොහි මොහොතක හෝ අගමැතිවරයා තමාට කඩාපැන ඇඳුම ගැන දොස් කියනු ඇති බවයි. මෙයට පෙර වසර ගණනාවක් තමන්ගේ අමාත්‍යංශයේ සේවය කර තිබූ එන්.කියු. ඩයස් අතට අත දුන් සැණින් සර් ජෝන් කීවේ තමුන් අද හරි ලස්සනයි කියායි.

“සර්... මගේ අතින් වැරැද්දක් වුණාද දන්නේ නෑ...” එන්.කියු. ඩයස් කීය.

“නැහැ... නැහැ... කුවින්ටස් තමුන් කහ සිවුර අඳින්නෙ නැත්නම් සුදු ඇඳුම ඇන්ඳට මගේ කිසිම විරෝධයක් නෑ.” අගමැතිවරයා තීන්දුව දුන්නේය.

ඇඳුම ගැන අමනාපයෙන් පසු වූ මිත්‍ර සිවිල් සේවා සගයෝ අගමැතිගේ කතාවෙන් පසු දුර්මුඛ වූහ. ඉන් අනතුරුව තමන්ගේ සේවා කාලය පුරාම එන්.කියු. ඩයස් ඇන්ඳේ ජාතික ඇඳුමයි. ඒ සමඟම ඔහු ජාතික ඇඳුමින් සැරසුණු මෙරට මුල්ම සිවිල් සේවකයා ලෙස වාර්තාවක් තැබීය. නමුත් ඔහු පානදුරේ ඉපිද මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි පන්නයට අධ්‍යාපනය හදාරා එංගලන්තයට ගොස් නීති විශාරදයන්ගේ ඉහළම විභාගය වන බැරිස්ටර් විභාගයෙන් සමත්ව සිවිල් සේවාවට ඇතුළත් වුණු ඉහළ පන්තියේ මිනිසෙක් විය. එහෙත් සුද්දන්ට ආවැඩූ ඒ යුගයේ යුරෝපීය ඇඳුමින් රෙද්ද බැනියමට බැසීමෙන් හෙතෙම සාමාන්‍ය පන්තියේ මිනිසෙකු බවට පත් විය. එය අපූරු වැඩකි.

I රන්ජිත් ආනන්ද ජයසිංහ