2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

නිසල නිම්නය සසල කළ අමනයෝ

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 180

අනුරාධපුරය පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේ සිදුවී ඇතැයි කියන මෘතදේහ ආදාහනය කිරීමට යොදාගැනෙන ගෑස් සොරකම් කිරීම පිළිබඳව තොරතුරු ඉකුත් සතියේ මාධ්‍යයන් ඔස්සේ අනාවරණය වීමත් සමඟ බොහෝදෙනෙකු ඉන් වික්ෂිප්තව ගියෝය. අනුරාධපුර මහ නගර සභාව මගින් පාලනය කෙරෙන මෙම ආදාහනාගාරය 2014 වර්ෂයේ සිට හිටපු නගරාධිපතිවරයාගේ අදහසකට අනුව “නිසල නිම්නය” ලෙස නම් කෙරී ඇත. මෙම පොදු සුසාන භූමියේ ගෑස් මගින් ක‍්‍රියාත්මක කෙරෙන ආදාහනාගාරයට ආදාහනය කිරීම සඳහා භාරදෙන ඇතැම් මෘතදේහ සම්පූර්ණයෙන් දැවී අළු වෙන්නට පෙර පෝරණුවේ ක‍්‍රියාකාරීත්වය නවත්වා ඉන් ඉතිරිවන ගෑස් සොරකම් කර තිබෙන බව මෙතෙක් කරන ලද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙසේ නොදැවී ඉතිරිවෙන දේහ කොටස් රාත‍්‍රී කාලයේ දී සුසාන භූමියේම රහසිගතව වළදමා තිබෙන බවද අනාවරණය කොටගෙන ඇති පොලීසිය එම වළදැමූ ස්ථානද මේ වනවිට හඳුනාගෙන ඇති බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට තීන්දු වීමත් සමඟ එසේ හඳුනාගත් ශරීර කොටස් වළදමා තිබු ස්ථාන වෙත පොලිස් ආරක්ෂාවද යොදනු ලැබීය. මෙසේ දැවී අළුවී නොගිය ශරීර කොටස් වළ දැමූ සමහර තැන් සුනඛයින් හෑරීම හරහා කිසිවෙකුගේ හෝ උකුසු ඇස ඒ කෙරෙහි යොමුවීමෙන් මෙම සිද්ධිය හෙළිදරව් වෙන්නට මඟ පෑදී ඇති බව සඳහන්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වනතුරු සුසාන භූමියේ නව දෙනෙකුගේ වැඩ තහනම් කළ බව අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා පැවසීය. ආදාහනාගාරයේ භාරකරු, ඔහුගේ සහායකයා, කම්කරුවෙක් සහ මුරකරුවන් හය දෙනෙකුගේ වැඩ තහනම් වී ඇත. මේ අතරින් ආදාහනාගාරයේ භාරකරු සහ ඔහුගේ සහායකයා මේ වනවිට අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරගත කරනු ලැබ ඇත. මෙම ගෑස් සොරකම පිළිබඳව හෙළිදරව් වීමෙන් පසුව නාගරික කොමසාරිස්වරයා විසින් අනුරාධපුර පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිස් පරික්ෂණ මේ වනවිට ක‍්‍රියාත්මකව පවතී.

පොලිස් පරීක්ෂණවලට අමතරව උතුරුමැද පළාත්පාලන කොමසාරිස් එච්. කොඩිප්පිලිආරච්චි මහත්මිය විසින්ද මේ ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා ත‍්‍රී පුද්ගල කමිටුවක් පත්කර කොට ඇති බව සඳහන්වේ. මෙම පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු ආදාහනාගාරයේ මෘතදේහ ආදාහනය කිරීමද තාවකාලිකව නවතා ඇති අතර, සුසාන භූමියේ ආරක්ෂක කටයුතුද උතුරු මැද පළාත් සභාවේ ආරක්ෂක අංශය වෙත පවරා තිබේ. මේ අතර මෙම සිද්ධිය පාදකව සුසාන භූමියේ අධීක්ෂණ කටයුතු සඳහා නගර සභාව මගින් පත්කොට කොන්ත‍්‍රාත් පදනමින් සේවයේ නියුතුව සිට ඇති මහජන පරීක්ෂකවරයාටද ඉල්ලා අස්වී ගෙදර යෑමට සිදුවිය. 

මෙම සිද්ධියේ දී බන්ධනාගාරගත කරනු ලැබු නිසල නිම්නය පොදු සුසාන භූමියේ පාලකවරයා මිහින්තලේ කන්නට්ටිය, 4 කණුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුගේ සහායකයා අනුරාධපුරය, පෙරිමියන්කුලම, විජේරාම පාර ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. සුසාන භූමියේ පාලකවරයා ලෙස කටයුතු කොට ඇති පුද්ගලයා කොළඹ, කෝට්ටේ පදිංචිව සිටි අයෙකු බවත්, ඔහු අනුරාධපුරයේ, මිහින්තලයට පැමිණ ඇත්තේ විවාහය හේතුවෙන් බවත් පැවසේ.

අනුරාධපුරය, බුද්ධගයා මාවත පසෙක පිහිටි මෙම සොහොන් බිම අඩ ශතවර්ෂාධික ඉතිහාසයක් සහිත බවද හෙළිදරව්වේ. අනුරාධපුර මහ නගර සභාව සතුව ඇති ඔප්පුවේ සඳහන් පරිදි අක්කර තිස්හත හමාරක (අක්කර 37.5) වපසරියකින් යුතු සොහොන් බිම වටා පූර්ණ ලෙසම කළුගලින් බැඳ ඇති (පවුර) 1950 දශකයේ දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ වකවානුවේ ඉදිකරන ලද්දක් බව හෙළිදරව් වන කරුණකි. ප‍්‍රවේශ දොරටු හතක් මුල් වකවානුවේ ඉදිකොට ඇතත්, අද වනවිට ඉන් විවෘතව පවතිනුයේ දෙකක් පමණකි. ඒ පරිපාලන පහසුව සලකාය යන්න ද පැවසේ.

1990 වර්ෂයේ සිට මෙම සොහොන් බිම හා සම්බන්ධ ලිඛිත තොරතුරු අනුරාධපුර නගර සභාව සතුව ඇති බව හෙළිදරව් වේ. එම වාර්තාවන්ට අනුව මෙතෙක් මේ බිම මත මිහිදන්ව ගියවුන් දස දහස් ගණනකි. ඉකුත් 2014 වසරේ දිනක එය “නිසල නිම්නය” ලෙස නම් තබා ඇත්තේ දහසකට අධික පිරිසකටද ඒ පිළිබඳව දන්වා ලිඛිත ආරාධනාවක්  සිදුකිරීමෙන් අනතුරුවය. එසේ ආරාධනා ලැබූයේ මෙතෙක් මේ බිම මත මිහිදන්ව ගිය අයගේ ඥාතීන් බවද සඳහන් වේ. දුර්වර්ණව තිබූ සියලු සොහොන් කොත් යළි වර්ණ ගන්වා ආගමික වතාවත් ද සහිතව මෙම මතක සැමරුම් කාර්යය වාර්ෂිකව සිදුකොට ඇති බව ද සඳහන් වේ.

උදෑසන හයේ සිට සවස හය දක්වා නිසල නිම්නය විවෘතව ඇති බව නගර සභාව පවසයි. “නිසල නිම්නයේ” ආදාහනයක් සිදුකිරීම සඳහා මරණය වූ වහාම රෝහලෙන් ලබාදෙන  “මෘතදේහය භාරදීමේ” ලේඛනය හෝ නිවසේ සිදුවන මරණයකදී නම් “ග‍්‍රාම නිලධාරිවරයාගේ සහතිකය” මෙහි ඇති කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුව තිබී ඇත. අනතුරුව අවැසි කටයුතු පිළියෙළව ඇත. අවමංගල අවස්ථාවක් සඳහා සහභාගී වන සියලු දෙනා වෙත නගර සභාවේ අනුග‍්‍රහයෙන් “තේ පැන්” පිරිනැමීමේ කාර්යක් ද මෙහි සිදුවූ බව නගරවාසීහු පවසති. ඥාතීන් සඳහා දේහයේ අළු ලබාදීම පසුවදාට සිදුවන කාර්යයකි. ආදාහනයකින් දින 07 ක් ඉකුත්ව යන්නට පෙරාතුව මේ බිම මත අළු තැන්පත් කළ යුතුව ඇත. තෙමසකට මත්තෙන් අවැසි අන්දමින් ස්මාරකයක් ඉදිකර ගත හැකිය.

මේ සේවා සියල්ලක් අතර මෙම සිදුවීම වාර්තාවීමත් සමඟ මෙහි ආදාහන කටයුතු සිදුකළ පුද්ගලයින්ගේ ඥාතීන් සුසාන භූමිය අසලට පැමිණ හඬ නගන්නට වූයේ තමන් වෙත ලබාදී ඇත්තේ තම ඥාතීන්ගේම අළුද යන්න සනාථ කරදෙන ලෙසය. අනුරාධපුර මහ නගර සභාවේ කොමසාරිස්වරයා පවසා ඇත්තේ තම රාජකාරි දිවියේ අත්විඳි අප‍්‍රසන්නම අත්දැකීම මෙය බවය.

නේක සංවේදනාවන් රැසක් දලුලන අතරේ ධවල ධජ පතාක මැදින්, අපමණක් සෝ සුසුම් අතරේ සියලු අවනීතීන්වල නිමාව සටහන් බිම මතදී ද අනෙකාගේ දෑ සොරාකෑමට තරම් මිනිසුන් නොමිනිසුන් වී ඇත. ජීවිතයේ සතුට, සම්පත අපේක්ෂාවෙන් අනෙකාගේ ජීවිත අපේක්ෂාවන් උදුරා ගන්නවුන්ට සේම, හුස්ම නාල්ලා මුදල් ඉපැයීම ඒකායන අරමුණ කොටගත්තවුන්ටද, හදිසියකටවත් මුහුණේ සිනහ කඳුළක් නොරැඳුණු අයටද අවසන එකම එක සැනසුම වනුයේ මේ බිම වග අනුමානයක් නැත. එහෙත් එබිමෙහි ඇති දෑද සොරාගන්නට තරම් මිනිසුන් තිරිසනුන් වීමේ අභාග්‍යය කවරක් ද යන්න පහසුවෙන් වටහාගත නොහැක්කක්ව පවතී. 

සටහන හා සේයාරූ
තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග