2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

එංගලන්තෙන් ඇවිත් ආරුගම්බේදී කිඹුලෙකුට ගොදුරු වූ මාධ්‍යවේදියා

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික තරුණ මාධ්‍යවේදියකු වූ පෝල් මැක්ලීන් ශ්‍රී ලංකාවේදී කිඹුලකුට ගොදුරුව මියයාමේ පුවත බොහෝ දෙනකුගේ සිත් සසල කළ සිද්ධියක් විය. බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියා ආරුගම්බේ ප්‍රදේශයේ කලපුවකදී කිඹුලා විසින් ඇදගෙන යද්දී ඔහු අත් ඔසවමින් කෑ ගැසු ආකාරය දුටු ගම්මු ද බොහෝමයක් සිටිති.

වේළුපිල්ලෙයි සදානන්දන් (65) පොලිසියට කියා තිබුණේ තමන් ධීවර වාඩියේ සිටියදී හදිසියේම කලපුව දෙසින් විලාප දීමක් ඇසුණු බවය.

“මම අනෙක් සියලුම ධීවරයින්ට මේ බව කෑ ගහලා කියලා ඉක්මනට ඒ ස්ථානයට දිව ගියා. ඒ වෙනකොට ඒ සංචාරකයා නොපෙනී ගිහින්” ඔහු සඳහන් කරයි.

අම්පාර අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. ඉලන්ගෝවන් විසින් පසුගිය සෙනසුරාදා (16 වැනිදා) ලබා දුන් තීන්දුව වූයේ විසිහතර හැවිරිදි පෝල් මැක්ලීන්ගේ මරණය දියේ ගිලීමෙන් සිදුවූවක් බවත් කිඹුලකුගේ ප්‍රහාරයකට ලක්වූ බවට සැලකිය හැකි තුවාල සලකුණු ඔහුගේ සිරුරෙන් දැකගත හැකිවූ බවත්ය. එදින සවස පැවැති එම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව පෝල්ගේ සිරුර මුදාහරිනු ලැබීය.

මෙම තරුණ මාධ්‍යවේදියාගේ සිරුර සොයාගැනීමට උපකාරී වී තිබුණේ නාවික හමුදාවේ නාවිකයින් හයදෙනෙකි. සිරුර සොයාගනු ලැබුවේ කලපුව තුළ සිදුකරන ලද මෙහෙයුම් කිහිපයකින් අනතුරවය. ආරුගම්බේට දකුණින් කිලෝමීටර් හයක් දුරින් පිහිටි පානම කලපුවේදී මේ තරුණ මාධ්‍යවේදියා බිලිගත් භයානක අනතුර සිදු වී තිබිණි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලංකානාත දිසානායක මහතා සඳහන් කරනුයේ නාවික නිලධාරීන් දෙදෙනකුත් කිමිඳුම්කරුවන් සිව්දෙනකුත් මොහුගේ සිරුර සෙවීමේ කර්තව්‍යයට සම්බන්ධ වූ බවය. සිද්ධිය සිදුවූ දිනට පසුදින උදෑසන පෝල් මැක්ලීන්ගේ නිසල සිරුර සොයාගැනීමට හැකි විය. එම මෙහෙයුම්වලදී අධිවේගී බෝට්ටුවකට සවිකරණ ලද නැංගුරමක් යොදා මඩේ සිරවී තිබූ සිරුර හඳුනාගැනීමට සිදුකළ පළමු වැනි උත්සාහය අසාර්ථක වීය.

“අපි ඊළඟට වෙනස් උපක්‍රමයක් යොදා ගත්තා. එම මාධ්‍යවේදියා අවසානයේ ගිලී යනු දුටු ප්‍රදේශයේ මෙම කණ්ඩායම එම බෝට්ටුව අධික වේගයෙන් වක්‍රකාරව පදවා එම ස්ථානයේ මඩ ඉවත් කිරීමට දිය රැල්ලක් ඇති කළා.”

අවසානයේදී පොල් මැක්ලීන්ගේ සිරුර අඩි අටක් යට මඩෙහි තිරස්ව පිහිටා තිබී සොයාගත් අතර දකුණු පාදයේ දත් පහරවල් යැයි සැකකළ හැකි තුවාල තිබී ඇත. ඔහුගේ පාදයක විලුඹ කොටසද ඇඹරී ගොස් තිබිණි. සිරුර පානම පොලීසියට බාරදුන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අම්පාරට බාරදී තිබිණි.

පානම පොලිස් නිලධාරියකු සඳහන් කරනුයේ මෙම අනතුර බ්‍රහස්පතින්දා (14) සවස 2.30ත් - 3.30ත් අතර කාලය තුළදී සිදුවී ඇති බවය. මේ සම්බන්ධ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකයකු සඳහන් කර තිබුණේ අනතුරට ලක් වූ තැනැත්තාගේ පවුලේ සාමාජිකයන් සමඟ තමන් සම්බන්ධ වී සිටින බවය.

සර්ෆින් (Surfer) ක්‍රීඩකයකු මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කරනුයේ මෙම අනතුර සිදුවූ ස්ථානය “කිඹුලා ගලට” ඉතා ආසන්න බවය. එම ප්‍රදේශයේ කිඹුලන් බහුලව ගැවසෙන අතර මේ බව දන්නා එම ප්‍රදේශයේ ගම්වාසීන් එම ප්‍රදේශය මඟහරින බවද ඔහු වැඩිදුරටත් පැවසීය. 

“British Financial Times”හි මාධ්‍යවේදියකු වූ පෝල් මැක්ලීන් සර්ෆින් ක්‍රීඩාවේ යෙදී සිටි අයකු බවද ඔහු තවදුරටත් පැවසීය.

පෝල් සර්ෆින් අවසන් වී වෙරළට පැමිණ ඒ අසල ඇති කලපුව ආසන්නයේ කැලෑබද ප්‍රදේශයට ගොස් ඇත්තේ ශාරීරික අවශ්‍යතාවයක් ඉටුකර ගැනීම සඳහාය. ඉන් අනතුරුව අතපය සෝදාගැනීමේ අරමුණින් කලපුවට බැස්ස අවස්ථාවේ ඔහු කිඹුල් ප්‍රහාරයට ගොදුරු විය.

සර්ෆින් ක්‍රීඩාවට පැමිණෙන සංචාරකයන් සඳහා වැසිකිළි ඉදිකිරීමට දේශපාලනඥයන් විසින් මුදල් වෙන්කරනු ලැබුවද එවැනි සනීපාරක්ෂක පහසුකම් කිසිවක් එම ප්‍රදේශයේ තවමත් ඉදිවී නැත. ඔහු තවදුරටත් පවසනුයේ සර්ෆින් ප්‍රජාව ආරුගම්බේ ප්‍රදේශයේ අනතුරුදායක ප්‍රදේශවල අනතුරු ඇඟවීමේ පුවරු සවිකිරීමට බලාපොරොත්තු වන බවය. කෙසේ වුවද මෙම සිදුවීම මෙම ප්‍රදේශයේ සිදුවූ පළමු කිඹුල් ප්‍රහාරයයි.

පෝල් මැක්ලීන් “බ්‍රිටිෂ් ෆයිනෑන්ෂල් ටයිම්ස්” හි මාධ්‍යවේදියකු වූ අතර එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු වසර දෙකකට පෙර පුවත්පතට සම්බන්ධ වී තිබුණේ ඊට උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළකට අනුවය.

මැක්ලීන්ගේ සහෝදර මාධ්‍යවේදීන් ට්විටර් පණිවිඩ හරහාත් මුහුණු පොත හරහාත් ඔහු වෙනුවෙන් ශෝක සටහන් පළකර තිබුණි. ඔහු සේවය කළ පුවත්පතේ වාර්තාකරුවන් විසින්ද ඔහු වෙනුවෙන් ශෝක පණිවිඩ සටහන් කර තිබිණි. ඒ අතරින් ලයනල් බාබර් මෙසේ තම අදහස් දක්වා තිබිණි.

“පෝල් ස්වාභාවික පුද්ගලයෙක්. ඔහු තැන්පත්, කුතුහලය පිරි සහ විස්තර සොයායාමේ අවධානය ඉහළින්ම තිබූ පුද්ගලයෙක්. මේ කාරණා විශිෂ්ට වාර්තාකරුවකු සතු ගුණාංගයයි. ඔහු අපේ පවුලේ සාමාජිකයෙක්. ඔහු අද අපට මුළුමනින්ම අහිමි වුණා.”

පුවත්පතේ කළමනාකාර කර්තෘ ජේම්ස් ලැමොන් ප්‍රකාශ කරනුයේ “අපගේ හදවතේ ඇති දුක ශෝකය ඔහුගේ පවුලේ සාමාජිකයින් හිතමිතුරන් සහ ආදරණීයන් සමඟ බෙදාගන්නවා. මේ අසීරු අවස්ථාවේ මේ සියලුදෙනා සමඟ ඔවුන්ට උදවු කිරීම සඳහා අපි කැපවෙනවා.”

පෝල් මැක්ලීන් පැරීසියේ පුවත්පත් කාර්යාලයක කර්තෘ මණ්ඩල අධුනිකයකු ලෙසින්ද 2013 වසරේදි සේවය කර තිබේ.

පෝල් ලංකාවට පැමිණියේ සංචාරය සොයා ගෙනය. එහෙත් සොබා සෞන්දර්  යේ වින්දනය දකින්නට පැමිණි ගමන අවසානයේ ඔහු දුටුවේ මරණයේ කළු පැහැය පමණි.

අනතුරු අඟවන දැන්වීම් පුවරු ඕනෑ

ශ්‍රී ලංකාවේ වනසත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමය මෙම සිදුවීම සම්බන්ධයෙන් පෝල් මැක්ලීන්ගේ පවුලේ අයටත් යහළුවන්ටත් කනගාටුව පළකරමින් රජයෙන් ඉල්ලා සිටිනුයේ කිඹුලන් ගැවසෙන ප්‍රදේශවල අනතුරු අඟවන පුවරු සවිකර ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙසය.

කිඹුලන් එක් ස්ථානයකින් තවත් ස්ථානයකට රැගෙන යාම හෝ සත්වෝද්‍යානයට ගෙනගොස් දැමීම හෝ මෙම ගැටලුවට සාර්ථක පිළියමක් නොවන බවත් එම කිඹුලන් තම සුපුරුදු ස්ථානයට ඒම හෝ වෙනත් කිඹුලන්ගේ පැමිණීමෙන් මෙම අනතුර යළිත් ඇතිවන බවත් එම සංගමේ සභාපති රැක්ෂාන් ජයවර්ධන විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම කිඹුලන් අනතුරු සිදුකරන බවට අඟවන පුවරු සවිකිරීම හා ඒවා නඩත්තු කිරීම අවශ්‍ය බවද ඔහු සඳහන් කරයි. එමෙන්ම කිඹුලන්ගේ අනතුරුදායක හැසිරීම් සම්බන්ධයෙන් අදාළ ගම්වාසීන්ගේ දැනුම සහ අත්දැකීම් අවවාද ලබාගැනීම වැදගත් බවද එම සංගමය සඳහන් කරයි.

මහ පොළොවේ ජීවත් වෙන විශාලම උරගයා වන කිඹුලන් ඇතැම් විට මීටර් තුනකටත් වඩා දිගින් වැඩෙන අතර කිලෝදහසකටත් අධික බරකින් යුක්තය. සියක් වසරක් පමණ ජීවත් වන සත්ව කොට්ඨාසයක් වන කිඹුලන් තම වාසභූමි තුළදී ආක්‍රමණශීලී පහරදීම්වලට යොමුවන්නේ කුසගින්න නිසාම නොවන බවද කියයි.

Sunday Times පුවත්පතෙහි පළවූ ලිපියක් ඇසුරෙනි

දිශානි ජයමාලි කරුණාරත්න