2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ලිට්ල් ජෝන්ලා - නිව් චාලිලා ගැන අැත්ත නොකියන මොඩ් ගොවියා

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කොමිසම අද වන විට රටේ කතාබහට ලක්වන ප්‍රධාන තැනක් බවට පත්ව ඇත. එහි හෙළිවන ඇතැම් කාරණා සහ තොරතුරු දෙස බලද්දී පුදුම හිතෙන වාර අනන්තය. එසේම ඇතැම් සාක්ෂිකරුවන්ගේ හැසිරීම් දෙස බලද්දී සිනායන වාරද එසේමය. ඒ තරම් ඇතැම් සාක්ෂිකරුවන් තොත්ත බබාලා  බවට පත්වන වාර අප්‍රමාණය.

කෙසේ වෙතත් මේ අයගේ ඇතැම් තොරතුරුසහ සාක්ෂි දෙස බලද්දී මේ වංචාව නිසා රටේ ආර්ථිකයට වු හානිය මිල කළ නොහැකි බවට අදහසක් ඇතිවේ.

පසුගියදා මේ කතාවේ තවත් කතා කිහිපයක් සාක්ෂි හමුවේ එළියට ආවේය. ඒ පර්පචුවල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන 2016 වසරේදී පමණක් බෝනස් වසයෙන් කෝටි 10ක මුදලක් ලබාගෙන ඇති බවය. එහිදී කසුන් පලිසේනත් ඇලෝසියස් අතරත් සංවාදයක් ඇසීමට සැළැස්වීය.

එහිදී පලිසේන විසින් ලිට්ල් ජෝන් නමින් පුද්ගලයකු හඳුන්වනු ලබයි. එම ලිට්ල් ජෝන් වෙත රුපියල් 11,45,000 ක චෙක්පතක් ලබාදෙන ලෙස එම සංවාදයේදී සිදුවන අතර ලිට්ල් ජෝන් කවුදැයි කොමිසම පලිසේනගෙන් විමසනු ලබයි. එහෙත් පලිසේන ලිට්ල් ජෝන් කවුද යන්න දන්නේ නැතැයි පවසයි. පුදුමය නම් ඔහුම අමතන නම කවුරුන්ද යන්න ඔහුම නොදැන සිටීමය. එහිදී ලිට්ල් ජෝන්ලා කවුද යන්න කොමිසම දිගින් දිගටම විමසුවත් පලිසේන සඳහන් කරන්නේ එලෙස ඕනෑම අයකු හැඳින්විය හැකි බවත් ඇලෝසියස් සහ තමන් කතාකරන විට එලෙස පවසන බවත්ය. මෙහිදී කොමිසම විමසා සිටින්නේ ලිට්ල් ජෝන් ඩී.එෆ්.සී.සී බැංකුවේ කරුණාමුණි වෙන්න බැරිදැයි යන්නය. එහෙත් එයටද පලිසේනගේ පිළිතුර වූයේ තමන් නොදන්නා බවය.

මෙහිදී පලිසේන පවසා සිටින්නේ තමන්ව ප්‍රාග්ධන වෙළඳපොළ තුළ මොඩ් ගොවියා ලෙස ආමන්ත්‍රණය කෙරෙන බවයි. දන්නෑ කියන සාක්ෂි නිසා කොමිසමේ විනිසුරැ ප්‍රසන්න ජයවර්ධන මහතා පලිසේනට පවසන්නේ ලිට්ල් ජෝන් කවුදැයි පලිසේන දන්නා බවත් බොරුවක් වුණත් විශ්වාස කළ හැකි අයුරින් පවසන ලෙසත්ය.

මෙහිදී පලිසේනට තවත් දුරකථන සංවාදයක් ඇසීමට සැලැස්වීය. ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද මහතා පලිසේනට චෝදනා කරමින් කීවේ කොමිසම හමුවේ බොරුසාක්කි ලබාදෙන බවත් එම සංවාදයට අනුව ඔවුන් වෙළඳපොළ ක්‍රියාකළ ආකාරයට ඵලදායිතා චක්‍රය සකස් කොට ඇති බවත්ය. එහෙත් එය පලිසේන පිළිගත්තේ නැත. එසේම තවත් චෝදනාවක් මිලින්ද මහතා කළේය. ඒ කොමිසමට ඉදිරිපත් කළ සියලුම ලේඛන නිර්මාණය කළ ඒවා බවය. එහෙත් එය පලිසේන ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් මෙහිදී ඇලෝසියස් සහ ඔහු අතර සිදුවු දුරකථන සංවාද මකාදැමීම ගැන පලිසේනගෙන් ප්‍රශ්න කෙරිණි. එහෙත් ඔහු සඳහන් කර සිටියේ එවැනි දෙයක් සිදුනොවූ බවය. තමන් තාක්ෂණ කටයුතු ගැන නොදන්නා බවද ඔහු කීය. එහෙත් පර්පචුවල් සමාගමේ තාක්ෂණ නිලධාරී දේවතන්ත්‍රී දුන් සාක්කියට අනුව පරිගණකය කඩා දැමු බව පත්තරෙන් හෝ දැක්කේ නැතිදැයි කොමිසමේ සභාපති විනිසුරු චිත්‍රසිරි මහතා ඇසීය. පුවත්පත් දැක්ක බවත් එහෙත් පරිගණක කැඩු බව තමා නුදුටු බවත් පලිසේන සඳහන් කළේය.

කොමිසම මෙහිදී නුවන් සල්ගාදු නැමැති පර්පචුවල් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු දුන් සාක්ෂියක් විමසීය. ඒ ඔහු පැවසූ ආකාරයට හානිකර දත්‍තවලට ඇහුම්කන් දී එළියට ගන්න කීවේ තමන් නේදැයි පලිසේනගෙන් විමසීය. එහෙත් පලිසේන එය ප්‍රතික්ෂේප  කළේය. කෙසේ වෙතත් එදින සාක්ෂි ලබාදීම අවසන් විය. බොහොමයක් තොරතුරු සහ ප්‍රශ්නවලට පලිසේනගේ පිළිතුර වූයේ දන්නේ නෑ යන්නය. එහෙත් ඔහු නෑ කියූ බොහොමයක් පසුගිය සතියේදි දේවතන්ත්‍රී සහ සල්ගාදු විසින් පිළිගෙන තිබුණි. ඔවුන් පවසා සිටියේ දත්ත වෙනස් කිරීම සහ සංවාද මකා දැමිමට නියෝග කළේ කසුන් පලිසේන බවය.

කෙසේ වෙතත් කොමිසමට වැදගත් දවසක් පසුගියදා උදාවුණේය. ඒ මහබැංකු බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබ සිටින මහ බංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ප්‍රශ්න කිරීමටය. ඇලෝසියස් මඟහැරි කොමිසමට මහේන්ද්‍රන් පැමිණීම පුදුම සහගත විය.

කොමිසම හමුවේ පෙනී සිටි මහේන්ද්‍රන් මහතා ප්‍රථමයෙන්ම තමන්ගේ පැටිකිරිය කියා පෑවේය. ඒ කොමිසමේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් මතය. ඔහු මීට පෙර මහ බැංකුවේ සේවය කර ඇති බවත් ඒ 1980 සිට බවත් මහේන්ද්‍රන් ප්‍රකාශ කළේය.
තමන්ව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා 2015 ජනවාරි 09 වැනිදා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කළ බවද කීය. එසේ තමන් ධූරය බාරගන්නා විට තිබූ ප්‍රධාන කාර්යය වූයේ ගත්ත ණයවල පොලී ගෙවීමට බවත් එහෙත් ඒ ප්‍රතිපත්තිය වෙනස් කොට ඕනෑම අයකුට තමාව හමුවිය හැකි ක්‍රමවේදයක් සැකසූ බවත් මහේන්ද්‍රන් පැවසීය. එසේම ඒ වන විට රජයට මුදල් අත්‍යවශ්‍යතාවයක් තිබු බවත් ඒ අතුරු අයවැයක් හරහා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකර තිබීම බවත් සඳහන් කළේය.

එසේම තමන් පත්වන විට නියෝජ්‍ය අධිපතිවරුන් පත්කර තිබුණේ අවිධිමත් ආකාරයට බවත් මේ නිසා තමන් පාර්ශව තුනකට වෙන්කළ බවත් ඔහු කීය. එම පාර්ශව නියෝජ්‍ය අධිපතිවරු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ, පී. සමරසිරි සහ ආනන්ද සිල්වා යන අය යටතට පත්කළ බවද පැවසීය.

එසේම 2015 මාර්තු මාසයේ රජයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය ලැබුණු බවත් මුදල් අවශ්‍යතාවය රුපියල් බිලියන 13.55 තිබු බව ඔහු කීය. එසේම 2015 පෙබරවාරි 26 වැනිදා රැස්වීමක් පැවැත්වූ බවත් එයට එවකට මුදල් ඇමැති රවී කරුණානායක, මහාමාර්ග ඇමැති කබීර් හෂීම් මහතාත් එවකට අග්‍රාමාත්‍ය උපදේශක මලික් සමරවික්‍රම මහතාත් සහභාගි වූ බව සඳහන් කළේය. එම රැස්වීමේදී මහාමාර්ග වැඩකටයුතු සඳහා රුපියල් බිලියන 75 ක් අවශ්‍ය බවත් ඒ බව සඳහන් කොට මුදල් ඇමැති ලිපියක් දුන් බවත් මහේන්ද්‍රන් මෙහිදී  කීවේය.

එම මූල්‍ය අවශ්‍යතාවය මත 2015 ජනවාරි 27 වැනිදා බැඳුම්කර වෙන්දේසිය පැවැත්වූ බවත් රුපියල් බිලියනයක බැඳුම්කර ඉදිරිපත් කළ බවත් කීය. එසේම එදින අලෙවි මෙහෙයුම් රැස්වීමක් පැවැත්වුණු බවත් එම ස්ථානයට තමන් ගොස් ද්‍රවශීලතාවය අවශෝෂණය කිරීම සඳහා පොලී අනුපාතය සියයට 05කින් ඉහළ දැමීමට යෝජනා කළ බවද පැවසීය. එසේම ඒ ගැන මූල්‍ය මණ්ඩලයට දැනුම් දුන් බවත් ඊට පසු ඔවුන්ගේ අදහස වෙනස් කළ බවද ඔහු ප්‍රකාශ කළේය. එහි වගකීම තම ගන්නා බවද ඔහු කීය. මෙහිදී රාජ්‍ය දෙපාර්තුමේන්තුවට ඔහු ගිය අවස්ථා ගැනද විමසා සිටියේය.

මෙහිදී විගණකාධිපතිවරයා විසින් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ලබාදුන් විගණන වාර්තාව ගැන විමසා සිටියේය. එහෙත් එය වැරදි බවත් ඔහු යොදාගත් පූර්වානුමිතීන් හෙවත් නියමයන් තුනට තමන් එකඟ නොවන බවත් ඔහු සඳහන් කළේය.
එසේම පර්පචුවල් සමාගම සහ සේවක අර්ථ සාධක අරමුදල අතර සම්බන්ධයක් ගැන ඔහු නොදන්නා බවද මෙහිදී කීය. එසේම තමන්ට පර්පචුවල් සමාගමේ තබා ලංකාවේ කිසිදු සමාගමක කොටස් නොමැති බව කීය. එදින මහේන්ද්‍රන්ගෙන් රවී කරුණානායක මහතාගැන විමසූ ප්‍රශ්නයක් ද ඇසීය. ඒ ඇලෝසියස්ගේ විවාහයට සහභාගි වූ අය ගැනය. අගමැති රනිල් වික්‍රමසිංහ, ජෝන් අමරතුංග, ජෝන් සෙනවිරත්න, සාගල රත්නායක, මහින්ද රාජපක්ෂ සහ පුතුන් තිදෙනා, රවී කරුණානායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, අජිත් නිවාඩ් කබ්රාල්, ව්‍යාපරිකයන් වන හැරී ජයවර්ධන, සුසන්ත රත්නායක, රාජන් බ්‍රිටෝ, ධම්මික පෙරේරා යන අය සහභාගි වු බව කීය.

ඒ අනුව එදින මහේන්ද්‍රන්ගේ ප්‍රශ්න කිරීම නිම විය.

එසේම නැවත කසුන් පලිහේන කැඳෙව්වේය. ඒ  තවත් දුරකතන සංවාදයක් ගැන විමසීමටය. එම සංවාදයේදී නාරහේන්පිට ඉන්න නිව් චාලි නැමති අයකු ගැන කියයි. ඔහු කවුද යන්න අසා සිටියත් පලිසේන ඔහුව නොදන්නා බවකියයි. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක පවසන්නේ බොරු කීමේ සීමාවක් තබාගන්නා ලෙසය. මෙලෙස ව්‍යාජ නම් භාවිත කරන්නේ ඔවුන්ගේ දුරකතනවලට වෙනත් අය සවන් දෙනු ඇතැයි සැක කරන නිසා බවද ඔහු කීය.
කෙසේ වෙතත් මෙහිදී  අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකශ කර සිටියේ මහේන්ද්‍රන් විදේශිකයකු නිසා ඔහුට මේ කොමිසම ඉදිරියේ සාක්කි දීමට නීතියෙන් බැඳීමක් නැති බවය. එහෙත් කොන්දෙසියක් මත සාක්කි දීමට අදහස් කළ බව ඔහු කීයා. එහෙත් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කිය සිටියේ කොමිසම මගින් ලබාදෙන සිතාසියට අවනත වී ප්‍රකාශයක් ලබාදෙන ලෙසය.

කෙසේ වෙතත් මෙහිදී මහේන්ද්‍රන්ට තවත් නියෝගයක් කොමිසම ලබාදුන්නේය. ඒ බැඳුම්කර සිද්ධිය සිදුවු කාලසීමාව තුළ මහේන්ද්‍රන්ගේ ජංගම දුරකථන දෙකේ මාස 11ක තොරතුරු ලබාදෙන ලෙසයි.

ඒ අනුව මහේන්ද්‍රන්ගෙන් දෙදිනක් පුරා සිදුකළ ප්‍රශ්න කිරීම නිමවිය. කෙසේ වෙතත් මේ සෑම සාක්ෂියකින්ම පෙනී යන්නේ උගුරට හොරා බොහෝ දෙනා බෙහෙත් බීමට සුදානම් වන බවය.

► ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00