2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

ආණ්ඩුවේ බිලට හනිමුන් යන්න හැදූ ලේකම්

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

ධවල මන්දිර ඉතිහාසයේ දූෂිතම කාලවකවානුව මෙය බවට දැන් විවේචන එල්ල වී තිබේ. ට්‍රම්ප්ගේ ඥාති සංග්‍රහය සහ ඇති හැකි අයට කැබිනට් තනතුරු දීමත් ඔවුන් රජයේ මුදල් හිතු හැටියට වියදම් කිරීමත් නිසාය. ජනාධිපති ට්‍රම්ප්ගේ හිතෙෂිවන්තයකු වූ භාණ්ඩාගාරයේ ලේකම්ගේ හුටපටයක් එළියට ඒමත් සමඟ ට්‍රම්ප් ඇතුළු සමස්තයට එරෙහිව නැවතත් දෝෂාරෝපණ නැගවිත් තිබේ. ප්‍රකෝටිපතියකු වන ස්ටීවන් මුචින් අමෙරිකාවේ නව භාණ්ඩාගාර ලේකම්වරයාය. තමන්ගේ මධුසමය සඳහා යුරෝපය පුරා සවාරියක් යන්නට රජයේ හමුදා ගුවන්යානයක් මේ ප්‍රකෝටිපතියා ඉල්ලා තිබීම සම්බන්ධයෙන් දැන් නැගී ඇත්තේ මහත් ආන්දෝලනයකි.

ජනතාවගේ මුදල් තමන්ගේ සුඛවිහරණය සඳහා යොදාගන්නා ලොකු ලොක්කන් ගැන කතා අපේ අයට නම් දැන් අරුමයක් නොවේ. ඔවුන්ගේ ගසාකෑම් ගැන මහා ආන්දෝලනයන් මතුවී හා හෝ ගා හඬ නැගී අන්තිමේ අලියා ගිල්ල දිවුල මෙන් කිසිදු ප්‍රතිඵලයක් නැති පුස්සක් ලෙස සිද්ධිය යටයනු අපට නම් හුරුපුරුදු වූවකි. එහෙත් අමෙරිකාවේදී එබඳු සෙල්ලම් නිකම්ම යට යන්නේ නැත. තමන්ගේ බලයට මුවා වී මහජන මුදල් ගසා කන්නන් හට ඒ සඳහා වන්දි ගෙවන්නට සිදුවේ. දූෂණ වංචා නිසා ජනාධිපතිවරුන්ට ගෙදර යන්නට වූ අවස්ථාද එමටය. දැන් මතුව ඇති භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මුචින්ගේ හුටප්පරයද එවැන්නකි.

මුචින් පිළිබඳ ඉතිහාසය පෙන්වා දෙන්නේ ඔහු කිසිදු හිතක් පපුවක් නැති ධනවතෙකු බවය. දේශපාලනයට එන්නට කලින් One West නමැති මූල්‍ය ආයතනයේ කටයුතු කළ මුචින් එකල හඳුන්වා දී තිබුණේ සිය සේවාදායකයන්ගේ වත්කම් තහනම් කර කලින් පවරා ගැනීමේ රජු ලෙසටය. ඔහු ඒ අන්දමට සිය ආයතනයට ණය බදු ගෙවන්නට තිබූ 36000කගේ දේපල හිතක් පපුවක් නැතිව පවරාගන තිබුණි. එක් 83 හැවිරිදි මිත්තනියකගේ නිවසින් ඇය එළියට ඇද දමා තිබුණේ සත 30ක් ගෙවීමට ප්‍රමාද වූ නිසාලු! මේ කියන මුචීන් පොඩිපහේ සල්ලිකාරයකු නොවේ. තමන්ගේ වත්කම් පිළිබඳ  විස්තර දැක්විය යුතු රජයේ පෝරමය නිසි පරිදි පුරවා දී නැතත් ඔහුගේ වත්කම පිළිබඳ ඉදිරිපත්ව ඇති ළඟම හෝඩුවාවන් මගින් කියැවෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 300ක් හෝ ඊට වැඩි වත්කම් ඔහු සතු බවය. ඔහුගේ බිරිය නිළි රැජනකි. ලුයිස් ලින්ටන් නම් වූ ඇය සුඛෝපභෝගී අලුත්ම පන්නයේ විලාසිතා සඳහාද, තොරණක් මෙන් මිල අධික ස්වර්ණාභරණවලින් සැරසීම ගැනද ප්‍රසිද්ධය. ඒ ගැන එල්ලවන විවේචන ගැන ඇය කතා කරන්නේ අපහාසාත්මක ලෙසටය. මේ නිසා ඇයට පටබැඳී ඇති නම අමෙරිකාවේ (මාරි ඇන්ටෙනට්) යන්නය. (පාන් නැතිනම් කේක් කාපල්ලා) කියා ප්‍රංශ විප්ලවයට පාර කැපූ මාන්නක්කාර රජ බිසවගේ ගතිගුණ අනුව සලකමිනි. 

ඉතින් මේ වත්කම් උදුරාගැනීමේ රජුත් අමෙරිකාවේ මාරි ඇන්ටෙනට් බිසවත් දෙදෙනාටම චෝදනා එල්ල වී ඇත්තේ සිය මධුසමය ගත කිරීමට ප්‍රංශය, ඉතාලිය, ස්කොට්ලන්තය ඔස්සේ සවාරි යාමට රජයේ ගුවන් යානයක් ඉල්ලා සිටීම පිළිබඳවය.

මේ කියනා නොමිලේ සවාරිය සඳහා ගුවන් හමුදා යානයක් යෙදවූ විට පැයකට පමණක් ඒ සඳහා ඩොලර් 25000ක් ජනතා මුදල් වැයවෙයි. භාණ්ඩාගාර ලේකම් ලෙස මුන්චින්හට රජයේ ගුවන් යානයක් ලබාගැනීමට බලයක් ඇති අතර ඒ ඔහු ආරක්ෂක කවුන්සලයට අයත් ප්‍රධානියකු වන නිසාය. නිරන්තරයෙන් පුද්ගලික සන්නිවේදනය ආරක්ෂක කවුන්සලය හා ජනාධිපතිවරයා සමඟ තබාගත යුතු හෙයිනි. නමුත් එසේ කියා ඔහුට රාජ්‍ය මුදල් සිය පුද්ගලික සුඛවිහරණයට යොදාගන්නට අවස්ථාවක් නැත.

මුන්චින් හා බිරිය මෙයට පෙරද විවේචනයට ලක්වූයේ සති කිහිපයකට පෙර පැවැති සූර්ය ග්‍රහණය හොඳින් නැරඹීම සඳහා කෙන්ටකි වෙත යන්නට රජයේ යානයක් යොදාගැනීම සම්බන්ධයෙනි. Knox බලකොටුව ලෙස හැඳින්වෙන අමෙරිකානු රජයේ රන් සංචිතය සහිත ආරක්ෂිත භාණ්ඩාගාරය වෙත ඔවුන් ගොස් තිබුණි. මෙට්‍රික් ටොන් 5000කට ආසන්න රන් තොගයක් ආරක්ෂාකර සිටින මේ ගොඩනැගිල්ල මත සිට නව යුවළ ඇතුළු මුන්ච්ගේ සගයන් සූර්යග්‍රහණය නරඹා තිබේ. ඒ මදිවාට ඒ ගැන ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් මගින් පම්පෝරි ගසා තබේ. ඉන් ජනතා විරෝධය ඇවිල ගියේය.

ඔහු මේ ගැන කියා තිබුණේ මේ කෙන්ටකි ගමනද නිල ගමනක් වූ අතර රාජ්‍ය රන් සංචිතය පරීක්ෂා කිරීමට තමා ගිය බවයි. ඒ අතර නිකම්ම බලන්නට අවස්ථාව ලද සූර්ය ග්‍රහණයද නැරැඹූ බවය. රන් සංචිතය බලන්නට ඔහු සැබෑවටම ගියා නම් අමෙරිකාවේ භාණ්ඩාගාරික ලේකම්වරයකු හැත්තෑ වසරකට පසු එසේ ගිය පළමු අවස්ථාව බවට එම සංචාරය පත්වෙයි. දැන් මෙහි ඇත්ත නැත්ත ගැන පරීක්ෂණයක් අරඹා තිබේ.

♦සුගත්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00