2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

දෙයියන්ගේ හාල් එලොව පොල්

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 275

මේ වනවිට සහල් සහ පොල් මිල එලොව පොල් පෙනෙන තත්ත්වයට ඉහළ ගොස් තිබේ. සහල් කිලෝවක මිල මෙන්ම පොල් ගෙඩියක මිලද රුපියල් සියයක ප්‍රමාණයේ පවතී. තුන්වේලම පොල්සම්බෝලයක් සමඟ හෝ බත් කන්නට පුරුදුව සිටින ජනතාවට මේ දෙවර්ගයේම මිල සලකා බලන විට එක් වේලක් හෝ පොල් සම්බෝලයක් සමඟ බත් කෑමට නොහැකිවී ඇත.

ආනයනය කිරීම ආරම්භ කළ අතර සහල් කිලෝවකට ගැසූ රුපියල් 5 ආනයන බද්ද රුපියල් 1 දක්වා අඩුකර ඕනෑම කෙනෙකුට සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන්නේය. ආණ්ඩුවද කිලෝ ලක්ෂ ගණනින් සහල් ආනයනය කිරීම ආරම්භ කළේය. ටික කාලයක් යනවිට සහල් ආනයනය කුමන අමාත්‍යංශයකට අයිතිදැයි ගැටලුවක් පැන නැගුණු අතර වාණිජ සහ කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙන්ම ග්‍රාමීය කටයුතු අමාත්‍ය පී. හැරිසන් යන මහත්වරුන් අතර මේ පිළිබඳ තරගයක්ද නිර්මාණය විය. එයට හේතුව සහල් ආනයනයෙන් එම අමාත්‍යවරුන්ට යම් වාසි සහගත තත්ත්වයක් ඇතිවීම බවටද ජනතාව අතර කුකුසක් ඇතිවිය. කෙසේ නමුත් ජනතාව බලාසිටියේ මේ හේතුවෙන් රටේ සහල් මිල අඩුවනු ඇත කියලාය. එහෙත් පසුගිය වසර දෙකක කාලය පිළිබඳ පසු විපරම් කරන විට රටේ සහල් මිල දවසින් දවස ඉහළ ගියා මිස අඩුවීමක් දක්නට ලැබුණේ නැත. 

අපේ වාර්ෂික පොල් පාරිභෝජනය ගෙඩි දශ ලක්ෂ පන්දහසක් පමණ වේ. 2012 වසරේදී ජගත් පුෂ්පකුමාර පොල් සංවර්ධන ඇමැතිව සිටි සමයේදී පොල් ගස් කැපීම තහනම් කර විශේෂ ගැසට්ටුවක් නිකුත් විය. එහෙත් අද වනවිට පොල් ගස් කැපීමේ නීතිය කිසිවෙකුත් නොසලකන බවක් දක්නට ඇත. එසේම පොල් ඉඩම් කට්ටිකර විකිණීමද තහනම් වූ අතර අද වනවිට විවිධ දේශපාලන බලපෑම් නිසා ජාවාරම්කරුවෝ සශ්‍රීක පොල් ඉඩම් පවා කැබැලිකර වෙන්දේසි කිරීම ජයටම කරගෙන යති. 
පසුගිය 70 දශකයේ පොල් ගෙඩිය ශත 70ට ඉහළ ගිය විට ඇතැම් දේශපාලනඥයන් වේදිකාමතට පොල් බෑයක් රැගෙන නැග්ග යුගයක්ද විය. එසේ වුවද අද පොල් ගෙඩියක මිල රුපියල් සියය ඉක්මවා තිබුණද එම මිලට ලබා ගැනීමට ජනතාව සිදුව ඇති අතර පොල් මිල ඉහළයයි උද්ඝෝෂණය කරන දේශපාලනඥයන් අපට හමුවී නැත. 

පසුගිය සතියේ පොල් සහ සහල් මිල පිළිබඳ අපි නගරයේ සහ ගම්බදවද ගවේෂණයක යෙදුනෙමු. මෙම දෙවර්ගයේම මිල නගරයේ මෙන්ම පිටිසරද සමානය. පිටිසර යැයි පොල් මිල අඩුවක් නැත්තේ අද වනවිට පොල් ඵලදාව ඉතාම අඩුව ඇති බැවිනි. 

පොල් වගාකරුවකු වන කුරුණෑගල සමන්ත කුමාර අපට පැවසුවේ වෙනදාට පොල් ගෙඩි 40-50 කඩන තම පොල් ගස්වල දැනට වසරක - දෙකක පමණ සිට ඵල ගන්නේ ගෙඩි 10-12 පමණක් බවය. එම පොල්ද “ලුව” නැති කුඩා පොල්ය. එසේම මේ වනවිට පොල් ගසකින් ගෙඩි කැඩීමට අයකරන මුදල රුපියල් 120-130 පමණට ඉහළ නැංවී ඇත. පොල් ගෙඩි 7-8 ඇති ගසකට නැගීමට මෙතරම් මුදලක් ගෙවීමට සිදුවීම අසාධාරණය.

කොළඹ නගරයට දිවයිනේ විවිධ පළාත්වලින් පොල් ප්‍රවාහනය කරන“බිස්නස්” කරුවෝ සිටිති. ඔවුහු ගම්බද වතුවලින් පොල් එකතුකර නගරයට ප්‍රවාහනය කර තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ට අලෙවි කරති. 

ටී. ප්‍රියන්ත ජයලාල් පිරිස්, ලක්බිම සරුපල ව්‍යාපාරිකයෝ

අපි හලාවත සිට කොළඹට පොල් ගේන්නේ. මේ ඉඩම්වලින් එකතු කරන පොල් ගෙඩියක මිල රුපියල් 70-75 වෙනවා. 
වෙනදාට අපි පොල්ගෙඩි 25,000-30,000 පමණ විකුණනවා. ඒත් දැන් ගේන්නේ ගෙඩි 10,000-15,000 පමණයි. එයද දවස තුළ අලෙවි නොවන අවස්ථා තිබෙනවා. පොල් විකුණන්නේ ගෙඩිය රුපියල් 80-82ටයි. පොල් 5000කට 1000 විතර කුඩා පොල්ද ඇති නිසා ඒ අලාභයද මෙයින් ආවරණය කරගත යුතුයි. වරාය ඩොක්යාඩ් හමුදා කෑම්ප්වලට දානවා. රාජගිරියේ පොල් කඩයක්ද තිබෙනවා.

හලාවත - දුමින්ද ජයවර්ධන

මේ දිනවල පොල් ගස් කරටි පිටින් කඩාගෙන වැටිලා. දැඩි නියඟය නිසා. අගෝස්තු සැප්තැම්බර් කොහොමත් අවුරුද්දේ පොල් ඵලදාව අඩු මාසයි. පෑවිල්ල නිසා සියයට 80ක් පලදාව අඩුය. ගණන් වැඩි නිසා අලෙවියත් අඩුයි. රුපියල් 60ට ගේන පොල් 70ට දෙන්න ඕනෑ. පොල් අපනයනය ඉහළයාම රටේ පොල් හිඟයට තවත් හේතුවක් වෙලා. පොල් මිල නිසා ජනතාව අමාරුවේ වැටිලා. 

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසන්නේ දැනට පොල්වලට නිර්මාණය වී ඇත්තේ දැවැන්ත කළුකඩ මිලක් බවයි. මේ පිළිබඳ මණ්ඩලය ගවේශණයක යෙදෙන බව ඔහු කියයි. රටේ පොල් මිල තීරණය වන්නේ වෙන්දේසියේ පොල් මිල පදනම් කරගෙනය. වර්තමානයේ වෙන්දේසි පොල් මිල කිලෝව රුපියල් 49කි. කිලෝවක් සඳහා අඩංගුවන පොල් ගෙඩි ප්‍රමාණය දළ වශයෙන් ගෙඩි 2.2 පමණවේ. මෙම පොල් බෙදාහැරීමට ගෙඩියකට රුපියල් 10ක් සහ සිල්ලර වෙළෙඳාමේ ලාභය රු. 10ක් ලෙස සැලකූවිට උපරිම වශයෙන් පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 50කට අඩුවිය යුතුය. අද රුපියල් එකසිය ගණන් පවසන්නේ පොල් කිලෝවක මිල මිස ගෙඩියක මිල නොවන බව ඔහු කියයි. ඒ නිසා අද පොල් ගෙඩියක මිල රුපියල් 100ක ආසන්නයේ ඇතැයි පැවසීම මවාගත් කතාවක් මිසක තමාට පිළිගත නොහැකි බව හේ කියයි.

“පොල් මිල ඉහළ යාම අද ඊයේ සිදුවූවක් නොවෙයි. එය පොල්වගාවේ ප්‍රශ්නයක් නිසා ඇතිවූවක් නොව දේශගුණය හා සම්බන්ධ වූවකි. පසුගිය සමයේ අධික නියඟය වගාවට බලපෑවා. කොහොමත් වසරේ සැප්තැම්බර් සිට ජනවාරි කාලය අඩු පළදාව ඇති සමයයි. ඒ නිසාද ඵලදාව පහළ බැහීම සිදුවෙනවා. පොල් මිල ඉහළ යාමට තවත් හේතුවක් වන්නේ පොල් අපනයනය ඉහළ යාමයි. පොල් අපනයනකරුවන් වැඩිවෙලා. බටහිර රටවල පොල් උන්මාදයක් ඇතිවෙලා. පොල් නිෂ්පාදන, පොල් වතුර, තැඹිලි වතුර ආදියට විශාල ඉල්ලුමක් ඇති වීතිබෙනවා. එම ඉල්ලුම සැපිරිමට වැඩිපුර අපනයනය කරන විට මෙරට පොල් මිල ඉහළ යනවා. සාමාන්‍යයෙන් පොල් නිෂ්පාදනයෙන් සියයට 80ක් ආහාරයට ගන්න අතර පිටරට යවන්නේ සියයට 20ක්. මෙය දැන් ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. රටේ පොල් පලදාව 2015 දී මිලියන 3026ක් වී තිබුණා”.

ඔහු පවසන පරිදි පොල් අපනයනයෙන් ලැබූ ආදායම 2014 දි මිලියන 72880ක්, 2015දී මිලියන 75256ක් හා 2016දී මිලියන 84701 වී ඇත. මේ අනුව 2016 වසරේදි වැඩියෙන් අපනයනය කර ඇති බව පැහැදිලියි.

එසේම පොල් වගාව දිරිමත් කිරීම සඳහා සෑම නිවෙසකටම පැළ 2 බැගින් නොමිලේ දෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකය. නැවත යටි වගාක්‍රමයට අක්කර 10 දක්වා අක්කරයකට පැළ 64 බැගින් නොමිලේ දෙයි. පැළ සිදුවීම සඳහා අක්කරයකට පැළ 24 බැගින්ද 6 වසර සිසුන් සඳහා “කප්රුකයි සිප් නැණයි” වැඩසටහන යටතේ සහ මවුවරැන් සඳහා “කප්රුකයි පරපුරයි” වැඩසටහන අනුවද පොල් පැල දෙක බැගින් නොමිලේ දෙන බව සභාපතිවරයා පවසයි. පොල් සංවර්ධනය සඳහා කාබනික පොහොර සඳහා උපරිම ගස් 600කට යටත්ව ගසකට 100 බැගින් මුදල් ප්‍රදානය සිදුකෙරේ. එසේම අක්කර ¼ අඩු ඉඩම් සඳහා පොල් පැල 3-15 දක්වා ප්‍රමාණයක් නොමිලේ දෙන අතර නාගරික ගෙවතු වගා වැඩසටහන යටතේ පැල 4 බැගින් බදුදේ. ඔහු පවසන පරිදි 2014 මිලියන 6.4, 2015 මිලියන 3.74ක් 2016 මිලියන 2.62ක් හා 2017 මේ දක්වා පැළ මිලියන 4.5ක් තම ආයතනය මගින් නිකුත් කර තිබේ.

 

පිටකොටුව 4 වැනි හරස්වීදියේ මේ වනවිට සම්බා කිලෝව රුපියල් 100, නාඩු 90 සහ සුදු කැකුළු 84 හා රතු කැකුළු 80 ආදි වශයෙන් දේශීය සහල් තොග මිලට අලෙවි කෙරේ.
මෙහි සහල් තොග අලෙවිසලක නම සඳහන් කිරීමට අකමැති ව්‍යාපාරිකයෙකු පැවසුවේ සුපර් මාර්කට්වල සහල් විවිධ ප්‍රදේශවලින් කෙළින්ම රැගෙන විත් අලෙවි කරන නිසා පිටකොටුවේ මිලට වඩා අඩු බවයි. ඔවුන්ගේ ව්‍යාපාරයට ඒ නිසා හානි සිදුව ඇත. 

“අපට හාල් එන්නේ පොළොන්නරුව, කුරුණෑගල, අනුරාධපුරය, මඩකලපුව ආදි ප්‍රදේශවලින්. ගිය සැරේ ආව මිලට වැඩිය මේ වාරයේ මිල වැඩියි. දවසින් දවස මිල ඉහළ යනවා. පාලන මිල ඉවත් කළ නිසා මිල ඉහළ යාම තවත් වැඩිවුණා. හාල් මිල පාලනයට වැඩිය සාර්ථක වෙන්නේ වී මිල පාලනය කිරීමයි. එවිට හාල් මිල අඩුවෙනවා. එසේම ලොකු ව්‍යාපාරිකයන් ලොරි වලින් ගම්බද සෑම අස්සක් මුල්ලක් නෑරම හාල් විකුණනවා. ඒ නිසා අප ළඟට දුර සිට ගැනුම්කරුවන් එන්නේ නැහැ. ඒ අයට ප්‍රවාහන වියදම් නැතුව ළඟටම හාල් එන නිසා. පිටරට හාල් අඩුමිලට විකිණීමද දේශීය සහල් වල ඉල්ලුම අඩුවීමට හේතුවෙනවා. මිනිස්සු අඩු මිලට ගන්නයි උත්සහ කරන්නේ”.

“ඉස්සර මේ පාරෙ පයින්වත් යන්න බැහැ. හැමතැනම ලොරි ගහලා පටෝනවා බානවා. නාට්ටාමිලා පාර පුරාම. හාල් ගන්න එන අය පිරිලා. අද බලන්න මේ අවට කිසිම කෙනෙකු නැහැ. පාරවල් පාළුවෙලා. කඩවල මැස්සන් ඇහිරෙනවා. අපට තව ටික කලක් යනවිට මේ ව්‍යාපාර අතහැර දාන්නයි වෙන්නේ”.

පාරිභෝගික අයිතීන් සුරුකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේගෙන් සහල් සහ පොල් මිල අසීමිත ලෙස වැඩිවීම පිළිබඳ විමැසූ විට ඔහු පැවසුවේ ආණ්ඩුව පාරිභෝගිකයාට විඳින්නට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳ සෑහෙන කාලයක සිට මුනිවත රකිමින් සිටින බවයි. එයට හේතුව මිල බැස්සවීමේ කිසිදු සැලසුමක් වගකිවයුත්තන්ට නොමැතිවීම බව ඔහු පවසයි.

“පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාරවල වසවිෂ විශ්ලේෂණය කිරීමේ ව්‍යාපෘතියේ සමීක්ෂකවරයකු වන වෛද්‍ය ටී.බී. ආනන්ද ජයලාල් ප්‍රකාශ කර තිබුණා හාල් හා එළවළු ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට ඊයම් එකතු වෙලා තියෙන බවට සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවයි කියලා. අපි මේ ගැන ඇමැතිවරයාගේ අවධානයට යොමු කර ඉල්ලීමක් කළා මෙම සිද්ධිය පිළිබඳ සුදුසුකම් ඇති අයගේ කමිටුවක් පත්කරලා මෙහි සත්‍ය අසත්‍යතාව සොයාබලා ඉදිරි වැඩපිළිවෙළකට යන්නය කියලා. එහෙත් ඒ පිළිබඳ යම්තම්වත් සලකා බලා නැහැ. එයින් පේනවා ආණ්ඩුව ජනතාවගේ ආහාර ගැටලු පිළිබඳ දක්වන ආකල්පයේ තරම. ආණ්ඩුව ජනතාවට බත් වෙනුවට ක්ෂණික නූඩ්ල්ස් කන්න කියලා කියනවදැයි සැකයක් මතුව තිබෙනවා”

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරැවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු

සහල් මිල අඩු කිරිම් සඳහා වී මිල පාලනය කළ හැකි දැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ එවැනි මිල පාලනයක් ඇති කිරීම ප්‍රායෝගික නොවන බවයි. අද ගොවියා වී විකුණන එකේ වරද තමයි වැඩි දෙනකුට පේන්නේ. වී කිලෝව ගොවියා විකුණන්නේ රුපියල් 55කටයි. අද පවතින පොහොර, රසායන, කම්කරු කුලී ආදිය අනුව සලකන විට මේ මිල සාධාරණයි. ගොවියා බොහෝ වෙලාවට තම නිෂ්පාදන විකුණන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ටයි. එයට හේතුව ඔවුන්ට එවේලේම මුදල් ලැබෙන නිසයි. සුළු මෝල් හිමියාට අලෙවි කළාට මුදල් එවිගසම ගන්න බැහැ. ප්‍රමාද වෙනවා. කුඩා මෝල් හිමියන්ට විශාල වශයෙන් වී මිලට ගෙන තොග රැස්කර තබන්න ගබඩා නැහැ. ඒ නිසා ටික ටිකයි ගන්නේ. ගොවියාට අවශ්‍ය වෙන්නේ වී සියල්ල එකවර විකුණා තම වියදම් පියවා ගන්නටයි. ණය ගෙවා දමන්නයි. ඒ නිසා විශාල මෝල් හිමියන් වෙත ගොවියා යොමුවීම අසාධාරණයි කියලා කියන්න බැහැ.

ඔහු පවසන්නේ විශාල වී මෝල් ව්‍යාපාරිකයන් ගොවියා ළඟට ගොස් එවේලේම මුදල් ගෙවා මිලදී ගැනීම නිසාද ගොවියා ඒ අයට වී විකිණීමට පෙළඹි ඇති බවයි. 
සහල් මිල ඉහළ යාම පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න ගෙන් විමසූ විට ඔහු පැවසුවේ කවදාවත් හාල් පාලන මිලට අලෙවිවුයේ නැති බවයි. ප්‍රායෝගිකව පාලන මිලට හාල් විකිණීමට නොහැකියි. ඒ නිසා මිල දමා තිබීම අසාර්ථක බැවින් මිල පාලනය ඉවත් කර ඇත. යළිත් මිල පාලනයටද අදහසක් නැත.

ඔහු පැවසූවේ හාල් මිල වැඩිවී නැති අතර සාමාන්‍යයෙන් රටේ තිබූ හාල් මිල අද විවෘතව තිබෙන බවයි. ආනයනික හාල්වලට මෙම ප්‍රශ්නය බලපාන්නේ නැහැ. ඒවායේ මිල අඩුයි. ජනතාව ආනයනික හාල්වලට නැඹුරු වුණොත් දේශීය හාල් මිල පහළ යනු ඇතැයි ඔහු කියයි. 

I යසවර්ධන රුද්රිගු
සේයාරූ - සුමුදු හේවාපතිරණ  

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00