2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

කතරගම අවනඩුව ගෝරි නැතුව නිමවෙයි!

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

අතීතයේ දුටුගැමුණු රජුන් විසින් කඳසුරිඳුට වැඩසිටීමට මාලිගයක් සාදා ඉරහඳ පවතින තුරාවට කතරගම දෙවියන් වෙනුවෙන් පුද සත්කාර පූජා පැවැත්වීමට 552 දෙනෙකුගෙන් සමන්විත රාජකාරි මණ්ඩලයක් සහ කපුවරුද පත් කර, තමන්ගේ ලේ පරම්පරාවේ මාමණ්ඩියකු දෙවොලේ බස්නායක නිලමේ ලෙස පත් කර දේවාලයේ කටයුතු කිරීමට රාජ ආඥාවක් ද නිකුත් කර ඇති බව සඳහන් වේ. එලෙස පත් කළ බස්නායක නිලමේ සහ කපු මහත්වරු අතර, ඉතිහාසයේ කිසිම දවසක සිදුනොවූ මහත් කලහකාරී තත්ත්වයක් පසුගියදා ඇති විය. ආරවුල දුරදිග ගොස් නිලමේ වලව්වේ දොරගුළු ද කැඩීමට ප්‍රකෝප වූ කොටසක් කටයුතු කළ අතර, ඉතිහාසයේ ප්‍රථම වරට කපු මහත්වරුන්ගේ සහ නිලමේගේ පැමිණිලි පොලිස් පොතේ සටහන් වූයේ දෙවියන්ටත් විසඳන්න බැරි ප්‍රශ්නයක් පොලීසියට භාර කරමිනි.

එහෙත් අවසානයේ කතරගම බස්නායක නිලමේවරයා සහ කපු මහත්වරුන් අතර ඇති වූ ආරවුල සමථයකට පත් කිරීමට බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා මැදිහත් විය.

පසුගිය 15 දා කතරගම දී වි‍ශේෂ සාකච්ඡාවක් පවත්වමින් දෙවියන්ටත් විසඳන්න බැරි වූ අවනඩුව විසඳුණේ කතරගම දේවාලය වෙනුවෙන් කොමිසමක් පත් කර එහි තීරණ තීන්දු මත ඉදිරියේ දී කටයුතු සිදුකිරීමටත්, දේවාලයට ලැබෙන ආදායම්වලින් කපු මහතකුට මාසිකව ලක්ෂ 20 ක්ද, නිලමේවරයා වර්ෂයකට ලක්ෂ 500 ක්ද, බැගින් දේවාල අරමුදලකට බැරකළ යුතුය යන තීරණයත් වශයෙනි.

ඇති වී ඇති තත්ත්වය මත වෙනදා කිසිදු ගණන් හිලව්වක් නීතිප්‍රකාරව නොවුණු කතරගම දෙවොලේ ආදායම ඉදිරියේ දී නිවැරදි ලෙස විගණනය කෙරෙනවා ඇත.

අතීතයේ සිදුකළ පැරැණි විගණන ක්‍රමයන් හා බැඳුණු චාරිත්‍ර අදටත් සිදුවන අතර, වර්තමානයේ දී සිදු වී ඇති නොයෙක් වෙනස්කම් මගින් ලැබෙන විශාල ධනස්කන්ධයක් දේවාල අරමුදලේ තැන්පත් වී නම් එයින් විශාල වැඩ කොටසක් සිදුකරලීමට හැකි බව රටේම විද්වත් මතය වී තිබේ.

එහෙත් පඬුරු පෙට්ටි මගින් ලැබෙන ආදායමෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ 500 ක් දේවාල අරමුදලට බැරකිරීමට නිලමේවරයා හට බැරි තත්ත්වයක් උදාවුවහොත්, රාජකීය මට්ටමෙන් උසස් ලෙස සිදුකරන කතරගම දෙවි පෙරහර පවත්වන්නේ කෙසේද?

කපු මහත්වරුන් මාසිකව ලක්ෂ 20 ක් ලබාදීම සිදුකරයිද? සෑම මාසයකම අතිවිශාල ජනතාවක් කතරගම නොඑන බවත්, අප්‍රේල්, පෙරහර මාසය, අගෝස්තු, දෙසැම්බර් යන මාස පමණක් රටේම බැතිමතුන් විශාල පිරිසක් කතරගමට පැමිණියහොත් පමණක් ඔය කියන මුදල් ලබාදිය හැකි බවත්, එළැඹී ඇති යෝජනා යථාර්ථයක් නොවන බවත් සමහරු මෙහිදී ප්‍රශ්න කරති.

බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා 

“පසුගියදා කතරගම දේවාලයේ ඇති වූ තත්ත්වය පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්වීමට බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා කටයුතු සිදුකළා. එහි ප්‍රතිඵලය ලෙස කපු මහත්වරු සහ නිලමේ අතර පැවති අර්බුදය විසඳීමට මම 15 දා කතරගම ගියා. එහිදී නව කපු මහතුන්ට සහ පරණ කපු මහතුන්ට මාස බෙදාදීම සිදුකළා. කපු මහත්තුරු මාසෙකට ලක්ෂ 20 ක් සහ නිලමේවරයා වසරකට ලක්ෂ 500 ක් ලබාදීමේ ක්‍රමවේදයක් සහ කතරගම දේවාලය වෙනුවෙන් කොමිසමක් පත් කිරීම අනිවාර්යයෙන්ම ඉදිරියේ දී සිදුකරනවා.

එදා දුටුගැමුණු රජතුමා විසින් ඉරහඳ පවතින තුරාවට සිදුකළ යුතු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. තවද, කතරගම දේවාලය සඳහා බස්නායක නිලමේවරයකු තෝරාගැනීමේ දී විවිධ දුරාචාර චෝදනා ඇති අය, මත්ද්‍රව්‍ය වැනි ජාවාරම් සිදුකරන අය, වාගේ අය පත්වන්න ඉඩ තියෙන්නේ නැහැ. කොමිසමක් හරහා පෞද්ගලික සුදුසුකම් මත හොඳ චරිතවත් පුද්ගලයන් හට නිලමේ තනතුර සඳහා ඉදිරිපත් වීමට අවස්ථාවක් ඇති කරනවා. කොමිසම අනුමත කරන අය හට පමණයි බස්නායක නිලමේ විය හැක්කේ.

දැන් බලන්න ඉන්දියාවේ සායිබාබා ආශ්‍රමය හරහා, ඒ රටේ නගර ඉදිකළා. රෝහල් හැදුවා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට ගොඩාක් උපකාර කරනවා.

තකතරගම දේවාලය සඳහා කොමිසමක් පත් කරලා ඒවාගේ සංවර්ධන කටයුතු ගමට, ප්‍රදේශයට සිදුකරන්න කටයුතු කරනවා.

මම සංඝ සභාවක් පත් කරලා නායක හාමුදුරුවන්ගේ අදහස් යෝජනා සලකා බලා තීරණ ක්‍රියාත්මක කරනවා.
කතරගම දේවාලයේ ප්‍රශ්නය දැන් නිරාකරණය කරලා ඉවරයි. හැබැයි මින් ඉදිරියට දුශ්ශීල පුද්ගලයන් නිලමේකමට ඉල්ලන එක වළක්වන්න නව ක්‍රමවේදයක් ඇති කිරීමට නව කොමිසම කටයුතු කරනු ඇති.”

බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවෙලගෙදර

“දැන් කතරගම දේවාලයේ ප්‍රශ්නය ඉවරයි. මින් ඉදිරියට දේවාලයට ලැබෙන සියලු ආදායම් ගිණුම්ගත විය යුතුයි. විහාර දේවාලගම් පනතේ තියෙන්නේ එහෙමයි. අද කතරගම සල්ලිවලට දෙවියන්ගෙ ගුණයන් ද වහගන්න පොරයක් යනවා. මේ ලබාදෙන පඬුර දෙවියන්ට ලැබෙන්නේ නැහැනේ! මේ පඬුරුවලින් ප්‍රදේශයට සංවර්ධන වැඩක් ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් හදනවා.

මම විගණන නිලධාරියාට නියෝග කළා පෙරහරට ගිය වියදම් ආදායම් පෙන්වන්න ඕනේ කියලා. ඉදිරියේදී පෙරහර පැවැත්වීමට කමිටුවකට සම්බන්ධ කරනවා. හැබැයි පැරැණි විධියට නිලමේවරයාට මාස හත තිබුණොත් ඔහු දේවාල අරමුදලට ලක්ෂ 500ක් දෙන්නම් යන කථාව තමයි කිව්වේ. එහෙත් නව මාස බෙදාදීම අනුව නිලමේවරයාට කලින් තිබූ මාස හත ඉවත් වෙනවා. සම්ප්‍රදායන් කියලා සමහර අයට වැඩිපුර අසීමිත මුදල් ලැබීම අසාධාරණයි. එම ක්‍රමයන් නූතන කාලයට අනුව නම්‍යශීලී විය යුතුයි.

සමහර කාලවලදී බැංකු අයිරාවන් අරගෙන තමයි නිලමේලා පෙරහර කරලා තියෙන්නේ. කිසිම කෙනකුගේ තනි කැමැත්ත මත කතරගම දේවාලයේ වැඩ කරන්න මින් ඉදිරියට බැහැ. ලෝක පූජිත ස්ථානයක ගරුත්වය කතරගම දෙවිහාමුරුවන්ගේ භක්තිය වඩවන ලෙස කටයුතු සිදුකිරීමට අප ඇපකැප වී සිටිනවා.”

ප්‍රධාන කපුධුරන්දර සොමිපාල රත්නායක 

“දෙවිහාමුදුරුන්ගේ මාස සඳහා ප්‍රශ්නයක් මුල්කරගෙන තමයි මෙම සිදුවීම ඇති වුණේ. බස්නායක නිලමේවරයා මේ ගැටුමට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. අපි පාරම්පරිකව සිදුකරනා චාරිත්‍ර කිරීමට බැඳී සිටිනවා. අවුරුදු පහකට පැමිණෙන බස්නායක නිලමේවරයකු අපේ පෞරාණික පුද සිරිත් වෙනස් කරනවා නම් ඒක වැරදියි. බුද්ධ ශාසන ඇමතිතුමා ඇවිත් මේ ප්‍රශ්න ගැන සොයා බැලුවා.”

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ

“බුද්ධශාසන ඇමැතිතුමා ඇවිත් දේවාලයේ ප්‍රශ්නය විසඳුවා කිව්වා කියලා ජනමාධ්‍යවල පළවුණා. එහිදී මම කිව්වේ පරණ මාස බෙදීම අනුව නිලමේවරයාට මාස හතක් දී තිබුණා. එහෙම යළිත් දුන්නොත් අවුරුද්දටම ලක්ෂ 500ක් දීමට හැකි බවයි. මේ හැම දෙයක්ම දෙනගමන් ඇසළ පෙරහර මංගල්‍ය, අවුරුදු පෙරහර, ඉල් පෙරහර දෙවිහාමුදුරුවන් වෙනුවෙන් පැවැත්වීමට කටයුතු කරන්න ඕනේ. මේ සඳහා විශාල මුදලක් වියදම් වෙනවා. මේ සම්බන්ධයෙන් විශාල වැඩපිළිවෙළක් අවශ්‍යයි. 

තවද ප්‍රදේශයේ දරුවන්ට ශිෂ්‍යත්ව පංති, ඉරුදින දහම් පාසැල් ආහාර ලබාදීමත් මම කරනවා. මේවාටත් මුදල් ඕනේ. ඉදිරියේදී ඇතිවෙන්නේ විශාල මුදල් ප්‍රශ්නයක්.”

සැබැවින්ම ඉදිරියේ ඇතිවන මේ තත්ත්වයන් මත මින් ඉදිරියට කතරගම නිලමේ තනතුර සඳහා විශාල ලෙස තරගයක් ඇති නොවනු ඇත. නිලමේ ද නාමමාත්‍ර තනතුරක් ලෙස ගණන් ගැනෙනු ඇත.

කතාව සහ සේයාරූ  I රුක්මන් රත්නායක